[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කළ කම් පල දෙන හැටි පල දෙන හැටි: පින් පව් එනවා අප පසුපස්සේ

පින් පව් එනවා අප පසුපස්සේ

යම් පුද්ගලයකුගේ සිතට අකුසල, පාප, අපචාරී සිතිවිලි එන්නේත්, අපරාධ කරන්නට සිතෙන්නේත් ඔහු මෑත අතීතයේ හෝ ඈත අතීතයේ හෝ ඒ යන අවස්ථා දෙකෙහි දී ම හෝඑම කාරණාම සමාජයට දීපු නිසා ය. තමා පොදු සමාජයට නිරාමිසව දුන්දෙය තමාට ම පෙරළා සමාජයෙන් ලැබෙන බව බුදු දහමෙහි උගන්වන කර්ම සංකල්පය තුළ පැහැදිලි වේ.

බුදුරජාණන් වහන්සේට පවා උන්වහන්සේ බෝසත් අවධියේ කළ ඇතැම් අකුසල කර්ම විපාක දුන් ආකාරය චුල්ලකම්ම පිලෝතික සූත්‍රය තුළ සඳහන් වේ. කර්ම විපාක දීමේ දී පුද්ගල තරාතිරම හෝ අධ්‍යාත්මික හැකියාවන් පවා නොසලකමින් සියලු දෙනාට ම එකසේම විඳීමට සිදුවන බව බුදුදහම උගන්වයි.

නීතිය සියලු දෙනාටම සමාන බව ප්‍රකාශ කළ ද, පුද්ගල ක්‍රියාකාරීත්වයක් කියා යම් යම් පුද්ගල තරාතිරම් අනුව බලතල ආවරණයක් දකින්නට ලැබුණ ද අකුසල කර්මවලින් මිදීමට කෙසේවත් හැකියාවක් නැත. ඇතැම් පුද්ගලයන් තමා සිදුකළ පාප කර්ම නැතිකර ගැනීම සඳහා වැඩිපුර පින්කම් කරයි. තමා කළ විශාල පින්කම් තුළින් අකුසල කර්ම වැසීයනවා යැයි ඔවුහු සිතුවද, පින් කිරීමෙන් පව නැතිකළ නොහැකි ය. පින පිනමය. පිනෙහි විපාක එලෙසම, විඳීමට සිදුවේ. පව පව ම ය. පවෙහි විපාක එලෙසම විඳීමට සිදුවේ. පාපයක් හෝ අකුසලයක් සිදුවන්නේ පුද්ගල සචේතනිකත්වය සහිතව ය. සචේතනිකත්වයෙන් තොරව සිදුවන වරද වරදක් ලෙස බුදු සමය සලකනු ලබන්නේ නැත. තමා නොදැන කළ වරද වරදක් ලෙස තමා නොදන්නවා වුව ද තමාට හෝ සමාජයට හෝ නැති නම් දෙපක්ෂයටම බරපතළ හානියක් සිදුවිය හැකි ය. හානිය සිදුවුව ද තමා සිතා මතා එම වරද නොකළ නිසා තමාට ඉන් අකුසලයක් සිදුවන්නේ නැති බව ධර්මයේ දක්වා ඇත. එය විනයෙහි අජානත්තස්ස අනාපත්ති යන ප්‍රයෝගයෙන් ආවරණය කර තිබේ. සමාජයේ පාප ධර්ම කරන පුද්ගලයෝ විවිධ වෙති. එනම්,

නොදැන වරදක් සිදුවීම,

නොදන්නවා ලෙස පෙන්නා වරද කිරීම,

වරද කොට නොදන්නවා වාගේ ඉදීම,

අහුවුණොත් වරද පිළිගැනීම. නැතිනම් නිවැරැදි කරු ලෙස සිටීම,

දැනගෙන වරද කොට දුටුවිට පිළිගැනීම, සමාව ගැනීම

වරද කොට වරදින් මිදීම සඳහා අල්ලස් දීම

නොදැන සිදු වූ වරද වරදක් ලෙස පිළිගැනීම.

වරදක් නොකර වරදකරු ලෙස පෙනී සිටීම.

වෙනත් පුද්ගලයෙකුගෙන් ලැබෙන ලාභයට ලෝභයෙන් හෝ බියෙන් තමා නොදත් නොකළ වරද තමා කළා යයි ප්‍රසිද්ධියේ කියා පිළිගැනීම.

තම දේශපාලන අවශ්‍යතා සඳහා දැන දැන වැරැදි කිරීම.

පසුව ලබන කීර්ති නාමය සඳහා දැන දැන වැරැදි කර හිරගෙට යාම සහ මම හිරබත් කන්නේ ජනතාව වෙනුවෙන් යැයි කීම.

