[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බණ පොතේ අකුරක මහිමය

බණ පොතේ අකුරක මහිමය

පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ

මහාචාර්ය

මකුරුප්පේ ධම්මානන්ද හිමි

‘ත්‍රිපිටකාභිවන්දනා’ මැයෙන් ත්‍රිපිටක බුද්ධදේශනාව අරමුණු කොට විවිධ උපහාර උත්සව සිදුවන මෙම කාලවකවානුවේ දී ත්‍රිපිටකයට අභිවන්දනා කිරීමේ සැබෑ අරුත කුමක් ද යන්න තේරුම් ගැනීම වැදගත් කරුණකි.

ත්‍රිපිටකය යනු බුද්ධදේශනා ඇතුළත් පොත් සමූහයක් බව අපි දනිමු. ලෝකයේ කිසිදු රටක පොත්වලට සුවඳ දුම් අල්වමින් වැඳ වැඳ සිටීමේ ක්‍රමයක් නැත. පොත් ඇත්තේ කියවීමට මිස වැඳීමට නොවේ. ආගමික සාහිත්‍යයක් වුවත් ත්‍රිපිටකයට ද මෙය පොදු කරුණකි. තමන් වහන්සේ විසින් දෙසූ ධර්මයට වැඳ වැඳ සිටීමට බුදුරදුන් විසින් උපදෙස් දුන් තැනක් ද ත්‍රිපිටකයෙහි කිසිදු තැනක දක්නට නැත. පහුරක් ඇත්තේ ගඟකින් එතෙර වීමට මිස කර තබාගෙන යාමට නොවන බව වදාළ බුදුන් වහන්සේ තමන්වහන්සේ දෙසූ ධර්මය සසරින් එතෙර වීමට මිස ආදානග්‍රාහී ලෙස තබා ගැනීමට වදාළ දහමක් නොවන බව පෙන්වා දුන්හ. එහෙත් ලෝකයා අතීතයේ පටන් අසහාය ලෙස ත්‍රිපිටකයට ගරු කළහ. බුහුමන් දැක්වූහ. භක්ත්‍යාදරයෙන් එය සුරක්ෂිත කළහ. එහි ඇති දහම් හැදෑරූහ. හද කුටියෙහි තබා හදවත් නමස්කාර කළහ. අවිචාරයෙන් විචාරය කරා, අන්ධකාරයෙන් ආලෝකය කරා ගොස් සසර විමුක්තිය පසක් කොට ගත්හ. එබැවින් බණ පොතේ අකුරකින් පවා මතුවන විස්මයාවහ බව තේරුම් ගැනීමම උතුම් ත්‍රිපිටකාභිවන්දනය බව මෙහි ලා සඳහන් කරමු.

පොතක් පතක් කියවීමට පෙර එයට වැඳ එකී කාර්යය ආරම්භ කිරීමේ උතුම් ක්‍රමවේදයක් පැරැණි ශ්‍රී ලංකාවේ පැවතුණි. ශාස්ත්‍රය හැදෑරීමේ කාර්යය උතුම් ක්‍රියාවක් බව හැඟවීමත්, එය හදාරන්නා තුළ ඊට අවශ්‍ය පිරිසුදු මානසික ශක්තිය ගොඩ නැගීමත් පොත පත මැනවින් ආරක්ෂා කර ගැනීමත් මෙහි අරමුණු විය. විශේෂයෙන් පැරැණි ආරාමික අධ්‍යාපනයේ දී ත්‍රිපිටකය ඇතුළු බණ පොත් හැදෑරීමේ දී මෙය ඉතා සැලකිල්ලෙන් සිදු වූවකි. මේ නිසා ත්‍රිපිටක ග්‍රන්ථයක් පිරිණැමීම ධර්ම පූජාවක් විය. එය සුරැකුණු තැන ධර්ම භාණ්ඩාගාරයක් විය. ත්‍රිපිටක සූත්‍රයක් කියා දීම ධර්ම දානයක් විය. මෙලෙසින් බලන කල ත්‍රිපිටක ග්‍රන්ථවලට ශ්‍රී ලංකා භූමියේ දී විශාල ගරුත්වයක්, බුහුමනක් හා සම්මානනයක් හිමි වූ බව පැහැදිලි කරුණකි. ත්‍රිපිටකාභිවන්දනා යන්නේ තවත් අර්ථයක් වන්නේ එම පුස්තකවලට වැ¼දීම නොව ඉහත කී පරිදී සබහුමානව ගරු කිරීමෙන් කරනු ලබන ආරක්ෂා කිරීම යි.

