[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

භික්ෂුණී සමාජය ආරම්භ වූ බිනර පොහොය

භික්ෂුණී සමාජය ආරම්භ වූ බිනර පොහොය

ශාසන ඉතිහාසය තුළ බිනර පුරපසළොස්වක පොහොය දිනයට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. සම්බුදු සසුන තුළ භික්ෂුණී සමාජය ආරම්භවීම ඊට ප්‍රධානතම හේතුවයි.

මහා ප්‍රජාපතී ගෝතමී දේවියගේ පැවිදිවීම බිනර පොහෝ දිනෙක සිදු වූ අතර, එය භික්ෂුණී සමාජයේ ද ආරම්භ විය.

මහා ප්‍රජාපතී දේවියගේ පැවිදිවීම

එකල බුදුරදුන් වැඩ සිටියේ කිඹුල්වත්පුර නුවර නිග්‍රෝධාරාමයේ ය. මහා ප්‍රජාපතී ගෝතමී දේවිය එහි සැපත්ව, එකත්පසෙක සිට, බුදුරදුන් වෙතින් අයැද සිටියේ කාන්තාවන්ට බුදු සසුනේ පැවිදි උපසම්පදාව ලබාදීම අනුදැන වදාරණ ලෙසයි. එහෙත් බුදුන් වහන්සේ එම ඉල්ලීම පළමු, දෙවැනි හා තෙවැනි වරටත් ප්‍රතික්ෂේප කළහ. තථාගත ශාසනයෙහි කාන්තා පැවිද්ද තමන් වහන්සේට රුචි නොවන බැවින් එම කැමැත්ත අත්හළ යුතුය යන්න එහි දී උන්වහන්සේ අවධාරණය කර සිටියහ. තව ද, චුල්ලවග්ග පාලියේ භික්ඛුනීක්ඛන්ධකයෙහි බුදුසසුනේ කාන්තාවන් පැවිදිවීම වැඩුණු හැල් කෙතක වී බොල් වන, ලෙඩ බෝවීමක් ලෙස බුදුරදුන් උපමා කර තිබෙන ආකාරය දැක්වෙයි.

මෙම ඉල්ලීම සිදු කළ විගසම ඊට බුදුරදුන්ගේ අවසරය ලබා දුන්නේ නම්, පැවිද්දෙහි කිසිදු බැරෑරුම් බවක් පැවිදිවන භික්ෂුණීහු නොදකිති. එය දුක සේ, අපහසුවෙන් ලබාගත් කල පැවිද්දෙහි පරමාර්ථය දැනගෙන ශාසනික බ්‍රහ්ම චරියාව වඩාත් හොඳින් වටහාගෙන, ඒ අනුව ජීවත්වීමට ඔවුහු වඩාත් උනන්දු වෙති. මෙම හේතුව නිසා කාන්තාවන්ට පැවිදි උපසම්පදාව ලබා දෙන මෙන් කළ ඉල්ලීම පිළිනොගැනීම බුදුරදුන් යෙදූ නිවැරැදි උපාය මාර්ගයක් බව පෙනේ. මහා ප්‍රජාපතී ගෝතමිය සිය ඉල්ලීම ඉටු නොවූ කල බුදුරදුන් වැඳ ප්‍රදක්ෂිණා කොට නිග්‍රෝධාරාමයෙන් පිටත්ව ගියා ය.

විශාලා මහනුවර මහ වනයෙහි කූටාගාර ශාලාවෙහි බුදුරජාණන් වහන්සේ ඊළඟ වස් සමය වැඩ සිටියහ. එහි දී ද මහාප්‍රජාපතී ගෝතමී දේවිය පෙර රෝහිණී නදී තීරයේ දී බුදුරදුන් වෙත පැමිණ පැවිදි වූ ශාක්‍ය, කෝලිය දෙරට කුමාරවරුන් පන්සියයකගේ භාර්යාවන් ද කැටුව කෙස් වැටි කපා හැර, කහ පැහැති වස්ත්‍ර පොරවා, මැටි පාත්‍ර ගෙන ඉතාම දුක සේ සැතපුම් ගණනාවක් පයින් ම විශාලා මහනුවර කරා පැමිණියහ. මෙසේ දෙවැනි වරට පැවිදි වෙස් ගෙන, මනා සංවිධානයක් ද ගොඩනගාගෙන බුදුරදුන් වෙත පැමිණියේ ඔවුනගේ අරමුණ තවත් කල් නොගෙන ඉටුකරවා ගැනීමේ පරමාර්ථයෙන් බව පැහදිලි වේ.

ඉක්බිතිව මහාප්‍රජාපතී ගෝතමී දේවිය ආනන්ද හිමියන්ට කරුණු පවසා උන්වහන්සේගේ මාර්ගයෙන් කාන්තාවන්ට බුදු සසුන තුළ පැවිද්ද ලබාදෙන ලෙස ඉල්ලා සිටියා ය. ආනන්ද හිමියෝ බුදුරදුන් වෙත ගොස් සියලු තොරතුරු සැල කළහ. එහි දී ද බුදුරජාණන් වහන්සේ එම ඉල්ලීම තෙවරක්ම ප්‍රතික්ෂේප කළහ. එහෙත් ආනන්ද හිමියන් ගේ බලවත් උනන්දුව මත මහා ප්‍රජාපතී ගෝතමී දේවිය ප්‍රමුඛ කාන්තා පිරිසට බුදු සසුනේ පැවිදි වීමට භාග්‍යය උදා වුණි. තව ද මහා ප්‍රජාපතී ගෝතමී දේවිය අෂ්ට ගරු ධර්ම පිළිගනී නම්, එයම එතුමියගේ පැවිද්ද හා උපසම්පදාව පිහිටීමට හේතුවන බව ද බුදුරජාණන් වහන්සේ ආනන්ද හිමියනට වදාළ සේක. එම අෂ්ට ගරු ධර්ම මෙසේ ය.

