[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

රිදී නඟුලකින් මායිම් සලකුණු කළ බිමේ ඉදිවූ ලෝවාමහාපාය

රිදී නඟුලකින් මායිම් සලකුණු කළ බිමේ ඉදිවූ ලෝවාමහාපාය

මිහිඳු මහ රහතන් වහන්සේ මහමෙවුනාවේ මහා සීමාව පිහිටුවා අටමස්ථානයන් සලකුණු කරමින් “මහා මූචල මාලක“ නම් ස්ථානයේ දී මල් මිටක් පතිත කළේ යැයි සඳහන් වේ. එම මල් පතිත වූ ස්ථානයේ දී මහා සංඝයා වහන්සේ රැස්ව විනයකර්ම සිදු කරන උපෝසථාගාරයක් අනාගතයේ දී පිහිටවන බව දේවානම් පියතිස්ස රජතුමාහට පවැසූ බව සඳහන් වේ.

දේවානම් පියතිස්ස රජතුමා එම බිම්කඩෙහි රිදියෙන් කළ නගුලකින් හාරා මායිම් සලකුණු කළ බව ඉතිහාසයේ සඳහන් ය. මිහිඳු මහ රහතන් වහන්සේගේ උපදෙස් පරිදි අනාගතයේ දී තම මුණුබුරෙකු වන්නා වූ දුටුගැමුණු නම් රජතුමා විසින් මෙහි ලෝවාමහා ප්‍රාසාදයක් කරවන බව රන්පතක සටහන් කොට මාළිගාවේ තැන්පත් කොට තැබුවේ ය. මිහිඳු මහ රහතන් වහන්සේ විසින් වදාළ මෙම අනාවැකිය ඒ පරිද්දෙන් රජ මැදුරෙහි කරඬුවක බහාලන ලද රන්පතෙහි ලියා තිබූ සටහන අනුව මෙම ලෝවා මහාපාය ගොඩනැංවූ බව මහා වංශයේ සඳහන් වේ.


ප්‍රතිසංස්කරණයට පෙර පැවැති ආකාරය

“මා විසින් දිව්‍ය විමානයක් සදිසි මහා ප්‍රසාදයක් කරවන්නෙමියි පවසා, සැලසුමක් ලබා දුන මැනවැ‘යි දුටුගැමුණු මහ රජතුමා මහා සංඝරත්නයට සැළ කර සිටි බව සඳහන් වේ. රහතන් වහන්සේලා අට නමක් තව්තිසා දෙව්ලොවට වැඩම කොට එහි “භරණී“ නම් දිව්‍යාංගනාවගේ රත්න ප්‍රාසාදය නම් නව මහල් දිව්‍ය විමානය දැක එහි සැලැස්ම සිවුරක් මත සටහන් කරගෙන පැමිණි බව මහාවංශය සඳහන් කරයි.

දුටුගැමුණු රජතුමා විසින් ශෛලමය කුළුණු දහස් ගණනක් මත රියන් 100 ක් උස රියන් 100 ක් පළල මහල් නවයකින් යුතුව එක් එක් මහලේ රිදියෙන් නිමවන ලද කුළුගෙවල් එනම් කූටාඝාර 100 බැගින් සහ ගබඩා දහසකින් සමන්විතව රන්, රිදී, මැණික්, ආදියෙන් ඉතා අලංකාර දිව්‍ය විමානයක් ලෙසට චතුරශ්‍රාකාර වූ මහා ප්‍රාසාදයක් කර වූ බව වංශ කතාවන් හි සඳහන් වේ. එහි පියස්සට තඹ උළු සෙවිලි කරන ලද බව ද සඳහන් වේ. එහෙයින් එය ලෝවා මහා ප්‍රාසාදය නම් වූ බව සඳහන් වේ.

මෙම මහා ප්‍රාසාදයෙහි බිම් මහල මධ්‍යයේ ඇත් දළින් නිම කළ ආසනයක් සහිත අලංකාර මණ්ඩපයක් වූ බව සඳහන් වේ. ප්‍රාසාදය නා නා විධ කැටයම්, මූර්ති, අෂ්ට මංගල මාලාකර්ම, පබළු, ලතාකර්ම, සිව්පා පන්ති මෙන් ම බිතු සිතුවම්වලින් අලංකාර වූ බව ද සඳහන් ව ඇත. මෙම වටිනා වස්තූන්ට අමතරව මෙම මහා ප්‍රාසාදය ගොඩනැඟීමට කහවනු කෝටි තිහක් පමණ වැය වූ බව ද කියැවෙයි. මහා වංශයේ සඳහන් වන ආකාරයෙන් ලෝවාමහාපායේ දිග, පළල, සහ උස රියන් දහස බැගින් එනම් අඩි 1500ක් පමණ වූ බව ද සඳහන් ය.

