[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පෙළ අටුවා මැනවින් නොදැන ධර්මය දේශනා කිරීම බුද්ධ වචනය විකෘති කිරීමකි

පෙළ අටුවා මැනවින් නොදැන ධර්මය දේශනා කිරීම බුද්ධ වචනය විකෘති කිරීමකි

බුදුරදුන් වදාළ ධර්මය අතිශය ගැඹුරු වූවක් බව තථාගතයන් වහන්සේ විසින් ම දේශිත ය. තථාගතයන් වහන්සේ බොහෝ අවස්ථාවල දී ධර්මය දේශනා කළේ ඉතා කෙටියෙනි. මෙසේ විවිධ අවස්ථාවල බුදුරදුන් විසින් දේශිත ඉතා සංක්‍ෂිප්ත ධර්ම කොටස් විස්තරාත්මක ව විවරණය කිරීමේ වගකීම බොහෝදුරට සාරිපුත්ත, මහාකොට්ඨිත හා මහාකච්චායන රහතන් වහන්සේලාට පැවරුණු බව පිටකාගත සාධකවලින් සනාථ වේ.

නිතර උන්වහන්සේලා හමු වුණු ඇතැම් ශ්‍රාවකයන් බුදුරදුන් විසින් දේශිත සංක්‍ෂිප්ත ධර්මය තවදුරටත් පැහැදිලි කරගත්තහ.

මේ අනුව බුදුරජාණන් වහන්සේ විසින් විවිධ අවස්ථාවල විවිධ පුද්ගලයන් අරබයා දේශනා කළ ධර්මය විස්තරාත්මක ව විවරණය කරමින් පැහැදිලි කරදීමේ පිළිවෙත බුද්ධ කාලයේ සිටම ආරම්භ වූවක් බව පැහැදිලිය.

ධර්මය අර්ථවිවරණය කිරීමේ ක්‍රමවේදය පාලි පිටක ග්‍රන්ථවල මැනවින් සංග්‍රහ වී ඇති අයුරු දක්නට ලැබේ. එහෙත් එම ක්‍රමවේදය වඩාත් විධිමත් වූයේ පාලි අට්ඨකථා සම්පාදනය කිරීමෙන් අනතුරුව ය. අට්ඨකථා හෙවත් අටුවාවකින් අපේක්‍ෂා කරන්නේ ධර්මයේ ගැඹුරු තැන් තවදුරටත් විවරණය කිරීම ය. නැතහොත් පැහැදිලි කිරීම ය. එම අරමුණ ඇතිව සම්පාදනය වූ ග්‍රන්ථ සියල්ල අට්ඨකථා හෙවත් අටුවා නමින් හඳුන්වනු ලැබේ.

ධර්මය හා සම්බන්ධ කිසියම් ගැඹුරු පදයක අර්ථය පැහැදිලි කිරීමේදී එය අවබෝධකරවීම මෙන්ම, වටහා ගැනීම පහසු කිරීම සඳහා එම පදයට අදාළව අර්ථය, නිරුක්තිය, ව්‍යාකරණ ලක්‍ෂණ, නිදර්ශන කථා, අතිරේක විස්තර, ඒ පිළිබඳ ධර්ම කථිකයන් අතර පැවති මාතවාද ආදිය සහිත පරිපූර්ණ විස්තරයක් ඉදිරිපත්කිරීම අටුවාවලින් සිදුවී තිබේ. එබැවින් බුද්ධ වචනය නිවැරදිව හඳුනා ගැනීමට අට්ඨකථාවල සහය අත්‍යවශ්‍ය වේ.

එසේම බුද්ධ පරිනිර්වාණයේ සිට අට්ඨකථා රචනාවන අවදිය දක්වා ශාසන ඉතිහාසය පිළිබඳ තොරතුරු රැසක් අට්ඨකථා සාහිත්‍යයේ අන්තර්ගත ව තිබේ. ඒ අනුව බෞද්ධ ඉතිහාසය හා සංස්කෘතිය අධ්‍යනයේ දී අට්ඨකථා සාහිත්‍යයෙන් ලැබෙන පිටුබලය විශාල ය. ලංකාවේ මෙන්ම ඉන්දියාවේ ඉතිහාසය අධ්‍යනය කරන කෙනකුට අට්ඨකථා සාහිත්‍යයෙන් ලැබෙන්නේ නොමඳ සහයකි.

පාලි අට්ඨකථාවල ඉදිරිපත්කරන අදහස් පසුකාලීන ව බෞද්ධ සංස්කෘතිය සකස්වීමෙහි ලා මෙන්ම පෝෂණය වීමෙහිලා විශේෂ දායකත්වයක් සපයා තිබේ. සිංහල සම්භාව්‍ය සාහිත්‍ය පෝෂණය වී ඇත්තේ ද පාලි අට්ඨකථා ආශ්‍රයෙන් ය. ඒ යටතේ පාලි ජාතකඨට්ඨකථාව හා පාලි ධම්මපදට්ඨ කථාව සිංහල සම්භාව්‍ය සාහිත්‍යට බෙහෙවින් ම බලපා තිබේ.

