[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

බක් අව අටවක 2019.04.26

ඉවසීම කාලෝචිත ය


ලෝකවාසී කිතුනු බැතිමතුන්ගේ උතුම් දිනයක් ලෙස සැලකෙන පාස්කු ඉරිදා දිනය යෙදී තිබුණු පසුගියදා ( 21) දේවස්ථාන තුනකට සහ හෝටල් තුනකට එල්ල වූ දැඩි අමානුෂීය ප්‍රහාරයන් දැඩි සේ හෙළා දකිමු. ජීවිතක්ෂයට පත් හා රෝගී වූ සියලු දෙස් විදෙස් ජනතාව වෙනුවෙන් අපගේ ශෝකය ප්‍රකාශකර සිටිමු.

කිසිදු ආගමක මනුෂ්‍ය ඝාතනය අනුමත කරන්නේ නැත. සම්බුදු දහම සියලු සතුන් වෙත මෛත්‍රිය, කරුණාව පෙරදැරිකරගත්. ආගමික නිදහස ගරු කරන, සියලු ආගමිකයන්ට ගෞරවය කරන ශ්‍රේෂ්ඨ දහමකි. අන්‍ය ආගම් ද කිසිසේත් ම හිංසනය අනුමත කරන්නේ නැත.

අනාදිමත් කාලයක සිට මේ රටේ සිංහල, දමිළ, මුස්ලිම් ජනතාව සමගියෙන් ජීවත් වූ හ.

නිදහසේ සිය ආගම් ඇදහූහ. එකම රටක, එකම මවකගේ දරුවන් සේ එකම ජාතියක් ලෙස දිවි පෙවෙත ගත කළ කාලයක් විය. එහෙත් කෲරතර හැඟීම්වලින් මඩනා ලද, ලෝභ, ද්වේශ, මෝහා දී අකුසල චෛතසිකයන්ගෙන් පිරුණු පුද්ගලයන්ගේ අමානුෂීය ක්‍රියාකාරකම් හමු වේ එම සමගිය දෙදරා යමින් වටිනා මනුෂ්‍ය ඝාතන සිදුවූ අවාසනාවන්ත කාලවකවානු ද තිබුණි. එහෙත් ඒ කිසිදු මනුෂ්‍ය ඝාතනයකින් වූ යහපතක් නැත. දුක, සන්තාපය, ශෝකය, කළ කිරීම, පරාජය මිස ඉතිරි වූ සතුටක් නැත.

මනුෂ්‍යත්වයට ගරු නොකරනා කවර පුද්ගලයෙක් වුව ද විනශකාරී ය. මේ නිසා මිනිස්කමේ අගය දන්නා මිනිසෙක් අනාගතයට දායාද කිරීම අප හමුවේ ඇති මහා වගකීමකි. මිනිසත් ගුණ ආගමට දහමට සීමා නොකර, යම් පිරිසකට සීමා නොකර සමස්ත ප්‍රජාව වෙතම එය ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවිය යුතු කාලය එළඹ ඇත. එය සියලු ජාතීන්ට, ආගමිකයන්ට පොදු කරුණකි. නිවෙසේ සිට, පාසල, ආගමික සිද්ධස්ථානය, කුඩා සමාජ කණ්ඩායමේ සිට රාජ්‍ය නායකත්වය දක්වා ම එය වෙසෙස් වගකීමකි. රටක් වනසන්නට එක් අමනෝඥ පුද්ගලයෙක් වුව ප්‍රමාණවත් විය හැකි ය.

