[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සෙංකඩගල ඇසළ මහා පෙරහර මංගල්‍යය

සෙංකඩගල ඇසළ මහා පෙරහර මංගල්‍යය


සිරිසර සිරිලක කන්ද උඩරට සෙංකඩගල පුරවරය තේජෝ බල පරාක්‍රමයෙන් මෙන් ම, අසිරිමත් විචිත්‍ර ලීලාවෙන් ජනමන ප්‍රබෝධමත් කරන ශ්‍රී දළදා මන්දිරයත්, ශ්‍රී නාථ, ශ්‍රී විෂ්ණු, කතරගම කඳ සුරිඳු, පත්තිනි යන සිව් දේවාලත්, ඇසළ පෙරහර සමයේ දෙස් විදෙස් දසලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ චිත්ත සන්තාන දර්ශන මාත්‍රයෙන් ම ශ්‍රද්ධා භක්තියෙන් පිරී ඉතිරී යන්නේ ය.

මෙම පෙරහර මංගල්‍ය සම්බන්ධ ව ප්‍රධාන කාර්යයන් අතර,

කප් සිටුවීම

ඇතුළත පූජා

කුඹල් පෙරහර

රන්දෝලි පෙරහර

දිය කැපීම

දවල් පෙරහර

රජ දැක්ම

වලිය කුන් නැටීම හා ශාන්තිය වේ.

මඟුල් කප සිටුවීම සුබ නැකතින් සිදුවන අතර, දේව පූජාවක් වශයෙන් පෙරහර බාධාවක් නැතිව ජනතාවට ශාන්තිය ලබාදීම සඳහා සාර්ථකව කරගෙන යාමට දේව වරමක් අයැදීම එහි පරමාර්ථය යි.

විෂ්ණු, නාථ, කතරගම, පත්තිනි යන දේවාලයන්හි කපුරාළලා, හේවිසි කාරයන් හා අනිකුත් රාජකාරිවල නිල දරුවන් ඉතා පවිත්‍රව, සුදු පිරුවට ඇඳ, ප්‍රථමයෙන් දේව භක්තියෙන් , ඵල නොදැරී කොස් ගසක් වෙත ගොස් අවට පිරිසුදු කරති. ගස වටා පවිත්‍ර කිරීමෙන් අනතුරුව දුම්මල සුවඳදුම් ඇල්ලීම, සඳුන් දියර ඉසීමාදියෙන් ගස දෙවියන් ට කැප කරති.

මේ සියලු චාරිත්‍ර සිදුකරන්නේ පංචතූර්ය නාදයෙන් හා ස්තෝත්‍ර ගායනා කරන අතරතුරේ ය. තවද පහන්වැටි නවයක් හා මල්ජාති නවයක් අසුන් මත තබා පූජා කොට කපට නියමිත ගස කපා කඳ හතරකට වෙන්කොට පිළිවෙලින් නාථ, විෂ්ණු, කතරගම, පත්තිනි යන දේවාල හතරට බෙදා දෙනු ලැබේ.

ඇසළ මස අමාවක් පෝය පසුවී නව සඳ උදාවන දිනයේ දී දේවාලයන්හි නියමිත ස්ථානවල සුබ නැකතට සිටුවනු ලබන්නේ ය. උඩින් පියස්සක් ද, අවට රෙදි ද ඇද සරසන අතර මල්, පලතුරු ආදියෙන් අලංකාර කෙරේ. කප සිට වූ දින පටන් දිනපතා උදේ සවස පුද පූජා පවත්වන අතර දෙවියන්ට කැප වූ දේවාභරණ ගෙන කප වටා වැඩම කරවන ආකාරය කුඩා පෙරහරක් මෙන් මන නන්දනීය වේ. මෙය දේවාල හතරේ ම කෙරෙන අභ්‍යන්තර පෙරහර යි.