මෙම නව මහල් ප්‍රාසාදයේ පළමු මහල පෘථග්ජන භික්ෂූන් වහන්සේ සඳහා ද, දෙවැනි මහල ති‍්‍රපිටකධර භික්ෂූන් වහන්සේ වෙනුවෙන් ද, තෙවෙනි, සිව්වැනි සහ පස්වැනි මහල් සෝවාන් සකෘදාගාමී සහ අනාගාමී ආර්යයන් වහන්සේ සඳහා ද වෙන් කර තිබූ බවත්, පස්වැනි මහලේ සිට නමවන මහල දක්වා රහතන් වහන්සේලා වෙනුවෙන් වෙන් ව තිබූ බවක් ද සඳහන් ව ඇත.

මේ අනුව ලෝහ ප්‍රාසාදය පන්සලක් විය. මෙහි බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් තැන්පත් කර තිබූ අතර, එම ප්‍රතිමා වහන්සේට භික්ෂූන් වහන්සේ වන්දනා මාන කළ බව ද සඳහන් ව ඇත. ඒ අනුව එය බුද්ධ මන්දිරයක් වේ. භික්ෂූන් වහන්සේලාගේ විනය කර්ම ආදියට අවශ්‍ය විනය ග්‍රන්ථ ඇතුළු ති‍්‍රපිටක ග්‍රන්ථ තැන්පත් කළ පොත් ගුලක් විය. එසේ හෙයින් එය ධර්ම භාණ්ඩාගාරයකි. මේ අනුව බුද්ධ, ධම්ම, සංඝ යන තුනුරුවන ම වැඩ විසූ විනය කර්මාර්ග උත්තරීතර පෝය ගෙයකි. මෙසේ බලන කල එය වැඳිය යුතු, පිදිය යුතු පූජනීය ස්ථානයක් ලෙස පෙන්වා දිය හැකිය. වර්තමානයේ දී ඉදිකරන ලද තනි මහලේ කුඩා උපෝසථාගාරයක් සෙල් කණු මත තිබේ. එහි ද ති‍්‍රවිධ රත්නය ම එනම්, බුද්ධ, ධම්ම, සංඝ රත්නය ම වැඩ වෙසෙති.

ලෝවා මහා පාය සමීපයේ මුතුපබඵ, අෂ්ටමංගල වස්තු, ලියවැල්, සිව්පා පන්තියෙන් අලංකාර වූ මණ්ඩපයක් ද වූ බව සඳහන් වේ. එනම් රැස්වන භික්ෂූන් වහන්සේලාට උපෝසථඝරය ඉඩකඩ ප්‍රමාණවත් නොවූ කල භාවිත කළ හැකි සේ මුඛ මණ්ඩපයක් එනම් ඉස්තෝප්පුවක් විය යුතු යැයි ද සැලකේ.

ලෝහ ප්‍රාසාදය සමීපයේ අම්බලට්ඨිකා‘ හා ‘පංදනිකාය මණ්ඩල පාය“ නමින් ප්‍රාසාද එනම් මණ්ඩප දෙකක් තිබූ බවත් ලෝහ ප්‍රාසාදයට නැගෙනහිරින් පිහිටි අම්බට්ඨිකා මණ්ඩපයේ දීඝභාණක භික්ෂූන් විසින් සූත්‍ර ධර්ම සජ්ඣායනා කළ බවත්, පංචනිකාය මණ්ඩපයේ භික්ෂූන් වහන්සේ සංගායනා පැවැත් වූ බවත් ඒ වගේ ම නිකාය ග්‍රන්ථ සජ්ඣායනය කළ බවත් සඳහන් ව ඇත.

