[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

දුරුතු අව අටවක 2021.02.04

හදවතින් ම කෘතවේදී වෙමු

දීර්ඝ කාලයක් පුරා, පරම්පරා ගණනාවක් විදේශාධිපත්‍යයේ ග්‍රහණයට හසුව රට, දැය, සමය ආරාජික වෙමින් පැවති අඳුරු යුගය නිමා කරමින් අප මාතෘ භූමියට නිදහස ලැබී වසර හැත්තෑතුනක් සපිරෙන්නේ අද දිනට ය. ශ්‍රී ලාංකේයයන් ලෙස අභිමානවත් ව අද අප විසින් සමරනු ලබන මේ නිදහස අති දීර්ඝ කාලයක් අප වීර මුතුන් මිත්තන්ගේ අප්‍රතිහත ධෛර්යයේ ප්‍රතිඵලයකි. නිදහස වෙනුවෙන් ඔවුන් ගෙන ගිය අරගලය තුළ මේ මහපොළොව ඔවුන්ගේ රුධිරයෙන්, දහදියෙන් අපමණ තෙත් වන්නට ඇත.

ඔවුන් ඒ සා කැප කිරීමක් කළේ රට, ජාතිය, ආගම පිළිබඳ උපන් අප්‍රමාණ ගෞරවාදරය නිසා ය. නිදහස්, නිවහල් ජාතියක් ලෙස තම ජාතියට සිය මාතෘ භූමිය තුළ දෙපයින් සිට ගැනීමට අවකාශ සලසා දීම වෙනුවෙන් ය. ඒ උතුම් කර්තව්‍යයට ඔවුන් වෙනුවෙන් හෘදයාංගම ව කෘතවේදී වීම බෞද්ධයන් ලෙස අපගේ පරම යුතුකම ද වන්නේ ය.

ඔවුන් දිවි පරදුවට තබා අවශ්‍ය මොහොතේ නොබියව නැඟී සිටියේ තම ජාතිය පරගැති බවින් මුදවාලනු පිණිස ය. නිදහසේ තම ආගම අදහන්නට, චාරිත්‍ර ධර්මානුකූල ව ජීවත්වන්නට සංස්කෘතිය රැක ගන්නට අයිතිය ලබා දෙනු පිණිස ය. එය අප අමතක නොකළ යුතු ය. මතකයේ තබා ගත්ත ද ප්‍රමාණවත් නැත. ඔවුන් ලබාදුන් වටිනාකම් රැක ගනිමින් අනාගත පරම්පරාවට ආරක්ෂා කර දීමේ බරපතළ වගකීම ද අප සතු ය.

එදා සමාජයේ පැවැති ආගමික අධ්‍යාපනය තුළ සිංහලයා ඉතා සදාචාර සම්පන්න විය. ගමත්, පන්සලත් අතර වූ අවියෝජනීය සම්බන්ධතාවය ගැමියාගේ මෙලොව ජීවිතයත්, පරලොව ජීවිතයත් සුඛිත මුදිත කරන්නට සමත් විය. එවන් වටිනාකම් රැකදුන් ආරාමික අධ්‍යාපනය විනාශ කරමින් යටත් විජිත පාලකයන් හඳුන්වා දුන් අධ්‍යාපන ක්‍රමය හා සමාජ සංස්කෘතිය තුළ අපේ සාරධර්ම සෝදාපාළුවට යන්නට විය.

මත්වතුරට, ගව මසට ලොබ බඳින තරමට ඇතැම් පිරිස් අපගාමී වූහ. සරල ජීවිතය විනාශ වී සංකීර්ණ අවශ්‍යතා පසුපස හඹා යන්නට වූහ. ස්වර්ණාභරණයෙන් සැරසුණු රුවැති කාන්තාවකට දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා තනිමඟ නිරුපද්‍රිතව යෑමේ හැකියාව හා ඒ සඳහා රැකවරණය එකල සමාජය තුළ නිර්මාණය වී තිබුණි. එහෙත් යටත් විජිතවාදයේ ප්‍රතිඵලයක් ලෙස අපේ ඇතැම් පිරිස් වෙතින් සාරධර්ම ගිලිහී යාම මොන තරම් වර්ධනය වූයේ ද යත් තරුණ කාන්තාවකට තබා වයෝවෘද්ධ කාන්තාවකට මහ මඟ තබා තමන්ගේ ම නිවසේ තනිව සිටින්නට නොහැකි තරම් අනාරක්ෂිත වූ අවස්ථා අපි අසා ඇත්තෙමු. ඒ සදාචාර පරිහානියේ තරම ය.

එදා අනගාරික ධර්මපාලතුමා මත්වතුර නිසා පරිහානියට යන සමාජය දැක නැඟී සිටියේ ගමින් ගමට ගොස් එහි ආදීනව සන්නිවේදනය කරමිනි. වර්තමානය වන විට විවිධ වේශයෙන් මත්ද්‍රව්‍ය ඇතැම් තරුණ දරුවන්ගේ පවා ජීවිත බිලි ගනිමින් සිටී. වෙසෙසින් බෞද්ධ සමාජයකට මේවා අකැප ය. ඇතැම් තැනෙක විනය, ශික්ෂණය නැත. ඇඳුම පැළඳුම පවා අසංවර ය. ඇතැම් ජනයා මෝහයෙන් වෙළී, ලාභය පසුපස ම හැල්මේ දිව යති. ඒ ගමන තුළ ම සංකර සිරිත් විරිත් ය.

අපේ මුතුන් මිත්තන් නිදහස උරුම කර දී බලාපොරොත්තු වූයේ මෙවැන්නක් නොවේ. හෘදයාංගම ව ඔවුනට කෘතවේදී වනවා නම් ඒ යථාර්ථය වටහා ගත යුතුව ඇත. රටත්, ජාතියත්, සමයත් බැබළෙන්නේ ඒ නිවැරැදි මාවතේ ගමන් කළේ නම් ය.

  දුරුතු අව අටවක 

පෙබරවාරි 04 බ්‍රහස්පතින්දා අපර භාග 12.07 න් අව අටවක ලබා 05 සිකුරාදා පූර්ව භාග 10.07 න් ගෙවේ.
බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 04

Full Moonඅමාවක

පෙබරවාරි 11

First Quarterපුර අටවක

පෙබරවාරි 19

Full Moonපසළොස්වක

පෙබරවාරි 26


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]