[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මේ වස්සාන කාලයයි -07: සීලා දී ගුණ දහම් වඩා ලෝකෝත්තර දියුණුව ලබමු

මේ වස්සාන කාලයයි -07:

සීලා දී ගුණ දහම් වඩා ලෝකෝත්තර දියුණුව ලබමු

 

වර්තමානයේ දී වස්සාන කාලය, පින්කම් කාලයක් ලෙසට විහාරස්ථානයන් හි දැක්වූවත්, යම් විටක වසරේ අනිකුත් කාලයන් හි තිබූ නිදහස මේ කාලය තුළ සීමා වී ඇති බවක් පෙනෙන්නට පවතිනවා.

එයට හේතුව මේ වස්සාන කාලය තුළ නොයෙක් ආකාරයේ වැඩකටයුතු සංවිධානය කරන්නට, බාහිර ව බොහෝ කටයුතුවල යෙදෙන්නට සිදුවීම යි.

මේ නිසා වස්සාන කාලයෙහි පින්කම් සංවිධානය කළත් , ඒ සියල්ලන්ගෙන් ම බලාපොරොත්තු විය යුත්තේ වස් සමාදන් ව වැඩ සිටින භික්ෂූන් වහන්සේලා විසින් තමා තුළ සීලා දි ගුණ ධර්මයන් දියුණු කරගෙන ලෝකෝත්තර දියුණුවක් ඇති කර ගැනීමට අවශ්‍ය මාර්ග සකසා ගැනීමයි පෙරහර, සංස්කෘතික උත්සව ආදී වශයෙන් බොහෝ කාලයක් එනම්, දින, සති ගණනාවක් මිඩංගු කරගත යුතු බොහෝ දේ නිසා වස්සාන කාලය තුළ කුසල කර්ම සිදු කරගෙන ලෝකෝත්තර දියුණුවට මාර්ග සකසා ගැනීමට බාධා ඇතිවිය හැකියි. සංස්කෘතික කටයුතු හෝ අනෙකුත් ආගමික චාරිත්‍ර නොකළ යුතුයි යන අදහසක් මින් සිහිපත් නොකෙරේ. මේ දහම් කතාවෙන් වඩාත් පෙන්වා දෙන්නේ පාලිත ස්වාමීන් වහන්සේ ඇතුළු භික්ෂූන් වහන්සේලා ඒ වස් තුන් මාසයක කාලයෙහි, කමටහන් වඩා පිළිවෙත් මාර්ගය සම්පූර්ණ කර ගැනීම පිළිබඳවයි. එනම්, ලොකෝත්තර දියුණුව ලබමින්, කෙලෙස් නසා, දහමෙන් සැනසුනේ නම්, යම් වූ ද ආධ්‍යාත්මික දියුණුවක් හැම වස්සාන කාලයක් අවසානයේ දී ම භික්ෂූන් වහන්සේලාටත්, උපාසක, උපාසිකා නම් වූ සිව් පිරිසටත් ඇති කර ගත හැකි අවස්ථාවක් ලෙස සිතා බැලිය යුතු නොවේ ද? යන කරුණ පිළිබඳවයි.

මේ නිසා වසරේ අනෙකුත් කාලයන් හි දී ආගමික වශයෙන් හඳුන්වන බොහෝ බාහිර කටයුතු සංවිධානය කළත්, වස්සාන කාලය තුළ වඩ වඩාත් ම ආධ්‍යාත්මික පිළිවෙත් මාර්ගයට උපකාරවන සීල, සමාධි, ප්‍රඥා ගුණ වඩන භාවනා මාර්ගය ම දියුණු කර ගත යුතු යි. එයට ධර්ම දේශනා වගේ ම, ධර්ම සාකච්ඡා, විදර්ශනා භාවනා මාර්ගය අනුගමනය කිරීම ආදී වශයෙන් මුල්තැනක් දී දියුණු කරගත යුතු බවයි. බොහෝ ගිහි පිරිස්වලට භික්ෂූන් වහන්සේලා තරමට ම පිළිවෙත් මාර්ගය එදිනෙදා ජීවිතවල පවත්වා ගන්නට නොහැකියි. එනමුත් අප විසින් හඳුන්වන බොහෝ පින්කම් ද අරමුණු කරගත යුත්තේ ඒ උපාසක උපාසිකාවන් බලවත් ලෙස සීල, සමාධි, ප්‍රඥා ගුණ වැඩෙන්නට අවස්ථාවක් සැලසෙන ආකාරයෙනුයි. එසේ නොමැති වුණොත් උපාසක, උපාසිකාවන්ගේ කාලයත්, එනම් වස් තුන් මාසයක් බොහෝ වැඩකටයුතු සංවිධානය කිරීමටත් ඒ වෙනුවෙන් යෙදීමටත් සිදුවිය හැකි නිස යි. උපාසක උපාසිකාවන් පවා වස් තුන් මාසයක කාලය අවසානයෙහි, චීවර මාසය ආරම්භ වන විට එනම් කඨින සිවුරක් පූජා කළ හැකි කාලය ආරම්භ වන විට ආධ්‍යාත්මික දියුණුවේ යම් වූ ද ඉහළ ස්ථානයක පවතින්නේ දැයි තමා තමා විසින් ම සිහිපත් කර ගත යුතු ම යි.

