[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මහාචාර්ය අත්තංගනේ රතනපාල නා හිමියෝ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අධිකරණ නායක ධූරයෙන් පිදුම් ලබති

මහාචාර්ය අත්තංගනේ රතනපාල නා හිමියෝ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අධිකරණ නායක ධූරයෙන් පිදුම් ලබති

නිකායේ ධර්ම විනයධර මහා ස්වාමීන් වහන්සේලා වශයෙන් නිකාය ඉතිහාසයෙහි සම්භාවනීය පෞරුෂයන් සහිත වූ ඉඳුරුවේ උත්තරානන්ද මාහිමියන් වහන්සේගේ පා සෙවනෙහි වැඩී, පොත්තේවෙල පඤ්ඤාසාර මාහිමි, බටුවිට නන්දාරාම නාහිමි, හේන්පිටගෙදර ඤාණාවාස නාහිමි, ගාල්ලේ ඤාණෝභාස නාහිමි, වේවැල්දෙණියේ මේධාලංකාර මා හිමි, බද්දේගම විමලවංස නාහිමි, කබලෑවේ පියභාරතී නාහිමි යන ස්වාමීන් වහන්සේලාගේ ආශ්‍රයෙන් උන්වහන්සේලාගේ කටයුතුවලට සහභාගී වෙමින් ගුරුහරුකම් ලබමින් ද, මෑත කාලීන විලපිටියේ ඤාණාවාස නාහිමි,කහවන්දල පඤ්ඤාවංස නාහිමි, ගිරාඹේ ආනන්ද නාහිමි, බලංගොඩ පඤ්ඤාවංස නාහිමි, වරාගොඩ පේමරතන නාහිමි ආදී සම්භාවනීය ස්වාමීන් වහන්සේලාගේ ගෞරවයට හා ප්‍රසාදයට පත්ව, ස්වකීය පැවිදි ජීවිතය, ධර්ම විනය, ශබ්ද ශාස්ත්‍ර ඥානයෙන් හා භික්ෂු ප්‍රතිපදාවෙන් හා ආකල්ප සම්පත්තියෙන් පෝෂණය කොටගත් වර්තමාන භික්ෂු සමාජයේ තුන් නිකායෙහි ම ගෞරවයට හා සම්භාවනාවට පාත්‍රව කටයුතු කරන, වර්තමාන ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙහි අධිකරණ නායක මහාචාර්ය, රාජකීය පණ්ඩිත අත්තංගනේ රතනපාල හිමියන් 1953 වසරේ උපත ලබා, 1968 වසරේ පැවිදිව 1974 උපසම්පදා භූමියට පත් ව ඇත. උන්වහන්සේගේ ආචාර්යයන් වහන්සේලා වන්නේ කුලියාපිටිය, දියකළමුල්ල ශ්‍රීපති පිරිවෙන් විහාරාධිපතිව වැඩ සිටි වෙරළුගම රතනජෝති ස්වාමීන්ද්‍රයන් වහන්සේ හා පණ්ඩිත මහවැව සුදස්සී ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය.

නිකායාභිවෘද්ධියට හා ශාසන චිරස්ථිතියට අදාළව සුවිශාල සේවාවක් සිදු කොට ඇති උන්වහන්සේ, විහාරස්ථාන 25 ක් ඇති කොට ඒවායෙහි අනුශාසකත්වය දරමින් කටයුතු කරති.

උපසම්පදා භික්ෂූන් වහන්සේ 50 නමක් ඇතුලු 120 නමක් පමණ ශිෂ්‍ය පිරිසක් ඇති කළ ආචාර්යවරයාණ කෙනකු ද වෙති. එසේම සම්බුද්ධ ශාසනයටත්, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායටත්, සමාජයටත් සුවිශාල සේවාවක් සිදු කරන මහා ලේඛකාධිකාරීන් වහන්සේ ඇතුළු සම්භාවනීය පැවිදි සහෝදර පිරිසක් ද වෙති.

