[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දරුවන් නිසා දුක්වෙනවාද? සතුටු වෙනවාද?

දරුවන් නිසා දුක්වෙනවාද? සතුටු වෙනවාද?

දරුවකු ලබන්නට සිටින මවක් සිය දරු ගැබ රැක ගැනීම මව සතු වගකීමකි. වඩාත් නිරෝගී දරුවකු බිහි කර ගැනීම සඳහා මව සතුටින් කාලය ගත කළ යුතුය. එහිදී මවට ඇතිවන දොළදුක සන් සිඳුවීමෙන් මව සතුටු කළ යුතුය. දරුවා වෙනුවෙන් මව සිදුකරන කාර්යය අනුව බුදු දහමේ දී මව විවිධ නම් වලින් හඳුන්වයි. ජානෙන්ති, සුභද්‍රා, තොසෙන්ති, පොසෙන්ති යනු ඉන් කිහිපයකි.

ජානෙන්ති යනු හොඳ දරු උපතක් ලබා දෙන්නිය යන්නයි. දරුවා මෙලොවට බිහිකිරීමට පෙර ඇය තමන්ගේ ජීවන රටාව පවා වෙනස් කරයි. දරුවාට හිතකර ආහාර පාන ගැනීමට යොමුවේ. එසේම තමාගේ ගෙදර පරිසරය වෙනස් කිරීමට ද පෙළඹෙයි. ඉන් තමන්ගේ කායික මානසික සුවය ඇතිකර ගනී රළු කඨෝර ආහාර ගැනීම දරු ගැබට අහිතකරය. ඉන් ඇය වැළකෙයි. එබැවින් ඇය මව් පදවියට සූදානම් වන්නේ විශාල කැපකිරීම් කරමිනි. එබැවිනි ඇය ජානෙන්ති යනුවෙන් හදුන්වනුයේ.

සුභද්‍රා යනු සෙනෙහස දැක්වීමයි. මව තම දරුවන්ට සෙනෙහස නොඅඩුව ලබා දෙන්නේ නම් දරුවන් නොමඟ යන අවස්ථා බොහෝ දුරට අඩුය. අයහපත් චර්යාවලට පෙළඹී ඇති බොහෝ පුද්ගලයින් පිළිබඳව විමසා බැලුව හොත් ඉන් බහුතරයකට කුඩා කල පටන් මව්පියන්ගේ සෙනෙහස අහිමි වූ අය බවට නිගමනය වී ඇත.

තොසෙන්ති යනු සතුටු කරන්නිය යන්නයි. නැළවිලි ගී, ප්‍රියවචන, ළමා මනසට දැනුම ප්‍රිය උපදවන පරිසරය, සුදුසු ඇඳුම් පැළඳුම් ආදියෙන් මෙන්ම උණුසුම් වැළඳ ගැනීමෙන් මව සතුටු කරන්නී ය.

පොසෙන්ති යනු මෙලොවට බිහිවුණු දරුවා හොඳීන් පෝෂණය කිරීමයි. කුඩා කල සිට දරුවා ඇසක් මෙන් රැක බලා ගනි. ඒ බව පියං ච පුත්තං නයනං ව එකකං යන බුදු වදනින් පැහැදිලි වේ.

සිදුහත් බෝසත් කුමරු ගේ මවුපියන් සුදොවුන් රජු හා මහමායා දේවිය හමුවේ පිරිස බ්‍රාහ්මණ සීලය සමාදන් වූ බව සඳහන් වීමෙන් ගම්‍ය වන්නේ දරුවකු පිළිසිඳ ගැනීමට පෙර සිටම මව ඒ සඳහා කායික මානසික වශයෙන් සූදානම් වන බවයි.

එසේම මවක් දරුවකු මෙලොවට බිහි කිරීමට ප්‍රථම සංඝයා වහන්සේලා ලවා අංගුලිමාල පිරිත් දේශනාව සිදු කරවාගෙන දරු ප්‍රසූතියට සූදානම් වන්නේ කායික මානසික වශයෙන් නීරෝගීමත් දරුවකු බිහි කිරීම උදෙසා ය.එසේම ගැබ්ගත් කාලය තුළ ආගම දහම කෙරෙහි වැඩි නැඹුරුතාවයක් දක්වමින් යහපත් ජීවන රටාවක් අනුගමනය කරයි.

වර්තමානයේ බොහෝ ගර්භනී කාන්තාවන් කාර්ය බහුල ජීවිතයක් ගත කරයි. ඉන් කායික මානසික වෙහෙසකට හා සිත්තැවුලට පත් වේ. එපමණක් නොව ඇතැම් ගර්භණී කාන්තාවන් මද්‍යසාර අසභ්‍ය දර්ශන හා බාහිර ආටෝපය සඳහා ආලේපන භාවිතය හා නුසුදුසු ඇඳුම් භාවිතය නිසා කුසෙහි සිටින දරුවාට අයහපත් බලපෑමක් ඇති කෙරේ. එය කායික මානසික වශයෙන් දුර්වල දරුවකුගේ උපතකට හේතුවේ.

කරණීය මෙත්ත සූත්‍රයේ සඳහන් “මාතා යථා නියං පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්ඛෙ” යන පාඨය අනුව මවක් තමන්ගේ දරුවා දිවි පුදා රකී. යනුවෙන් දේශනා කොට ඇති පරිදි මවක් තම දරුවන් වෙනුවෙන් කරන කැපවීම පැහැදිලි වේ.

