[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පහන් සිතක කවි

සඳකඩ පහණ

පිය ගැට පාමුල නතරව ඉන්නෙමි
අඩ සඳ වී පා සුවය සදන් නෙමි
රළු වැලි පිසදා සිසිල සදන්නෙමි
සිත් පහදා ගන්නට ඉඩ දෙන්නෙමි

සතර දෙසින් එන අය පිළිගන්නෙමි
බුදුන් පුදන්නට සිත සකසන්නෙමි
වියළුන බෝපත් ගැන පවසන්නෙමි
සසරෙ නිසරු බව සිහි කරවන්නෙමි

****

හද අරණකි පෝයදාට

බුදු සුවඳ දැනෙනවා වෙහෙර බිම පුරාවට
සිල් සුවඳ මුසුවෙලා පහන් වී ගත සිතට
දම් සුවඳ දැනෙනවා සුවයකී හැම හදට
පෝයදා දෙව් ලොවකි පිය නගමු පන්සලට

****

සසරින් එතෙරට

මිරිඟුවක් ඇත දිය බිඳක් නැත
එයට රැවටී යනු එපා
වෙහෙසවීලා ක්ෂේම භූමිය
සොයා ගත්තොත්
සුව දැනේ

****

පාපිස්නක් විලසේ

බුදු පාමුල වැතිර වඳිමි
අමා දහම හදින් වඳිමි
මෙත් කරු ණා ගුණ තවරමි
සාධු සාධු බුදුන් වඳිමි

දම් රස දුන් නිදුකාණෙනි
හද මඬලේ හොවා වඳිමි
පාපිස්නක් ලෙසින් හිඳිමි
නිබඳ අමා දමේ ගිලෙමි

****

නමාමි බුද්ධං

මුළා වෙලා සසරේ යන සතුන් වෙත
හෙළා දෙනෙත් කරුණාවෙන් අපරි මිත
ගලා යන්න දෙසු සදහම් දහම් කෙත
බලා වඳිමි මුනි සිරිපා පියුම් පත

****

බුදු වෙන්න මගෙ පුතේ

ගිහි දිවිය අතැර දා පෙර පිනින්
කසාවත පොරෝගෙන අදිටනින්
පෙර දිනෙක නික්මුණේ අප වෙතින්
නුඹේ සුරතල් දකිමි මම සිතින්

උතුම් බුදු පියතුමන් මඟ යමින්
මහා කරුණා ගුණය පතුරමින්
සියලු ලෝ වැසියනට සෙත දෙමින්
පුතේ නුඹ මතු දිනෙක බුදු වෙයන්

****

යහපත් දිවි

සිත් වඩා දෛනික දිවී
ගැටලු වෙත නිති නිවැරැදී
සොයා විසඳුම් ඉවසිලී
වැලක් නොම වී ගසක් වෙනු මැන
එයයි ලොවෙ යහපත් දිවී

****

හොඳ සිතිවිලි

ආසයි බලන්නට පායල ඇසළ සඳ
සිතිවිලි පිබිදිලා ආවා සිතට හොඳ
යශෝධරා පුතු සමඟින් සුව නින්ද
සඳ රැස් අතුරින් කුමරුන් අබිනික්මන් කළේද

****

සංසාර මායාව

ලෝභයෙන්
ද්වේශයෙන්
මෝහයෙන්
මුළා වී කෙතෙක් කල්
ඉන්නටද
පෙර පින් අවසානයේ
යටත් වෙමු
මාරයාට

****

දහමෙහි හැසිරෙමු

නිර්මල බුදු දහම මුළු දවසෙම ඇසේ නම්
යා යුතු ගමන් මග පැහැදිලි කෙරේ නම්
වටහා ගන්න තරමට පින තිබේ නම්
ඇයි අපඹ තැවෙන්නේ තෙරුවන ඇසේ නම්

****

අනුමෝදනා

බුද්ධ ගයා පුද බිම දැක ගත් දවසේ
දහසක් පියුම් එකවර පිපුණයි සිරසේ
තුටු කඳුළින් දොවා එම මල් ගෙන සතොසේ
වජ්‍රාසනය ළඟ පුද දුන්නෙමි සිතු සේ

දඹදිව වැඳ පුදා රැස් කර ගත් එමට
පින් අත් වැලක් වේවා පුත දිවි මඟට
පුතුනේ - දූ වරුනි එක් වූ පින් කමට
පින් බලයෙන් සැදේවා සැප ජය සතුට

****

ඇසළ අසිරිය

සය අවුරුදු දුක් විඳිමින් සිත වෙහෙසක් නොකර දැනී
කය වැහැරූ පැතූ අදිටන ඉටු වන්නට සතුට පෙනී
ජය ලැබ පස් මරු පරදා ලොව්තුරු බුදු බව ම දිනී
පය තැබුවා ඉසිපතනෙට ඇසළ පොහොය දිනක් වුණී

බුදු හිමි දම්සක් දෙසුමට පා ගමනින් වැඩිය දිනේ
මදුරස දම්සක් දෙසුමින් තවුසන් මග ඵලට වුණේ
දෙවියන් පිදූ පරසතු මල් සුවඳ හමයි හතර කොනේ
අසිරිය තුන් ලොව පැතුරුණි පින්බර ඇසළ පොහෝ දිනේ

****

බිය සැක නොමැති තැන

සතර මහ භූත විසගොර සතුන් වගේ
රූප වේදනා පහ වධකයන් වගේ
නන්දි රාගයත් තනි වධකයා වගේ
‘අට මග’ මහා ඕඝයකට පහුර වගේ

හිස්ගම පිසිඳුරන්වේ අප ළඟ ඇත්තේ
උනුනගෙ ගොඳුරු සොරු හය දෙන විය යුත්තේ
මෙතෙර සිටින අප එතෙරට යා යුත්තේ
බිය සැක නොමැති තැන නිවනය දත යුත්තේ

****

සමාධි බුදු පිළිම වහන්සේ

මහ බෝ මළුවේ මුනිදුට සමාධි සිත් පහළ වූ වේ
රළු ගල් කුළුණේ මනරම් ලෝක උරුම සම්පත වේ
හෙළ වඩු හමුවේ විස්මිත ජීවමාන නිමැවුම වේ
මහමෙව්නා උයනේ දිලෙනා සමාධි බුදු පිළිමය වේ

නිකිණිපුර අටවක පෝය

නිකිණිපුර අටවක පෝය අගෝස්තු 07 වනදා බදාදා පූර්ව භාග 11.40 ට ලබයි. 08 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 10.30 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 07 වනදා බදාදා ය.

මීළඟ පෝය අගෝස්තු 14 වනදා බදාදා ය.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 07

Full Moonපසෙලාස්වක

අගෝස්තු 14

Second Quarterඅව අටවක

අගෝස්තු 23

Full Moonඅමාවක

අගෝස්තු 30

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]