අෂ්ට ගරු ධර්ම

1. උපසම්පදාවෙන් වසර සියයක් ගත වූ මෙහෙණියක වුව ද එදින උපසපන් වූ භික්ෂුව දැක වැඳුම්, හුනස්නෙන් නැගී සිටීම් ආදී ගෞරව කළ යුතු ය.

2. භික්ෂුණිය තමාට අවවාද ලබා ගැනීමට සුදුසු භික්ෂුවක නොමැති ප්‍රදේශයක වූ මෙහෙණවරක වස් නොවිසිය යුතු ය.

3. අඩ මසක් පාසා මෙහෙණිය විසින් භික්ෂු සංඝයාගෙන් පොහොය විචාළ යුතු ය. අවවාද දීමට භික්ෂුවකගේ පැමිණීම ද බලාපොරොත්තු විය යුතු ය.

4. වස් විසූ භික්ෂුණිය වස් අවසානයේ දී භික්ෂු භික්ෂුණී යන උභතෝ සංඝයා ඉදිරියේ පවාරණය කළ යුතු ය.

5. බර ඇවතකට පත් භික්ෂුණිය දෙසතියකට නො අඩු කාලයක් උභය සංඝයා ඉදිරියෙහි වත් මානත් පිරිය යුතු ය. ,

6. උපසම්පදාව ලබනු කැමැති මෙහෙණිය දෙ අවුරුද්දක් ම ශික්ෂමානවකව (හික්මෙන්නියක) මෙහෙණින් ළඟ විසිය යුතු ය.

7. කවර කරුණක් නිසා හෝ භික්ෂුණිය භික්ෂුවකට ආක්‍රෝෂ, පරිභව නොකළ යුතු ය.

8. භික්ෂුණිය විසින් භික්ෂූන්ට අවවාද නොකළ යුතු අතර, භික්ෂූන් ගේ අවවාද පිළිගත යුතු ය.

මෙකී අෂ්ට ගරු ධර්ම බුදුරදුන් වෙතින් අසා දැනගත් ආනන්ද හිමියෝ මහා ප්‍රජාපතී ගෝතමී දේවිය වෙත පැමිණ එය විස්තර කර දුන්හ. එය ඇසූ එතුමිය අෂ්ට ගරු ධර්ම ජීවිතාන්තය දක්වාම කඩ නොකොට ආරක්ෂා කරන බවට පොරොන්දු වූවා ය. ඉක්බිතිව ආනන්ද හිමියෝ බුදුරදුන් වෙත ගොස් මහා ප්‍රජාපතී ගෝතමී දේවිය අෂ්ට ගරු ධර්ම පිළිගැනීමෙන් පැවිදි උපසම්පදාව ලැබූ බව ප්‍රකාශ කළහ. පසුව අනෙක් කාන්තා පිරිස ද එතුමිය අනුව යමින් පැවිදි උපසම්පදාව ලැබූහ. මෙසේ බුදුරදුන් අෂ්ට ගරු ධර්ම පැනවූයේ සිතා මතා භික්ෂුණිය භික්ෂුවකට වඩා පහළ තත්ත්වයක තැබීමේ අරමුණින් නොව භික්ෂුණීන්ට සමාජ රැකවරණය ලබා දීමටත්, ස්ත්‍රී, පුරුෂ භේදය නිසා ඇතිවිය හැකි ගැටලු මඟහරවා ගැනීමටත් විය හැකි ය.

බිනර පුර පසළොස්වක පොහොය වස් සමයේ අතර මැදි පොහොය සහ මධ්‍ය කාලයට අයත් ය. වස් සමයට අයත් මෙම කාලය තුළ භික්ෂූන් වහන්සේලා බුද්ධ නියමය පරිදි වස් සමාදන්ව විහාරස්ථානයන්හි නිබඳ ව වැඩ වෙසෙමින් ස්වකීය ශාසන පරමාර්ථයන් සපුරා ගනිති. එසේම ගිහි සැදැහැවතුන්ට ද අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කරමින් ඔවුන ගේ ද ශාසනික කටයුතු සපුරාලමින් ඔවුනුදු ආර්ය මාර්ගයට යොමු කරවති.

බිනර පුර පසළොස්වක පෝය

බිනර පුර පසළොස්වක පෝය සැප්තැම්බර් 13 වන දා සිකුරාදා පූර්ව භාග 07.35 ට ලබයි.
14 වන දා සෙනසුරාදා පූර්වභාග 10.02 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 13 වන දා සිකුරාදා ය.

මීළඟ පෝය සැප්තැම්බර්
22 වන දා ඉරිදා

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 13

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 22

Full Moonඅමාවක

සැප්තැම්බර් 28

First Quarterපුර අටවක

ඔක්තෝබර් 05

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]