[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

වෙසක් පණිවුඩ

වෙසක් පණිවුඩ

ඉවසීම කරුණාව මෛත්‍රිය පිරි ශ්‍රී සුබ වෙසක් මංගල්‍යයක් වේවා

ශාන්තිනායක ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ ලොව පහළ වීම, බුදු වීම, පිරිනිවන් පෑම යන ත්‍රිවිධ මංගල්‍යය සිදු වූ ශ්‍රී වෛශාඛ්‍ය පුන් පොහෝ දිනය සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවගේ පරම පූජනීය පුන් පොහෝ දිනය යි. “කිච්ඡං සද්ධම්මසවණං කිච්චෝ බුද්ධානං උප්පාදො” ‘සත්‍ය ධර්මය ඇසීම දුලබ ය. බුදුවරයන්ගේ උපත අතිශයෙන් දුර්ලභ ය.’ මහා කාරුණික බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව වූයේ “සියලු පව් නොකිරීම ය. සියලු කුසල් රැස් කිරීම ය. තමාගේ සිත කෙලෙසුන්ගෙන් පිරිසුදු කර ගැනීම ය” බුදුදහම වනාහි අවිහිංසාවාදී උත්තරීතර ධර්මය කි. බෞද්ධ ඉතිහාසයේ කවර දිනකවත් , කොතැනකදීවත් අන්‍යාගමිකයන්ට බුදුදහමේ නාමයෙන් තාඩනපීඩන, වධබන්ධන හෝ මිනිස් සංහාරයන් සිදුකළ බවට සාධක ඉදිරිපත් නොවේ. බෞද්ධයෝ කිසි කලෙකත් ශුද්ධ වු ආගමික යුද්ධ සිදු නොකළහ. කිසිදු ආකාරයෙන් බලහත්කාරයෙන්, අගතිකාමීව බුදුදහම ව්‍යාප්ත කිරීමට ක්‍රියා නොකළහ.

බුදුරජාණන් වහන්සේ ස්වකීය ශ්‍රාවක පිරිසට දේශනා කළේ බොහෝ දෙනාගේ හිත පිණිස, සුව පිණිස ධර්ම චාරිකාවේ යෙදෙන ලෙස ය. එවන් උත්තරීතර දහමක ආභාසය ලැබු බෞද්ධ සභ්‍යත්වය, බෞද්ධ සංස්කෘතිය හා ශිෂ්ටාචාරය අනුව හැඩගැසුනු සිරිලක් වාසීහු එදා සිට අද දක්වා ම අන්‍ය ආගම්වලට හා අන්‍ය ජාතීන්ට සහනශීලිව සැලකූහ. එනිසාම අන්‍ය ආගමිකයන්ට ස්වකීය ධර්මය නිදහසේ ඇදහීමටත්, බහුතර බෞද්ධ ජනතාව සමඟ එක්ව සාමකාමීව ජීවත්වීමටත් අවස්ථාව සැලසිණ. එවැනි ආගමික පරිසරයක් පැවති ශ්‍රී ලංකාව තුළ පසුගියදා ආගමික අන්තවාදීන් පිරිසක් විසින් සෙසු ආගමිකයන්ගේ හා ජාතීන්ගේ ජීවිත විනාශ කිරීමට පෙළඹී ක්‍රියා කිරීම ශෝචනීය කරුණකි.

මෙවර වෙසක් සමයෙහි රට තුළ උද්ගතව පවත්නා මෙම කණගාටුදායක තත්ත්වය සැලකිල්ලට ගෙන ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් ඥානාන්විතව, ආරක්ෂාකාරීව සාමකාමීව අපේ ශ්‍රේෂ්ඨ ශාස්තෘවරයන් වහන්සේගේ උතුම් තෙමගුල් දිනය සැමරීමට අදිටන් කර ගනිමු. සියලු ලෝ සතුනට ඉවසීම, දයාව, කරුණාව, මෛත්‍රිය පිරි ශ්‍රී සුබ වෙසක් මංගල්ලයක් වේවායි ආශිංසනය කරම්හ.

