[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අල්ලාගන්නා දෙය අත්හැරෙන බව නිතර සිතන්න

අල්ලාගන්නා දෙය අත්හැරෙන බව නිතර සිතන්න

දුර්ලභව ලැබූ මේ මනුෂ්‍ය ජීවිතයේ ලැබිය හැකි උතුම්ම පලය දහම් ඇස පාදාගැනීම ය. එහි දී සසර දුකින් මිදීම සඳහා සතර සම්‍යක් ප්‍රධන් වීර්යය පවත්වා ගත යුතු බවට නිතර මෙනෙහි කළ යුතු වේ.

පස්, පව්, දස අකුසල්වලින් මිදෙන්නට යැයි මොනතරම් පැවසුවද වැඩි පිරිසක් ඒ ගැන නොසිතන්නේ කුමක් නිසා ද? එයට හේතුව නම් දුර්ලභ ව ලබා ඇති මෙම මනුෂ්‍ය ජීවිතයේ වටිනාකම අවබෝධ කර නො ගැනීම ය. භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ අයුරින් තිස් එකක් වූ සක්වල උපත ලබා ඇති සියලු ම සත්ත්වයෝ ඔවුන්ගේ අතීත සසරෙහි උපත ලබා ඇත්තේ සතර අපායේ ය. සතර අපායේ ඉපිද ඉන් නිදහස්වීමට නොහැකිව කල්ප ගණන් දුක් විඳ ඇත්තෝ ය. කුකුළන්, ගවයන් වැනි සතුන් ලෙස ඉපිද, ගෙල සිඳී ගලාගිය රුධිරය කෙතරම් ද, එනම් සිව් මහා සාගරයේ ජල කඳටත් වඩා වැඩි බවයි ධර්මයේ සඳහන් වන්නේ.

ඒ වගේ ම ප්‍රේත විෂයයෙහි ඉපිද අපවිත්‍ර දෑ ආහාරයට ගනිමින් වචනයෙන් කියා නිමකළ නොහැකි තරම් දුක්විඳ ඇත්තේ ය. “දුල්ලභංච මනුස්සත්තං“ ඒ නිසයි ධර්මයේ සඳහන් වන්නේ මනුෂ්‍ය ජීවිතයක් ලැබීම ඉතා දුර්ලභ බව ඔබට මට පියවි ඇසින් දැක ගත හැකි තිරිසන් අපාය දකින විට එය අවබෝධ නොවේ ද?

ඉතා ම දුර්ලභ වූ මනුෂ්‍ය ජීවිතය ලබා ඇති බව සිහිපත් කොට ඉන් උතුම් ප්‍රයෝජන ලැබීමට වීර්යය ආරම්භ කළ යුතු ය. අප සම්මුතියෙහි පිහිටා සම්මත ලෝකයෙහි ඉගෙනීම, රැකියාව, විවාහය, දරුවන් මෙන් ම ගේදොර ආදී කටයුතු සීලයෙහි පිහිටා පවත්වා ගැනීම ගෘහස්ථ ජීවිත ගත කරන අයට අනුමත ය. මේවා ලබා ගැනීමේ දී පස් පව්, දස අකුසල්, නොකළ යුතු ය. ඒ අතීත සසරෙහි අපමණ දුක් නැවත නැවත සිහිපත් කිරීම හා ලැබූ දුර්ලභ මනුෂ්‍ය ජීවිතය ගැන සිහිපත් කිරීමෙන් ය.

ලෞකික වශයෙන් අප සීලයෙහි පිහිටා පැවැත් ම පිණිස කටයුතු කරන්නේ ද පරමාර්ථ ධර්මයට අනුව ලැබූ ජීවිතයෙහි සහ බියකරු සසරෙහි යථා ස්වභාවය අමතක නොකළ යුතු ය.

