[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කවරයේ කතාව

කවරයේ කතාව

මදුරට සාගල නුවර රජ කුලයෙහි විශිෂ්ට රූපශී‍්‍රයෙන් යුත් ඛේමා නම් කුමරියක් විය. ඇය වැඩි විය පැමිණි කල් හි බිම්බිසාර මහ රජුගේ මෙහෙසිය වූවා ය. ඇය තම රූපශී‍්‍රය පිළිබඳව මත්ව සිටියා ය. බුදුරජාණන් වහන්සේ රූපයට නිග්‍රහ කරනවා යැයි අසා බුදුරජාණන් වහන්සේ හමුවට නො ගියා ය.

බිම්බිසාර මහ රජු තම දේවිය බුදුරජාණන් වහන්සේ හමුවට යැවීමේ අදහසින් උපායක් යොදමි යැයි සිතා වේළුවනයේ අලංකාරය පිළිබඳව වර්ණනා ගීතිකා ගායනා කරවන ලද්දේ ය. ඒ ගී ඇසූ බිසවට වේළුවනය පෙර නොදුටුවාක් මෙන් හැඟී වේළුවනය දැකීමේ සිත් පහළව එහි ගියා ය.

බුදුරජාණන් වහන්සේ බැහැ නො දැක ආපසු එන්නට සැරසුණොත් බලහත්කාරයෙන් හෝ ඇය බුදුරජාණන් වහන්සේ වෙතට යැවිය යුතු බව මහ රජු රාජපුරුෂයන්ට අණ කළේ ය.

දේවිය වේඵවනයේ සිරි බලා ඇවිද බුදුරජාණන් වහන්සේ වෙතට නොගොස් ආපසු එන්නට හැරුණා ය. මහ රජුගේ අණ පරිදි රාජපුරුෂයන් දේවිය බලහත්කාරයෙන් බුදුරජාණන් වහන්සේ වැඩ සිටිනා ස්ථානයට රැගෙන ගියේ ය.

බුදුරජාණන් වහන්සේ ඛේමා දේවි තමා වෙත එනු දැක දෙවඟනක් බඳු ස්තී‍්‍රයක් ඍද්ධියෙන් තමන් වහන්සේට විජිනිපතක්ගෙන පවන් සලන්නා සේ ඛේමා දේවියට පෙනෙන්නට සැලැස්සූ සේක. ඛේමා දේවිය එය දැක දෙවඟනක් බඳු වූ රූපශී‍්‍රය ඇති ස්තී‍්‍රහු බුදුරජාණන් වහන්සේ සමීපයේ සිටිත්, මම මේ අයගේ මෙහෙකාරකමට වත් වටින්නේ නැති තරම් යැයි සිතීය.

බුදුරජාණන් වහන්සේ රූපශී‍්‍රයට නිග්‍රහ කරන බවට රටේ පවත්නා කතාව බොරු චෝදනාවක් යැයි ද ඛේමා සිතුවා ය. ඒ වගේ ම අර ස්තී‍්‍ර රූපය දෙස ම බලාගෙන සිටියා ය. ඛේමා දේවිය බලා සිටිය දී ම බුදුරජාණන් වහන්සේගේ අධිෂ්ඨානය පරිදි අර ස්තී‍්‍ර රූපය ප්‍රථම වයස ක්‍රමයෙන් ගෙවා මධ්‍යම වයසට ද, එය ද ඉක්මවා මහලු වයසට ද පැමිණ හිසකෙස් පැසුණු සම රැලි වැටුණු විරූප වූ මැහැල්ලක් විය. විජිනපත ද හැර දමා බිම ඇද වැටුණාය. ඛේමා ඒ දෙස බලා සිට මෙබඳු වූ රූමත් ශරීරයක් පවා මේ ආකාරයෙන් විනාශයට පැමිණියේ ය. මගේ ශරීරයත් මෙසේ ම වන්නේ නොවේ දැයි කල්පනා කළා ය. ක්‍රමයෙන් ඛේමාගේ රූප මදය හීන විය.

ඛේමා දේවියගේ නුවණ මුහුකුරා ගිය බව දුටු බුදුරජාණන් වහන්සේ ශරීරයේ පිළිකුල ප්‍රකාශ කොට ධර්මය දේශනා කළ සේක. බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇසූ ඛේමාගේ කෙලෙස් බර ගතිය තුනීව නීරෝගී වූ සිත් ඇත්තියක් බවට පත්විය.

බුදුරජාණන් වහන්සේ ඇයට මහානිදාන සූත්‍රය වදාළ සේක. ඒ ධර්ම කතාව ඇසූ ඛේමා සෝවාන් විය. ඇය පසුව රජුගෙන් අවසර ගෙන පැවිදි වූවා ය. එයින් අඩ මසක් ගිය තැන පහනක් දැල්වීමත්, නිවීමත් දැක ඒ සිතිවිල්ල අරමුණු කොට විදසුන් වඩා රහත් වූවා යැයි සඳහන් වේ.

පොසොන් අමාවක

ජුලි 09 සිකුරාදා පූර්වභාග 05.16 අමාවක ලබා 10 සෙනසුරාදා පූර්වභාග 06.46 ට ගෙවේ.
සිකුරාදා සිල් 

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූලි 09

First Quarterපුර අටවක

ජූලි 17

Full Moonපසළොස්වක

ජූලි 23

Second Quarterඅව අටවක

ජූලි 31  

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]