[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පන්නිපිටිය ශ්‍රී දෙව්රම් මහා විහාරයට විසි වසරක් සපිරීම හා කොළොන්නාවේ සිරි සුමංගල මහ නා හිමියන්ගේ 50 වන ඡන්ම දිනය සහ දිව්‍ය රම්‍ය මහ සෑයෙහි කොත් වහන්සේ නිරාවරණ පින්කම

පන්නිපිටිය ශ්‍රී දෙව්රම් මහා විහාරයට විසි වසරක් සපිරීම හා කොළොන්නාවේ සිරි සුමංගල මහ නා හිමියන්ගේ 50 වන ඡන්ම දිනය සහ දිව්‍ය රම්‍ය මහ සෑයෙහි කොත් වහන්සේ නිරාවරණ පින්කම

අද එම විහාරස්ථානය නෙත් සිත් පහන් කරවන පුණ්‍ය භූමියක් බවට පත් කර ඇති අතර විවිධ ප්‍රදේශවලින් පැමිණෙන සැදැහැවතුන්ගේ පූජෝපහාරයට ලක් වේ.

පන්නිපිටිය ශ්‍රී දෙව්රම් මහා විහාරය අරඹා විසි වසරක් සපිරීමත්, කොළොන්නාවේ සිරි සුමංගල මහා නාහිමියන්ගේ පනස් වන ජන්ම දිනයත්, අඩි 117 ක් උසින් යුත් දිව්‍ය රම්‍ය මහා සෑයෙහි කොත් වහන්සේ නිරාවරණයත් නිමිත්තෙන් දෙව්රම් මහා විහාරයේ දී පින්කම් මාලාවක් පැවැත්වේ.

කොත් වහන්සේ නිරාවරණය මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතන මහානායක මාහිමිපාණන් වහන්සේ, ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස මහා නාහිමිපාණන් වහන්සේ, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත නාපාන පේමසිරි මහා නාහිමිපාණන් වහන්සේගේ සුරතින් සිදු කිරීමට නියමිත ය.

එම මහා සෑ රදුන් වහන්සේ වටා ඉදිකර ඇති අට විසි බුද්ධ මන්දිරය සියලු පාර්ශ්වයන්හි මහානායක මාහිමිපාණන් වහන්සේගේ සුරතින් නිරාවරණය කිරීමට නියමිත ය.

තෙදින සීල සමාදාන පින්කම ඉකුත් 13 වනදා ඇරැඹුණු අතර, දිව්‍ය රම්‍ය මහා සෑයේ ධාතු නිධානෝත්සවය ද එදින සිදු කෙරිණි. 15 වනදා කොත් වහන්සේ පැළැඳවීම සිදු කෙරිණි. 20 වන දා සති පිරිත් දේශනාව ආරම්භ විය. මෙම 23 වනදා සිරි සුමඟුල් බුදු පුත් මාපිය උපහාර උළෙල සහ සමාජ සේවා, ශිෂ්‍යාධාර ප්‍රදානය ද සිදු කෙරේ. ආර්ථික අපහසුතා ඇති පාසල් දරුවන් සිය දෙනෙකු වෙත පාසල් උපකරණ පිරිනැමේ. පන්නිපිටිය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ දහම් පාසල් සඳහා කාර්යාල උපකරණ පිරිනැමීම ද, වියළි ආහාර පාර්සල් තුන්සිය දෙනෙකු වෙත පිරිනැමීම ද ඇතුළු සේවා රැසක් සිදු කෙරේ.

24 වනදා කුල දරුවන් පනස් දෙනෙකු සසුන්ගත කිරීමත්, පෙරවරු 10 ට කොත් වහන්සේ නිරාවරණයත් අනතුරුව දවල් බුද්ධ පූජාව සිදු කිරීමෙන් පසු දහසක් මහ සඟරුවන විෂයෙහි සපිරිකර සංඝගත දක්ෂිණාව පිරිනැමීම සිදු කෙරේ. දුෂ්කර විහාරස්ථාන සියයක් සඳහා රුපියල් ලක්ෂය බැගින් පූජා කිරීම ද සිදු කෙරේ.

1964 සැප්තැම්බර් 24 වනදා කොළොන්නාවේ පූර්ණ චන්ද්‍ර විජේසිංහ සහ සුමනා හෙට්ටිආරච්චි දම්පතීන්ගේ පුත්රුවනක් ලෙස උපත ලබා සොයුරු සොයුරියන් පස් දෙනෙකු ගේ ද, මව්පිය සෙනෙහස ද ලබමින් හැදී වැඩුණේ ය. කොළොන්නාව ටෙරන්ස් ද සිල්වා විදුහලෙන් මූලික අධ්‍යාපනය ලැබී ය.

