[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ඉඩෝරයට හසුවූ සිත

ඉඩෝරයට හසුවූ සිත

ළමා වයස ගෙවිලා ගියා. වැඩිහිටියන් බවට පත් වුණා. ඒත් මේ ජීවිතේ සහනයක්, සැනසීමක් තියෙනවා ද? අපට ලැබුණ එකම සහනය සුගත තථාගත මහා මුනීන්ද්‍රයාණන් වහන්සේ පමණයි නේ. මේ ලෝකේ මේ තරම් විද්‍යාඥයන් ඉන්නවා.

මහා නැණවතුන්, උගතුන් ඉන්න මේ ලෝකේ වසර දෙදහස් පන්සිය ගණනකට පෙරදා කියූ වචන බොරු කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවද? අද විද්‍යාව දියුණු වෙලා. ඒත් අද විද්‍යාවෙන් හොයාගන්න දේ නේද එදා අපේ බුදුහාමුදුරුවෝ නමැති මහා විද්‍යාඥයා කිව්වේ. පින්වතුනේ, ජීවිතේ පරම සත්‍යය සොයාගත් මේ මහා මුනීන්ද්‍රයාණන් වහන්සේ තමන්ගේ මනස විද්‍යාගාරයක් කරගත්තා. පුස්තකාලයක් කරගත්තා. ඒ හැම දෙයක්ම තමන්ගේ මනසින්ම අවබෝධ කරගත්තා.

පින්වතුනේ, අපි සිත් දියුණු කරගන්න ඕනෑ. එදා සිත් දියුණු කරගත් ඇත්තන්ට හැමදෙයක්ම කරන්න පුළුවන් ශක්තියක් තිබුණා. මහරහතන් වහන්සේලා සිත් දියුණු කරගත්ත ඇත්තෝ. ඒ ඇත්තෝ මේ ලෝකය දකින හැටි කොහොමද? අද අපේ සිත් විෂකුරුයි. ඇතැම් විට රූපවාහිනියෙන් පෙනෙන දේ මොනවද? මේ විෂකුරු සිතට අපි තව තවත් එකතු කරගන්නේ විෂකුරු දේවල්ම නේද? කොතනද වරද? පරිහරණයේ වරදනේ. අපේ සිත් අද ඉඩෝරයට අහු වෙලා. කොහේද අපිට සැනසීමක් තියෙන්නේ. පින්වතුනේ අපි මොනදේ කළත් අපේ සිතට නොපෙනෙන්න වැරැදි කරන්න බැහැ.

කාට නොපෙනෙන්න වැරැදි කළත් අපේ සිත අපට කියනවා. අප කරන්නේ වරදක් කියලා. මේ හිත හරි පුදුමයි. අපට බඩගින්නක් දැනෙනවා. මහා රජ මැදුරක රස බොජුන් කෑමට ගත්තත් නිවෙන්නේ බඩගින්න. ලුණුයි, බතුයි කෑවත් නිවෙන්නේ බඩගින්න . කෑම වෙනස් වුනත් බඩගින්නේ වෙනසක් නැහැනේ. ඒ වගේම තමයි හරි විදියට සාධාරණව හම්බ කරලා බඩගිනි නිවාගත්තත්, අසාධාරණයෙන් හම්බකරපු සල්ලි වලින් බඩගිනි නිවාගත්තත් එකම දේ. ඒත් පින්වතුනේ අපේ සිත දන්නවා අපි කරන්නේ හරි දේ ද, වැරදි දේ ද කියලා.

