[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අනුත්තරීය ධර්ම

අනුත්තරීය ධර්ම

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස...

ඉමානි භික්ඛවෙ අනුත්තරියානී,
කතමානිච දස්සනානුත්තරියා සවණානුත්තරියං
ලභානුත්තරියං සික්ඛානුත්තරියං
පාදානුත්තරියං අනුස්සානුත්තරියං තී.

පින්වතුනි,

අකාරුණික වූ ලොවකට කරුණාව බෙදා දුන්, අසුබවාදී ලොවකට සුබවාදී දර්ශනයක් පෙන්වාදුන් අප තිලෝගුරු බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ අනුත්තරිය ධර්මයන් බුදුසරණ පාඨක පින්වතුන්ගේ අවබෝධය පිණිසයි. පළමු කාරණය වන දස්සනානුත්තරිය යනු දෙනෙතින් දැකිය යුතු දර්ශනයන්. ඇති වෙලා තියෙන රාගයන් නැති වෙන ආකාරයට. නැති රාගයන් ඇති නොවෙන ආකාරයට දෑස පිනවන්න.

එදා දඹදිව රජ කළ චණ්ඩාශෝක මහරජතුමා කාලිංග යුද්ධයේ දී ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ජීවිතක්ෂයට පත් කළා. ලක්ෂ ගණන් උන්හිටි තැන් අහිමි කළා. ලක්ෂ ගණන් ආබාධිත තත්ත්වයට පත් කළා. මෙහෙම යුද්ධ කරලා සිංහාසනය ලබා ගත්තත්, රජකම ලැබුවත් සැනසීමක් ලැබුවෙ නැහැ. මුළු සිරුරම දැවෙන්න පටන් ගත්තා. නිදා ගන්න බැහැ. මිනිසුන්ගේ මර ලතෝනි හඬ ඇහෙනවා. පිපාසයට දිය පොදක් බොන්න බැහැ.මිනිසුන්ගේ ගලා ගිය රුධිරය සිහි වෙනවා. දැවෙනවා. පිච්චෙනවා. උඩු මහලේ ඒ මේ අතට උමතුවෙන් වගේ ඇවිදිනවා. මෙහෙම දුක් විඳින රජතුමා දවසක් උඩු මහලේ දී දුටුවා. වීදිය දිගේ සන්සුන් ඉරියව්වෙන්, පාත්‍රයක් අරගෙන, බොහොම සංවරව ගමන් කරන පොඩි හාමුදුරු වහන්සේ නමක් මහ මඟ වඩිනවා. මේ දර්ශනය දුටු රජතුමා මොහොතකට සැනසීමක් ලැබුවා.

රජතුමා රාජ පුරුෂයෙක් යවා මේ පොඩි හාමුදුරුවන් වහන්සේ රාජ මන්දිරයට කැඳවාගෙන එන්න නියෝග කළා. මේ පොඩි හාමුදුරුවෝ තමයි නිග්‍රෝධ පොඩි හාමුදුරුවන් වහන්සේ මහරජතුමා පවසනවා මේ පොඩි හාමුදුරුවන්ට සුදුසු ආසනයක වාඩි වෙන්න කියලා. සත් හැවිරිදි මේ පොඩි හාමුදුරුවන් වට පිට බලා සිංහාසනය මත වාඩි වුණා. මෙය දුටු රජතුමා පොඩි හාමුදුරුවන්ට පවසනවා, ලක්ෂ ගණන් මරුමුවට පත් කරමින්, ලක්ෂ ගණන් උන්හිටි තැන් අහිමි කරමින්, ලක්ෂ ගණන් ආබාධිත තත්ත්වයට පත් කරමින් මහා යුද්ධයක් කරලා ලබා ගත් ඔය සිංහාසනයේ වැඩ ඉන්න ඔබ වහන්සේට ඇති සුදුසුකම මොකක්ද? සත්හැවිරිදි පොඩි හාමුදුරුවන් පවසනවා, මට සුදුසු ආසනයක් බලා වාඩි වෙන්න මහරජතුමාමයි පැවසුවේ. මේ ආසනයේ වාඩි වෙන්න ලක්ෂ ගණනින් මිනිසුන් මරන්න ඕනෙ නැහැ.