කුඩා කල ම ප්‍රාචීන භාෂා ශාස්ත්‍ර හදාරා ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගමේ රාජකීය පණ්ඩිත උපාධිය ලබාගත් උන්වහන්සේ උපසම්පදාපේක්ෂක පරීක්ෂණයෙන්, නිකායේ ත්‍රිපිටක විශාරද පරීක්ෂණයෙන් ද ප්‍රථම ස්ථානය ලබා සමත් ව ඇත.

බුද්ධ ශ්‍රාවක විශ්වවිද්‍යාලයේ පස් අවුරුදු පාඨමාලාව අවසන් කොට ත්‍රිපිටකවේදී (ගෞරව) උපාධිය, පළමු පෙළ ප්‍රමුඛයාව සමත්ව ඇත. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී ගෞරව (බටහිර දර්ශනය) ප්‍රමුඛයා ලෙස ද කැලණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපති පරීක්ෂණයෙන් ප්‍රමුඛයා ලෙස ද සමත්ව ඇත.

අනුරාධපුර බුද්ධ ශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලයේ දර්ශන අංශයේ කථිකාචාර්යවරයෙකු වශයෙන් කටයුතු කර ඇති උන්වහන්සේ රාජාංගන ශ්‍රී සුදර්ශන මහ පිරිවෙනෙහි ප්‍රථම පරිවේණාධිපතීන් වහන්සේ ද වෙති. අනතුරුව බුද්ධ ශ්‍රාවක ධර්ම පීඨ භික්ෂු විශ්වවිද්‍යාලයේ අංශාධිපති, මහාචාර්ය, පීඨාධිපති, නිසි බලධාරී තනතුරු ද දරමින් විසි වසරක් භික්ෂු උසස් අධ්‍යාපනය වෙනුවෙන් කැපවී ක්‍රියා කොට ඇත.

නිකායේ පරියත්ති සංවර්ධන සභාව මඟින් පවත්වන සියලු ත්‍රිපිටක පරීක්ෂණයන්ට පෙනී සිට ගෞරව සාමාර්ථ සහිතව ප්‍රථම ස්ථානය ලබා ඇති උන්වහන්සේ විනයාචාර්ය, සද්ධර්මාචාර්ය, අභිධර්මාචාර්ය (ත්‍රිපිටකාචාර්ය) පරීක්ෂණ සඳහා ද 1977 වර්ෂයේ දී විනය විශාරද, සද්ධර්ම විශාරද, අභිධර්ම විශාරද (ත්‍රිපිටක විශාරද) පරීක්ෂණ සඳහා 1978 වර්ෂයේ ද පෙනී සිට ප්‍රථම පන්තියේ ප්‍රමුඛයාව ගෞරව සාමාර්ථ ලබා ඇත.

නිකාය මූලස්ථානය ගොඩනැඟීමේ දී ද මූලිකව කටයුතු කළ උන්වහන්සේ නිකාය මූලස්ථාන පාලක සභාවේ ලේකම් ධුරය ද දරති. එසේම නිකායේ ත්‍රිපිටක අධ්‍යාපන මණ්ඩලයේ ද ලේකම් ධූරය දරන උන්වහන්සේ නිකායේ ත්‍රිපිටක ධර්මාධ්‍යාපන ආයතනය ද පවත්වාගෙන යමින් සම්බුද්ධ ශාසනයට මහ මෙහෙවරක් සිදු කරති.

1988 වර්ෂයේ පටන් වසර 32 ක් නිකායේ ක්‍රියාකාරී භික්ෂූන් වහන්සේ නමක් වශයෙන් නිකායාභිවෘද්ධියට ද ශාසන චිරස්ථිතියට ද කටයුතු කර ඇති උන්වහන්සේ ධර්ම විනයානුගත සංඝාධිකරණ පද්ධතියක් පවත්වාගෙන යමින් ශාසනික ගැටලු අවම කිරීම සඳහා සුවිශේෂී කැපවීමක් කළ ස්වාමීන් වහන්සේ නමකි. අධිකරණ ක්ෂේත්‍රයෙහි පුළුල් අත්දැකීම් සම්භාරයක් ඇති උන්වහන්සේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අතිපූජ්‍ය අධිකරණ නායක ධූරයට පත්ව සිටිති. උන්වහන්සේට ඒ පිළිබඳ අක්ත පත්‍ර ප්‍රදානය අද දින සවස 4.00 ට අනුරාධපුර රුවන්වැලි මහ සෑ මළුවේ දී සිදු කිරීමට නියමිත ය.

