[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

තෙවළා බුදු වදන් අතරින් 39 : සිව් වැදෑරුම් දිනුම

තෙවළා බුදු වදන් අතරින් 39 :

සිව් වැදෑරුම් දිනුම

ආත්ම ජයග්‍රහණය ලොව ඇති උතුම්ම ජයග්‍රහණයයි. ලොව ඇති බොහෝ භෞතික ජයග්‍රහණ තාවකාලික ය. එක් ජයග්‍රහණයක් අත්පත්කරගත් විට එයින් නොනැවතී වෙනත් දිනුමකට සිත යොමු වෙයි. එක් දෙයක් අත්පත්කරගත් විට නැවත වෙනත් දෙයක් අත්පත්කරගැනීමට සිත උත්සුක වේ. ඒ අනුව මරණය තෙක් ම යම් යම් දෑ අත්පත් කර ගැනීමේ අනවරත අරගලයක පුද්ගලයා නිරත වේ.

සැම කෙනෙකුගේ ම මූලික අරමුණ සැම දෙයක් ම ජය ගැනීම ය. විවිධ පුද්ගලයන්ට, විවිධ දෑ ජයගැනීමට අවශ්‍යව තිබේ. කෙනෙකුට තවත් අයෙක් පාරාජය කිරිමට අවශ්‍ය වේ. එසේ නැතහොත් යමක් අත්පත් කර ගැනීමට අවශ්‍ය වේ. කොතෙක් ප්‍රාර්ථනා ඇතත් කෙනෙකුට ජයගත හැකි වන්නේ තමා හිතන පතන දෑ අතුරින් කීපයක් පමණි.

සැම කෙනෙක් ම අසම්පූර්ණ වූ ජයග්‍රහණය ඇතිව ජීවිතය අවසන් කරති (ඌණාව හුත්වාන ජහන්ති දෙහං). විවිධ භෞතික දෑ මගින් ලොව දිනා, අධ්‍යාත්මික වශයෙන් පරාජිතව වෙසෙන්නෝ බහුල වෙති. බුදුරදුන්ගේ ඉගැන්වීම නම් භෞතික දැයින් ලබන දිනුමට වඩා අධ්‍යාත්මික වශයෙන් ලබන දිනුම උතුම් බවයි. එය අනුන් පරාජය කිරීමෙන් ලබන දිනුමකට වඩා තමන්ම, තමාගේ දුර්ගුණ පරාජය කිරීමෙන් ලබන දිනුමකි. ඒ අනුව ආත්ම ජයග්‍රහණය ලොව ඇති උතුම්ම ජයග්‍රහණයයි. ලොව ඇති බොහෝ භෞතික ජයග්‍රහණ තාවකාලික ය. එක් ජයග්‍රහණයක් අත්පත්කරගත් විට එයින් නොනැවතී වෙනත් දිනුමකට සිත යොමු වෙයි. එක් දෙයක් අත්පත්කරගත් විට නැවත වෙනත් දෙයක් අත්පත්කරගැනීමට සිත උත්සුක වේ. ඒ අනුව මරණය තෙක් ම යම් යම් දෑ අත්පත් කර ගැනීමේ අනවරත අරගලයක පුද්ගලයා නිරත වේ. එහෙත් ඔහු හෝ ඇය ජීවිතය නිමා කරන්නේ ජය ගැනීමට තවත් දහසකුත් දෑ ඉතිරිකර තබාගෙන ය.

විවිධ ජයග්‍රහණ අත්පත් කර ගන්නේ කෙසේද යන්න බුද්ධ දේශනා මගින් පැහැදිලි කොට තිබේ. ධම්මපද කෝධ වග්ගයේ තුන්වන ගාථාවෙන් කරුණු හතරකින් ලෝකය ජයග්‍රහණය කිරීමට අවශ්‍ය උදෙස් සපයයි. එහි දැක්වෙන අන්දමට ක්‍රෝධයෙන් යුක්ත තැනැත්තා ජය ගත යුත්තේ පෙරලා ක්‍රෝධ නොකිරීමෙනි (අක්කෝධෙන ජිනෙ කොධං). අසාධු පුද්ගලයන් සාධු ගුණ පැතිරීමෙන් ජයගත යුතු වේ (අසාධුං සාධුනා ජිනෙ). කිසිවක් නොදෙන මසුරු මළ සහිත පුද්ගලයන් ජය ගත යුත්තේ දානයෙන් ය (ජිනෙ කදරියා දානෙන). සත්‍යය ප්‍රකාශ කිරීමෙන් අසත්‍ය කියන්නා ජය ගත යුතු වේ (සච්චෙන අලිකවාදිනම්). ධම්මපද ගාථාව මතු පිටින් බැලූ විට පෙනීයන්නේ එයින් බාහිර පුද්ගලයන් ජය ගැනීමක් පමණක් අදහස් කෙරෙන බවයි. එහෙත් මතුපිට අර්ථය අබිබවා යන වඩාත් ගැඹුරු අරුතක් එයින් ඉස්මතු වේ. ඒ අනුව එම කරුණු හතර කෙනෙකු අධ්‍යාත්මික වශයෙන් තමා තුළ ඇතිකරගත යුතු සදාචාර ගුණයන්ය. එයින් පළමුව සිදුවන්නේ තම අධ්‍යාත්මය ජය ගැනීමයි. නැතහොත් ආත්ම ජයග්‍රහණයයි. මෙම සිව්වැදෑරුම් කරුණු හතරෙන් අවධාරණය වන්නේ සැබැවින් ම අධ්‍යාත්මික ජයග්‍රහණයකි.