මිනිසුන්ට උන්හිටි තැන් අහිමි කරන්න ඕනෙ නැහැ. ලක්ෂ ගණනින් මිනිසුන් ආබාධිත තත්ත්වයට පත් කරන්න ඕනෙ නැහැ. මට ඇති සුදුසුකම තමයි මම බුදුන් සරණ ගිය, ධර්මරත්නය සරණ ගිය, සංඝරත්නය සරණ ගිය සාමණේර ශීලය ආරක්ෂා කරන පොඩි හාමුදුරුවන් වහන්සේ නමක් වීම. මෙය ඇසූ රජතුමා සැනසීමට පත් වුණා. අනේ පොඩි හාමුදුරුවනේ, මගෙ මුළු සිරුරම දැවෙනවා. පිච්චෙනවා, මගෙ සිත කලබලකාරීයි. මගේ දැවෙන, පිච්චෙන මේ සිරුර නිවා ගන්න. අවවාදයක්, අනුශාසනාවක් කරන්න. ‘අප්පමාදො අමතපදං’

යන ගාථාවෙන් පුංචි අනුශාසනාවක් කරලා නිග්‍රෝධ පුංචි හාමුදුරුවන් පවසනවා. මගේ ගුරු දේව මොග්ගලීපුත්තතිස්ස මහ රහතන් වහන්සේ හිමාල වනාන්තරයේ වැඩ වාසය කරනවා. එහි ගොස් ඔය දැවෙන සිත නිවාගන්න. නිග්‍රෝධ පුංචි හාමුදුරුවන් වහන්සේ රජමාලිගයෙන් පිටත් වුණේ, චණ්ඩාශෝක මහරජතුමා ධර්මාශෝක නාමයෙන් උප්පාදය කරලයි. අසූ හාරදහසක් වෙහෙර විහාරස්ථාන ඉදි කරන්න, තම දරුවන් ශාසනයට පූජා කරන්න හේතු සම්පත් වුණේ. ඇත්ත ඇති සැටියෙන් දෙනෙතින් දුටු නිසයි. දෙවෙනි කාරණය සවනානුත්තරියං’ කන් දෙක පිනවීම, ශබ්ද රසය, ඇතිවෙලා තිබෙන්නා වූ රාගයන් නැති වෙන ආකාරයට,නැති රාගයන් ඇති නොවෙන ආකාරයට පිනවන්න. ධර්මාශෝක රජතුමාගේ අග්‍රමහේෂිකාව තමයි, අසන්ධිමිත්‍රා දේවිය. ඇය කුරුවි කිරිල්ලියකගේ කටහඬ අහලයි, බුද්ධාලම්බන පී‍්‍රතිය ලබා සක්කාය දිට්ඨි, විචිකිච්චා, සීලබ්බතපරාමාස යන බැමි සහමුලින්ම මුලෝච්චනය කර සසර කතරින් එතෙර වුණේ. ශබ්ද රසය ඇති සැටියෙන් ලබා ගත් නිසයි. ඔබගේ දෙසවන බුදුබණවලින් පුරවාගන්න. අතීතයේ හේනේ, පැලේ, ගොවිබිමේ, කරත්තයේ, තොටිල්ලේ ඇසුණේ බුදුගුණයි.