ගොඩනැගිලි තැනීම, ගිනිමඩු, පාන්මඩු ආදී දේව පූජාවල දී ආරම්භක අවස්ථා වන්නේ කප් සිටුවීමේ මංගල්‍යය යි. කපට අයත් ගස, කපන දින, මාස, සුබ, මුහුර්ති, කැපීමට පෙර සූදානම, කපන පුද්ගලයාගේ දේහ ලක්ෂණ, කපාගත් කඳ පෙරහරින් වැඩමවීම, සිටුවීම ආදී විස්තර ‘මයමතයේ’ දැක්වෙන්නේ ය.

කප් සිටුවීමේ ප්‍රධාන අපේක්ෂා 03 කි.

පවිත්‍රචේතනාවෙන් පරිසරයට ආරෝපණය කිරීම, දේවාශිර්වාදය ලබා ගැනීම හා පූජා මංගල්‍ය සාර්ථකව කරගෙන යයි.

ඇසළ පෙරහරේ ආරම්භය වශයෙන් දේව භක්තියෙන් කප් සිටුවීම සිදුකෙරන අතර සිව් දේවාලවල ඇතුළත පෙරහර දින හතරක් පවත්වනු ලැබේ.

ශ්‍රී දළදා මාලිගාවේ දළදා පෙරහර පෙරටු කරගත් සිව් දේවාල පෙරහර වීදි සංචාරය කරන්නේ කුඹල් පෙරහර වශයෙනි. පස් දිනක් කුඹල් පෙරහර පවත්වා, යළි රන්දෝලි පෙරහර ඉතා උත්කර්ෂවත් ලෙස සියලු අංගෝපාංග සමලංකෘතව වීදි සංචාරය කරන විට ජනතා හදවත් පිනවන්නේ ය.

ආගම දහමින් අපේක්ෂා කරන්නේ අප දන්නා ලෝකය තුළ සහන් සුවයෙන් සැනසීම යි. එය සදාචාරාත්මක ව ක්‍රියාකාරී ජීවිතයට සම්බන්ධවන විට භාෂා සාහිත්‍ය, සෞන්දර්ය, ආදී විවිධ කලා මාධ්‍යයට ද, ආර්ථිකයට ද සම්බන්ධ වන්නේ ය.

අඩමසක් පමණ පවත්වන ශ්‍රී දළදා පෙරහර පූජා මංගල්‍ය ශ්‍රී දළදා පූජාවක් වශයෙන් ද, දේව පූජාවක් වශයෙන් ද, කලා මංගල්‍යයක් වශයෙන් ද, බෞද්ධ ජනතාවගේ නිර්මාණ කුසලතාවයක් වශයෙන් ද අනගිබව සිතා කියා නිමකළ නොහැක්කේ ය.

සිය දහස් ගණන් දද, කොඩි, සේසත්, මුරායුධ, මුතුකුඩ මඳ පවනේ අහස් කුස චලනය වෙමින් ගමන් යන බෙර, දවුල්, තම්මැට්ටම්, බුම්මැට, හොරණෑ සක් තාලම් කයිතාලම් ආදී වාද්‍ය භාණ්ඩවලින් නැගෙන නාද නින්නාද වී ඈත මෑත කඳු ශිඛර කරා දිවයන්නේ ය. පුන් සඳේ ආලෝකයත්, පන්දම් විදුලි ආලෝකයත්, වැව් ජලය මතින් පරාවර්තනය වනවිට දිවමන් බුදුරදුන්ගේ සවණක් බුදුරැස් මාලා විහිදුණු ආකාරය එසේ මෙසේ දැයි සිතෙන්නේ ය.

ශ්‍රී දළදා පෙරහරේ ඉතා විචිත්‍ර, අභිමානවත් අවස්ථාව එළඹෙන්නේ නිකිණි පුරපසළොස්වක් පෝදින රාත්‍රියට වන අතර, එදින සියලු අංගෝපාංග උපරිම වශයෙන් පැවතීම නිසා ශ්‍රී දළදා පෙරහර දර්ශනයෙන් දසලක්ෂ සංඛ්‍යාත ජනතාව තම තමන්ගේ දැනීම, විෂයය, අභිමතය, කුසලතාවය අනුව රස වින්දනය කරති.

