[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සෙංකඩගල ඇසළ පෙරහර මංගල්‍යයට සියලු ආරක්ෂක විධි විධාන

සෙංකඩගල ඇසළ පෙරහර මංගල්‍යයට සියලු ආරක්ෂක විධි විධාන

ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සුවාසූ දහසක් ධර්මස්කන්ධයෙහි පහස ලැබුවා වූ උතුම් වාම ශ්‍රී දළදා වහන්සේ වෙනුවෙන් සිදු කෙරෙන, ශ්‍රී නාථ, ශ්‍රී විෂ්ණු, කතරගම, පත්තිනි යන සිව් මහා දෙවිවරුන් වෙත සිදු කෙරෙන පූජාවක් ලෙසත් පවත්වන්නා වූ චාරිත්‍රානුකූල පෙරහර මංගල්‍යයකි මහනුවර ඓතිහාසික ඇසළ මහා පෙරහර මංගල්‍යය.

මෙවර ඇසළ පෙරහර මංගල්‍යය වෙනුවෙන් සිව් මහා දේවාල කේන්ද්‍රකර ගනිමින් ඉකුත් දෙවන දා සුබ නැකතින් කප් සිටුවීම සිදු වූ අතර, දෙවැනිදා සිට 4 වැනිදා දක්වා සිව් මහා දේවාල අභ්‍යන්තර පෙරහර පවත්වනු ලැබිණි.

පළමු කුඹල් පෙරහර 5 වන දා ශ්‍රී දළදා මාලිගාවේ ප්‍රධාන වාහල්කඩින් දළදා වීදියට ප්‍රවිශ්ටවීමෙන් ආරම්භ විය. පුරා දින පහක් පස්වන දා සිට 9 වන දා දක්වා කුඹල් පෙරහර පහක් වීදි සංචාරය කෙරේ. පළමු රන්දෝලි පෙරහර අගෝස්තු 10 වන දා වීදි සංචාරය කෙරේ. රන්දෝලි පෙරහර 11, 12, 13 දිනවල වීදි සංචාරය කර, අවසන් රන්දෝලි පෙරහර පෝදා රාත්‍රී පැවැත්වේ. පසුදා දියකැපීමත්, දිවා පෙරහරත් පවත්වා පෙරහර ගෙවදීමෙන් පසු පෙරහර සන්දේශය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් පිළිගන්වනු ලැබේ.

සියලු රාජ්‍ය ආයතන සහ ස්වේච්ඡා සංවිධාන ප්‍රමුඛව වෙනදා මෙන් ම මෙවරද සියලු කටයුතු සංවිධානය කර ඇත. පෙරහර සඳහා විශේෂ ආරක්ෂාව පිළිබඳ විශේෂ අවධානය යොමු කර තිබේ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි


මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ
දියවඩන නිලමේ
ප්‍රදීප් නිලංග දෑල

ආරක්ෂක ලේකම්තුමා සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂාව පිළිබඳ රැස්වීමක් පවත්වන ලදී. රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් පොලීසිය, ත්‍රිවිධ හමුදාව ඇතුළු සියලු ආරක්ෂක අංශ ආරක්ෂාව පිළිබඳ ආරක්ෂක සැලැස්මක් සකස්කර පෙරහරේ ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු යොදා ඇත.

මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානායක මා හිමිපාණන් වහන්සේගේ සහ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතන මහානායක මා හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි සිව්මහා දේවාලයන්හි බස්නායක නිලමේවරුන් ප්‍රමුඛ දළදා පෙරහර සමඟ සිව්මහා දේවාල පෙරහර ගමන් කරනු ලැබේ.

අත්දැකීම් බහුල, පළපුරුදු වෘද්ධ කලාකරුවන් මෙන්ම ජවසම්පන්න තරුණ කලාකරුවන් හා බාලක කලාකරුවන් එක්දහස් පන්සියයකගේ පමණ සහභාගිත්වයෙන් නර්තනයෙන්, වාදනයෙන්, හා ගායනයෙන් ද පෙරහර අත්‍යාලංකාරයෙන් පැවැත්වේ. ලෝක පූජිත මෙම ඇසළ පෙරහර මංගල්‍යය වෙනදා මෙන් ම සාර්ථකව, පෞරාණික චාරිත්‍රානුකූලව පැවැත්වීමට අවශ්‍ය පරිසරය සකස් කර තිබේ.

පෙරහරෙහි ගමන්ගන්නා සියලු ඇලි ඇතුන් සඳහා සම්ප්‍රදායානුකූලව අලුතෙන් වස්ත්‍රාභරණ පරිත්‍යාගශීලීන්ගේ ද සහාය ඇතිව මෙවර නිර්මාණය කර ඇත. හීලෑ අලි ඇතුන්ගේ අඩුවක් පැවතුණ ද, මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍ය සඳහා අලි ඇතුන් අසූවක් පමණ සහභාගි කරවීමට පියවරගෙන ඇත.

අතීතයේ සිට හීලෑ අලි ඇතුන් පෙරහර මංගල්‍යය සඳහා සහභාගි කර ගැනීම පෙරහර සම්ප්‍රදායෙහි පෞරාණික සිරිතකි. දළදා පෙරහරේ කොප්පරා පන්දම් ආලෝකය සඳහා කොප්පරා කිලෝ 30000 ක් ද, සිව්මහා දේවාල පෙරහර සඳහා කොප්පරා කිලෝ 25000 ක් පමණ ද වැය වේ.

ලෝකවාසී නරඹන්නන්ගේ ගෞරවයට පාත්‍ර වී ඇති මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය නැරඹීම සඳහා මෙම දින කීපය පුරා ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන් පිරිසක් මහනුවරට ඒකරාශී වේ. ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන ඇත.

එම පෙරහර සමය තුළ පෙරහර නැරඹීමට පැමිණෙන සැදැහැවතුන් ආරක්ෂක අංශවලට සහාය දැක්වීම ද යුතුකම සහ වගකීමක් ද වේ. පරිසරයට හානි වන පොලිතීන් වැනි දෑ රැගෙන පැමිණීම අවම කිරීම ද පෙරහර නරඹන්නන්ගේ වගකීමක් වනු ඇත.

මහනුවර ඇසළ පෙරහරෙහි වැඩිවාර ගණනක් පෙරහර කරඬුව වැඩමවා ඇති ශ්‍රී දළදා මාලිගාවේ ඉන්දිරාජා හස්තිරාජයා මෙවර ද පෙරහර කරඬුව වැඩම කරවීමට නියමිත ය.

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී ඉකුත් දා (30) මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංගදෑල මහතා සහභාගි වූ ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇසුරෙනි.

- බෞද්ධ පත්‍ර කලා විශාරද
සීසර් සුදුසිංහ

නිකිණිපුර අටවක පෝය

නිකිණිපුර අටවක පෝය අගෝස්තු 07 වනදා බදාදා පූර්ව භාග 11.40 ට ලබයි. 08 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 10.30 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 07 වනදා බදාදා ය.

මීළඟ පෝය අගෝස්තු 14 වනදා බදාදා ය.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 07

Full Moonපසෙලාස්වක

අගෝස්තු 14

Second Quarterඅව අටවක

අගෝස්තු 23

Full Moonඅමාවක

අගෝස්තු 30

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]