බොහෝ දෙනෙකු ලෝකය දිනන්නට උත්සුක වන්නේ ධර්මයෙන් නොව අධර්මයෙනි. නීතිය හා යුක්තිය අනුව කටයුතු කිරීමෙන් නොව අවනීතිය හා අයුක්තිය අනුව ක්‍රියා කිරීමෙනි. බුද්ධ වචනය අනුව එය නිවැරැදි දිනුමක් නොවේ. බුදු දහම පටිසෝතගාමී චින්තනයකි. ලෝකය අනුසෝතගාමී ය. බුදුරදුන් උගන්වා වදාළේ පටිසෝතගාමී ප්‍රතිපදාවකි. ලෝකය ගලායන පැත්තට නොව එයට ප්‍රතිවිරුද්ධ පැත්තට ගමන් කිරීම එයින් අදහස් වේ. නිත්‍යයැයි සිතන ලෝකය ගැන බුදුසමය දකින්නේ අනිත්‍ය වශයෙනි. සැප යැයි සිතන ලෝකය නිතර නිතර වෙනස්වන හෙයින් දුක් සහිත යැයි පිළිගැනේ. ලෝකය තෘෂ්ණාවෙන් අල්ලා ගැනීම වෙනුවට තෘෂ්ණාව අත්හැර දැමීම එහි ඉගැන්වෙන පිළිවෙතයි. ධම්මපද ගාථාවේ එන කරුණු හතරින් ම පෙන්වා දෙන්නේ එම පටිසෝතගාමී පිළිවෙතයි.

පළමු කරුණට අනුව ක්‍රෝධය ජයගත යුත්තේ ක්‍රෝධ නොකිරීමෙන් ය. බොහෝ දෙනෙකු ක්‍රෝධයට ප්‍රතිචාර දක්වන්නේ පෙරලා ක්‍රෝධ කිරීමෙනි. එහෙත් එයින් තවදුරටත් ක්‍රෝධය ම ජනිත වන අතර ජයග්‍රහණයක් අපේක්‍ෂා කළ නොහැකි ය. ක්‍රෝධය ද්වේෂ මූලික ය. එබැවින් එය අකුසල සහගත චේතනාවකි. ක්‍රෝධ කිරීම අකුසල සහගත චර්යාවකි. එයට අනුරූපී විපාක දුක්ඛදායක ය. එබැවින් පෙරලා ක්‍රෝධ නොකිරීමෙන් හා ක්‍රෝධය වෙනුවට මෙත්සිත ඇතිකර ගැනීමෙන් එය ජයගත යුතු වේ. මෙය අතිශය අසීරු කටයුත්තකි. පුද්ගල සන්තානය හුරු වී තිබෙන්නේ ක්‍රෝධයට පෙරලා ක්‍රෝධ කිරීමෙන් ප්‍රතිචාර දැක්වීමටය. එය අනුසෝතගාමී

පිළිවෙතයි. බුදුසමය පටිසෝතගාමී ය. එබැවින් ක්‍රෝධය වෙනුවට මෙත්සිත පතුරා එය ජයගත යුතු වේ.

සාධු-අසාධු ගුණ කවරෙකු තුළ වුව ද විද්‍යමාන වේ. එහෙත් ඇතැම් පුද්ගලයන් කෙරෙහි බහුලව පවතින්නේ අසාධු ගුණ ය. අසාධු - සාධු යන්නෙහි ඇත්තේ අතිශය පුළුල් අර්ථයකි. එයින් පොදුවේ ව්‍යවහාර කෙරෙන කවර අන්දමේ හෝ නරක හා හොඳ අදහස් වේ. ධම්මපද ගාථාවේ ඒවා කවරේදැයි වර්ගකොට නොදැක්වූව ද එයින් ගම්‍යවන්නේ ලොව සියලු අයහපත් පුද්ගලයන් හා අයහපත් දෑ යහපත අනුගමනය කිරීමෙන් ජයගත යුතුබවයි. සැම කෙනෙක් ම උත්සුක වන්නේ අයහපත් පුද්ගලයන්ට හා අයහපත් දෑට අයහපත් අයුරින් ප්‍රතිචාර දැක්වීමට ය. එහෙත් බුද්ධ වචනය අනුව අයහපත ජයගතයුත්තේ යහපත අනුගමනය කිරීමෙන් ය.