ත්‍රිපිටකයට කවර ලෙසකින් හෝ ලෝක ජනයා විසින් අභිවන්දනා කළ යුත්තේ ඉහත පෙන්වා දුන් කරුණ නිසාම නොවේ. එහි අකුරක් පවා විස්මය දනවන තරම් වැදගත් වන නිසා ය. බණපොතේ අකුරක මහිම තේරුම් ගත් කෙනෙකුට බුදුවදන නම් කෙතරම් අපූරු දෙයක් ද? බුදුරජාණන් වහන්සේ යනු කෙතරම් විස්මයජනක උතුමන් වහන්සේ නමක් දැයි නිරායාශයෙන් ම දැනෙනු නො අනුමාන ය. ඔබත්, මාත් දන්නා පරිදි ලෝකයේ විවිධ භාෂාවන් පවතී. එකී කවර භාෂාවක් වුවද ගොඩ නැගෙනුයේ අක්ෂර, පද හා වාක්‍ය යන අංග තුනේ එකතුවෙනි. අක්ෂර කිහිපයක එකතුවෙන් පදයක් සෑදේ. පද කිහිපයක් එකතුවෙන් වාක්‍යයක් සෑදේ. භාෂාවක් යනු එබඳු වාක්‍ය සමූහයක එකතුවකි. මේ නිසා අකුරක් යනු භාෂාවේ කුඩා ම ඒකකය වේ.

මෙම අකුර පිළිබඳව ඔබ දන්නේ කුමක් ද? අදහසක් නිසියාකාරව පැවසීමට අකුරක් නිවැරැදිව උච්චාරණය කිරීමත්, ලිවීමත් අවශ්‍ය බව අපි දනිමු. එහෙත් ලෝකයේ ව්‍යවහාර වන භාෂාවල අකුරක් යම් පමණකින් වෙනස් වූ පමණින් හෝ වැරැදුණු පමණින් මහා විපර්යාසයක් හෝ හානියක් සිදු නොවේ. නිදසුනක් වශයෙන් ඉංග්‍රීසි භාෂාව කතා කරන විවිධ රටවල වැසියෝ එංගලන්තයේ වැසියන් මෙන් එය උච්චාරණය නො කරති. ඇමෙරිකන් හෝ එංගලන්ත වැසියෙක්, ඉන්දියානු ජාතිකයෙක් සහ ශ්‍රී ලාංකිකයෙක් ඉංග්‍රීසි භාෂාව උච්චාරණය කරන ආකාරය එකිනෙකට වෙනස් ය. එම භාෂාව ලිවීමේ දී ද එබඳුම වෙනස්කම් හා දෝෂ විද්‍යමාන වුවත් අදහස තේරුම් ගත හැකි නම් එහි බලවත් දෝෂයක් කිසිවෙකු සලකන්නේ නැත.

අප දන්නා සිංහල භාෂාවෙහි වුව ද යමෙකු අතින් අකුරක් වැරැදි ලෙස ලියැවී තිබුණොත් එය කියවන්නා එය මෙසේ විය යුතු යැයි වැරැදි නිවැරැදි කරවා තේරුම් ගැනීමේ හැකියාවක් පවතී. නිදසුනක් ලෙස බණ යනුවෙන් ලිවිය යුත්ත බන යැයි ලීවත්, ‘ඔහු ශ්‍රද්ධාවෙන් බණ ඇහුවා’ යැයි කිවයුත්ත ‘ඔහු සර්ධාවෙන් බණ ඇහුවා’ යැයි කීවත් අදහස තේරුම් ගනී නම් ගැටලුවක් පැන නො නගී. එහෙත් තථාගත භාෂාවෙහි එසේ නොවේ. එහි එක අකුරකුදු වෙනස් නොවිය යුතු ය. බුදුරජාණන් වහන්සේ භාවිත කළ භාෂාවෙහි එක අකුරක පවා අර්ථ වශයෙන් මෙන් ම ශබ්ද වශයෙන් විශේෂ ගැඹුරක් තිබීම ඊට හේතුවයි. නිදසුනක් වශයෙන් පාලියේ ඛ යන අකුරෙන් හිස් (empty)  යන අදහස කියැවේ. ග යන අකුරෙන් ගමන යන අදහස කියැවේ. මෙම අකුරු දෙකම එකතු වී ඛග යැයි පැවසුවහොත් අහසෙහි යන්නා යන අරුතෙන් එය කුරුල්ලාට හෙවත් පක්ෂියාට නමකි. මේ නිසා ඛග යැයි කිවයුත්ත කග යැයි කිවහොත් එයින් අපේක්ෂිත අදහස නො පැවසේ. මෙයින් අදහස් වන්නේ කුමක් ද? තථාගත භාෂාවෙහි නැතහොත් ත්‍රිපිටක භාෂාවෙහි එක අකුරක්වත් වෙනස් කොට ලිවීමත්, උච්චාරණයත් නොකළ යුතු බවයි.