අප බුදුරජාණන් වහන්සේ විසින් මහා කරුණාවෙන් සහ මහා ප්‍රඥාවෙන් යුතුව දේශනා කළ ඒ දහම් මඟට යොමුවීම ද, එහි ඵල ලැබීම ද කළ යුතු ම දෙයකි. මෙම දහම් මඟට යොමු වී සහ ඵලයන් ලබා ගැනීම ද කල් දැමීමට ද නොහැකි ය. එයට හේතුව වන්නේ සම්මතයෙහි අප අවුරුදු සියයක් ආයුෂ ඇත්තේ ය යනුවෙන් පැවසුවත්, බොහෝ පිරිසකට සියයක් ආයුෂ විඳීන්නට අවස්ථාව නොලැබේ. එනම් මව් කුසක කලලය හටගත් මොහොතේ සිට ඕනෑ ම මොහොතක් ජීවිතයේ මරණය, එනම් අවසන් මෙහොත විය හැකි බැවිනි.

මේ තිබෙනවා ය යැයි පවසන අවුරුදු සියය ද ලෙඩවීම්, දිරාගෙන යෑම් හා ප්‍රියයන්ගෙන් වෙන්වීම්, අකමැති අරමුණු සමඟ ගැටීම්, කැමති අරමුණු ඉටු නොවීමෙන් ඇතිවන ශෝකය, හඬා වැළපීම්, දුක්ඛ දෝමනස්ස සමඟින් ගත කරන්නට සිදුවේ.

කුමන ආකාරයේ ආයු ශක්තියක්, කර්ම ශක්තියක් අපි රැගෙන ආවේ ද යැයි නොදනිමු. කවර ආකාරයේ ලෙඩ දුක් මෙම දෙතිස් කුණපයන්ගෙන් පිරුණු මේ ශරීරයේ ඇත්තේ ද හටගන්නේ ද යන්න නිශ්චිත ව පැවසිය නොහැකි ය.

අපිරිසුදු සිතින් යුතුව සිතනා, කියන, කරන සියලු දෙය ම නිසා දුක් සහගත ප්‍රතිවිපාක ලැබෙන්නේ ය. පිරිසුදු සිතින් සිතන, කියන, කරන දෙය නිසා යහපත් වූ පල විපාක ම ලැබෙන්නේ ය.

මෙලොව සියලු සත්වයින් ම කර්මය දායාද කොට ගන්නේ ය. කර්ම සිදු වන්නේ ඒ ඒ මොහොතේ බවත් සිහි කරමින්, එළඹ සිටින මෙහොතෙහි පිරිසුදු සිත ම පවත්වා ගැනීමට අධිෂ්ඨානයක් කර ගනිමු. ඒ වගේ ම අප සිතින් යමක් සිතා වචනයෙන් එය පිට කිරීමට පෙර, ක්‍රියාවෙන් හැසිරීමට පෙර එය තමාටත් අන් අයටත් යහපතක් හෝ අයහපතක් සිදුවන්නේ දැයි ධර්ම මාර්ගය අනුගමනය කරන බුද්ධ ශ්‍රාවකයෙක් ලෙස මෙනෙහි කරන්න.

තමන් කරන ක්‍රියාව තමාට හෝ අන් අයට යහපතක් සිදුවේ නම් සුදුසු පරිදි සුදුසු කාලයෙහි සිදු කරන්න.

අන් අයට අයහපතක් එයින් සිදුවේ නම් “මුතු මැණික්,

රත්තරන්, දෙනවා යැයි කීවත්, “කෝටියක“ මුදලක් ලැබෙනවා යැයි කීවත් නොකිරීමට තරම් ධර්ම මාර්ගයෙහි ස්ථිර අධිෂ්ඨානයක් තමා තුළ ඇත්දැයි සිතා බලන්න.

තමන් විසින් සමාදන් වන්නා වූ සීලය, වචනයට පමණක් සීමා නොකරන්න. ඒ ඒ සිල්පදවල අර්ථය දැන සීලය මනාව ආරක්ෂා කරන්න. එය සමාධියට මෙන් ම සම්‍යක් ප්‍රඥාවට බලවත් සේ උපකාර වන අයුරු සිහිපත් කරන්න.