ලංකාවාසී ජනයාගේ ඓතිහාසික, සමාජ හා ආගමික ජීවිතය අධ්‍යනය කිරීමේ දි පාලි අට්ඨකථාවලින් සැපයෙන තොරතුරු බෙහෙවින් වැදගත් වේ. මේ අනුව ධර්මයේ ගැඹුරු අරුත් විවරණය කිරීමට අමතරව වෙනත් විෂය කාරණා සම්බන්ධයෙන් ද අට්ඨකථාවලින් ඉදිරිපත් කරන තොරතුරු අතිශය වැදගත් බව පැහැදිලි ය.

ක්‍රි.පූ තුන්වන සියවසේ බුදුසමය ලංකාවට හඳුන්වාදීමෙන් අනතුරුව ලක්වාසී ජනතාවට ධර්මය පැහැදිලි කරදීම සඳහා සිංහල අටුවා හෙවත් හෙළ අටුවා සම්පාදනය කරන ලදී. සියවස් කීපයක් භාවිතයට ගත් සිංහල අට්ඨකථා පස්වන සියවසේ ලංකාවට පැමිණි බුද්ධඝෝස හිමියන් විසින් මහා විහාරයේ අනුමැතිය පරිදි පාලි භාෂාවට පරිවර්තනය කරන ලදි. උන්වහන්සේට අමතරව තවත් අට්ඨ කථා ආචාර්යවරු කීපදෙනක් ම එම කාර්යයට සම්බන්ධ වූහ.

සිංහල අටුවා පාලියට පරිවර්තනය කරන ලද්දේ ජාත්‍යන්තර වශයෙන් පැවැතී අවශ්‍යතාවක් ද සම්පූර්ණ කිරීම සඳහා ය. බුද්ධ වචනය ඇතුළත් ථෙරවාද පාලි ත්‍රිපිටකය ඒ වනවිට මැනවින් සුරක්‍ෂිතව පැවතිය ද අට්ඨකථා පැවතියේ සිංහල භාෂාවෙන් ය. එබැවින් ඒ සියල්ල ජාත්‍යන්තර ධර්ම කථිකයන්ට භාවිත කිරීමට නොහැකිවිය. මෙම අවශ්‍යතාව සම්පූර්ණ කිරීම සඳහා අටුවාචාරී බුද්ධඝෝස හිමියෝ ලංකාවට පැමිණ සීහල අට්ඨකථා පාලියට පරිවර්තනය කළහ. සීහල අට්ඨකථා පාලියට පරිවර්තනය කිරීමෙන් අනතුරුව එම සීහල අට්ඨකථා ගිනිබත් කරන ලදැයි යන අදහස කිසිසේත් ම පිළිගත නොහැකි ය. ඒවා දහතුන් වැනසියවස දක්වා භාවිතයේ පැවැතී බව ඓතිහාසික මූලාශ්‍රවලින් සනාථ වේ. මෙහිදි සිදුව තිබෙන්නේ සීහල අට්ඨකථා භාවිතය ක්‍රමයෙන් යටපත්වීමයි. පාලි භාෂාව ජාත්‍යන්තර භාෂාව බවට පත්වීම ඒවා භාවිතයෙන් ඉවත්වීමට බලපා තිබේ.

ප්‍රධාන අට්ඨකථාචාර්ය බුද්ධඝෝස හිමියන් විසින් අට්ඨකථා පරිවර්තනයට පෙර සම්පාදිත විසුද්ධිමග්ග සමස්ත ත්‍රිපිටකයම අළලා ලියවුණ අටුවාවක් ලෙස සැලකේ. එහෙත් එය ඍජුවම අට්ඨකථා සාහිත්‍යට අතුළත්කර නොමැත.

භදන්ත බුද්ධඝෝස, භදන්ත බුද්ධදත්ත, ආචාර්ය ධම්මපාල, භදන්ත උපසේන, භදන්ත මහානාම යන අටුවාචාරීන් වහන්සේලා අතුරින් සමස්ත විනය පිටකය සඳහා ලියවී තිබෙන සමන්තපාසාදිකා විනයට්ඨකථාව හා කංඛාවිතරණ ප්‍රාතිමෝක්‍ෂ අට්ඨකථාවත් සූත්‍ර පිටකයේ මුල් නිකාය හතරට ලියවී තිබෙන සුමංගලවිලාසිනී, පපංචසූදනී, සාරත්ථප්පකාසිනී, මනෝරථපූරණී අට්ඨකථා සහ අභිධර්ම පිටකය සඳහා සම්පාදිත අත්ථසාලිනී, සම්මෝහවිනෝදනී හා පංචප්පකරණ අට්ඨකථා ඇතුළත් සියල්ල භදන්ත බුද්ධඝෝස හිමියන් විසින් රචනාකොට තිබේ.

