[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

අධි වප් පුර පසළොස්වක

කෘතගුණ දැක්වීම

19 වන සියවස අග භාගයේ පහළ වූ ජාතික වීරයන් අතර ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන්ට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. වසර 67ක් පමණ කෙටි කලක් ජීවත් වූ ධර්මපාල ශ්‍රීමතාණෝ රට ජාතිය, බුදු සමය හා සංස්කෘතිය වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් අනුපමේය සේවාවක් සිදු කළ යුග

පුරුෂයාණ කෙනෙකි. රැලෙන් ගිලිහී සිවල් රැලකට හසුව සිවලකු සේ හැසිරෙන සිංහ පෝතකයකුට තමන් සිවලකු නොව සිංහයකු බව අවබෝධ කර දුන් සිංහ රාජයකු සේ බටහිර සංස්කෘතිය කර පින්නා ගත් සිංහලයා ඉන් මුදවා ගැනීමට ධර්මපාලතුමා අභීත ව ක්‍රියා කළේ ය. සංකර බටහිර සිරිත් අනුගමනය කළ සිංහලයෝ එතුමාගේ නිර්දය වාග් ප්‍රහාරයට ලක් වූහ. මේ අග්ගමහා පණ්ඩිත නාපාන පේමසිරි මහා නායක හිමියන් විසින් අනගාරික ධර්මපාල ශ්‍රීමතාණන් පිළිබඳ ව කළ සටහනක උදෘතයකි.

ජාතියේ උදාරත්වය වෙනුවෙන්, සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් කැපවුණු අනගාරික ධර්මපාලතුමාණන්ගේ උතුම් චින්තනය සිංහල බෞද්ධ සමාජය තුළට ගෙන ගිය ආකාරය මොනතරම් ප්‍රබල වූයේ ද, යන්න පැහැදිලි කිරීමට ය එම උදෘතය ගෙන හැර දැක්වූයේ.

අනුබුදු මිහිඳු මාහිමියන් අපේ රටට සම්බුදු දහම හඳුන්වා දීමත් සමඟ එතෙක් පැවැති සිංහල සංස්කෘතිය බෞද්ධ සංස්කෘතිය බවට පත්විය. අනාදිමත් කාලයක් ඒ බෞද්ධ සංස්කෘතියෙන් පෝෂණය වූ මේ රටේ ජන ජීවිතය උඩු යටිකුරු වූයේ පරසතුරු ආක්‍රමණත් සමඟ ය. ආහාර රටාවේ සිට, ඇඳුමේ පැළඳුමේ සිට බොහෝ සිංහලයන්ගේ සිරිත් විරිත් වෙනස් වන්නට විය. පරගැති සිරිත් අනුකරණය කරමින් විනාශයට යන ජනතාව බේරා ගන්නට ඇප කැප වූ ජාතික වීරවරයන් අතර අනගාරික ධර්මපාලතුමන්ගේ නාමය මේ හෙළ දීපයේ අමරණීය ය. සම්බුදු දහමේ චිරස්ථිතිය වෙනුවෙන් එතුමාණන් ගෙන ගිය වැඩපිළිවෙළ, ලොව පුරා බෞද්ධ දර්ශනය ව්‍යාප්ත කිරීමට ගෙන ගිය වැඩපිළිවෙළ අමරණීය ය.

අනගාරික ධර්මපාලතුමන්ගේ ජන්ම දිනය යෙදුණේ පසුගිය 17 වැනි දාට ය. එතුමා සිහිපත් කරමින් රටපුරා විවිධ උත්සව පැවැත්වුණි. එය අගය කළ යුත්තකි. ඒ අතරින් එතුමාණන්ගේ චින්තනය වර්තමානයට සේ ම අනාගතයේ ද මෙරට තුළ බබළවන්නට ඇප කැපවන්නේ නම් එය එතුමාණන්ට කරන කළගුණ දැක්වීමක් ම වනු ඇත. ‘ජාතික පනත’ හෙවත් අනගාරික ධර්මපාලතුමාගේ උපදෙස් පවට ලජ්ජා බය ඇති, සිය රට දේ අගයන, අදීන, අලසකමින් තොර, අභිමානවත් ජාතියක් ගොඩ නඟනු සඳහා ඉතාමත් ප්‍රයෝජනවත් ය.

මත් උවදුර දුරුකරමින්, අපරාධ මැඬලමින්, දේශීයත්වය අගය කරමින් සෞභාග්‍යවත් දේශයක් ගොඩනඟනු සඳහා රජය විසින් ගෙන යනු ලබන වැඩපිළිවෙළ තුළ ජාතියේ නිවහල් ආකල්ප යළි පණ ගන්වන්නට, නිද්‍රාශීලී ආකල්ප දුරු කරන්නට ඒ සදුපදේශ මා හැඟි ය.

එතුමා මේ රටේ ජනතාවට උපදෙස් දුන්නේ ජාතික මමත්වයෙන් පිටරට දේ පිළිකුල් කිරීමට ය. ධාර්මිකව මුදල් සපයා සැපසේ ජීවත් වන ලෙස ය. ශරීරයෙහි ආර්ය ලේ බිඳක් වත් තිබෙන තුරු කිසිවකුට නිකරුණේ තමා යටත් කළ නොහැකි බව සිතන්නට ය. ආර්ය නම්, ගම්, චාරිත්‍ර වාරිත්‍ර ආරක්ෂා කරන්නට ය. තමාගේ ජීවත්වීම පරාර්ථය පිණිස යැයි නිතර සිහි කරන්නට ය. ජීවිතයේ කෙළවර මරණය ඇති බැව් සිතා ඉතා යුහුසුළුව සිය යුතුකම් ඉටු කරන්නට ය. බියගුල්ලා කීප විටක් ම මැරෙතත් වීරයා මැරෙන්නේ එක විටක් බව සිතන්නට ය. උදා වී තිබෙන්නේ එවන් ජාතියක් බිහි කිරීමේ අභියෝගයට මුහුණ දීමට ය. ඒ සඳහා එකාවන් ව පෙළ ගැසිය යුතුව ඇත.

 අධි වප්

පුර පසළොස්වක 

   ඔක්තෝබර් 01 බ්‍රහස්පතින්දා පූර්වභාග 00.26 න් පසළොස්වක ලබා 02 සිකුරාදා පූර්වභාග 02.35 න් ගෙවේ. 
බ්‍රහස්පතින්දා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 01

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 09

Full Moonඅමාවක

ඔක්තෝබර් 16

First Quarterපුර අටවක

සැප්තැම්බර් 23


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]