[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

කළ උපකාරය අමතක නොකළ සිංහරාජයකුගේ කතාව

කළ උපකාරය අමතක නොකළ සිංහරාජයකුගේ කතාව

එකමත් එක කාලයක තේජාන්විත, ශක්ති සම්පන්න සිංහ රාජයෙක් මහා කන්දක ගුහාවක් ඇසුරු කරගෙන ජීවත් වුණා. මේ සිංහයාට දරු පවුලක් හිටියා.

සිංහ පැටව් දෙන්නා නිතරම සෙල්ලම් කරන එක තමයි කළේ. මේ සිංහයා බිරිඳටත්, දරුවන් දෙන්නාටත් පුදුම සෙනෙහසක් තමයි දැක්වුවේ. කිසිම දවසක බඩගින්නේ තිබ්බේ නෑ. සැමියකුගෙන් ඉටුවිය යුතු සියලු යුතුකම් වගේම පියකුගෙන් ඉටුවිය යුතු යුතුකම් සියල්ලම මේ සිංහයා සිද්ධ කළා. වෙනදා වගේම දරුවන් දෙන්නාගේ හුරතල් සෙල්ලම් බලමින්, බිරිඳට සමුදී ගොදුරු ගේන්න ගියා. වනාන්තරයේ බොහෝ ඈතට ඈතට ඇවිද ගියත් ගොදුරක් හොයා ගන්න පුළුවන් වුණේ ම නෑ. මේ අතරේ දකින්න ලැබුණා ලස්සනට අලුත් තණ කොළ වැවුණු තණ බිමක්. ඒ අසලම තිබුණා පර්වතයක්. ඒක නිසා සිංහයා මෙහෙම හිතුවා.

මම මෙතරම් වෙලා ඇවිද්දා ඇවිද්දා ගොදුරක් හොයා ගන්න බැරි වුණා. මේ තණ බිමට මුවන්, මීමුන් ඇවිත් ගිහින් තියනවා. මෙතැන හැංගිලා හිටියනම් දඩයමක් කර ගන්න පුළුවන්. නෑ.....නෑ...... ඊට වඩා හොඳයි මේ පේන මහා ගල් පර්වතයට නැඟලා සැඟවී හිටියනම්. සතෙක් තණ බිමට ආපු ගමන් ඌට නො දැනුවත්වම ඌ පිටට පැනලා දඩයම් කර ගන්න පුළුවන් යැයි කල්පනා කරලා ගල්පර්වතයට නැග ගත්තා.

හැංගිලා ටික වේලාවක් බලා ඉන්නකොට එතරම් විශාල නැති මුවෙක් ආවා. ඌ වටපිට හොඳට බැලුවා. තමන්ට සතුරකුගෙන් කරදරයක් නෑ කියලා හිතලා අවධානයෙන් ම තණකොළ කන්න පටන් ගත්තා. සිංහයාට දැන් හොඳට ම බඩගිනියි. ඒ විතරක් නෙවෙයි. දරුවෝ දෙන්නත්, බිරිඳත් බඩගින්නෙන් ඉන්න බව මතක් වුණා. මුවා ඉලක්ක කරගෙන පර්වතයෙන් වහා ඌ මතට පැන්නා. සිංහනාද කරගෙන බිමට එන සිංහයා දුටු මුවා වහා එතැනින් දුවන්න පටන් ගත්තා. සිංහයාට මුවාව අල්ල ගන්න බැරි වුණා. සිංහයාගේ පාද හතරම ශරීරය දක්වාම මඩේ එරී ගියා. මුවා තණ කොළ කකා ඉදලා තියෙන්නේ මඩ පිරුණු වගුරු බිමක. බර අඩු සත්තුන්ට ඒ මත හෙමින් හෙමින් ඇවිද ගිහින් තණ කොළ කන්න පුළුවන් වුනත් බර ඇති සතකුට එහි ඇවිදින්නවත් බෑ. මඩේ එරෙනවා. බාහිරින් බලන කිසිම කෙනෙකුට එහෙම ගතියක් දැක ගන්න ඇත්තේ නෑ. සිංහයා බොහොම වෙහෙස ගත්තා මඩෙන් උඩට එන්න. ඒත් බැරිව ගියා. පළමු දවස මුළුල්ලේම උත්සාහ කළා ඒත් ගොඩ එන්න බැරි වුණා. දෙවන දවසත් උත්සාහ කළා ඒත් ගොඩ එන්න බැරිවුණා. මෙහෙම තුන්වැනි දවසත්, හතරවෙනි දවසත් උත්සාහ කළා. ක්‍රමයෙන් ශරීර ශක්තිය නැතිව ගියා. හැමවෙලේම හිතින් ගොඩ එන්න උත්සාහ කළත් පසුව ශරීරය හොලවන්නවත් බැරිවුණා. දවස් හතක් ම මෙහෙම කාලය ගෙවා දැම්මා. දැන් ශරීරය ආහාර, වතුර නැතිව හොඳට ම දුර්වල වෙලා මරණාසන්නවයි ඉන්නේ. හත්වැනි දවසේ මෙතැනින් යන්න ගියා එක් හිවලෙක්. සිංහයා තණ කොළ අතරේ සැඟවිලා ඉන්නේ මාව ගොදුරට ගන්න තමයි කියල හිතලා එක පිම්මේ දුවන්න පටන් ගත්තා. සිංහයා හයියෙන්ම කෑ ගහලා කිව්වා.