****

ඉවසිලිමත්ව සංයමයෙන් යුතුව ආගමික වතාවත්වල යෙදෙමින් වෙසක් සමරමු

ගෞතම බුද්ධ චරිතය දෙස බලන කල සිද්ධාර්ථ කුමාරෝප්පත්තියත්, සම්මා සම්බුද්ධත්වයට පත් වීමත්, බුද්ධ පරිනිර්වාණයත් සිදුවු වෙසක් පොහෝ දින සකල ලෝකවාසී බෞද්ධයින් හට පුණ්‍යවන්ත වූ සුවිශේෂී දිනය කි. එදා මෙදා තුර වසර 2562 ක් ඉක්ම ගොස් ඇතත්, උන්වහන්සේ දෙලොව යහපත සඳහා දේශනා කළ නිර්මල ධර්මය අදටත් පවතී. තමන් විසින් ම සත්‍යය අවබෝධ කර ගැනීම නිසා උන්වහන්සේ බුද්ධ නම් විය. මිනිසකු ලෙස ඉපිද මිනිසා පිළිබඳ ලැබිය යුතු උසස් ම අවබෝධය ලැබූ උන්වහන්සේ විශ්වාස මාත්‍රයෙන් නොව ප්‍රත්‍යක්ෂය තුළින් සත්‍යය අවබෝධ කළ නිසා තථාගත යනුවෙන් ද හැඳින්වූහ.

ලෝක සත්වයාගේ හිතසුව පිණිස පන්සාළිස් වසක් දේශනා කළ ඒ දහම් මග කුමන තරාතිරමක පුද්ගලයෙකු වුවත් පිළිපැදීම තුළින් දෙලොව යහපත සලසා ගත හැකි මාර්ගය අවබෝධ කර ගැනීමට හේතු සාධක වන්නාහ. ඊට ජාති, ආගම්, කුල මල බේද නොමැත. උන්වහන්සේ දහම් දේශනා කළේ සෑම සත්වයන් වෙත පතළ වූ මහත් දයාවෙනි. ශී‍්‍ර ලාංකික බෞද්ධයින්ද මෙම පුණ්‍යවන්ත උත්සවය සැමරීම සඳහා බණ භාවනා කිරීම, සිල් සමාදන් වීම, දන්සැල් දීම, පෙරහර, වෙසක් පහන් කූඩු ප්‍රදර්ශන , විදුලි ආලෝකයෙන් නිර්මාණය වූ තොරණ වැනි ආමිස හා ප්‍රතිපත්ති පූජාවන් පැවැත්වීමට හුරු පුරුදු වූහ. ශී‍්‍ර ලාංකික ජනතාව බේදයකින් තොරව වෙසක් උත්සවය සැමරීමට පුරුදුව සිටියෝ ය.

කෙසේ නමුත් ධර්මද්වීපය වූ අප රට තුළ වර්තමානයේ ඇතිවී තිබෙන අනාරක්ෂිත තත්වය නිසා සාමාන්‍ය ජනතාව තුළ දැහැමි සිත් ඇති කළා වු වෙසක් උත්සවය සුපුරුදු ලෙස අලංකෘත නොවනු ඇති බව අපගේ විශ්වාසය යි. මෙය බෞද්ධයින්ට පමණක් නොව මුලු ජාතියේ ම අභාග්‍යයකි. කෙසේ වෙතත් ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කළා වු ඒ නිර්මල ධර්මය අනුව බෞද්ධයින් වශයෙන් අපේ ජනතාව ඉවසිලිමත්ව සංයමයෙන් යුතුව ආගමික වතාවත්වල යෙදෙමින් වෙසක් උත්සවය සමරන ලෙස සිහිපත් කරනු කැමැත්තෙමි.

තෙරුවන් බෙලෙන් සැමට සුබ වෙසක් මංගල්‍යයක් වේවා! යි ආශිසංනය කරම්හ.

****

සම්බුදු දහම පිළිබඳ මනා දැක්මක් ලබා දී තිබේ

මිහිඳු මහ රහතන් වහන්සේගෙන් ආරම්භ වූ මෙරට බුදුදහම එදා මෙහි රජකම් කළ දේවානම්පියතිස්ස මහා රාජයා ඇතුළු රාජකීය ප්‍රභූවරුන් විසින් වඩ වඩාත් පණ ගන්වන ලදහ. ඒ රාජකීය ප්‍රභූවරුන්ගේ උද්‍යෝගිමත් බව නිසා නොබෝ කලකින් ම මෙරට බෞද්ධ රාජ්‍යයක් බවට පත්විය . එදා ආරම්භ වූ ඒ බුදුදහම ජාතික ආගම වශයෙන් මෙරට අද දක්වා පවතී. ඒ ඒ කාලවල පැවැති කවර ප්‍රශ්නයකට වුවද මුහුණ දෙමින් මිහිඳු මහ රහතන් වහන්සේ ආරම්භ කළ ශ්‍රාවක සංඝ තලයේ මාර්ගෝපදේශකත්වය යටතෙහි මෙරට බුදුසසුන ප්‍රාණවත් ලෙස පැවත ආ බව සියල්ලෝම දන්නා කරුණකි.

