[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පූජාච පූජනීයානං

විශ්‍රාම දිවියට පත් වන කෝන්ගස්වෙල පියරතන නාහිමිපාණන් වහන්සේ

1978 නොවැම්බර් මස 01 වැනි දින ගැට්ටුවාන මහින්ද පිරිවෙණේ දී පනගම්මන ආනන්ද මංගල නාහිමිපාණන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් හා වැලිවැහැර ඤාණින්ද නාහිමිපාණන්ගේ ආචාර්යත්වයෙන් කෝන්ගස්වෙල පියරතන නමින් පැවිදි වියට පත් විය.

1978 වසරේ සිට 1983 වන තුරු පඬුවස්නුවර වැලිවෙහෙර ශ්‍රී ඤාණෝදය පිරිවෙනින් මූලික අධ්‍යාපනය ලැබූ පියරතන සාමණේරයන් උසස් පෙළ අධ්‍යාපනය හැදැරීමට කුරුණෑගල විද්‍යාරක්ෂක පිරිවෙණට ඇතුළත් විය. 1987 වසර වන විට පිරිවෙන් ගුරුවරයකු වීමේ භාග්‍යයද උදා විය. එම වර්ෂයේ දී ම පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුළත් වූ අතර, 1989 වර්ෂයෙහි ජූලි නම වන දින අලව්ව උදකුක්ඛේප සීමාමාලකයේ දී උන්වහන්සේ උපසම්පදාවට පත් විය.

1992 වර්ෂයේ දී බෞද්ධ අධ්‍යයනය පිළිබඳ තම විශේෂවේ දී උපාධිය ලබාගන්නා පූජ්‍ය කෝන්ගස්වෙල පියරතන හිමියන් 1993 වර්ෂයෙහි දී ජාතික අධ්‍යාපන ආයතනයෙන් අධ්‍යාපන ඩිප්ලෝමාවත් 1995 වර්ෂයෙහි දී ශාස්ත්‍රපති උපාධියත් ලබාගන්නා ලදි. ඉන් අනතුරුව ජපානයෙහි කවඋචි විශ්වවිද්‍යාලයේ ජපන් භාෂාව පිළිබඳ වැඩිදුර අධ්‍යාපනය සිදු කෙරිණි.

1994 වර්ෂයේ දකුණු කොරියාවේ පැවත්වූ ලෝක ආගමික සමුලුවකට සම්බන්ධ වූ පියරතන ස්වාමින් වහන්සේ Concept of evil in Buddhism යන මාතෘකාව යටතේ පර්යේෂණ පත්‍රිකාවක් ඉදිරිපත් කරමින් විද්වතුන්ගේ පැසසුමට පත් විය.

ජපන් භාෂාවෙන් ථේරවාද ධර්මය එරට ව්‍යාප්ත කිරීමට උන්වහන්සේ උත්සාහ ගැනිණි. මේ නිසාම උන්වහන්සේ ජපන් වැසියන්ගේ නොමඳ ගෞරවයට පාත්‍ර විය. දකුණු කොරියාව, ඉන්දියාව, කාම්බෝජය, තායිලන්තය ආදි රටවලට ද තම දායකත්වය උන්වහන්සේ ලබාදී ඇත.

1987 සිට පිරිවෙන් ගුරුවරයෙකු ලෙස ඉමහත් සේවාවක් සිදු කළ කෝන්ගස්වෙල පියරතන නාහිමිපාණන් වහන්සේ, හලාවත සාරානන්ද පරිවෙණේ පරිවේණාධිපති ධූරය ද, කු/ගැට්ටුවාන මහින්ද පරිවෙණෙහි පරිවේණධිපති ධුරය ද, වරකාපොල දොරවක සීලවිමල පරිවෙණේ පරිවේණධිපති ධූරය ද දරා ඇත. එසේම එම පිරිවෙන්වලට මෙන්ම වාරියපොල සූමංගල පිරිවෙණ, හිඳගොල්ල ධර්මාලෝක දන්තුරේ ප්‍රවචනෝදය පිරිවෙණ, ආදියටද උන්වහන්සේ දායකත්වය ලබා දී ඇත. වසර 33 ක් පමණ පිරිවෙන් අධ්‍යාපනය වෙනුවෙන් ඉමහත් ශාසනික මෙහෙයක් සිදු කළ කු/ සරි සංඝරාජ මහ පිරිවෙනේ වත්මන් සම්මාන පරිවේණාධිපති, ශාස්ත්‍රපති පූජ්‍ය කෝන්ගස්වෙල පියරතන නාහිමියන්ට ශතවර්ශාධික කාලයක් සසුනඹර බබළවන්නට හැකිවේවායි ප්‍රාර්ථනා කරමු.

****

සියනෑ අලුත්කුරු දෙකෝරළයේ ප්‍රධාන සංඝනායක පදවි ලබන ගෝනහේනේ විමලානන්ද නාහිමි

කඩවත ඉහළ බියන්විල ශ්‍රී සෝමවර්ධනාරාමාධිපති රණවිරු දිරිය පදනමේ හිටපු සභාපති සාමවිනිසුරු ගෝනහේනේ විමලානන්දාභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත ශ්‍යාමොපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහානායක මාහිමිපාණන් ප්‍රධාන සානුනායක කාරක මහා සංඝ සභාව වෙතින් “මංගල ධර්මකීර්ති ශ්‍රී පේමානන්ද” යන ගෞරව නාමය සහිත සියනෑ අලුත්කුරු දෙකෝරළයේ ප්‍රධාන සංඝනායක පදවිය පිරිනමා ඇත.