****

සංඝ ශෝභන ගුණයන්ගෙන් උපශෝභිත මහ තෙර නමකි

ශ්‍රී සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 237 ක් ගිය තැන ධර්මාශෝක මහාධිරාජයාගේ උදාරතර ධර්මවිජය ප්‍රතිපත්තියේ ප්‍රතිඵලයක් ලෙස මහා මහින්ද මහරහතන් වහන්සේ ලක්දිව ශ්‍රී සම්බුද්ධ ශාසනය ප්‍රතිෂ්ඨාපනය කළ තැන් පටන් උතුම් වූ ශ්‍රී සද්ධර්මය එහි මෞලික ස්වරූපයෙන් ආරක්ෂා කර ගැනීමට ශ්‍රී ලාංකේය මහතෙරවරු අප්‍රතිහත වීර්යයෙන් කටයුතු කළහ. ඒ ඒ යුගවල දී උද්ගත වුණු නානාවිධ සාමාජීය හා ශාසනික විපරිතයන් ශ්‍රද්ධා සම්පන්න මහ රජ දරුවන් ගේ අනුග්‍රහය ද ඇතිව ව්‍යුපසමනය කරමින් ශ්‍රී ලංකාද්වීපය ථේරවාදී ධර්ම කෝෂ්ටාගාරය ලෙස සකල බෞද්ධ ලෝකයා ගේ චිර සම්භාවනාවට පාත්‍ර කිරීමට ලාංකේය ශාසනභාරධාරී මහතෙරවරු කටයුතු කළහ.

ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරස්තිථිය උදෙසා කාලානුරූපී ව ඇති වූ සාමාජීය හා ශාසනික අවශ්‍යතාවන් සැලකිල්ලට ගනිමින් සංඝ සම්මුතියෙන් ඇති කරගන්නට යෙදුණු ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය අද්‍යතන ශ්‍රී ලාංකේය ශාසනාභිවර්ධනයෙහිලා සුවිශාල ශාසනික මෙහෙවරක් සිදු කරයි. සිය ආදි කර්තෘවරයාණන් වහන්සේලාගේ සුසමාදර්ශී ශාසන මාර්ගය අනුගමනය කරමින් කටයුතු කරන මහාචාර්ය අත්තංගනේ රතනපාල නායක ස්ථවිරපාදයන් පරෝපවාද විරහිත ව සංඝ ශෝභන ගුණයන්ගෙන් උපශෝභිත ව නිකායේ නොයෙක් ඨානාන්තරයන් ගේ වගකීම් උසුලමින් සිදු කරනු ලබන උදාර ලෝක ශාසනික සේවය ප්‍රශංසර්හ ය.

අත්තංගනේ රතනපාල නායක ස්ථවිරපාදයන් වහන්සේ ජාතික, ආගමික, සංස්කෘතික වශයෙන් නිසි තීරණ ගැනීමට නොපසුබට ව කටයුතු කරන හිමිනමක් ලෙස ප්‍රකට ව සිටිති.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අභිනව අධිකරණ නායක ධූරයට පත් මහාචාර්ය අත්තංගනේ රතනපාල නායක ස්ථවිරපාදයන්ට අපගේ ශුභාශිර්වාදය ප්‍රකාශ කරන අතර උන්වහන්සේට ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදයෙන් ආයුරාරෝග්‍ය සම්පත්තිය උදාවේවායි ආශිංසනය කරම්හ.