ඒ අනුව උන්වහන්සේ ප්‍රධාන අට්ඨකථාචාරීන් වහන්සේ වෙති. ඛුද්දක නිකායට අයත් ග්‍රන්ථ පහළොවට අදාළ අට්ඨකථා සම්පාදනය කර ඇත්තේ ඉහතින් සඳහන් කළ සෙසු අටුවාචාරීන් වහන්සේලා විසින් ය. එසේ වුව ද ඇතැම් අට්ඨකථාවල කර්තෘත්වය පිළිබඳ මතවාද පවතින බව සිහිපත් කළ යුතුවේ.

ඛුද්දක නිකායේ ග්‍රන්ථ පහළොවට අයත් බොහෝ අට්ඨකථා අතුරින් දෙකක් පරමත්ථජෝතිකා යනුවෙන්ද, අට්ඨකථා හතක් පරමත්ථදීපනී යනුවෙන් ද සෙසු අට්ඨකථා ජාතකට්ඨකථා, ධම්මපදට්ඨකථා, සද්ධම්මජෝතිකා, සද්ධම්මප්පකාසිනී, විසුද්ධජනවිලාසිනී හා මධුරත්ථවිලාසිනී ආදි විවිධ නම්වලින් හඳුන්වා තිබේ.

යථෝක්ත පාලි අට්ඨකථා සියල්ල ථෙරවාද පාලි ත්‍රිපිටකය නියෝජනය කරන අට්ඨකථා සාහිත්‍ය අයත් මූලාශ්‍ර වේ. විසුද්ධිමග්ගය ඇතුළත්ව ත්‍රිපිටකය සඳහා ලියවුණු අට්ඨකථා සියල්ල විසි පහකි.

පාලි අට්ඨකථා සම්පාදනය වූයේ සීහලට්ඨකථා පාලියට පරිවර්තනය කිරීමෙන් ය. ඒ අනුව සංඛ්‍යාවෙන් විශාල සිංහල අටුවා සාහිත්‍යයක් ලක්දිව පැවති බව ඓතිහාසික මූලාශ්‍රවලින් සනාථ වේ. ඊ.ඩබ්ලිව්. අධිකාරම් මහතා විසින් සම්පාදිත පැරණි ලක්දිව බෞද්ධ ඉතිහාසය නැමැති ග්‍රන්ථයේ දැක්වෙන පරිදි සිංහල අටුවා හා සම්බන්ධ මූලාශ්‍ර විසි අටක් වාර්තා වේ.

මෙයින් පැහැදිලි වන්නේ අනුරාධපුර අවදියේ සිංහල භාෂාවෙහි පැවැති දියුණුවයි. එම සීහල අට්ඨකථා සැබැවින්ම විසිතුරු මෙන්ම සාරවත් අර්ථ විවරණවලින් පිරිපුන් ව පැවති බව නිසැක ය. අවාසනාවකට මෙම මූලාශ්‍ර කිසිවක් දැනට ඉතිරිව නොමැත. ඒ පිළිබඳ තරමක හෝ අවබෝධයක් ලබාගත හැකි වන්නේ ඒවායේ එන පාඨ නිදසුන් කොට දැක්වූ ශේෂව පවතින සිංහල සම්භාව්‍ය සාහිත්‍යයෙන් ය.

ධර්මය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා ගැනීම සඳහා අට්ඨ කථාවෙහි සහය අත්‍යවශ්‍ය වේ. ඒවායේ අර්ථ විවරණ ක්‍රමවේදය විශ්මය ජනක ය. බුද්ධ වචනයේ ඉතා ගැඹුරු තැන් නිරවුල් කර ගැනීමෙහි ලා එයින් ලැබෙන සහය අපමණ ය. එබැවින් ධර්ම දේශකයන්ට ඒ පිළිබඳ විශේෂ දැනුමක් අවශ්‍ය වේ. පෙළ අටුවා දෙක මැනවින් නොදැන ධර්මය දේශනා කිරීම බුද්ධ වචනය විකෘති කිරීමකි. එසේම බුද්ධ වචනයට කෙරෙන අගෞරවයකි. කෙනෙකු ධර්ම කථිකයකු වන්නේ ත්‍රිපිටකය මෙන්ම අටුවාවත් මැනවින් පිරීක්‍ෂා බලා කරණු සහිතව ධර්මය දේශනා කරන්නේ නම් පමණි. මෙම පසුබිම යටතේ බුද්ධ වචනය මැනවින් නිර්වචනය කළ අට්ඨකථා සාහිත්‍ය සැකෙවින් පරිශීලනය කිරීම ධර්මය නිවැරදිව හඳුනා ගැනීමටත්, එය අන්‍යයන්ට ඉගැන්වීටත් බෙහෙවින් උපස්ථම්භක වේ.

  බක් පුර පසළොස්වක 

 අප්‍රේල් 26 සඳුදා අපර භාග 12.44 පුර පසළොස්වක ලබා 27 අඟහරුවාදා පූර්ව භාග 09.01 ගෙවේ.
සඳුදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

අප්‍රේල් 26

Second Quarterඅව අටවක

මැයි 03  

Full Moonඅමාවක

මැයි 10

First Quarterපුර අටවක

මැයි 19

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]