[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිරිවෙන

පිරිවෙනටත් බුදුසරණ

අප රටේ පුරාතන සම්භාව්‍ය අධ්‍යාපන ක්‍රමය වූ පිරිවෙන මුල් කරගෙන එහි සුවිශේෂී අනන්‍යතාව මේ යැයි විදහා දක්වමින් දිග හැරෙන “පිරිවෙන” පිටුව සතිපතා බුදුසරණ පුවත්පත තුළින් ඉදිරිපත් කෙරෙයි. ඒ අනුව ලංකාවේ 829 ක් වූ පිරිවෙන් හා සීලමාතා අධ්‍යාපන ආයතන පිළිබඳ තොරතුරු පුවත් හා පිරිවෙන් අධ්‍යාපනය හා අදාළ සුවිශේෂී ලිපි සඳහා මෙම පිටුව වෙන් කෙරෙන අතර සියලු ලිපි, තොරතුරු හා ඡායාරූප සඳහා මෙම පිටුව වෙන් කෙරේ.

****

සිව්බඹ විහරණ

බුදු දහම සිත පිළිබඳ ව ඇති වූ දහමක් මිස ලොව අනෙක් රටවල කියන ලෙස ආගමක් යැයි වැරැදි ලෙස පිළිගැනීම උචිත නොවේ. පුරුද්දක් ලෙස 'බුද්ධාගම' යන වචනය සම්භාෂිත කරති. බැඳීම් යන අර්ථයක් ප්‍රකාශවන ‘religion’  යන ඉංගී‍්‍රසි වචනයෙන් ආගම යන වචනය හෙළ බසින් වහරති.

බටහිර රටවල වහර අනුව විමසනවාට වැඩියෙන් ආගම යන වචනය ගැන බුදු දහම අනුව විස්තර වන්නේ මෙලෙස යි.

බුදු පියාණන් වහන්සේ අවබෝධ කරගත් සපරියාප්තික නව ලොව්තුරු දහම බුද්ධාගමට ඇතුළත් ය. ආගත ආගමේන විධිත ධම්ම ධාරෝ’ යන වාක්‍යයෙහි මනාකොට අවබෝධ කොටගත් ධර්මය යන අර්ථය ප්‍රකාශ වේ. ආගම සද්ධා, අධිගම සද්ධා යන වචනවල ධර්මය ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධයෙන් ම ඇති වූවක් බව සඳහන් වේ.

බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත් ධර්මය බුද්ධාගම නමින් හැඳින්වේ. එය සෝතාපත්ති ඵලය තෙක් පවත්නා විශ්වාසය කරණ කොට පිළිපැදීම තුළින් පවතින්නකි.

අවබෝධය තුළින් ප්‍රතිපත්ති පිරීම හේතු කොට ගෙන ශ්‍රද්ධාව දියුණුවීමෙන් සිව් සස් දහම, චතුරාර්ය සත්‍යය ප්‍රත්‍යක්ෂ කරගත හැකි වන්නේ ය. බුදු දහම ධර්ම – විනය යන වචන දෙකෙන් ප්‍රසාරණය වේ. බුදු දහමින් උගන්වන විමුක්තිය අනෙක් ආගම් වල උගන්වන පිළිවෙළට වැඩියෙන් වෙනස් ය. මැඳුම් සඟියේ ‘විමංශක’ සූත්‍රයෙහි සඳහන් වන ආකාරවති ශ්‍රද්ධාව විද්‍යාත්මක ආකාරයකින් ලැබූ පදනමකි. බුදු දහම හේතුඵල දහම උඩ විවරණය වූ හිත දියුණුූ කර ඵල ලැබීමේ ත්‍රිලක්ෂණය මෙනෙහි කරන සියුම් ක්‍රමයකි. පරම්පරානු ගතික ඓතිහාසික සම්ප්‍රදායයන් තදබල අන්දමින් විශ්වාස කරන වචන, අන්තර් චිත්තයෙහි තහවුරු වීම හේතු කොටගෙන මළවුන් පවා පූජ්‍යත්වයෙන් පිළිගන්නා සමාජයක් දක්නට ඇත. මළවුන් දේවත්වයෙන් පිදීම ප්‍රඥාගෝචර නොවේ. එහෙත් මළවුන් කෘතඥතා පූර්වක ව සිහි කළ යුතු ය. විශේෂයෙන් භික්ෂුවක් තුළ සතර බ්‍රහ්ම විහරණය පවත්නා කල්හි දැහැමි ජීවිතයක් ගෙවිය හැකි ය. ඛුද්දක නිකායේ “පිළින්දවච්ච සූත්‍රය’ අනුව මෙසේ ප්‍රකාශ වේ. පුද පුජා පවත්වමින්, විවිධ මූර්ති දේවත්වයෙන් පිදීමට වැඩියෙන් සිව්බඹ විහරණයෙන් යුක්ත වීම වඩා උචිතය යනුවෙනි.