****

ධර්මධර විනයධර මහා ස්ථවිර නමකි

“ඒතදග්ගං භික්ඛවේ මම සාවකානං භික්ඛූනං රත්තඤ්ඤුතානං යදිදං අඤ්ඤාකොණ්ඩඤ්ඤො” යනුවෙන් වදාළ පරිදි තථාගත බුදුපියාණන් වහන්සේ ජීවමාන අවධියේ ම තම ශ්‍රාවකයින් වහන්සේලාගේ විවිධ කුසලතා සැලකිල්ලට ගෙන ශාසනික ඨානාන්තර පත් කළ බව ඒතදග්ග පාලියේ මොනවට හැඳින් වේ. මෙම ශාසනික ඨානාන්තර පත් කිරීම පූර්වාදර්ශය කොට ලංකා ශාසන ඉතිහාසයේ පොලොන්නරු රාජධානි සමයේ මහාසාමි තනතුර හෙවත් සංඝරාජ තනතුර ආරම්භ වූ අතර, මහනුවර රජ සමය දක්වා ම එම සම්ප්‍රදාය නො නැසී පැවති බව ශාසන ඉතිහාසය තුළ ප්‍රකට කරුණකි. කීර්ති ශ්‍රී රාජසිංහ රජ සමයේ උභය මහා විහාරයන් සඳහා මහානායක, අනුනායක ඨානාන්තර පිරිනැමීම සිදු කළේ ද මෙකී සම්ප්‍රදාය ගරු කරමිනි.

අතිගරු මකුලෑවේ ශ්‍රී විමලාභිධාන අභිනව මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ මහානායක පදවියට පත්වීමෙන් පුරප්පාඩු වූ මෙම අධිකරණ නායක පදවියට ධර්මධර, විනයධර මහා ස්ථවිර නමක් වන ආචාර්ය අත්තංගනේ රතනපාල ස්ථවිරපාදයන් වහන්සේ පත්කර ගැනීම රාමඤ්ඤ මහා නිකායේ භික්ෂූන්ට පමණක් නොව, අප කාටත් බලවත් සතුටට හේතුවකි. මෑත කාලයේ වැඩ සිටි රාමඤ්ඤ මහා නිකායේ කීර්තිමත් යතිවරයන් වහන්සේලා රාශියක ගේ ඇසුරෙන් ප්‍රගුණ කරගත් ධර්ම, විනය, ශබ්ද ශාස්ත්‍ර පමණක් නොව නිකායික සම්ප්‍රදායන් ද මනාලෙස පුරුදු පුහුණු කර ඇති මුන්වහන්සේ ප්‍රාචීන පණ්ඩිත උපාධියත්, විශ්වවිද්‍යාල අධ්‍යාපනය තුළින් ආචාර්ය උපාධියත් ලබාගත් යතිවරයාණන් වහන්සේ නමක් වෙති. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අභිනව අධිකරණ නායක පදවියෙන් පිදුම් ලබන මහාචාර්ය අත්තංගනේ රතනපාල අධිකරණ නායක ස්ථවිරපාදයන් වහන්සේට රත්නත්‍රයේ අනන්ත ගුණ බලයෙන් හා උතුම් දළදා සමිඳු පිහිටෙන් නිදුක් නිරෝගී බව හා චිරජීවනය ලැබේවායි සුභාශිංසනය කරම්හ.

****

සසුනටත් සමාජයටත් සෙත සැලසූ කීර්තිමත් හිමි නමකි

1953 වර්ෂයේ දී ජන්ම ලාභය ලබා ඇති උන්වහන්සේ සාසන ප්‍රවෘජ්‍යාවෙන් 53 වසරක් ද, උපසම්පත්ති ප්‍රතිලාභයෙන් වසර 47 ක් පමණ ද ඉක්ම වූ ඉතාම ඉහළ දැන උගත්කමින් ද, සංඝසෝභන ගුණයෙන් ද යුතු මහතෙර නමකකි. එම යහපත් ගමනෙහි පෙර ලකුණු පළකරමින් මෙම ගරු රතනපාල නායක ස්ථවිරයන් වහන්සේ ස්වනිකායික පරියත්ති සංවර්ධන සභාව මඟින් පවත්වනු ලබන ත්‍රිපිටක පරීක්ෂණයන්ට පෙනී සිටිමින් ත්‍රිපිටකාචාර්ය හා ත්‍රිපිටක විශාරද යන එම දැනුමට සරිලන වූ උසස් ගෞරව නාමයන්ගෙන් ද සම්භාවනාවට පාත්‍ර වීම විශේෂයෙන් ම සඳහන් කළ යුත්තකි.