ඉහත කාරණය නිසා බුදුන් වහන්සේ තම ශාසනයට ඇතුළත් වූ මුල්ම භික්ෂූන් හැට නම අමතා ධර්මය සන්නිවේදනය කිරීමේ දී භාෂාව හැසිරවිය යුතු ආකාරය පෙන්වා දුන්හ. බුදුරදුන් පෙන්වා දුන් එකී භාෂාවේ තිබිය යුතු ප්‍රධාන ලක්ෂණ අතුරෙන් දෙකක් පමණක් දක්වමු. ඉන් පළමුවැන්න සාත්ථං යන්නයි. එහි තේරුම අර්ථවත් විය යුතුය යන්නයි. කෙටියෙන් කිවහොත් අනර්ථවත් හිස් ප්‍රලාප ගණයට ගැනෙන එක වචනයක්වත් බුද්ධ දේශනාවෙහි නැත. අනර්ථවත් වචන දහසක් කථා කිරීමට වඩා අර්ථවත් එක් වචනයක් කීම උතුම් බව වරක් බුදුන් වහන්සේ වදාළහ. මේ නිසා බුද්ධ භාෂාවෙහි අකුරක් වැරදුනහොත් පදය වරදී. පදයක් වැරදුණහොත් වාක්‍යය වරදී. මේ නිසා බුදුරජාණන් වහන්සේගේ දේශනා ඇතුළත් ත්‍රිපිටකයෙහි අක්ෂරයක් වුව ද වරද්දවා ලිවීමත්, උච්චාරණයක් කිරීමත් වරදක් මෙන් ම අපරාධයක් වේ.

යම් ලෙසකින් වැරැදි ලෙස උච්චාරණයක් කුමක් සිදුවේ ද? ඉන් පළමු වැනි හානිය නම් එයින් කියැවෙන ධර්මමය අර්ථයට හෝ දාර්ශනික අදහසට හානි සිදුවීමයි. දෙවැන්න මෙම භාෂාවේ පවතින ශබ්ද ධ්වනි, ගණ පිහිටුවා එමගින් සිදු කරනු ලබන ගුප්තමය ශක්තිය කෙලෙසීමයි. නිදසුනක් ලෙස පිරිත් දේශනාවල ගුප්තමය බලය රැඳී ඇත්තේ එහි අර්ථය සමග ඇතිවන ශබ්ද ධ්වනිය තුළ ය. ප්‍රථම භික්ෂූන් හැට නම අමතා දුන් දෙවන උපදේශය වන්නේ සබ්‍යඤ්ජන භාෂාවක් භාවිත කළ යුතුය යන්නයි. සබ්‍යඤ්ජන භාෂාව නම් එකී අක්ෂරය හා බැඳුණු අර්ථය ඉක්මවා ගිය ශබ්ද ධ්වනිය ආශ්‍රිත ශක්ති විශේෂය යි. වචනයක අකුරක් නිසි තැන නිසි පරිදි යොදා උච්චාරණය කිරීමෙන් කළ හැකි දේ බොහෝ ය. අප භාවිත කරන සාමාන්‍ය භාෂාවෙන් පවා කෙනෙකු මොහොතකින් සතුටු කිරීමටත්, මොහොතකින් හැඬවීමටත් හැකි බව අපි දනිමු. එය දිගුකාලීනව කෙනෙකුට සතුටක් හෝ වේදනාවක් ඇතිවන පරිදි ද මෙහෙයවිය හැකි ය. එබඳු ශක්තියක් අප කථා කරන භාෂාවෙහි පවා ඇත්නම් අර්ථ, ගණ, ශබ්ද ධ්වනි පිහිටුවා දේශනා කොට ඇති ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ භාෂාවෙහි නැතැයි කවරෙකුට කිව හැකි ද?. මෙම භාෂාවෙහි පවතින අර්ථමය වැදගත්කම හා ශබ්ද ධ්වනිමය ශාන්තිය සියයට සියයක්ම විනිවිද දැකීමට සමත් කිසිවෙක් දෙවියන්, බඹුන්, මරුන්, මිනිසුන් සහිත ලෝකයෙහි විද්‍යමාන නොවේ.