කිසිවෙකුටත් කිසිවක් නොදෙන, කිසිවක් අන්‍යයන් හා බෙදා ගැනීමට සිතක් පහළ නොවෙන මසුරු සිතැති අය වෙසෙති. මසුරු තැනැත්තා සියල්ල එක් රැස් කොට තමා සන්තකයේ තබා ගැනීමට කැමැති ය. අවම වශයෙන් තම දෙමාපියන්, සහෝදර සහෝදරියන් හා තම සමීපතමයන් සමගවත් කිසිවක් බෙදා ගැනීමට අකැමැති ය. දානය පරිත්‍යාගය යන සත් ගුණ ඔහු කිසිසේත් රුචි නොකරයි. මසුරුකම දානයේ පසමිතුරා ය. එය ජයගතයුත්තේ පරිත්‍යාගය පුරුදු කිරීමෙනි. එබැවින් මසුරු තැනැත්තා ජයගත යුත්තේ පරිත්‍යාගයෙනි.

ලොව මිහිරිතම රසය සත්‍යයයි (සච්චං හවේ සාදුතරං රසානං). එසේම සත්‍ය වචනය ඒකාන්තයෙන් ම අමෘතය වැනි ය ( සච්චං වේ අමතා වාචා). බොරුව ලොව නීරසම වදන ය. බොරු කියන්නාට නොකළහැකි පාපයක් නැත. බොරු කියන්නාගේ ජීවිතය සාකල්‍යයෙන් ම හිස් ය. එබැවින් අසත්‍ය ජයගත යුත්තේ සත්‍යවාදී වීමෙන් ය. සත්‍යවාදීවීම, සත්‍ය ගරුක වීම අතිශය දුෂ්කර කර්තව්‍යයකි. එහෙත් එය දීර්ඝකාලීනව යහපත් ය. බොරු කීමෙන් ක්‍ෂණිකව විවිධ ලාභ ප්‍රයෝජන ලබාගත හැකි වුව ද, ඒ සියල්ල තාවකාලික ය. බොරුවෙන් රැස්කරන ධනයට වඩා සත්‍යවාදීව ගත කරන දිළිඳු ජීවිතය යහපත් ය. අගනේය. බොරුවෙන් රැස්කරගත් දෑ ගැන තම හෘදය සාක්‍ෂියට අනුව සතුටුවිය නොහැකි ය. බොරුව හා අසත්‍ය කවර හෝ මොහොතක ප්‍රකට වේදැයි යන සැකය සැම විටම සිත අවුලට පත්කරයි. එබැවින් අසත්‍ය බොරුව ජයගත යුත්තේ සත්‍ය ගරුක වීමෙනි. සත්‍ය ගරුකවීම තාවකාලික වශයෙන් පාඩුවිය හැකි වුව ද දීර්ඝකාලීනව හිතකර ය. ලාභදායක ය. අසත්‍යයෙන් යටපත් කළ දෑ අනාගතයේ කවර හෝ දිනෙක එළිවෙනු ඇත. එබැවින් සත්‍ය කිසිදිනෙක යටපත් කළ නොහැකි ය.

ධම්මපද ගාථාවේ දැක්වෙන පරිදි මෙත්සිත දියුණු කිරීමෙන් ක්‍රෝධයත්, සාධු ගුණ වර්ධනය කිරීමෙන් අසාධු ගුණයත්, පරිත්‍යාගය ප්‍රගුණ කිරීමෙන් මසුරු බවත්, සත්‍යගරුක වීමෙන්

අසත්‍යයත් ජයගත යුතු වේ. ලොව යම්කිසි දිනුමක් වේ ද, ඒ සියල්ල ලෞකික ය. එහෙත් ඉහතින් දැක්වූ සිව්වැදෑරම් දිනුම අධ්‍යාත්මික මෙන් ම භෞතික වේ. එම දිනුම දෙලොව අභිවෘද්ධිය පිණිස උපනිශ්‍රය වේ. එවන් සැබෑ දිනුමක් අත්පත්කරගත් තැනැත්තා ඉන්ද්‍රඛීලයක් මෙන් නොසෙල්වෙන සුළු ය. අකම්පිත ය.

ඇසළ අමාවක පෝය

ඇසළ අමාවක පෝය ජූලි 31 වන දා බදාදා පූර්ව භාග 11.57 ට ලබයි. අගෝස්තු 01 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 08.41 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 31 වන දා බදාදා ය.

මීළඟ පෝය අගෝස්තු 07 වනදා බදාදා ය.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූලි 31

First Quarterපුර අටවක

අගෝස්තු 07

Full Moonපසෙලාස්වක

අගෝස්තු 14

Second Quarterඅව අටවක

අගෝස්තු 23

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]