කුඩා කල පටන් සසර පුරුද්දට මෙන් පැවිදි දිවියට දැක්වූයේ මහත් ඇල්මකි. ඒ නිසාම දයාබර මව්පිය දෙපළ ද ඊට එකඟ කරවා ගත්හ. අනතුරුව දයාබර පියාණන් සමඟ දිනක් මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේදී ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහානායක අග්ග මහා පණ්ඩිත මඩිහේ පඤ්ඤාසීහ මහානායක මා හිමිපාණන් වහන්සේගේ අවවාද අනුශාසනා ලබමින් කොළොන්නාව සාලමුල්ල ආනන්දාරාමයේ දී මිරිස්සේ පියදස්සී ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආචාර්යත්වයෙන් 1982 ජූලි 21 වනදා පැවිදි බිමට පත්විය.පැවිදි වූ දාට පසුදා ම මඩිහේ මහා නාහිමියන්ගේ අනුශාසනා පරිදි මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයට ගුරුදේවයන් වහන්සේ විසින් බාර කළහ.

මඩිහේ පඤ්ඤාසීහ මහානාහිමිපාණන් වහන්සේ සහ අම්පිටියේ ශ්‍රී රාහුල නාහිමිපාණන් වහන්සේ වෙතින් එකල ලද අවවාද අද පවා සිහිපත් කරනුයේ උන්වහන්සේලා වෙත හද පිරි බැතියෙනි.

වසර කිහිපයක් ගෙවී යත්ම ඔත්පළ වූ සිය ගුරුදේවයන් වහන්සේ වෙත මහත් ගෞරවයෙන් ගිලන් උපස්ථානය සිදු කළේ ය. ඒ අතරතුර විහාරස්ථානයේ සිට කොළඹ හුණුපිටියේ ගංගාරාමස්ථ ශ්‍රී ඥානේශ්වර පිරිවෙනින් අධ්‍යාපනය ලැබූහ. ස්වකීය ගුරු දේවයන් වහන්සේගේ අපවත්වීමෙන් පසු තෙමස් ගුණ සමරු පින්කම ද පවත්වා මිරිස්සේ උඩුපිල සුධර්මාරාමයට උන්වහන්සේ වැඩම කළහ.

සම්භාවනීය මහ සඟරුවන වැඩ සිටි එම ආරාමයේ දියුණුවට ක්‍රියා කළ උන්වහන්සේ විවිධ ප්‍රදේශයන්හි දම් දෙසුම්වලට වැඩම කරවූහ. කුඩා කල පටන් තෙරුවන් කෙරෙහි මහත් ශ්‍රද්ධා ගෞරවයෙන් කටයුතු කරන උන්වහන්සේ කලක් දඹදිව ත්‍රිචි ප්‍රදේශයේ සෙනසුනක දී යෝගී අභ්‍යාසයන් ද පුහුණු විය.

උන්වහන්සේ කොළඹට වැඩම කළ විට විවේකීව වැඩ සිටීම සඳහා රට වෙනුවෙන් දිවි පිදූ ලුතිනන් කර්නල් සුමිත් ධම්මික පෙරේරා මහතා පදිංචිය සඳහා තෝරා ගෙන තිබු දෙපානම චීනගහකොට්ටුන්න පාරේ පර්චස් 16 ක භූමිභාගය ධම්මික පෙරේරා මහතාගේ දයාබර මව්පිය දෙපළ විසින් කුඩා සංඝාවාසයක් සහිතව පූජා කළහ. 1999 වසරේ එහි වස් විසූ උන්වහන්සේ වෙත සොයා පැමිණි සැදැහැති දායක පිරිස එහි නේවාසික කර ගැනීමට අවශ්‍ය ප්‍රත්‍ය පහසුකම් නොඅඩුව පූජා කළහ.වසරක පමණ කලක් ගත වන විට එම භූමිභාගය අංග සම්පූර්ණ විහාරස්ථානයක් බවට පත් විය.

අද එය අක්කර 16කින් යුත් පුණ්‍ය භූමියකි.

අද එම විහාරස්ථානය නෙත් සිත් පහන් කරවන පුණ්‍ය භූමියක් බවට පත් කර ඇති අතර විවිධ ප්‍රදේශවලින් පැමිණෙන සැදැහැවතුන්ගේ පූජෝපහාරයට ලක් වේ.

ත්‍රිපිටක දහම ශිලා ලේඛන ගත කිරීමේ ඓතිහාසික කාර්යය දෙව්රම් වෙහෙරේ දී ආරම්භ කළ උන්වහන්සේ වසර ගණනාවක සිට එම භාරදූර කාර්ය සිදු කරගෙන එනු ලැබේ.

අමරපුර සිරිසුමන පාර්ශ්වයේ අනුනායක ධුරයෙන්ද අනතුරුව මහානායක ධුරයෙන්ද කොළොන්නාවේ සිරි සුමංගල නාහිමියෝ පිදුම් ලබා ඇත.

බිනර අව අටවක පෝය

බිනර අව අටවක පෝය සැප්තැම්බර් 21 වන දා සෙනසුරාදා අපර භාග 08.20 ට ලබයි. 22 වන දා ඉරිදා අපර භාග 7.50 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 22 වන දා ඉරිදා ය.

මීළඟ පෝය සැප්තැම්බර් 28 වන දා සෙනසුරාදා ය.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 22

Full Moonඅමාවක

සැප්තැම්බර් 28

First Quarterපුර අටවක

ඔක්තෝබර් 05

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 13

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]