තථාගත භාෂාවෙහි එක් අකුරක පවතින මෙකී ශක්තිය නිසා ඇතැම් බෞද්ධ ආගමික සම්ප්‍රදායවල ත්‍රිපිටකයෙහි එක පදය ලක්ෂ සංඛ්‍යාත වාරයක් ජප කරමින් එය භාවනාවක් ලෙස ප්‍රගුණ කරන අයුරු දැකගත හැකි ය. විශේෂයෙන් දලයි ලාමා නියෝජනය කරන තන්ත්‍රයානයෙහි මෙම ආගමික චර්යාව අදටත් දැකගත හැකි වන්නකි. මේ නිසා තථාගත භාෂාවෙහි අක්ෂරය පවා අධ්‍යාත්මික ශාන්තිය සොයන යෝගාවචර භික්ෂුවකට විශිෂ්ට මාර්ග දර්ශකයකි. විද්‍යාඥයෙකුට හෝ දාර්ශනිකයෙකුට ඥාන සාගරයකි. රෝග පීඩාදියෙන් ව්‍යසන ප්‍රාප්ත කෙනෙකුට සෙත් ගඟුලකි.

බණ පොතක අකුරක් පවා වැදගත් බව වැදගත් වන බව පැරැණි තෙරවරු මැනවින් දැන සිටියහ. එහෙයින්ම උන්වහන්සේලා බණ දහම් හදාරන ආධුනිකයන්ට අක්ෂර උච්චාරණය කිරීම මුලින්ම හුරු කළහ. ඒ සඳහා බුද්ධගජ්ජය, සකස්කඩය, ගණදෙවිහෑල්ල, නාමාෂ්ටශතකය, ව්‍යාසකාරය වැනි විශේෂ පොත් පැවතුණි. ඒ අකුරක් වැරදුනහොත් සිදුවන විනාශය දැනසිටි හෙයිනි. පිරිත් සූත්‍ර දේශනාවක අක්ෂරයක් හෝ වැරැදි ලෙස උච්චාරණය කළහොත් සිදුවන විපත පෙන්වීමට එක නිදසුනක් පමණක් මෙහි ලා දක්වනු ලැබේ. සෑම පිරිත් සූත්‍ර දේශනාවක් අවසානයේ දී සොත්ථි තෙ හොතු සබ්බදා යනුවෙන් සජ්ඣායනා කරනු ඔබ අසා ඇත. මෙහි සොත්ථි හොතු යන වචනයෙහි තේරුම යහපතක් වේවා යන්නයි. එහෙත් මෙය සොත්ති තෙ හොතු සබ්බදා යැයි උච්චාරණය කළහොත් එහි සොත්ති හොතු යන්නෙන් අදහස් වන්නේ ඇඟ උලන කොස්සක් වේවා යන්නයි. සමස්ත ත්‍රිපිටකයේම භාෂාව මෙබඳු ය. එනිසා අක්ෂර ශබ්ද නිවැරැදිව ශබ්ද කිරීම වුවද වැරදුණහොත් එයින් ලබාගත හැකි සෙත ශාන්තිය ලබා ගැනීමේ ගැටලුවක් මතුවේ. මේ නිසා මෙම ගැටලුව ඇති නොවන පරිදි ශ්‍රී ලංකාවේ පැරැණි යතිවරු වර්ෂ දහස් ගණනක් අකුරකුදු වෙනස් නොවන පරිදි ත්‍රිපිටකය රැකගෙන ආහ.