වාදකයා, නැට්ටුවා, පන්දම් දරන්නා, කොඩි, මුතුකුඩ අල්ලන්නා, ඡායා රූප ගන්නා මෙන් ම අලි ඇතුන් රාජයෝ, නරඹන්නන් යන සියල්ලන්ට ම ලෞකික වශයෙන් යම්කිසි වින්දනයක් ලබන්නට ලොව්තුරු සැපතකට පසුබිමක් කර ගන්නට සෙංකඩගලපුරවර ශ්‍රී දළදා පෙරහර නිතැතින් ම මූලාධාර වන්නේ ය.

ශ්‍රී ලංකා බෞද්ධ ශිෂ්ටාචාරය ආරක්ෂා කර පෝෂණය කරන්නට පෙරහර කෙතරම් මහෝපකාරී වූයේ ද යත් පෙරහර නැති පන්සලක්, දේවාලයක්, නැති තරම් ය.

මිනිස් චින්තනය වැඩි වශයෙන් සමීප වන්නේ දෙවියන් වෙත නිසා දේවාල පෙරහර සුවිශේෂ අංගෝපාංගයන්ගෙන් සංලක්ෂණය වන්නේ ය. වර්ණ වශයෙන් ධජපතාක, ඇඳුම් ආයිත්තම් හා නර්තන වාදන මෙන් ම, ගමන් විලාසවලින් නාථ, විෂ්ණු, කතරගම, පත්තිනි යන සිව්දේවාල අනන්‍යතාවයෙන් හඳුනා ගැනීමට, දේව භක්තිය ප්‍රකාශ කිරීමට, එයින් සහන් සුවය ලබා ගැනීමට හැකි වන්නේ ය.

ප්‍රථමයෙන් ශ්‍රී දළදා පෙරහර නැරඹීමෙන්, සාධු සාධු ගෞරව ප්‍රකාශ කිරීමෙන් තෙරුවන් පිළිබඳ පවිත්‍ර ශ්‍රද්ධාව සිත පුරා ගමන් කරන අතර, දේවාභරණ වැඩමවන රන් සිවිගෙය නෙතට රසඳුනක් වන අතර දේවාශීර්වාදයක් ද ලැබෙන්නේ ය. සමස්ත වශයෙන් ශ්‍රී දළදා පෙරහර උසස්තම තෙරුවන් පූජාවක් ද, දේව උපහාරයක් ද වන්නේ ය. ලාංකික ජනතාවගේ පොදු දෛනික ජීවිතයේ ආගමික වශයෙන් ලබන ආශ්වාදය මෙන් ම, කුසලතාවය ද ඇසළ පෙරහර මංගල්‍යයෙන් ලබාගත හැක.

ශ්‍රී දළදා මාලිගාව ප්‍රධාන කරගත් සතර දේවාල පෙරහර දේශ දේශාන්තර බෞද්ධ අබෞද්ධ ජනතාවගේ ශ්‍රද්ධාව, භක්තිය වර්ධනය වන, කලාත්මක චින්තනය උද්දීපනය කරන, ශාන්ත සුන්දර හැඟීමෙන් ආත්ම විශ්වාසය හා ආරක්ෂාව ඇති කරන උත්තරීතර පුණ්‍ය මහෝත්සවයකි.

නිකිණිපුර අටවක පෝය

නිකිණිපුර අටවක පෝය අගෝස්තු 07 වනදා බදාදා පූර්ව භාග 11.40 ට ලබයි. 08 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 10.30 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 07 වනදා බදාදා ය.

මීළඟ පෝය අගෝස්තු 14 වනදා බදාදා ය.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 07

Full Moonපසෙලාස්වක

අගෝස්තු 14

Second Quarterඅව අටවක

අගෝස්තු 23

Full Moonඅමාවක

අගෝස්තු 30

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]