[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බිහිසුණු අපාය : සිල්වත් ගුණවත් උතුමන්ට දොස් නගනු එපා

බිහිසුණු අපාය :

සිල්වත් ගුණවත් උතුමන්ට දොස් නගනු එපා

එකසිය තිස්හයක් වූ නරකාදී පිළිබඳ සියලු තොරතුරු බුදුසරණ පත්‍රයේ පුර පසළොස්වක පොහොයට පළ වනවා. එය මෙලොව දියුණුව, පරලොව සුගතියක විසීමට ප්‍රයොජනවත් වෙනවා. අපාය ගැන සිතද්දී ද සිතට දැනෙන්නේ බයක්. සෑම අපායකම ලබා දෙන්නේ දුක පමණ යි. නරකාදී ලෝකවල අප්‍රමාණ දුක් විඳින්න සිදු වෙනවා. එය දුකක් බව මනාකොට වටහාගෙන පවින් වැළකිය යුතු යි.

පනස් නවවන අපාය වන්නේ පංච කල්ප නරකය යි. එහි උපත ලබන්නේ මනු ලොව සිටියදී විහාර භූමිවල කෙළ, සොටු, කැළි කසළ දා අපවිත්‍ර කළ අය යි. අද වුව ද වෙහෙර විහාර භූමිවල කුණු රොඩු, අපවිත්‍ර ද්‍රව්‍ය දානවා. බළලුන්, සුනඛයන් , කැඩුණු බුදු පිළිම දමනවා. එසේම විහාර භූමිය තුළදී අගෞරව වන පරිද්දෙන් පාවහන් දමාගෙන එහෙට මෙහෙට ඇවිදීම ආදී පාප කර්ම සිදු කළ අය උපත ලබන්නේ පංච කල්ප නරකයේ ය. එනම් කල්ප පහක් ම අපායේ දඬුවම් ලබයි. එය කෙතරම් දිගු කාලයක් ද? දීර්ඝ කාලයක් අප්‍රමාණ දුක් විඳින්න සිදු වෙනවා. ඒ නිසා බුද්ධ, ධම්ම, සංඝ රත්නත්‍රය වැඩ සිටින ප්‍රදේශවල ගෞරවය රකින්න, තුනුරුවන්ට ගෞරවය පුද කරන්න, තුනුරුවන්ගේ ගුණ පැවසීම අවශ්‍ය ය යි. එවිට මනුලොව, දෙව් ලොව උපත ලැබිය හැකි යි. කුමන දෙයකින්වත් අඩු පාඩුවක් වන්නේ නැහැ. තුනුරුවන්ට අගෞරව කළා නම්, වෙහෙර විහාරස්ථාන විනාශ කළා නම්, අපවිත්‍ර කළානම්, විහාර භූමිවල පාවහන් සඟල් දාගෙන ගියානම්, අන්න ඒ අය පංච කල්ප නරකයට වැටී අප්‍රමාණ දුක් විඳිමින් අති දීර්ඝ කාලයක් දුක් විඳින්න සිදු වෙනවා. ඉන් බේරීමට පුළුවන්කමක් නැහැ. ඒ කරපු පාපයට අනුකූලව විපාක දෙයි.

හැටවන නරකය සත් කල්ප නරකය යි. මේ කල්පය මහා කල්ප හයක් දුක් විඳින්න තිබෙන නරකය යි. මෙහි උපත ලබන්නේ දාන, ශීල, භාවනා, පින්කම් කරන අයගේ සිත් කලකිරවන්නන් ය. දන් දෙන්න එපා, සිල් රකින්න එපා, භාවනා කරන්න එපා, මේ ස්ථානයට දන් දෙන්න එපා යනුවෙන් කෙනෙකුගේ සිත කළකිරවීම යි. ඒ වගේම බුද්ධ, ධම්ම. සංඝ රත්නත්‍රයට සිල් වතුන්ට , ගුණ වතුන්ට දෝෂාරෝපණය කරන, අසභ්‍ය වදනින් බැණ වැද දාන මානාදී පින්කම් කරන අයගේ සිත් කිළිටි කරන නිසා, ඒ අය මහා කල්ප හයක් ආයු ඇති, මේ කියන සත්කල්ප නරකාදියට වැටී දුක් විඳියි. එතැන සිටින යම පල්ලන් විසින් ඇදගෙන ගොස් ඒ නරකයට දමා දිය යුතු දෙතිස් වධයම දෙයි. අතපය කපා දමනවා, උල තියනවා , එසේම කෙස් වැටියෙන් ඇද දමා එහෙ මෙහෙ ඇද දමනවා, ගින්නට දමනවා. මෙලෙස අපායේ ඇති සියලුම දඬුවම් ලබා දෙයි. ඒ නිසා හොඳට මතක තබා ගත යුත්තේ දාන මාන පින්කම් කරන අයගේ සිත් කළකිරවන්න එපා. දාන මාන පින්කම් කරන අයගේ ගුණ පවසන්න, එයට සහාය දී උපකාර කරන්න. බුද්ධ, ධම්ම , සංඝ ආදී රත්නත්‍රයට, සිල්වතුන්ට, ගුණවතුන්ට දෝෂාරෝපණයෙන් වැළකිය යුතු යි. බුදු ගුණ, දහම් ගුණ, සඟ ගුණ පැවසිය යුතු යි. එබඳු අය මනු ලොව ද, දෙව් ලොව ද උපත ලබා ලැබිය යුතු සියලුම සම්පත් ලබයි. මෙම අපායෙන් වැළකී සුගතියකම වාසය කර, නිවන් සම්පත් ලබයි.

