[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

පොසොන් අමාවක 2021.07.09

තමන්ගේ රැකවරණය තමන් තුළම ය

තමන් කළකම් තමා පසුපස ම එන බව කියන අපූර්ව කතා පුවතක් බෞද්ධ සාහිත්‍යයේ එයි. ඒ කෝක නම් සුනඛ වැද්දාගේ කතා පුවතයි. දඩයම් පහසු කරනු පිණිස තමන් විසින් මනා කොට පුහුණු කරන ලද සුනඛයන් ද පිරිවරාගෙන දිනක් දඩයමේ යන සුනඛ වැද්දා ඉදිරියට පැමිණියේ භික්ෂූන් වහන්සේ නමකි.

උන්වහන්සේ දුටු වැද්දා සිතන්නේ අද නම් තමන්ට හිස් අතින් ආපසු එන්නට සිදුවන බවය. සිතූ ලෙසම එදින ඔහුට කිසිදු දඩයමක් කර ගන්නට නොහැකි වුණි. සිතට නැඟුණේ දැඩි කෝපයකි. වැද්දා එන මඟ ඉදිරියේ දී නැවත ද උන්වහන්සේ මුණ ගැසුණි. කෝපය පාලනය කරගත නොහැකි වූ වැද්දා තමන්ට බැල්මකිනිදු වරදක් නොකළ භික්ෂූන් වහන්සේ වෙත සුනඛයන් මෙහෙය වූයේ ය.

අසරණ වූ භික්ෂූන් වහන්සේට පිළිසරණට වුයේ මඟ අසල වූ ගසෙකි. වහා ගසට නැඟ ගත් උන්වහන්සේට වැද්දා ඊතලවලින් විදින්නට විය. වේදනාවටත්, කලබලයටත් පැමිණි උන්වහන්සේගේ සිවුර ගිලිහී ගස පාමුල සිටි වැද්දාගේ හිස මතට වැටුණේ ය. භික්ෂූන් වහන්සේ ගසෙන් බිමට වැටුණා යැයි සිතූ සුනඛ රැළ වැද්දා වෙතට කඩා පැන සපා කා ඔහු ජීවිතක්ෂයට පත් කළහ.

මේ තමන් කළ කම් ඒ මොහොතේ ම විපාක දුන් සැටිය. කළ කම් පළ දෙන බව බෞද්ධයිනට අමුතුවෙන් කියා දිය යුතු වූවක් නොවේ. යහපත් කර්ම කළේ නම් යහපත් පලද, අයහපත් කර්ම කළේ නම් අයහපත් පල ද විඳින්නට සිදුවේ. එහෙත් බොහෝ දෙනකුට වැරැදී ඇත්තේ මේ ධර්මතාව දැන සිටියද ප්‍රායෝගිකව පුරුදු පුහුණු කොට ජීවිතයට ගළපා නොගැනීම නිසා ය.

අනුන්ට කරදරයක්, හිංසාවක්, පීඩාවක් දුකක්, වේදනාවක් නොවන ලෙස ජීවත්වන්නට හැකි අප අතරින් කීයෙන් කී දෙනාට ද? තමන්ට දැනෙන දුක වේදනාව ම, අනුන්ට ද දැනෙන බව සිතන්නේ කීයෙන් කී දෙනා ද?

සම්බුදු දහම අවධාරණය කරන්නේ ධර්මයට අනුව ජීවත්වන පුද්ගලයා ධර්මය විසින් ම ආරක්ෂා කරනු ලබන බව ය. ඒ පිරිසුදු, නිවැරැදි දහම් මඟ බුදුරජාණන් වහන්සේ අපට දේශනා කොට ඇත. මූලිකව ම උන්වහන්සේ ගිහියන් වෙත දේශනා කොට වදාළ දහම, ශික්ෂා මාර්ගය පංච ශීල ප්‍රතිපදාවය.

අනුන්ට තලා පෙළා හිංසා නොකරනතාක්, අනුන්ගේ ප්‍රාණය උදුරා නොගන්නාතාක් තමන්ගේ ජීවිතය සුරක්ෂිත ය. අනුන්ගේ දේපොළ සුරක්ෂිත කරන තාක් තමන්ගේ ද දේපළ සුරක්ෂිත ය. අනුන් බොරුවෙන් නොරවටන්නේ ද තමන්ද බොරුවට හසු නොවන්නේ ය. අනෙකුත් ධර්මතාවන් ද එලෙස ය. එහෙයිනි තමන් උපමාවටගෙන සමාජය වෙත යහපත ම මුදා හරින්නට අප ක්‍රියා කළ යුතු වනුයේ. දුහුවිලි ටිකක් ගෙන උඩු හුළඟට වීසි කළේ නම් එය පෙරළා තමන් වෙතම ආපසු පැමිණේ. ඊට ගත වන්නේ ක්ෂණයකි. අනුන්ට කරදර හිංසා නොකරන, වැරැදි නොකරන, ද්වේෂ නොකරන පිරිසුදු පුද්ගලයකුට යම් කෙනෙක් අපරාධයක් කරයි නම් එහි විපාක ඒ පුද්ගලයා වෙත ආපසු පැමිණෙන්නේ ද උඩු සුළඟට දැමූ දුහුවිලි මෙනැයි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළහ.

අපගේ සිතිවිලි යහපත් කරගන්නට මේ උපමාවම ප්‍රමාණවත් නොවන්නේ ද? කිසිවකුගෙන් කිසිවකුට හිංසාවක්, පීඩාවක්, දුකක්, කරදරයක් නැති සමාජයක් මොනතරම් ලස්සන ද? ඒ සමාජය නිර්මාණය කරගත යුතු තම තමන් විසින්ම ය. වගකීම අනුන්ට පැවරිය නොහැකිය. මේ ගෙවී යන්නේ මිනිසාට මිනිසාගේ රැකවරණය ද සොබා දහමේ රැකවරණය ද දැඩිව අවැසි කාලයකි. රැකවරණය ලැබීම හෝ නොලැබීම රැඳී ඇත්තේ තමන් තුළම ය. එහෙයින් කරුණා, මෛත්‍රී, ආදී ගුණාංගයන්ගෙන් තමන්ට ද, ලෝ වැසි අන් සියලු දෙනා වෙත ද කටයුතු කරන්නට සිත මෙහෙය විය යුතු ය.

පොසොන් අමාවක

ජුලි 09 සිකුරාදා පූර්වභාග 05.16 අමාවක ලබා 10 සෙනසුරාදා පූර්වභාග 06.46 ට ගෙවේ.
සිකුරාදා සිල් 

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූලි 09

First Quarterපුර අටවක

ජූලි 17

Full Moonපසළොස්වක

ජූලි 23

Second Quarterඅව අටවක

ජූලි 31  

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]