ජීවිතයේ කවදා හෝ මරණය උරුම කරගෙන අප උපන්න ද කෙනෙකුට තවත් කෙනෙකුගේ ජීවිතයක් උදුරාගන්නට නොහැකි ය.අමනුෂ්‍යයන් නිසා ඝාතනය වූයේ තම දරුවා, මව, පියා වුව ද ඒ පාපකාරීන්ට එරෙහිව ක්‍රියා කරන්නට සාමාන්‍ය ජනතාව ලෙස අප නොපෙළඹිය යුතුම ය. සම්බුද්ධ දේශනාවේ ඉවසීම උතුම් ගුණ ධර්මයක් ලෙසත්, එය නිවනට යන මාර්ගයක් ලෙසත් අර්ථ දක්වා තිබේ. සිය ආගමිකයන් අමතමින් මේ අතිශය ඛේදනීය අවස්ථාවේ මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු හිමිපාණන් පවසා තිබුණේ ද ඉවසන ලෙස ය. සිදුවූ දේ අතිශයින් ම දුක්බර මෙන් ම කනගාටුදායක වුව ද, තවත් අයෙකුට තර්ජනයක් එල්ල කිරීමට එය හේතුවක් නොවිය යුතු බව ය. ආගමික නායකයෙක් ලෙස සිය ශ්‍රාවකයන් අමතමින් අගරදගුරු හිමියන් කළ එම ඉල්ලීම අතිශය ආදර්ශවත් ය. උන්වහන්සේ පවසා සිටියේ රටේ හැම දෙනාටම පොදු නීතියක් තිබිය යුතු බවත් එහෙත් සාමාන්‍ය ජනතාවට එම නීතිය අතට ගත නොහැකි බවත් ය. එය නීතිය ක්‍රියාත්මක කරන අයට අයත් කටයුත්තක් බවත් ය. ඒ අය පිළිබඳව තමන් විශ්වාස තබනු ඇති බවත් ය. සියලු රට වැසියන්ගේ ද විශ්වාසය එය වන්නේ ය.

මෙවැනි අවාසනාවන්ත සිදුවීම් මතු වූ ඇතැම් අවස්ථාවල දැඩි ආවේගය මත සිදු වු අවාසනාවන්ත සිදුවීම් අමතක කළ නොහැකි ය. එහෙයින් සියලු ජාතීන්, ආගමිකයන් ඉවසීමෙන් බුද්ධියෙන් මෙවැනි ඛේදනීය අවස්ථාවන්ට මුහුණ දිය යුතු ම ය. තවද කිව යුත්තක් තිබේ. මේ අවස්ථාවේ විපතට පත් ජනතාව වෙනුවෙන් බෞද්ධ භික්ෂූන් වහන්සේ ද විවිධ අයුරින් පෙරමුණ ගත්හ. අතිපූජනීය මහානාහිමිවරු ස්වකීය සංවේගය පළකළ අතර ඉවසීමෙන් ක්‍රියාකරන මෙන් ද ඉල්ලීමක් කළහ. කෝට්ටේ ශී‍්‍ර කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ ප්‍රධාන ලේඛකාධිකාරි මහාචාර්ය කොටපිටියේ රාහුල අනුනායක හිමියන් නිවේදනයක් නිකුත් කරමින් සංඝයා වහන්සේගෙන් ඉල්ලා සිටියේ බෝම්බ පිපිරීමෙන් තුවාල වූවන්ට රුධිරය දෙන්නට බෞද්ධ භික්ෂූන් වහන්සේ පෙරමුණ ගත යුතු බව ය. මේ එක් අවස්ථාවක් පමණි. ආගමික නායකයන් වහන්සේ ජාතික අවස්ථාවක දී මෙසේ පෙරමුණ ගැනීම ජාතියටම ආදර්ශයක් ය.

බක් අවඅටවක පෝය

බක් අවඅටවක පෝය අප්‍රේල් 26 වන දා සිකුරාදා අපර භාග 02.40 ට ලබයි. 27 වන දා සෙනසුරාදා අපර භාග 05.01 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අප්‍රේල් 26 වන දා සිකුරාදාය.

මීළඟ පෝය මැයි 04 වනදා සෙනසුරාදා

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අපේ‍්‍රල් 26

Full Moonඅමාවක

මැයි 04

First Quarterපුර අටවක

මැයි 12

Full Moonපසෙලාස්වක

මැයි 18


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]