1993 වර්ෂයේ දී නිකායේ කාරක සංඝ සභික ධූරයට ද, ජෙට්ඨානුවිජ්ජක, උපරිමානුවිජ්ජක, ප්‍රතිපත්ති සංවර්ධන සභා ලේඛක, අධිකරණ ලේඛකාධිකාරී ධූරයන් හෙබ වූ, ශාසනික මෙන්ම නිකායික වශයෙන් ඉතා වැදගත් තනතුරක් වන මෙම අධිකරණ නායක පදවියට අභිනවයෙන් පත්වන ගරු රතනපාල නායක ස්ථවිරයන් වහන්සේට තව තවත් ලෝක ශාසනික සේවාවන් සිදු කරනු වස් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගි සුව දිගාසිරි වේවායි ඉත සිතින් ප්‍රාර්ථනා කරම්හ.

****

ශාසන චිරස්ථිතිය වෙනුවෙන් කැපවීම ප්‍රශංසනීයයි

දියකලමුල්ල ශ්‍රීපත් පිරිවෙන් විහාරාධිපති ව වැඩ විසූ, ගෞරවාර්හ දිසාපාලක ධූරින් වෙරළුගම ශ්‍රී රතනජෝති නාහිමිපාණන් වෙතින් මූලික පැවිදි අධ්‍යාපනය ලබා, අනුරාධපුර බුද්ධ ශ්‍රාවක ධර්ම පීඨ භික්ෂු විශ්වවිද්‍යාලයෙන් හා රටේ ජාතික විශ්ව විද්‍යාල කීපයකින් ම උසස් අධ්‍යාපන ශික්ෂණයක් ලැබූ උන්වහන්සේ පරිවේණාචාර්යවයකු, පරිවේණාධිපතිවරයකු මෙන් ම විශ්ව විද්‍යාල ආචාර්යවරයකු ලෙස ද කටයුතු කළ, මහාචාර්ය පදවියකින් ද සම්මානිත ශ්‍රේෂ්ඨ පැවිදි පඬිරුවනකි. තම ආචාර්ය පාදයන් වහන්සේ නමක් වන කාරක සංඝ සභික පූජ්‍ය පණ්ඩිත මහවැව සුදස්සි ස්වාමීන්ද්‍රයන් වහන්සේ ගේ ජාතික, ආගමික, අධ්‍යාපනික හා ශාසනික සේවාවේ නිරත වූ අප රතනපාල නායක ස්ථවිරපාදයන් වහන්සේ, විහාරස්ථාන විසි පහක් පමණ ගොඩනැඟීමට ද, ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා සියයකට අධික පිරිසක් ශාසනයට දායාද කිරීමට ද ක්‍රියා කළ ධෛර්ය සම්පන්න දූරදර්ශී හිමි නමකි. භික්ෂු ප්‍රතිපත්ති වර්ධනයෙහි මෙන් ම නිකායාභිවෘද්ධියෙහි ද, ශාසන චිරස්ථිතිය පිණිස උන්වහන්සේ ගේ කැපවීම අතිශයින් ම ප්‍රශංසාර්හ ය.

කලාවැව ප්‍රාදේශීය සංඝ සභාවේ ලේඛකාධිකාරීන් වහන්සේ වශයෙන් නිකායික කටයුතුවලට සම්බන්ධ වූ උන්වහන්සේ කාරක සංඝ සභික, ජෙට්ඨානුවිජ්ජක, උපරිමානුවිජ්ජක, පටිපත්ති ලේඛක, අධිකරණ ලේඛක ආදී තනතුරු දරමින්, නිකායේ මූලික අරමුණු ඉටු කිරීම වෙනුවෙන් කළ ශාසනානුලෝමික, විනයානුකූල කැපවීම නිකායික හා ශාසනික සේවාව ම සලකා උන්වහන්සේ වෙත ශාසන භාරධාරී ප්‍රධාන අධිකාරී පදවියක් පිරිනැමීමට අප නිකායේ කාරක - පාලක සංඝ සභාවන් තීරණය කර ඇත.