ගම්පහ දිස්ත්‍රික්කයේ සියනෑ කෝරළයේ ගෝනහේන නම් රමණීය ගම් පියසේ ප්‍රභූ පවුලක් වූ එස්.කේ. කොරනේලිස් පෙරේරා උපාසක මහතාට හා බී.ඒ. ලුසිනෝනා උපාසිකාවට ලැබුණු පුත් කුමරු වන එස්.කේ. කුලරත්න දරුවා වැඩිවියට පත්වීමෙන් පසු ගෝනහේනේ ප්‍රාථමික විද්‍යාලයට ඇතුළත් කරන ලදී. පාසල් අධ්‍යාපනය ලබන කාලය තුළ ඉහළ බියන්විල ශ්‍රී සෝමවර්ධනාරාමාධිපති මීගොඩ පේමානන්ද මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ කුලුපග දායක පවුලක් වන එස්.කේ. කොරනේලිස් සූරිආරච්චි උපාසක මහතා ඇතුළු පවුලේ සැමගේ ආශිර්වාදය මැද ගමේ විහාරස්ථානයට යෑමට අවස්ථාව උදා වුණි.

එවක් පටන් ලොකු හාමුදුරුවන් වහන්සේගේ සෙවණෙනි පොත්පත් කියවමින් වර්ෂ 1963.10.08 දින උතුම් ප්‍රවෘජ්‍යා භූමියට ඇතුළත් වීමේ පුණ්‍ය මහිමය උදාවුණි. ප්‍රවෘජ්‍යා භූමියේ දී උපාධ්‍යායයන් වහන්සේ ලෙස පෑලියගොඩ විද්‍යාලංකාර මහා පරිවෙණාධිපති කිරිවත්තුඩුවේ පඤ්ඤාසාර නා හිමි හා සපුගස්කන්ද පුරාණ විහාරාධිපති කැන්දලියැද්ද පාළුවේ ඤාණවිමල නාහිමියන් කටයුතු කළහ.

1963 උතුම් පූජ්‍ය භූමියට පත්වීමෙන් පසු ලොකු හාමුදුරුවන් වහන්සේගේ සෙවණෙහි බණ දහම් ප්‍රගුණ කිරීමෙන් පසුව දහම් අධ්‍යාපනය සඳහා මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ මූලික අධ්‍යාපනය සඳහා මඩිහේ පඤ්ඤාසීහ මහානායක මාහිමිපාණන් වහන්සේට භාර දෙන ලදී. එහි වසර කීපයක් අධ්‍යාපනය ලබා උසස් අධ්‍යාපනය සඳහා දෙල්ගොඩ කල්‍යාණ ප්‍රදීප මහ පිරිවෙණට ඇතුළත් වී අධ්‍යාපනය ලබන කාලය තුළ 1973 වසරේ ශ්‍යාමොපාලි වංශික මහා නිකායේ මල්වතු පාර්ශ්වයෙන් අධිශීල සංඛ්‍යාත උපසම්පදාවට පත්වුණි. දෙල්ගොඩ කල්‍යාණ ප්‍රදීප පිරිවෙණේ අධ්‍යාපනය නිමකොට පෑලියගොඩ විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයට බාහිර උපාධිය සඳහා ඇතුළත් විය. මහාචාර්ය කුඹූරුගමුවේ වජිර මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු ආචාර්ය මණ්ඩලයේ ආශිර්වාදය මැද අධ්‍යාපනය ලැබූහ. උන්වහන්සේ එවකට නැගෙනහිර ප්‍රදේශයේ විශේෂ බළකායේ අණදෙන නිලධාරී සහබන්ධු මැතිතුමා සමඟ එක්ව උතුර - නැඟෙනහිර “රණවිරු දිරිය” සංවිධානය ආරම්භ කර එහි සභාපති හිමියන් ලෙස එම ප්‍රදේශයේ වෙහෙර, විහාර, ගම්මාන නැවත නඟා සිටුවීම සඳහා උන්වහන්සේ හිතවත් පින්වතුන්ගේ ආධාර උපකාර හා උන්වහන්සේට ලැබෙන පරිත්‍යාග යොදවමින් භික්ෂු ජීවිතයට ආදර්ශයක් පෙන්නුම් කළහ.

උන්වහන්සේ විසින් සිදුකරන ලද ජාතික, ආගමික, සාමාජික සේවයන් අගයමින් ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහානායක මාහිමිපාණන් වහන්සේ ඇතුලු කාරක සංඝ සභාව මගින් සියනෑ අලුත්කුරු දෙකෝරළයේ ප්‍රධාන සංඝනායක පදවිය පිරිනමා ඇත. ඉදිරියටත් උන්වහන්සේට ලෝක ශාසනික සාමාජික කාර්යයන් ඉටුකිරීමට දළදා හාමුදුරුවන් වහන්සේගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමි.

  දුරුතු අව අටවක 

පෙබරවාරි 04 බ්‍රහස්පතින්දා අපර භාග 12.07 න් අව අටවක ලබා 05 සිකුරාදා පූර්ව භාග 10.07 න් ගෙවේ.
බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 04

Full Moonඅමාවක

පෙබරවාරි 11

First Quarterපුර අටවක

පෙබරවාරි 19

Full Moonපසළොස්වක

පෙබරවාරි 26

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]