‘යාළුවේ යාළුවේ පොඩ්ඩක් නවතිනව ද? මම කියන දේ ටිකක් අහන්න පුළුවන් ද? කියලා බැගෑපත් හඩින් කතා කළා. හිවලාටත් ඒ හඩේ තිබුණු අසරණකම ඇහුණා. හෙමින් හෙමින් ළං වෙලා ඇයි කියලා ඇහුවා. එතකොට සිදුවුණු හැමදේම පිළිවෙළට කිව්වා. අවසානයේ ඉල්ලීමක් කළා ‘මාව බේරගන්න’ කියලා. හිවලා කපටියා වගේම බොහොම බුද්ධිමත් කෙනා නිසා එකවරම උදව් කරන්න කැමැති වුණේ නෑ. ඌ කිව්වා.

‘සිංහ රජතුමනි, මට ඔබ වහන්සේ බේර ගන්න පුළුවන්. ඒත් බයයි. මොකද ඔබ වහන්සේ දවස් හතක් තිස්සේ වතුරවත් නැතිව නිරාහාරව ඉන්නේ. මම ඔබව බේරගත්ත ගමන් ම මාව ගොදුරට අරගෙන කුස පුරවා ගනියි. ඒ නිසා මට පළමුව ජීවිත දානය දෙන්න. දෙවනුව මම ඔබ වහන්සේ මුදවා ගන්නම්’ කියලා.

එවිට සිංහයා කියනවා ‘කැණහිල, ඔබට මම ජීවිත දානය දෙන්නම්. ඒ වගේම මේකත් අහගන්න. මගේ ජීවිතය පවතින තාක් කල් ඔබව රකින්නම්. දන්නා උපායකින් මාව ගලවා ගන්න’යි කිව්වා. හිවලා පළමුව කළේ සිංහයාගේ අත්පා හතර වටේ හොඳට පහුරුගාමින් වියළී ගිය මඩ ඉවත් කර වළක් හෑරීම. ඊට පස්සේ තණ කොළ පාදමින් අසළ තිබුණු විලෙන් පුංචි ඇළක් දිගේ වතුර ගෙන ඇවිත් අත් පා තෙමෙන්නත් මඩ බුරුල් වෙන්නත් සැලැස්සුවා. ඊටත් පස්සේ කළේ සිංහයාගේ බඩ කෙළවරට ගිහින්, තමාගේ හිසින් සිංහයාගේ යටිබඩ ඔසවමින්