ඒ අනුව ඒ ඒ කාලවල දී භික්ෂූන්වහන්සේලා ප්‍රධාන මෙරට සිව්වනක් පිරිස ම භාෂනයෙන්,දේශනයෙන් සහ සේවනයෙන් එනම් පවත්වාගෙන ආ පිළිවෙල අනුව අපේ බුදුසරණ පත්‍රය ද ශාසන උන්නතිය පිණිස කරගෙන යනු ලබන සේවාව අතිශයින් ම අගය කළ යුතුය. පැවත ආ මෙකී ආවේණික පිළිවෙතට අනුව බුදුසරණ පත්‍රය ඉකුත් දශක පහකට නොවැඩි කාලයක් අඛණ්ඩව බොදු ජනයා අතරට පත්කිරීමෙන් සම්බුදු දහම පිළිබඳව මනා දැක්මක් ලබාදී තිබේ. ඒ අනුව මෙවර ද වෙසක් පුර පොහෝ දිනය නිමිති කොට ගෙන මේ අගනා බුදුසරණ පුවත්පත මෙම වෙසඟ දිනයේ ද මහජනයා අතට පත්කිරීමට කටයුතු යොදා තිබේ.

යථාගත අයුරින්ම ජනතාවගේ දැනුම සහ ප්‍රසාදය දිනාගෙන තව බොහෝ කාලයක් බුදුසරණ පත්‍රය පවතීවා! යි යන්න අපගේ නොවක් ප්‍රාර්ථනාවයි. සසුන රැකගැනීමට නම් පහසුවෙන් ලබාගත හැකි මෙබඳු බෞද්ධ පුවත්පතක් නැතුවම බැරිය. එකී මහජන කැමැත්ත සපුරාලීම පිළිබඳව ශ්‍රී ලංකා අමරපුර මහා නිකායයේ පූර්ණ සහයෝගය සහ ප්‍රශංසාව ලේක්හවුස් ආයතනයේ බුදුසරණ පුවත්පත් කාර්ය මණ්ඩලයට හිමිවන්නේ ය. ශුභ වෙසක් මංගල්‍යයක් වේවා!

****

කරුණාව මෛත්‍රිය පිරි මානව හිතවාදී සත්පුරුෂයෝ වෙත්වා

සියලු ලෝ සතුන් වෙත පතළ මහා කරුණාවෙන් දාන, ශීල, නෛෂ්ක්‍රම්‍ය, ප්‍රඥා, වීර්ය, ක්ෂාන්ති, සත්‍ය, අධිෂ්ඨාන, මෛත්‍රී, උපේක්ෂා යන දස පාරමී ධර්මයන් සපුරා උතුම් සම්බෝධියට තථාගත බුදුරජාණෝ පත්වූවෝ අද වැනි වෙසක් දිනක යි. උන්වහන්සේගේ උපත හා පිරිනිවීම ද සිදු වූ වෙසක් දින තරම් අනුස්මරණීය ශ්‍රේෂ්ඨ දිනයක් බෞද්ධයන්ට නැත. බෝසත් පාරමී ගුණ බලයෙන් සම්බුදු උපත සිදු වූ දින මුළු සක්වල සියලු සතුන් ජන්මාන්තර වෛරී සිතිවිලි හැර, මෛත්‍රියෙන්, කරුණාවෙන්, මාපිය දූ දරු සෙනෙහසින් එක් වූ බව ද සඳහන් වේ.

සකල සත්ව වර්ගයා වෙතම සුව සෙත සලසාදීම සඳහා ලොව පහළ වූ කරුණාවෙන් හා ප්‍රඥාවෙන් අසම වූ අප ගෞතම බුදුරජාණන් වහන්සේ සකල සත්ව වර්ගයා වෙත සුවසෙත ප්‍රාර්ථනා කළ යුතු ආකාරය කරණීය මෙත්ත සූත්‍රයේ දී තම ශ්‍රාවකයන්ට මනාව පැහැදිලි කර දුන්හ. අද මෘගසං වර්ෂාවෙන් තෙමුන වුන් සේ මිථ්‍යා දෘෂ්ටියෙන් අන්ධ වී බිහිසුණු මනුෂ්‍ය ඝාතන සිදුකරන අයගේ මිථ්‍යා දෘෂ්ඨිය දුරු වී ඒ හැම කරුණාව මෛත්‍රීය පිරී මානව හිතවාදී සත් පුරුෂයෝ වෙත්වා!

බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් අගය කළ ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දෙමින් මෙවර වෙසක් දිනය දාන ශීල නෛෂ්ක්‍රම්‍ය ආදී දශ පාරමී ගුණයන් හෙවත් බුද්ධ කාරක ධර්මයන් සපුරාලන

පිළිවෙතෙහි නියැළෙන ලෙස බුද්ධශ්‍රාවක ගිහි පැවිදි සියලු දෙනා වෙත මෙත් සිත් පූර්වකව සිහිපත් කර සිටිමු.

(අත්තානං උපමං කත්වා - න හනෙය්‍යන න ඝාතයේ තමා උපමා කොට කිසිවකුට හිංසා නොකරන්න, නොමරන්න.)

****

අපරිමිත සාමය සහිත සමාජයක් ගොඩනැඟීම පිළිබඳ බුදුන් වහන්සේගේ අනුශාසනය මේ අනගි වෙසක් දිනයේ යළි මෙනෙහි කරනු ලැබිය යුතු ය

ක්‍රි.පූ. සවැනි සියවසේ, එවක භාරත දේශයේ ශාක්‍ය ජනපදයෙහි උපත ලැබ, නේරංජනා නදී තීරයේ පිහිටි බුද්ධගයාවේ බෝරුක මුල දී බුද්ධත්වයට පත් ව, කුසිනාරාවේ උපවත්තන නම් සල් වනයෙහි දී පරිනිර්වාණයට පත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ එකී ත්‍රිවිධ ජීවන අවස්ථා අනුස්මරණය කරමින් පූජෝපහාර පවත්වන අති උතුම් වෙසක් පුන් පොහෝ දිනය අද යි. සාවුරුද්දක් මුළුල්ලේ ගංගා නිම්නයෙහි සැරිසරමින්, පරසිදු ආචාර්යවරුන් ගේ ධර්ම මාර්ග ගවේෂණය කරමින්, දුෂ්කර වෘතයන්හි යෙදුණ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ, අවසන වීර්යය, අධිෂ්ඨානය, ශ්‍රද්ධාව හා ප්‍රඥාව මූලික කොට මනුෂ්‍ය බුද්ධියෙන් ම බුද්ධත්වය සාක්ෂාත් කළහ.

බලය පිණිස උනුන් වනසා ගැනීම ඉක්ම වූ, අපරිමිත සාමය සහිත සමාජයක් ගොඩනැඟීම පිළිබඳ බුදුන් වහන්සේ ගේ අනුශාසනය මේ අනගි වෙසක් දිනයේ අප විසින් යළි මෙනෙහි කරනු ලැබිය යුතු ය.

භීතිය, අන්තරාය විරහිත අන්‍යෝන්‍ය විශ්වාසය සහිත මෛත්‍රී සහගත සමාජයක උදාව පිණිස භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ “වෛරයෙන් වෛරය නො සංසිඳේ, අවෛරයෙන් ම වෛරය සංසිඳේ” යන සදාතන සත්‍යය කෙරෙහි අප යළි යළිත් අපේ සිත් පිහිටුවාලීම කෙරෙහි වීර්යවත් විය යුත්තේ මෙබඳු මොහොතක ය.

අබෞද්ධයන් බෞද්ධ කිරීම සඳහා හෝ තම ශාස්තෘවරයා ගේ නාමයෙන් හෝ එක ද ලේ බිඳක් නොසෙල්වූ, ධර්මය ධර්මය ලෙස ම දක්වා ලූ වසර 2563 ක උදාර බෞද්ධ ඉතිහාසයක් පිළිබඳ අවබෝධයක් ඇති අපි, අවි ආයුධ බලය අතිශය තාවකාලික බව වටහාගත්තෝ වෙමු.

කවර පරමාර්ථයකින් පෙනී සිටියත් පාපය නිරයට මඟ බව දැන, බුදුන් වහන්සේ වදාළ මෙත් කරුණා ගුණ පෙරදැරි, අදහම දහමින් ම පිටුදක්නා මඟට ප්‍රවේශ ව, මේ රට ස්ථිරසාර අභිවෘද්ධියක් හා නිරිපද්‍රිත දේශයක් බවට පත් කිරීමට මේ වෙසක් සමයේ අපි අදිටන් කර ගනිමු.

ශ්‍රී ලංකාවාසී බෞද්ධ ජනතාව වෙනුවෙන් ප්‍රකාශයට පත් වන එකම බෞද්ධ සාර සංග්‍රහයක් බඳු ‘බුදුසරණ’ පුවත්පත මේ තාක් ජන සමාජයේ ධර්මාවබෝධය වෙනුවෙන් ඉටු කළ කාර්යභාරය සුවිසල් ය. ඒ සඳහා තවදුරටත් කටයුතු කිරීම ලේක්හවුස් ආයතනයට හා කර්තෘ මාණ්ඩලිකයනටත්, ලේඛක ප්‍රජාවටත් හැකි වේවා. බුදුසරණ පාඨක ජනතාව ඇතුළු පුවත්පතේ සියලු ක්‍රියාකාරීන් හට සැනසුම්දායක වෙසක් මංගල්‍යයක් ම වේවා යි ඉතසිතින් ප්‍රාර්ථනා කරමි.