දරු ප්‍රසූතියකින් පසුව ද දරුවා කෙරෙහි වඩාත් අවධානය යොමු කළ යුතු කරුණකි. එය කායික මානසික වශයෙන් නිරෝගී දරුවකු බිහි කර ගැනීම සඳහා ඉවහල් වේ. මෙලොව උපන් දරුවා කුඩා කල සිට පෝෂණය කරන්නේ මව්කිරි දීමෙනි. බුදුරදුන් විසින් මහා තණ්හා සංඛය සූත්‍රයේදී පෙන්වා දෙනු ලබන්නේ සිය දරුවා ලේ වලින් පෝෂණය කරන බවයි. එනම් රුධිරය කිරි බවට හරවා දරුවා පෝෂණය කරන බවයි. මවකට කිරි එරෙනුයේ දරුවාට ඇති අසීමිත සෙනෙහස නිසාය.

මවට බුදුදහමෙහි තෝසෙන්ති යන වචනය භාවිත වන බව ඉහතදී දක්වන ලදී. මව විසින් දරුවකුට දිය යුතු හොඳම දේ මව් කිරිය. ඉන් දරුවාට මනා පෝෂණයක් ලබාදෙයි. දරුවා නීරෝගීමත් කරයි. නූතනයේ ඇතැම් මව්වරු තමන්ගේ රූප සම්පත්තිය පිළිබඳ සිතමින් දරුවන්ට කෘතීම කිරි ලබාදීම නිසා මව සහ දරුවා අතර ඇති බැඳීම දුරස් වී ඇත. බොහෝ දරුවන් මේ නිසා රෝගී වී ඇත.

මව විසින් තම ඇකයෙහි දරුවා තබා ගනිමින් කිරි ලබා දීමේදී දරුවාට මවගේ මව් උණුසුම ලැබෙයි. මව දරුවාගේ අඟපසඟ පිරිමදියි. එමගින් දරුවාට කායික මානසික සුවයක් ඇති කරයි. එසේම දරුවා හඬන විට නැළවිලි ගීයෙන් දරුවා නළවයි. එමඟිින් දරුවාට මානසික සතුටක් ලබාදෙයි. එමගින් දරුවාට මනා පෞරුෂයක් ගොඩනඟා ගැනීමට රුකුලක් ඇතිවේ. බුදු රජාණන් වහන්සේ

ථන ඛීරෙන ගීතෙන - අංග පාපූරෙන ච
රොදන්තං පුත්තං තොසෙති - තොසෙන්ති වුච්චති.

යනුවෙන් දේශනා කරන ලද්දේ ඉහත කාරණයයි. පුත්‍ර ප්‍රේමය තරම් සමාන තවත් දෙයක් නැති තරම්ය.

නත්ථි පුත්තා සමං පෙමං යන දේශනාවෙන් සඳහන් වන්නේ ද මව්පියන්ට ඇති එකම සම්පත දරු සම්පත නිසාවෙනි. එසේම දරුවන් නිසා ඇතමකු සතුටු වන්නේත් දුක් වන්නේත් එම දරුවන්ගේ ක්‍රියාකලාපයන් නිසා ය. දරුවන් නිසා දුක් නොවී සතුටු වීමට නම් තම දරුවන් මනාව පෝෂණය කළ යුතුය. සිඟාලෝවාද සූත්‍රයේදී ඒ බැව් කාරණා පහකින් පෙන්වා දෙයි. එනම්

පාපා නිවාරෙන්ති
කල්‍යාණෙ නිවෙසෙන්ති
සිප්පං සික්ඛාපෙන්ති
පතිරූපෙන දාරෙන සංයොජෙන්ති
සම්මා දායජ්ජං නියොජෙන්ති

යනුවෙනි. මෙම යුතුකම් මව්පියන් තම දරුවන් වෙනුවෙන් සිදුකරන්නේ නම් මව්පියන්ට තම දරුවන් කෙරෙහි ශෝක වීමක් සිදු නොවේ. වර්තමානයේ ඇතැම් දෙමව්පියන් තම දරුවන්ගේ යුතුකම් ඉටු නොකොට පසු තැවෙති. ඒ නිසා සමාජයේ බහුතරයක් අයහපත් ක්‍රියා කලාපයන්හි නියැළීමට හේතු වී ඇත.

බුදු දහමට අනුව යහපත් කායික මානසික නිරෝගීතාවයෙන් යුතු ක්‍රියාකාරී දරු පරපුරක් බිහිකර ගැනීම පිණිස දෙමාපියන් දරුවෙකු බිහි කිරීමට සිත් වූ දිනයේ සිට ඇප කැප විය යුතුය. එවිට දරුවන් නිසා දුක් වීමට සිදුවන්නේ නැත.

  බක් පුර පසළොස්වක 

 අප්‍රේල් 26 සඳුදා අපර භාග 12.44 පුර පසළොස්වක ලබා 27 අඟහරුවාදා පූර්ව භාග 09.01 ගෙවේ.
සඳුදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

අප්‍රේල් 26

Second Quarterඅව අටවක

මැයි 03  

Full Moonඅමාවක

මැයි 10

First Quarterපුර අටවක

මැයි 19

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]