කර්මය, ධර්මය, ත්‍රිලක්ෂණය, පටිච්චසමුප්පාදය වැනි ප්‍රස්තුත පමණක් නොව පරමාණුව, චක්‍රවාට, විශ්වය හා එහි ජීවීන් ආදිය ගැන ද ආර්ථිකය, දේශපාලනය, අධ්‍යාපනය, මනෝවිද්‍යාව, කලමනාකරණය, නාට්‍ය, ගීත, චිත්‍රපට ආදිය පිළිබඳවත්, කෑම බීම, ඇඳුම් පැළඳුම් ආදියත් ලෙඩ රෝග හා ප්‍රතිකර්ම ආදී වශයෙන් විවිධ ක්ෂේත්‍රයන් පිළිබඳව දේශනා කොට ඇති බුද්ධදේශනාවේ එකී සෑම දෙයක් ගැනම ගැඹුරු හා සුවිශේෂී යමක් අක්ෂරයේත් ඒ හා බැඳුණු පද හා වාක්‍යවලත් ගැබ්වී ඇත. යමෙක් උච්චාරණයෙන් හෝ ලිවීමෙන් එහි අකුරක් හෝ නසන්නේ නම් ඔහු අනාගත ලෝක ප්‍රජාවට මහත් විනාශයක් පමුණුවන්නෙකි. අකුරු දෙකක් වුවද එකතුවීමෙන් පදයක් සෑදේ. පදයක් කෙතරම් වැදගත් දැයි බලන්න. ත්‍රිපිටක භාෂාවේ පදයක් යනු අකුරු දෙකකින් සෑදෙන වචනයක්ම නොවේ. ඒ තුළ වාක්‍යය යන අදහස ද ගැබ්වේ. ධම්මපද යන්න බලන්න. ධම්මපදයේ ඇත්තේ ධර්මමය පද එකුතුවක් නොවේ. ප්‍රමාදී මිනිසා මළ කඳක් වැනි ය (යෙ පමත්තා යථා මතා) යන්න නිදසුනකි. එහි ඇත්තේ ධර්මමය වාක්‍යයන් ය. එබැවින් අකුරක් යනු බණ පොතේ පදයකින් සහ වාක්‍යයකින් ප්‍රකාශ වන තරම් දීර්ඝ හා පුඵල් අදහසක් ප්‍රකාශ වන්නකි.

එබැවින් ඇතැම් බෞද්ධ ආගමික සම්ප්‍රදායවල නිවැරැදිව උච්චාරණය කරනු ලබන බුද්ධවචනයෙහි අකුරක් අකුරක් පාසා ස්වර්ගගාමී විය හැකි බව සිතති. ශ්‍රී ලංකාවේ ද පැරැණි ආරාමික සම්ප්‍රදාය මෙබඳුම ගරුත්වයකින් තථාගත දේශනාව සජ්ඣායනා කිරීමත්, හැදෑරීමත් කළ බව කිව යුතු ය. කෙටියෙන් කිවහොත් ත්‍රිපිටකය යනු ඥාන සාගරයකි. ධර්ම භාණ්ඩාගරයකි. කවර විෂයයක් පිළිබඳව වුව ද ප්‍රතිබද්ධ වන සුවිශේෂී දැක්මක් සුරක්ෂිත වන එබඳු තවත් සාහිත්‍යයක් ලෝකයෙහි විද්‍යමාන නොවේ. එබැවින් නුවණැත්තෝ බණ පොතෙහි අකුරක පවා විස්මයාවහ බව දනිත්වා, එහි පදයක වාක්‍යයක ගැඹුර වටහා ගනිත්වා, දේශ හා ජාති මායිම් රහිතව බුද්ධිමතුන් තුළ අවිචාර ගණඳුර බිඳ හැර බුදුවදන නිසා උපදින ප්‍රඥාවත්, එනිසාම ඔවුන් සිත්හි පහළ වන භක්තිය, ගරුත්වය හා මානනයම බුද්ධාභිවන්දනයක් ද එයම සැබෑ ත්‍රිපිටකාභිවන්දය ද වන බැව් වටහා ගනිත්වා.

බක් පුර පසළොස්වක පෝය

බක් පුර පසළොස්වක පෝය අප්‍රේල් 18 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 07.26 ට ලබයි. 19 වන දා සිකුරාදා අපරභාග 04.42 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අප්‍රේල් 19 වන දා සිකුරාදා ය.

 මීළඟ පෝය අප්‍රේල් 26 වන සිකුරාදා

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අපේ‍්‍රල් 19

Second Quarterඅව අටවක

අපේ‍්‍රල් 26

Full Moonඅමාවක

මැයි 04

First Quarterපුර අටවක

මැයි 12

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]