එසේ නොමැති වුණොත් අප ජීවත්වෙන මේ කාලය පුරාම සෑම වර්ෂයක ම අප විසින් අපගේ විහාරය හෝ අසවල් විහාරයේ කඨින පින්කම තමන්ගේ දායකත්වයෙන් සිදු කළාය. අපි මෙවැනි විශාල අලංකාර පෙරහරක් සිදු කළාය. ඒ පෙරහරට මෙවැනි මෙවැනි අංග එකතු කර ගත්තා ය. විශාල පිරිසක් සහභාගි වූහ. ආදී වශයෙන් කරුණු මඟින් අදහස් දක්වා ලෞකික රීතියක් පමණක් ලැබීමක් බවට පත්වනු ඇත. මුලින් සඳහන් කළා සේ එවැනි සංස්කෘතික දේ සිදුකළත් , ඒවා නිසා තමාගේ නිවන අරමුණු කරන ධර්ම මාර්ගයට බාධාවක් නොවිය යුතු බවත්, ඒ හැම සංස්කෘතික අවස්ථාවන් හෝ පින්කම් අවසානයේ තමාගේ ආධ්‍යාත්මයේ කතාව තමාට ම සැනසිය හැකි ආකාරයෙන් දැනිය යුතු බවයි; මේ අදහස් පෙළින් ඔබට ඉදිරිපත් කරනු ලබන්නේ. එපමණක් නොවෙයි. දායක, දායිකා පිරිස තමාගේ පවුල්වල ස්වාමි භාර්යා, මව්පියන්, දරුවන් වශයෙන් සියලු දෙනාත් ධර්ම මාර්ගයට නතු කරගෙන, ලෝකෝත්තර මාර්ගය පිළිබඳ යම් වූ ද දැනුමක් ඒ අයටත් ලබාදිය හැකි කාලයක් හැටියට මේ කාලය සිහිපත් කළ යුතු ම යි. භික්ෂූන් වහන්සේලා විසින් වසරේ අනිකුත් කාලවල බොහෝවිටක දාන, පාංශුකූල, පිරිත් පින්කම් ආදී කොටගත් බොහෝ කටයුතු වෙනුවෙන් වැඩි කාලයක් ගතකොට තිබුණත්, මේ වස් තුන්මාසයක කාලය තුළ හැකිතාක් දුරට ධර්මයේ සඳහන් කරන අයුරින් කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක නම් වූ මේ විවේකයන් හි ඇසුර ලබාගත යුතු ම යි.

භාග්‍යවතුන් වහන්සේ මේ සඳහා දේශනා කළේ කැලෑවක්, ගසක් , මුලක්, ශුන්‍ය ස්ථානයක් එනම් කිසිදු ආකාරයකින් බාධාවක් නොවන තැනක් පරිහරණය කළ යුතු බවයි. වර්තමානයේ නාගරික හෝ ග්‍රාමීය ස්භාවය තුළ එවැනි ම කැලයක් නොවුණත් හැකිතාක් දුරට ධර්මයේ පිහිට ලබන විවේකී අවස්ථාවක් තමාගේ දෛනික ජීවිතයට එකතු කරගත යුතු ම වෙනවා. වස් තුන්මසක කාලය අවසානයේ උපාසක, උපාසිකාවන් විසින් ශ්‍රද්ධා ගෞරවයෙන් පූජා කරනු ලබන කඨින වස්ත්‍රයක් හෝ කඨින චීවරයක් පිළිගෙන එයින් ප්‍රකාශිත උතුම් ආනිශංස තමන්ටත්, දායක පිරිසටත් ලබාගත හැකි වන්නේ, ලබා දිය හැකිවන්නේ එවැනි පිළිවෙත් මාර්ගයක් මේ කාලය තුළ අනුගමනය කොට යම් වූ ද, ඵල සමාධියක් ජීවිතය තුළ ඇති කොටගෙන තිබීමෙනුයි. එසේ නැති නම් වසරේ අනිකුත් කාල මෙන් මේ තුන් මාසයත් ගතකොට අවසානයේ අප ඒ උතුම් ම කඨින පූජාව සිදු කළත් ආධ්‍යාත්මික වූ ද වෙනස්කමක් පවතින්නේ දැයි සියලු දෙනා විසින් ම නුවණින් සිතා බැලිය යුතු ම යි.

දුර්ලභව ලබාගත් මේ මනුෂ්‍ය ජීවිතය හැම මොහොතක් පාසාම අපගෙන් ගිලිහී යමින් පවතිනවා. එසේ නම්, භාග්‍යවතුන් වහන්සේ පෙන්වාදුන් ධර්ම මාර්ගය වගේ ම පැන වූ විනය ශික්ෂා මාර්ගයත් අපගේ මූලික අභිමතාර්ථය වූ නිවන පිණිස මිස, ලෞකික සිතුම් පැතුම් ඉටු කර ගැනීමට අවස්ථාවක් සලසා නොගත යුතුයි. වස්සාන කාලයෙහි දායක ඇත්තන් පවා උතුම් වූ ලෝකෝත්තර දියුණුව ලැබූ ආකාරය “මේ වස්සාන කාලයයි” ඊළඟ ලිපියෙන් අපට තේරුම් ගත හැකියි.

බිනර අව අටවක පෝය

බිනර අව අටවක පෝය සැප්තැම්බර් 21 වන දා සෙනසුරාදා අපර භාග 08.20 ට ලබයි. 22 වන දා ඉරිදා අපර භාග 7.50 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 22 වන දා ඉරිදා ය.

මීළඟ පෝය සැප්තැම්බර් 28 වන දා සෙනසුරාදා ය.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 22

Full Moonඅමාවක

සැප්තැම්බර් 28

First Quarterපුර අටවක

ඔක්තෝබර් 05

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 13

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]