තුන්වන කරුණ ලාභානුත්තරියං ලබන්නාවූ ලාභ වෙළෙහෙළඳාම් කරලා, ගොවිතැන් බත් කරලා, රැකීරක්ෂා කරලා, ලබන්නාවූ ලාභය. මේ ලාභයන් අවශ්‍ය උතුම්ම ලාභයනම් ශ්‍රද්ධාවයි. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇති වන්නාවූ විශ්වාසය, පිළිගැනීම, ධර්මරත්නය කෙරෙහි සංඝ රත්නය කෙරෙහි ,ඇති විශ්වාසය, පිළිගැනීම තමයි ශ්‍රද්ධාව. අචල භක්තියක් ,පිළිගැනීමක් ඇති කර ගත යුතුයි. සිව්වන අනුත්තරිය ධර්මය සික්ඛානුත්තරියං, වනාන්තරයේ සිටින අලි ඇතුන්, වන සිව්පාවුන් රැගෙනවිත් හීලෑ කර නොයෙක් වැඩ ගන්නවා. ඒ වගේ අපේ සිත, කය, වචනය සංවර කර ගත යුතුයි. සිතෙන් වන්නාවූ අකුසල ධර්මයන්, අලෝභ, අදෝෂ, අමෝහ යන මේවා උපදවා ගත යුතුයි. ලෝභය, ද්වේෂය, මෝහය යටපත්කරගත යුතුයි. සංවර වූ සිතක්, සංවර වූ කයක්, සංවර වූ වචන විලාශයක් ජනිත කර ගත යුතු යි. එදා ඈත අතීතයේ අපේ මුතුන් මිත්තන් ඇඳුමෙන් පැළඳුමෙන්, කෑමෙන් බීමෙන්, ගමනෙන් බිමනෙන් සංවරව හැසුරුණා. හිරබත් කෑ රොබට් නොක්ස් එදා හෙළ දිව යන පොතේ සිංහල ජාතිය ගැන වර්ණනාවක් කර සටහන් තැබුවා ආගන්තුක සත්කාරයත්, සංවර වූ ඇඳුම මධුභාෂිණි වචන මාලාව, ලජ්ජාව, භය තුළින් ජීවත් වූ පිරිසක,් පංච ශීලය ආරක්ෂා කළ පිරිසක්, ඕනෑම රූමත් කාන්තාවකට රන්, රිදී, මුතු, මැණික් පැළඳගෙන දෙවුන්දර සිට පේදුරුතුඩුවට තනිවම මහ මඟ ගමන් කරන්න පුළුවන් රටක් ශ්‍රී ලංකාව කියන්නේ. පංචසීලය, අෂ්ටාංග සීලය, නවාංග සීලය, සාමණේර සීලය කෝටියක් සංවර වූ උපසම්පදා සීලය මේවා පුළුවන් ආකාරයට ආරක්ෂා කළ යුතු යි. සංවර වූ සිත, සංවර වූ කය, සංවර වූ වචනය තුළින් ඇති වන්නා වූ රාගයන් පාලනය කරගත හැකියි. පස් වෙනි කාරණය පාදානුත්තරියං, මේ මහ පොළවට පස්වෙලා යන පංචඋපාදානස්කන්දයෙන් ගතයුතු හරය, ඵලය අප ලබාගත යුතුයි. අසාර දේ අයින් කර, සාර දේ් ලබා ගත යුතුයි. එදා හෙළ කලාකරුවා කටුවයි, මිටියයි රැගෙන නව අරහාදී බුදු ගුණයන් සිහි කරමින් හිත් පිත් නැති කඵ ගල් තුළින් බුදුරජාණන් වහන්සේ මතු කළා. සමාධි පිළිමය, රැස් වෙහෙර, අවුකන පිළිමය ආදිය, ආකාශයේ වළාකුළුවල ගැටෙන්න සැදූ චෛත්‍ය, මහා සාගරය වගේ සැදූ වැව්, පොකුණු ආදිය, මංමාවත් අම්බලම් මේවා පරහට කළ සේවාවන් ‘ආරාම රෝපා වන රෝපා’ යන ගාථාව අනුව නිතර වැඩෙන අට මහ කුසල් ‘ඒ දෑතින් නිර්මාණය වුණා.’ සෝමනස්ස සහගත ඤාණ සම්ප්‍රයුක්ත අසංකාරික සිත් උපදවාගත්තා. නිතර පින් වැඩෙන පින්කම් කළා. අම්මට, තාත්තට, වැඩිහිටියන්ට සලකන්න. අසල්වාසින්ට සලකන්න. පරහට සේවය කරලා සතුටක් ලබන්න. අවසාන කාරණය නම් ‘අනුස්සානුත්තරියං’. ඔබට, මට යම් දවසක සයන දශකය උදාවෙනවා. කෙස්ටික සුදුවෙලා, ඇඟ රැලිවැටිලා, කන් ඇහෙන්නෙ නැහැ, ඇස් පේන්නේ නැහැ, කොන්ද කුදු ගැහිලා එක තැන් වුණදාට ආපසු හැරිලා අතීතයට ගියොත් චක්ඛු, සෝත,ඝාණ, ජීව්හා, කාය, මන යන ඉන්ද්‍රියයන් තුළින් ගත යුතු හරය, ඵලය නිසියාකාරව ලබා ගත්තා නම් ඔබේ ජීවිතය හිස් ජීවිතයක් නොවෙයි. ඔබගේ පින්පොත කියවන්න මතක සටහන් රඳවන්න. අපේ පැරැණි ආච්චිලා, කිරි අම්මලා, නෑඹිලියට හාල්ටික ගත්තාම මේකෙන් මිටක් මිටි හාල් මුට්ටියට දමනවා. ගමේ පන්සලේ පින්කමට, දුගියෙකුට, මගියෙකුට දෙන්න.ඉතින්, කළයට දිය බින්දුව, බින්දුව වැටි පිරී ඉතිරියන්නා සේ පින් වැඩෙනවා.

පොසොන් පුර අටවක පෝය

පොසොන් පුර අටවක පෝය ජුනිමස 10 වන දා සඳුදා පූර්ව භාග 00.36 ට ලබයි. එම දා අපරභාග 10.23 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි මස 10 වනදා සඳුදාය.

මීළඟ පෝය ජුනි මස 16 වනදා ඉරිදාය.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූනි 10

Full Moonපසෙලාස්වක

ජූනි 16

Second Quarterඅව අටවක

ජූනි 25

Full Moonඅමාවක

ජූලි 02

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]