සද්ධාතිස්ස රාජ්‍ය පාලන සමයෙහි මෙම මහාපාය ආලෝකවත් කළ පහනක් පෙරැළී ලෝවාමහාපාය ගිනිගත් බව කියැවෙයි. සද්ධාතිස්ස රජු එය සත්මහල් කොට යළිත් තැනවූයේ යැයි සඳහන් වේ. සියක් අවුරුද්දකට පසුව භාතිකාභය රජතුමා විසින් එය පිළිසකර කරවූ බව සඳහන් ය. පළමුවෙනි සිරිනාග රජතුමා එය පස් මහල් කොට සෑද වූ බව ද කියැවේ. දෙවන සිරිනාග රජුගේ පාලන සමයේ ද නැවතත් මහා ප්‍රාසාදය ගිනිගත් බවක් ද, නැවතත් ප්‍රතිසංස්කරණය කෙරුණ බව ද සඳහන් වේ. එසේ වූව ද ජෙට්ඨතිස්ස රජතුමා නැවතත් ප්‍රාසාදය සත් මහල් කරවූ බව ද සඳහන් ය. කි‍්‍ර .ව. 276 ත් 303 ත් අතර කාලය තුළ රජ කළ මහසෙන් රජතුමා සිය පාලන සමයේ මුල් කාලයේ දී මහායානික සංඝයා වහන්සේගේ බස් අසා මහා විහාරවාසී භික්ෂූන් කෙරෙහි උරණවී ලෝවාමහා පාය විනාශ කොට, පවුරු පදනම් පවා මුලිනුපුටා දැම්ම වූ බව සඳහන් වේ. එපමණකින් නොනැවතී රජතුමා මහා ප්‍රා‍සාදයට අයත් ගොඩනැගිල්ල තිබූ භූමිය පවා යකඩ නඟුලින් සාවා උඳු වැපිරවීමට ද කටයුතු කළ බව ද සඳහන් ව ඇත්තේ ය.

එසේ සිදු වූව ද කීර්ති ශී‍්‍ර මේඝවර්ණ රජතුමා ක්‍රි : ව. 303-331 අතර කාලයේ දී විනාශ වූ ගොඩනැගිල්ල යළි ගොඩනංවන ලද බව සඳහන් ය. ඉන්පසුව ධාතුසේන රජතුමා ද, පළමුවන හා සිව්වන අග්‍රබෝධි රජවරුන් ද, මානවම්ම රජතුමා ද, ලෝවා මහාපාය රැකගැනීමට කටයුතු කර ඇත. ඉන් පසු රජ කළ පළමුවැනි සේන රජතුමාගේ කාලයේ දී මෙරට ආක්‍රමණය කළ දකුණු ඉන්දීය පාණ්ඩ්‍යයන් නිසා ලෝවා මහා පායෙහි විනාශය නැවතත් සිදුවිය. එසේ වූව ද, දෙවන සේන රජු නැවතත් පිළිසකර කොට ඒ තුළ ස්වර්ණමය බුද්ධ ප්‍රතිමාවක් ද තැන්පත් කළ බව සඳහන් ය. ඉන් අනතුරුව ලෝවා මහා පාය රැකගැනීමෙහි කටයුතු සිදු කළ රජවරුන් අතර පස්වන කාශ්‍යප රජතුමා, සිව්වන මහින්ද රජතුමා ද වූ බව සඳහන් ව ඇත.

නැවතත් ලෝවාමහාපාය විනාශ මුඛයට ඇද වැටුණේ ද, අනුරාධපුර නගරය කොල්ල කෑමට ලක් වූයේ ද, එසමයෙහි වූ සොළීන්ගේ ආක්‍රමණය හේතුවෙනි. එතැන් සිට අනුරාධපුර නගරය වල් බිහි වන්නට වූ බව ද සඳහන් ව ඇත. එසේ වූව ද ක්‍රි : ව. 1153 – 1186 අතර කාලය තුළ රජ කළ පරාක්‍රමබාහු නම් ශ්‍රේෂ්ඨ රජු මෙම පුණ්‍ය ගොඩනැඟිල්ල ටැම් 1600 නැවතත් ස්ථාපනය කළ බව සඳහන් ය. ඒ එක් පෙළකට මහා ගල් කණු 40 ක් බැගින් පේළි 40 කි. එපමණකින් නොනැවතුණ පරාක්‍රමබාහු රජතුමා එහි ඉදිකිරීම් ද අඩකින් නිම කළ බව සඳහන් ය. වර්තමානයේ අපට දැක ගැනීමට ඇත්තේ ද එම ස්තම්භයන් ය.

  නවම් අමාවක 

මාර්තු 12 සිකුරාදා අපරභාග 15.02 අමාවක ලබා 13 සෙනසුරාදා අපරභාග 15.50 ගෙවේ.
සිකුරාදා සිල්
 

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මාර්තු 12

First Quarterපුර අටවක

මාර්තු 21

Full Moonපසළොස්වක

මාර්තු 28

Second Quarterඅව අටවක

අප්‍රේල් 04  

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]