‘වීරිය කරන්න ස්වාමිනි, වීරිය කරන්න. වීරිය කරන්න ස්වාමිනි බොහොම තදින් වීරිය කරන්න’ කියමින් වීරිය වඩමින් උත්සාහය ඇති කරමින් ශරීරය සැහැල්ලු කරලා මඩෙන් ගොඩට අර ගත්තා. සිංහයා ගොඩට ආපු ගමන් කළේ මොකද දන්නවද කළේ ටිකක් නිදා ගන්න එක. බොහෝ ම අපහසුවෙන් සිටිය සිංහයා ටික වේලාවක් එහෙම ඉඳලා. නව තණ කොළ කන්න ආපු මී ගවයෙක් දඩයම් කර ගත්තා. සිංහයා ගුණමකුවෙක් වුණේ නෑ. තමන් දවස් හතක් තිස්සේ බඩගින්නේ හිටියත් පළමුව කළේ තමන් බේරා ගත්ත හිවලාට පළමු කොටස වෙන් කරලා පිළිගැන්වීමයි. හිවලාටත් තමන්ගේ උදව්ව ගැන බොහොම සතුටක් දැනුණා. දෙන්නාම හොඳටම කුස පුරවා ගත්තා.

සිවලා තමන්ට ලැබුණු මස් කොටසින් ටිකක් ඉතිරි කරගෙන අරගෙන යන්න සූදානම් වුණා. ඒක දැකපු සිංහයා එහෙම කරන්න හේතුව ඇහුවා. එතකොට කිව්වා. ‘ස්වාමිනි, මටත් බිරිඳක් වගේම දරුවන් දෙන්නෙක් ඉන්නවා. ඒ අයට තමයි මේ කෑම ගෙනියන්නේ කියලා. සිංහයාත් තමන්ගේ අඹු දරුවන්ට කෑම අරගෙන යන්න සූදානම් වෙලා හිවලාට කිව්වා.

‘මම අසවල් කන්දේ අසවල් ලෙනේ ඉන්නේ ඔබත් එතැනට එන්න අපි සමඟියෙන් ජීවත් වෙමු’කියලා. කැනහිලා එක්කම හිවලාගේ නිවසට ගිහින් කෑම කන්න දීලා. කැනහිල් පවුලම තමන්ගේ ලෙන සමීපයේ ලෙනක වාසය කෙරෙව්වා.

මේ යාළුවෝ දෙන්නා හැමදාම උදෙන්ම කැලේට ගිහින් දඩයම් කරගෙන මස් කොටසක් අඹුදරුවන්ට අරගෙන එනවා. මෙහෙම කාලයක්ම ගත වෙලා ගියා. සිංහයාගේ පුරුද්දක් තිබුණා ගෙනෙන මස්වලින් පළමු කොටස තමයි කැනහිල් පවුලට පිරිනමන්නේ. දවස් ගණනක්ම සිංහධේනුව මේක දැක්කා. ඊට පස්සේ හිතුවා සිංහයා කැනහිල් ධේනුව එක්ක සංවාසයේ යෙදෙනවා ඇති ඒ නිසා තමයි පළමු මස් කොටස ඔවුන්ට දෙන්නේ. අද හෙට ම මේ කැනහිල් පවුල මෙතැනින් එළවලා දාන්න ඕන කියලා හිතලා සිංහයා ගොදුරට ගියායින් පස්සේ කැනහිල් ගෙදරට ගිහින් ඇයවත් දරුවන් දෙදෙනාවත් බය කරලා එනවා.

කැනහිල් පැටවුන් සෙල්ලම් කරන්න එනකොට සිංහ පැටව් ඔවුන්ව බය කරනවා. එහෙම කරන්න සිංහ ධේනුව දරුවන්ට උගන්වලා තිබුණා. මේ කරදර ඉවසගෙන හිටිය කැනහිල් ධේනුව දවසක් තමන්ගේ සැමියාට හැමදේම කියනවා. එවලේම කැනහිලා සිංහයා හමුවෙලා කියනවා.