හැට එක්වන කල්පය සප්ත කල්ප නරකය යි. මේ කල්පයේ මහා කල්ප හතක් ම දුක් විඳියි. මෙහි උපත ලබන්නේ මනු ලොව සිටිය දී ප්‍රසිද්ධ මං මාවත් අපවිත්‍ර කිරීම්, බෝතල් කටු, කටු කැබිලිති ආදිය දැමීම ආදියෙන් අන් අයට ඊර්ෂ්‍යා කරන්නන් ය. වටිනා වටිනා වස්තු විනාශ කරන්නන් ය. ප්‍රසිද්ධ මං මාවත් වල අද බොහෝ දෙනා කුණු දමයි. අපවිත්‍ර දේ සුනඛයන්, බළලුන් , දමනු ලබයි. ගල් , මුල් විසි කර දමයි. අනුන්ගේ සම්පතට ඊර්ෂ්‍යා කරන්නන් මහා කල්ප හතක් ඇති නරකාදියේ උපත ලබා දඬුවම් ලබයි. මේවැනි වැරැදි කරන්නන් අද ලොවේ බොහොම සුලභ වෙයි. ඒ නිසා හොඳින් මතක තබා ගන්න මෙවැනි පාප කර්මවල යෙදෙන අය සමාව ගෙන මින් මතු නොකරන බවට ආයති සංවරයේ පිහිටාගෙන කටයුතු කළ යුතු යි. තමන්ගේ ගෙදර දොර ඇති කුණු කසළ, ගල් මුල්, කටු කැබිලිති ආදිය ගිහින් දමන්නේ මහා පාර අයිනට, අනුන්ගේ වතු වලට, එසේම අනුන්ට ඊර්ෂ්‍යා කරනවා. ගෙවල් හදන අයට , වාහන ගත් අයට , විභාගයෙන් සමත් වූවන්ට ඊර්ෂ්‍යා කරන්නන් , අනුන්ගේ සම්පත් ඉවසන්නේ නැති අය මහා කල්ප හතක් ඇති මෙම නරකාදියේ උපත ලබා අනන්ත දුක් විඳියි. ඒවා වටහාගෙන පවින් වැළකිය යුතු යි. වැඩියෙන් පින් දහම් කළ යුතු යැයි සිතිය යුතු යි. මං මාවත් ශුද්ධ පවිත්‍ර කළ යුතු යි, මං මාවත්වල ඇති අපවිත්‍ර ද්‍රව්‍ය පුළුස්සා දැමිය යුතු යි. අන් සැමටම සෙත් මෙත් පැතිය යුතු යි. ඊර්ෂ්‍යාවෙන් වැළකිය යුතු යි. එවිට ඒ අයට මනු ලොව, දෙව් ලොව උපත ලබා නිවන් සුව විඳිය හැකි යි.

මේ ගැන හොඳට වටහාගෙන හොඳ වැඩ කළ යුතු යි. නරක දේ ඉවත් කළ යුතු යි. දූ දරුවන්ටත් නිසි මඟ පහදා දිය යුතු යි. ගුරුවරු ද මේ ගැන ඉගෙන කියාගෙන, දරුවන්ට මේ ගැන පැහැදිලි කර දිය යුතු යි. දේශකයාණන් වහන්සේලා ද මේවා පැහැදිලි කර දිය යුතු යි. එවිට පවින් වැළකී පිනක් දහමක් ගුණයක් දියුණුවෙන් ඉදිරියට යන්න පුළුවන්කම තිබෙනවා.