බුද්ධියේ පරතෙරට යන්නා නිතරම තමන්ගේ බුද්ධියෙන් වැඩ කරනවා. අපේ හිතට ඕන විදියට වැඩ කරන්න හොඳ නැහැ. නිතරම සිත කරන්නේ අපි කැමැති දේ. ඒ වුනත් ඒවා තේරුම් බේරුම් කරගන්න ඕනෑ. එහෙම තේරුම් ගත් ඇත්තා සත්‍යය සරණ යනවා. ඔබ නිතරම ලස්සනට අඳිනවා පළදිනවා. ඔබේ ඇඟ වසා ගන්න ඔබ නා නා විධ ඇඳුම් පැළඳුම් ඇන්දත් මොහොතකටවත් සිතනවද ඔබේ සිත ගැන. ඔබේ මානසික නිරුවත වසා ගන්න වෙහෙස නොවන ඔබ ලස්සන ඇඳුම් වලින් කය විතරක් වහගත්තම හරිද? සිත වසාගන්න පින්වතුනේ, මත්වතුර අද හැමතැනකටම නැතිවම බැරි දෙයක්වෙලා. මඟුල් ගෙදරට, මරණ ගෙදරට මුලින්ම තියෙන්නේ මත් වතුර බෝතලය, හැම ප්‍රශ්නයක්ම විසඳෙන්නේ මත් වතුරවලින්. යමක් කරන්න කලින්. යමක ආශ්වාදය ලබන්න කලින් ආදීනව සිහි කරන්න කියලා අපේ බුදුහාමුදුරුවෝ අපට කියලා තියනවා. ඒත් අද ජන සමාජය එහෙමද? මත් වතුරෙන් නේද අද හැමදෙනාම මනින්නේ. මත් වතුර ටිකක් තොලගාන්නේ නැති ඇත්තා සමහරු සමාජයෙන් කොන් කරනවා.

පින්වතුනේ අපි මොනවද මේ කරන්නේ. කොහෙද මේ යන්නේ.එදා චුන්ද සූකර ඌරන් මරණ කෙනෙක්. ඒත් බුදුහාමුදුරුවෝ චුන්ද සූකරට .ධර්මය දේශනා කළාද? නැහැනේ.ආනන්ද, චුන්ද සූකරට මේ දහමින් වැඩක් නැහැ. ඒත් බුදුහාමුදුරුවෝ සසරේ පින තියන පටාචාරාවන්ට ,අංගුලිමාලට දහම් දෙසුවේ කොහොමද? ලස්සන මල් පිපෙන ගසක මල් ඇට ටිකක් පැළ කරන්න ඕන නම් හොඳ පොළොවක් ඕනෑ. ඒ මල් ඇට ටික කළු ගල්තලාවකට වීසි කළොත් පැළවෙයිද? මේ ධර්මය දකින්නත් හොඳ හිතක් ඕනෑ. හොඳ හිත ලබන මානසික සුවය හරි වටිනවා . ඔබටත් ලොව්තුරු දහම් මග යෑමට හොඳ මානසික ශක්තියක් ලැබේවා! වරද කොතනද වරද ලෙස වැටහේවා. වරදින් මිදී සිත සුවපත් වී ලොව්තුරු දහමින් හැමදෙනාටම සැනසීමක් වේවා!

කිලිටි සිත

දුකයි දුකයි දුකයි මුළු සිතම දුකයි
දුකයි දුකයි දුකයි මුළු කයම දුකයි
දුකයි දුකයි දුකයි වචනයම දුකයි
දුකයි දුකයි දුකයි තුන් දොරම දුකයි

පිරිසුදු සිත

සැපයි සැපයි සැපයි මුළු සිතම සැපයි
සැපයි සැපයි සැපයි මුළු කයම සැපයි
සැපයි සැපයි සැපයි වචනයම සැපයි
සැපයි සැපයි සැපයි තුන් දොරම සැපයි

වෙසක් පුර අටවක පෝය

වෙසක් පුර අටවක පෝය මැයි මස 11 වනදා සෙනසුරාදා අපරභාග 07.44 ට ලබයි
12 වන දා ඉරිදා අපරභාග 05.37 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි මස 12 වන දා ඉරිදාය.

වෙසක් පසළොස්වක පෝය මැයි මස 18 වන දා සෙනසුරාදා

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 12

Full Moonපසෙලාස්වක

මැයි 18

Second Quarterඅව අටවක

මැයි 26

Full Moonඅමාවක

ජූනි 02

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]