ප්‍රඥාව සීලය නිසා පිරිසුදු වේ. සීලය ප්‍රඥාව නිසා පිරිසුදු වේ. සීලයෙහි පිහිටියා වූ ඇත්තාට සම්‍යක් ප්‍රඥාව ඇත. සම්‍යක් ප්‍රඥාවෙහි පිහිටියා වූ ඇත්තාට ආර්යකාන්ත සීලය ඇත.

තමාටත්, අන් අයටත් හානියක් නොවන නිවැරැදි ජීවනෝපය මාර්ගයන්හි පමණක් ම නිරත වන්න. අධර්මයෙන් උපයන ධනය මහා ගින්දරක් වැනි වූ උණු වූ ලෝදියක් වේ.

එය තමාට පමණක් නොව එය පරිහරණය කරන අන් අයට ද දොලොවදී ම කටුක විපාකයන්ට මුහුණ දීමට සිදුවන බව සිතන්න. ඔබ, ඔබ විසින් රකින්නා වූ සීලයේ පිරිසුදු බවත්, එහි ආනිසංසත් මෙනෙහි කරන්න.

“අප්පකිච්ච සල්ලහුකවුත්ති“ නම් මෙත්ත සූත්‍රයෙහි පෙන්වා දෙන ආකාරයෙන් අවබෝධයෙන් යුතුව අල්ප වූ කටයුතු මෙන් ම සරල සැහැල්ලු ඇවතුම්, පැවතුම් ඇති පහසුවෙන් පෝෂණය කළ හැකි පුද්ගලයකු වන්න.

යම් ‍ දෙයක ස්වල්පය බැගින් හෝ අයිතිය අත්හැරීමට, පරිත්‍යාග කිරීමට යොමු වී ඔබගේ ම සිතෙහි ස්වභාවය පිළිබඳව තේරුම් ගැනීමේ අවස්ථාවක් කර ගන්න.

නිතර අන් අයගේ දොස් දකින, අන් අය විවේචනය කරන කෙනෙක් බවට පත් නොවන්න. තම ජිවිතයේ යමෙක් “බැන්නා, දොස් කීවා, තමා සතු දේ ගත්තා යැයි සිතේ පවත්වා ගන්නා වූ සියලු අදහස් සම්පූර්ණයෙන් ම ඉවත් කොට දමන්න. එසේ නොකරන්නේ නම් එම සිතිවිලි ඔබව සුගති මාර්ගයෙන් බැහැර කොට දුගති මාර්ගයට යොමු කරවන බව සිහිපත් කරන්න.

මේ පවත්වා ගන්නා වූ ගමනේ හමු වී මගේ යැයි ජීවිතයේ අල්ලාගෙන සිටිනා පුද්ගලයින් මෙන් ම විවිධ වූ දේ කෙරෙහි ඇති කර ගන්නා බැඳීම්වල තාවකාලික බව හා නිසරු බව නුවණින් අවබෝධ කරගන්න. ඔබ සිතින් මෙන් ම දෑතින් අල්ලාගෙන සිටිනා සියලු දේ මරණයෙන් අත්හැරෙන බවත්, ඒවා මුල් කරගෙන ජීවිතය පුරා අකුසල් රැස්කර ගැනීමෙන් පලක් නොවන බවට නිරතුරුව ම සිත පුරුදු කරන්න.

පොසොන් අමාවක

ජුලි 09 සිකුරාදා පූර්වභාග 05.16 අමාවක ලබා 10 සෙනසුරාදා පූර්වභාග 06.46 ට ගෙවේ.
සිකුරාදා සිල් 

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූලි 09

First Quarterපුර අටවක

ජූලි 17

Full Moonපසළොස්වක

ජූලි 23

Second Quarterඅව අටවක

ජූලි 31  

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]