මේ ආකාරයෙන් සමාජයෙහි වැරැදි කරන පුද්ගලයෝ විවිධ ය. බුදුදහම සියල්ලම තීරණය කරනු ලබන්නේ චේතනාව ක්‍රියාව සහ ප්‍රතිඵලය මත ය. වඩාත් බරපතළ වන්නේ චේතනාවයි. තමා නොදැන වරදක් සිදුවීම එක් කරුණක් වන අතර නොදන්නා ලෙස පෙන්නා වරද කිරීම අනිකකි. බුදුදහම දක්වනුයේ තමා නොදැන තමා අතින් වරදක් සිදුවීම පිළිබඳව ය. එම ඉගැන්වීම නීතියටත් වඩා ඉදිරියට ගිය ප්‍රජාතන්ත්‍රීය බුද්ධිමත් සමාජය ගරු කරන උතුම් ඉගැන්වීමක් ලෙස අගය කළ හැකි ය. බුදු දහමේ හැර ලෝකයේ වෙනත් කිසිදු දහමක් තුළ මෙබඳු වඩාත් ප්‍රජාතන්ත්‍රීය, ඉගැන්වීම් දක්නට නැති තරම් ය. බුදු දහමේ කරනු ලබන විග්‍රහයක් වත් හොඳින්, ස්වභාව ධර්මය සමඟ බද්ධ වන්නේ මෙබඳු ඉගැන්වීම්වලින් ගහනව පවතින බැවිනි. තමා විසින් කරනු ලබන වැරැදි අකුසල කර්මයක් බවට පත්වන්නේ චේතනාව අනුවය. එම වරදෙහි විපාකය විඳීමටම සිදුවන බව බුදු සමයේ සඳහන් වන අදහස සුභාෂිතයෙහි දක්වා ඇත.

නපුරු කලට සතහට පැමිණෙන වෙහෙස
එදුරු නොවෙයි කළ පව් පළ දෙවා මිස
තඹුරුවනය විකසිත වන බව පවස
කවුරු විසින් වැළකිය හැකි මෙදිය කුස

යන ලෙස ය.

ලොව්තුරා බුද්ධත්වයට පත් වූ ගෞතම බුදුරජාණන් වහන්සේට බුද්ධත්වය ලැබීමෙන් පසුත්, චිංචිමානවිකාවගේ චෝදනාවලට ලක්වීමට සිදුවූයේ උන්වහන්සේ විසින් පෙර භවයකදී සිදුකළ අකුසල කර්මයක් නිසා ය. එනම්, අප බෝධිසත්වයන් වහන්සේ මුනාලි නම් තරුණයකුව උපත ලබා අප්‍රසිද්ධියේ වාසය කරන කාලයෙහි සුරභි නම් පසේබුදුරජාණන් වහන්සේ නමක් යම්කිසි කාරණයක් සඳහා මුනාලි හමුවීමට පැමිණියේ ය. එවිට මුනාලි පසේ බුදුරජාණන් වහන්සේ දැක මේ ශ්‍රමණයා දුස්සීලයකු යැයි ද, පවිටු අදහස් ඇත්තෙකුයිද දෝෂාරෝපණය කළේ ය. තමන් වහන්සේ බුද්ධත්වයට පත්වුව ද චිංචිමානවිකාවගෙන් නින්දා අපහාස ඇසීමට සිදුවූයේ එම අකුසල විපාක දීම නිසා ය. අප බෝධිසත්වයන් වහන්සේ පෙර සංසාරයේ එක් ආත්මයක දී කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේ ජෝතිපාල නමින් උපත ලැබී ය. ජෝතිපාල මානවක කාශ්‍යප බුදුරජාණන් වහන්සේ දැක උන්වහන්සේ පිළිබඳ අප්‍රසාද සිතිවිල්ලක් ඇතිකරගෙන ‘කුතො මුණ්ඩකස්ස සමණස්ස බෝධි පරම දුල්ලහොති’ යනුවෙන් කීහ. එම අකුසල කර්මයට අනුව විපාක වශයෙන් බුදු බව ලැබූ බුදුරජාණන් වහන්සේට නිගරු කිරීමේ විපාක වශයෙන් තමන් වහන්සේට බුද්ධත්වය ලැබීමේ දී දුෂ්කර ක්‍රියා කරන්නට සිදුවිය.

මිනිසා විසින් කරනු ලබන කර්මය අවස්ථාව ලද හැම විටකම විපාක ලබා දෙයි. කුසල කර්ම ද එසේ ය. අකුසල කර්ම ද එසේ ය. බණ පොතේ දක්වන්නේ බුද්ධත්වය ලැබීම සඳහා අවුරුදු ගණන් බුදුරජාණන් වහන්සේට දුෂ්කර ක්‍රියා කිරීමට සිදුවූයේ ද පෙර කළ අකුසල කර්මයන් නිසා බවයි.

බක් පුර පසළොස්වක පෝය

බක් පුර පසළොස්වක පෝය අප්‍රේල් 18 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 07.26 ට ලබයි. 19 වන දා සිකුරාදා අපරභාග 04.42 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අප්‍රේල් 19 වන දා සිකුරාදා ය.

 මීළඟ පෝය අප්‍රේල් 26 වන සිකුරාදා

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අපේ‍්‍රල් 19

Second Quarterඅව අටවක

අපේ‍්‍රල් 26

Full Moonඅමාවක

මැයි 04

First Quarterපුර අටවක

මැයි 12

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]