****

ප්‍රතිපත්ති පූජාවෙන් සමාජ නවෝදයක් උදෙසා කටයුතු කරන්නට එක්සත්ව කටයුතු කිරීම අතිශය වැදගත්

මෙවර වෙසක් පුන් පොහෝ දින එළඹෙන්නේ අනපේක්ෂිත ත්‍රස්ත ප්‍රහාරයන් නිසා ශ්‍රී ලංකා සමාජය කැළඹීමට, බියට සහ වේදනාවට පත්ව සිටින අවිනිශ්චිත අවස්ථාවක ය. පොදු ජන ජීවිත සුරක්ෂිත කිරීමේ අරමුණින් , විශාල වශයෙන් ජනතාව රැස් වන ආමිස පූජාවන්ගෙන් බැහැර වන්නට සිදු වුව ද, බුදු දහමේ උත්තරීතර වටිනාකම් මත පදනම්ව ප්‍රතිපත්ති පූජාවෙන් සමාජ නවෝදයක් උදෙසා කටයුතු කරන්නට මෙම වෙසක් සමයේ එක්සත්ව කටයුතු කිරීම අතිශය වැදගත් ය.

බුදුන් වහන්සේ දේශනා කළ සද්ධර්මය පුද්ගල අධ්‍යාත්මික විමුක්තිය මෙන්ම පොදු සමාජ විමුක්තිය ද අරමුණු කොට ගත් උතුම් ධර්ම මාර්ගය කි. බුදු දහමේ මූලික හරය කැටි වූ මෙත්තා, කරුණා, මුදිතා,උපේක්ඛා යන සතර බ්‍රහ්ම විහරණ පිළිපදින්නේ නම් අප තුළ අධ්‍යාත්මික නිවීමත්, පොදුවේ සමාජය තුළ සාමය සහ සංහිඳියාවත් ගොඩනැගීමට හැකි වනු නිසැක ය.

වෛරයෙන් වෛරය නොසන්සිඳෙන බව දේශනා කළ බුදුන් වහන්සේ නිර්වාණ මාර්ගය විහිදී ඇත්තේ සකල සත්වයන් කෙරෙහි වන මෛත්‍රිය ඔස්සේ බව පැහැදිලිවම ප්‍රකාශ කර ඇත. එබැවින් ජාති. ආගම් වශයෙන් බෙදීි වෙන් වී විනාශය වැළඳ ගැනීම වෙනුවට එකිනෙකාගේ සංස්කෘතික විවිධත්වයට ගරු කරමින් මිනිසුන් ලෙස සාමයෙන් එක්ව කටයුතු කිරීම යුගයේ අවශ්‍යතාවය කි.

මෙම අර්බුදකාරි අවස්ථාව පිළිබඳ මනා වැටහීමෙන් ඉවසිලිවන්තව, සංයමශීලිව කටයුතු කරමින්, ජාතික ආරක්ෂාව ඇති කිරිම සඳහා සහාය ලබා දුන් සමස්ත ජනතාවට මාගේ හෘදයාංගම ප්‍රණාමය පුදකරමි. අසත්පුරුෂයා සත්පුරුෂකමින් ද, වෛරය අවෛරයෙන් ද, අධර්මය ධර්මයෙන් ද, අසත්‍යය සත්‍යයෙන් ද දිනවීමට පෙරමුණ ගන්නා අර්ථවත් සුබ වෙසක් මංගල්‍යයක් වේවායි ප්‍රාර්ථනය කරමි.

වෙසක් පුර පසළොස්වක පෝය

වෙසක් පුර පසළොස්වක පෝය මැයි මස 18 වන දා සෙනසුරාදා පූර්ව භාග 04.10 ට ලබයි.19 වන දා ඉරිදා පූර්ව භාග 02.41 දක්වා පෝය පවතී.සිල් සමාදන් වීම මැයි මස 18 වන දා සෙනසුරාදා ය.

මීළඟ පෝය මැයි 26 වන දා ඉරිදා

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 18

Second Quarterඅව අටවක

මැයි 26

Full Moonඅමාවක

ජූනි 02

First Quarterපුර අටවක

ජූනි 10

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]