‘ස්වාමිනි, ඔබ වහන්සේගේ ස්වාමි දියණියත්, දරුවනුත් මගේ බිරිඳවත් මගේ දරුවනුන් හැමදාම බයගන්වනවා. මෙතැනින් යන්න කියන්න බැරි නිසා එසේ නොකියා අපට යන්න කියනවා. එහෙම බිය කරන්නේ නැතිව කෙලින්ම අපට යන්න කිව්ව නම් අපි යනවා. පෝසත් මිනිස්සු ළඟ දුප්පත් අය ඉන්නකොට එළවා දැමීම පෝසතුන්ට තරම් සුදුසු දෙයක් නෙවෙයි. එහෙම දෙයක් තමයි දැන් මෙතැන වෙන්නේ අපට අවසර දෙන්න ඈතකට ගිගින් අප ජීවත් වෙන්නම්’යි කියලා ලෙනට ඇවිත් යන්න සූදානම් වෙන්න පටන් ගත්තා.

සිංහයා වහාම කෝපයෙන් තමන්ගේ සිංහ ධේනුව කැඳවලා කරුණු අහලා මෙහෙම කියන්න පටන් ගත්තා.

‘එම්බල සිංහ ධේනුව, මම කැනහිලා විශ්වාස කරන කාරණයත්, ඔහුටත්, අඹුදරුවන්ටත් උපකාර කරන කාරණයත් ඔබ දන්නේ නැද්ද?යි ඇහුවා. කාරණය දන්නේ නෑයි කිව්වායින් පස්සේ හැම සිද්ධියක් ම පිළිවෙලින් කියා සිටියා. අවසානයේ කිව්වා මේ කැනහිලා නිසා තමයි මමත්, ඔබත්, දරුවනුත් අද සතුටින් ජීවත් වෙන්නේ. ඒසේ වූ උතුම් අයකුට තමයි ඔබ වෛර කරන්නේ. මින් පස්සේ එසේ කරන්න එපා. මට යම් සේ සලකනවා ද එපරිද්දෙන් ම කැනහිලාටත්, ඔහුගේ දරුවන්ටත් සලකන්න’යි කියා සිටියා.

එදා ඉඳන් පරම්පරා වශයෙන් පරම්පරා හතක් ම මේ ඉටු මිතුරුකම පැවැතියා'යි කියලා සඳහන් වන කථා පුවතක් පන්සිය පනස් ජාතක පොතේ ගුණ ජාතකයේ සඳහන් වෙනවා.

බ්‍රහ්මදත්ත නම් රජෙක් රාජ්‍ය කරන කාලයක මේ සිද්ධිය වුණු බවත්, ඒ කාලයේ අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ සිංහ ජාතියේ උපත ලබා සිටි බවත් සඳහන් වෙනවා. පින්වතුනි, තිරිසන් සතුන් අතරත් උතුම් කෘතගුණ සැලකීමේ ගුණය පිහිටා තිබෙන බව මේ කථා පුවත අපට පෙන්වලා දෙනවා. මේ ගුණය මිනිසකුට පිහිටා තිබෙනවා නම් ඔහු හෝ ඇය කීර්ති ප්‍රශංසාවලටත්, ලාභ සත්කාරවලටත් ලක් වෙනවා. එවැනි අය අප සමාජයේ අහඹු ලෙස හෝ අදත් දකින්න ලැබෙනවා.

උපකාර කළ අයට ප්‍රත්‍යුපකාර කිරීම දෙලොවම සාර්ථක කර ගන්න පුළුවන් උතුම් ගුණයක්. මේ ගුණය ටික ටික හෝ වර්ධනය කර ගත යුතුම දෙයක්. සමස්ත සමාජයක් විතරක් නොවෙයි මුළු ලෝකයම සුවපත් කරන්න, සැපවත් කරන්න පුළුවන් උතුම් ගුණයක් බව කිසි විටෙකත් අමතක කරන්න එපා.

උඳුවප් අමාවක

ජනවාරි 10 බදාදා අ.භා. 08.08 අමාවක ලබා 11 බ්‍රහස්පතින්දා අ.භා. 05.25 ගෙවේ.
11 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජනවාරි 11

First Quarterපුර අටවක

ජනවාරි 18

Full Moonපසළොස්වක

ජනවාරි 25

Second Quarterඅව අටවක

පෙබරවාරි 02

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]