****

පිළියන්දල ධර්ම ශාස්ත්‍රෝදය පිරිවෙන් විහාරාධිපති

පෙතිගමුවේ රාහුල නාහිමිපාණන් වහන්සේ

ශ්‍රී ජයවර්ධන පුර කෝට්ටේ රාජධානී සමයේ වීර සෙන්පතියෙක් ව සිටි පැපිළියානේ කුමරු රාජකීය වස්ත්‍රාභරණයෙන් සැරසුණු ස්ථානය (පිළි ඇඳි බිම) සිහිකරවන පිළියන්දල, බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ සංවර්ධිත නගරයකි.

කොළඹ දිශාවේ සිට නගරයට සේන්දුවන මුව දොර අභියස පිහිටි මනරම් පුදබිම ධර්මශාස්ත්‍රෝදය පිරිවෙන් විහාරස්ථානය යි. සිව් දෙසින් නගරයට යන එන සැදැහැතියන්ගේ ගෞරවාදරයටපත් විහාරස්ථානයේ වත්මන් විහාරාධිපති පෙතිගමුවේ රාහුල හිමිපාණන් වහන්සේ කොළඹ දිශාවේ පල්ලේපත්තුවේ ප්‍රධාන සංඝ නායක ධුරයෙන් පිදුම් ලැබීම වෙනුවෙන් කෙරෙන උපහාරය යි.

බණ්ඩාරගම රයිගම් පත්තුවේ සොඳුරු පෙතිගමුව ගම් පියසේ 1953 උඳුවප් මස තුන්වන දා ජන්ම ලාභය ලැබූ දන්වත්ත ලියනගේ මිල්ටන් කුල දරුවා සහෝදර සහෝදරියන් හය දෙනකුගෙන් යුත් පවුලේ තෙවැන්නා ය. දන්වත්ත ලියනගේ චලෝ සිංඤ්ඤෝ පියතුමන්ගේ හා හෙට්ටිආරච්චිගේ දෝන කමලාවතී මෑණියන්ගේ පළමු පිරිමි දරුවා වූ ලියනගේ මිල්ටන් 1968 වර්ෂයේ මැදින් මස 02 දින ඓතිහාසික වරකාගොඩ ගල්ලෙන් පුරාණ විහාරස්ථානයේ දී, විහාරාධිපති ව වැඩවිසූ කරන්නාගොඩ චන්ද්‍රජෝති නාහිමියන් වහන්සේගේ ආචාර්යත්වයෙන්, පෙතිගමුවේ රාහුල හිමි නමින් පැවිදි වූහ. එතැන් පටන් ශාසන වත් පිළිවෙතෙහි හුරුවෙමින් දෙහිවල පිංවත්ත පිරිවෙනෙන් හා පැපිළියාන සුනේත්‍රාදේවී මහ පිරිවෙනෙන් සිප්සතර හදාරා 1980 දී අධිශීල සංඛ්‍යාත උපසම්පදාවට ද පත් වූහ. උපසම්පදාවේ දී එවක පිළියන්දල ධර්මශාස්ත්‍රෝදය පිරිවෙන් විහාරස්ථානාධිපති ව වැඩවිසූ වේරහැර නන්දසාර නා හිමියෝ ද වරකාගොඩ ගල්ලෙන් පුරාණ විහාරස්ථානාධිපති කරන්නාගොඩ චන්ද්‍රජෝති නාහිමියෝ ද ආචාර්යයන් වහන්සේලා ලෙස වැඩ සිටියහ. නොබෝ දිනකින් වේරහැර නන්දසාර නා හිමියන් අපවත්වීමෙන් පිළියන්දල ධර්මශාස්ත්‍රෝදය පිරිවෙන් විහාරස්ථානයේ සියලු වගකීම් ප්‍රධාන ශිෂ්‍යවර පෙතිගමුවේ රාහුල නාහිමි වෙත පැවරුණේ ය.

තමන්වහන්සේට පැවරුණු විහාරස්ථානයේ වගකීම් මැනවින් ඉටු කරමින් සියලු විහාරාරංග වලින් පරිපූර්ණත්වයට පත් කළ රාහුල නාහිමියෝ මෙතෙක් පැවත ආ මිහිඳු පෙරහර විචිත්‍රවත් මහ පෙරහර මංගල්‍යයක් කොට පුරා දශක ගණනාවක් මුළුල්ලේ අඛණ්ඩ ව පවත්වන්නාහ. මේ නිසාම පිළියන්දල පෙරහර පන්සල යන නාමය පටබැඳුණු අතර, පිළියන්දල නගර වැසියනට මෙන්ම අවට ගම්දනව් වැසියනට මහත් ආලෝකයක් විය.

දහමට මෙන්ම සිංහල අපේ සංස්කෘතික දායාද සුරැකීමට ඇති හැඟීම නාහිමි සතු විශේෂ ගුණාංගය කි. මේ නිසාම සාම්ප්‍රදායික නර්ථන වාදන පුහුණු ආයතනයක් පිහිටුවා වසර ගණනාවන් මුළුල්ලේ දරු දැරියන්ගේ දක්‍ෂතා ඔප්නැංවීමට කටයුතු කරයි.