හැට දෙවන කල්පය අෂ්ට කල්ප නරකය යි. එහි සඳහන් කරන්නේ අන් අයගේ බෝග ජාති, සොරකම් කිරීම, අන් සතු දෙයක් එනම් කොළයක් හෝ අනවසරයෙන් ගැනීම හෙවත් අදින්නාදාන ශික්ෂා පදය ආරක්ෂා නොකිරීම යි. අන් සතු දේ ගැනීම, සොරකම් කිරීම අන් සතු දේ සොරකම් කිරීමෙන් ලැබෙන විපාකය මහා කල්ප අටක් දුක් විඳින්න සිදු වෙයි. අන් සතු තණකොළයක්වත් ගන්නට එපා. විශ්වාස ග්‍රාහයෙන්, තාවකාලිකව ගන්න පුළුවන්. පාංශුකූල සංඥාවෙන් ගන්න පුළුවන්. සොර සිතින් ගත්තොත් මෙවැනි විපාක ලැබෙයි. ලොවේ සොරකම් කරන සත්ත්වයෝ වැඩි යි. සොරකමෙන් නිදහස් වන්න බුදුන් වහන්සේ උපදෙස් දුන්නා. දිළිඳු බවට පත් වන්නේ, අසරණයෝ වන්නේ. දුගී මගී බවට පත් වන්නේ සොරකම් කළ අය යි. අන්සතු දේ සොරකම් කිරීමත්, විනාශ කිරීමත් සිදු කරන අය කල්ප අටක් ම මෙම නරකයේ වැටී දුක් විඳියි. කිසිම සහනයක් නැහැ. කාගෙන්වත් වරප්‍රසාදයක් ලැබෙන්නේ නැහැ. කාගෙවත් ආරක්ෂාවක් ලැබෙන්නේ නැහැ. යම පල්ලන් විසින් මේ අයට දෙතිස් දඬුවම් ම ලබා දෙයි. මේ ගැන හසල දැනුමක් කවුරුත් ඇති කරගෙන අපායේ තතු හොඳින් ඉගෙන කියාගෙන මා නම් අපායට යන වැඩ වලින් වළකිනවා යැ’යි සිතමින් , පස් පවින් වැළකී , මවට, පියාට හොඳින් සලකා, ස්වාමියාට, ස්වාමි දියණියට, බිරියට දරුවන්ට සලකා බුදුන් වැඳගෙන , මල් පහන් ගිලන්පස පූජා කර , බණ භාවනා කළොත් නරකවලින් වළකින්න පුළුවන්.

හැට තුන්වන නරකය වන්නේ නව කල්ප නරකය යි. එහි උපත ලබන්නේ මනු ලොව සිටියදී රන්, රිදී, මුතු , මැණික් , මිල මුදල් ආදිය වටිනා වස්තූන් සොරකම් කළ අය යි. මෙහි කල්ප නවයක් දුක් විඳියි. පොඩි කාලයක් ද බලන්න? යොදුනක් පමණ උස, දිග, පළළ ටැංකියක පිරවූ අබ ඇට වලින් අවුරුදු සියයකට වරක් එක් අබ ඇටයක් ඉවත් කරනවා. එසේනම් මේ ටැංකියේ අබ ඇට ගණන අවසන් වුණත් ඒත් තව කල්පයේ ආයුෂ තිබෙනවාලු. එසේනම්, එවැනි ටැංකි නවයක කාලයක් කළ පාපයට දුක් විඳිය යුතු යි. මේ ගැන සිතා කල්පනා කර අපායේ ගින්දරට, බිය වී කවුරුත් පාපයෙන් වැළකී හොඳ වැඩ කරගනු ලැබුවොත්, කාටවත් කරදරයක් නැතිව මේ ගමන ඉදිරියට යන්න පුළුවන්.

බුදු, පසේ බුදු, මහ රහතන් වහන්සේලා, මේවා අවබෝධයෙන් අපායේ තතු පැහැදිිලි කළා. මුගලන් මහ රහතන් වහන්සේ අපායට වැඩම කර, නිරි සතුන් විඳින දුක අසාගෙන විත්, ලොවේ ධර්ම දේශනා කරන විට පාපය විස්තර කර දුන්නා. කළ විපාක පැහැදිලි කර දුන්නා. ඉන් වැළකී පින් දහම් කළ විට පිනේ විපාක පැහැදිලි කර දී දෙව් ලොව ගැන පැහැදුවා.

එසේනම් පාපයට කවුුරුත් බිය වී දාන, ශීල, භාවනා පින් දහම් සිදු කරගෙන බුද්ධ පූජා , වන්දනා මාන කටයුතු හොඳින් සිදු කර, ජීවිතය වාසනාවන්ත බවට පත්කරගෙන කටයුතු කරගත යුතුයි. අඩුපාඩු කම් තිබුණත් ඒ සියල්ල මඟ හරවාගෙන සිල්වත්, ගුණවත් ජීවිතයක් ගත කර, පාරමී ගුණ ධර්මයන් ද දියුණුවෙන්, ඉතා ඉක්මන් භවයකදී ම නිවන් සම්පත් අවබෝධ කර ගැනීම සඳහා මේ සියලු පින් හේතු වාසනා වේවා!

මැදින් පුර පසළොස්වක පෝය

මැදින් පුර පසළොස්වක පෝය මාර්තු 20 වන දා බදාදා පූර්ව භාග 10.44 ට ලබයි. 21 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 07.12 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම මාර්තු 20 වන දා බදාදා ය.

 මීළඟ පෝය මාර්තු 28 වනදා බ්‍රහස්පතින්දාය.

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 20

Second Quarterඅව අටවක

මාර්තු 28

Full Moonඅමාවක

අපේ‍්‍රල් 04

First Quarterපුර අටවක

අපේ‍්‍රල් 12

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]