අප රතනපාල නායක ස්ථවිරපාදයන් වහන්සේට නිකායේ මහානායක මාහිමියන් වහන්සේ ප්‍රමුඛ කාරක මහා සංඝ සභාවේ ආශීර්වාදයෙන් “අධිකරණ නායක” ශාසනික පදවිය පිළිබඳ අක්ත පත්‍ර ප්‍රදානය සිදුකරන මෙම වැදගත් අවස්ථාවේ අනාගත ශාසනාභිවෘද්ධිය පිණිස රත්නත්‍රයේ ආශීර්වාදය ලැබේවායි ආශිංසනය කරම්හ.

****

නිරෝගී සුවයත් චිර ජීවනයත් ප්‍රාර්ථනා කරමි

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායික කාරක සංඝ සභාව විසින් මහාචාර්ය අතිපූජ්‍ය අත්තංගනේ රතනපාල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත “ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ පූජනීය අධිකරණ නායක ධූරය” ප්‍රදානය කිරීම සතුට දනවන පුවතකි.

අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ ධරමාන සමයේ පටන් ධර්මධර විනයධර භික්ෂූන් වහන්සේ විෂයයෙහි තනතුරු පිරිනැමූ බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ. එකී සම්ප්‍රදාය අනුව යමින් මහාචාර්ය අත්තංගනේ රතනපාල ස්වාමීන් වහන්සේට නිසි ගෞරවය පුද කිරීම පිළිබඳ රාමඤ්ඤ මහා නිකායේ මහානාහිමිපාණන් ප්‍රමුඛ කාරක සංඝ සභාවට ලෝවැසි ලක්වැසි බොදු ජනතාවගේ ප්‍රණාමය හිමි වෙයි.

මහාචාර්ය අත්තංගනේ රතනපාල ස්වාමීන් වහන්සේ ස්ව නිකායික භික්ෂූන් වහන්සේගේ සේ ම සෙසු නිකායික මහා සංඝ රත්නයේ ද ගෞරවයට සහ සම්භාවනාවට පාත්‍රව සිටිති. බුද්ධ ශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලයේ පීඨාධිපති ධූරය ඇතුළු විවිධ තනතුරු හෙබවූ උන්වහන්සේ භික්ෂු උසස් අධ්‍යාපනය වෙනුවෙන් මහත් මෙහෙවරක් ඉටු කළහ. බුද්ධ ශාසන උපදේශක සභාව, ජනාධිපති උපදේශක බුද්ධි මණ්ඩලය ආදි ක්‍රියාකාරකම්හි නිරත මහාචාර්ය අත්තංගනේ රතනපාල ස්වාමීන් වහන්සේ ජාතික, ආගමික ගැටලුවලදී පුරෝගාමීව ක්‍රියා කොට ඇත්තාහ.

මහාචාර්ය රතනපාල නාහිමියෝ උසස් අධ්‍යාපන ආයතන, ජාතික ක්‍රියාකාරී කමිටු උපදේශක සභා ඇතුළු බොහෝ තන්හි තනතුරු දරමින් එකී තානාන්තරවලට ආලෝකයක් වූහ. එහෙයින් අප නාහිමිපාණෝ දෙස් විදෙස් හි සම්භාවනාවට පාත්‍ර වූවා සේ ම විවිධ ගෞරව නාමයන්ගෙන් පිදුම් ලැබූහ.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අභිනව අතිපූජනීය අධිකරණ නායක ධුරයට පත් අප ස්වාමීන් වහන්සේට නිරෝගී සුවයත් චිර ජීවනයත් ප්‍රාර්ථනා කරමි.

  නවම් අමාවක 

මාර්තු 12 සිකුරාදා අපරභාග 15.02 අමාවක ලබා 13 සෙනසුරාදා අපරභාග 15.50 ගෙවේ.
සිකුරාදා සිල්
 

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මාර්තු 12

First Quarterපුර අටවක

මාර්තු 21

Full Moonපසළොස්වක

මාර්තු 28

Second Quarterඅව අටවක

අප්‍රේල් 04  

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]