ප්‍රාදේශීය විහාරස්ථාන හා සුහදසීලී සබඳතා ඇති අපේ නාහිමියෝ සෑම අවස්ථාවක දී ම භික්‍ෂූන් වහන්සේලා රැක ගැනීමට උත්සාහවත් වේ. මේ නිසාම මහා සඟරුවනේ නිබඳ ආශිර්වාදය ලබන්නේ ය.

තමන් වහන්සේට විහාරස්ථාන ගණනාවක ම අධිපතිත්වය වර්තමානයේ ලැබී තිබුණ ද ඒ සියල්ල තම සහෝදර හා ශිෂ්‍ය හිමිවරුනට වගකීම් පවරා තමන් වහන්සේ සරල සැහැල්ලු දිවියකට ප්‍රිය ව වැඩ සිටිති.

ජාතික රතු කුරුස සමාගමට අනුශාසකත්වය ලබාදෙමින් වසර ගණනාවත් මුළුල්ලේ මෙරට සෞඛ්‍යාරක්‍ෂාවට මහ මෙහෙයක් සිදුකළ නායක මාහිමි ආරම්භයේ සිටම එස්.ඕ.එස්. ජාත්‍යන්තර ළමා ගම්මානය පිහිටුවා මෙරට අසරණ දූ දරුවනට මව්පිය රැකවරණය පිණිස අදටත් තම කාලය ශ්‍රමය හා උපදේශනය ලබාදීමට කටයුතු කරති.

පන්සල් බිම හරිත පැහැයෙන් සරසන්නට ගෙන ඇති උත්සාහය පුදබිමට පැමිණෙන සැදැහැවතුන්ට දැකගත හැක. මෙහි ඇති වටිනාකම වඩාත් තහවුරු වන්නේ නම් කරන ලද දුර්ලභ ඖෂදීය ශාක විශාල ප්‍රමාණයක් රෝපණය කර තිබීම යි.

ශාසනික උරුමය අනාගතයේ රැකෙන්නට අවැසි ශිෂ්‍ය පරපුරක් ගොඩනැඟීම අපේ නායක හාමුදුරුවන් වහන්සේගේ විශිෂ්ටතම සේවයකි. සහකාර පිරිවෙන් අධ්‍යාපන අධ්‍යක්‍ෂ ශාස්ත්‍රපති පණ්ඩිත බලගොඩ අමරජෝති හිමි, ධර්මශාස්ත්‍රෝදය පිරිවෙන් විහාරස්ථානයේ විහාරාධිකාරී රයිගම වජිරඤාණ හිමි, ශාස්ත්‍රවේදී මංගලගම පියරතන හිමි, මැදවච්චියේ සුජාත හිමි, හල්මුල්ලේ සාගර හිමි. නායක මාහිමිපාණන් වහන්සේ ගේ ශිෂ්‍යවරයන් වහන්සේ ය.

වේරහැර සඟ පරපුරේ නිර්මාතෘවර ශ්‍රී දේවානන්ද මහා ස්වාමින්ද්‍රයන් වහන්සේගේ ශ්‍රී නාමයට ගෞරව බුහුමන් පුදනු වස් ,කෝට්ටේ ශ්‍රී කල්‍යාණ සාමාග්‍රී ධර්ම මහා සංඝ සභාවේ, අතිගෞරවාර්හ මහා නායක හිමිපාණන් වහන්සේ ප්‍රධාන කාරක සංඝ සභාවෙන් “ශ්‍රී දේවානන්ද වංසාලංකාර සද්ධර්ම කීර්ති ශ්‍රී ගෞරව නාමය ද සමඟින් කොළඹ දිශාවේ පල්ලේපත්තුවේ ප්‍රධාන සංඝනායක ධූරය පිරි නැමේ. ඒ සඳහා අදාළ සන්නස් පත්‍රය ඔක්තෝබර් 02 වනදා කෝට්ටේ සංඝ සභාවේ දී පිරිනැමේ. අභිනව නාහිමි පිළිගැනීමේ උත්සවය ඔක්තෝබර් 03 වන දා පිළියන්දල ධර්ම ශාස්තෘ විහාරස්ථානයේ දී පැවැත්වේ.

****

පිරිවෙන්වලට අදාළ පුවත්, ඡායාරූප සහ ලිපි අප වෙත යොමු කරන්න.

[email protected]

බුදුසරණ කර්තෘ මණ්ඩලය , ලේක්හවුස්, කොළඹ

 අධි වප්

පුර පසළොස්වක 

   ඔක්තෝබර් 01 බ්‍රහස්පතින්දා පූර්වභාග 00.26 න් පසළොස්වක ලබා 02 සිකුරාදා පූර්වභාග 02.35 න් ගෙවේ. 
බ්‍රහස්පතින්දා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 01

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 09

Full Moonඅමාවක

ඔක්තෝබර් 16

First Quarterපුර අටවක

සැප්තැම්බර් 23

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]