[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

මැදින් පුර පසළොස්වක 2019.03.20

උතුම් ත්‍රිපිටකය ලෝක උරුමයක් කිරීමේ සූදානම

 

තථාගත බුදුපියාණන් වහන්සේ පන්සාළිස් වසක් පුරා සකල ලෝ සත වෙත පතළ මහා කරුණාවෙන් දේශනාකොට වදාළ ශ්‍රී සද්ධර්මය සංගෘහිත වූ උතුම් ත්‍රිපිටක ධර්මය ජාතික උරුමයක් බවට පත්වීමේ දැඩි අවශ්‍යතාවක්ව පැවතුණේ කලක පටන්ම ය. ධර්මය අධර්මය බවට පත්කරමින් පටු ලාභාපේක්ෂාවන් මුදුන් පමුණුවා ගන්නට කටයුතු කළ ඇතැම් චීවර වේශධාරින්ගේ ක්‍රියාකලාපය ධර්මයට නිගා කරන පාපකාරී පුද්ගලයන් ගේ ක්‍රියා කලාප, පාලි භාෂාවෙහි වචනවලට තමන් රිසිසේ වැරැදි අර්ථකථන දෙමින්, අර්ථ විකෘති කරමින් නිර්මල බුදු දහම අපවිත්‍ර කිරීමට මතු නොව බුදුපියාණන් වහන්සේ උපන් දේශය පිළිබඳව පවා වැරැදි අර්ථ කථන දෙමින් බොදු ජනතාව මුලා කිරීමේ සිදුවීම් තැනින් තැන මතුවෙන්නට පටන්ගෙන තිබුණි. එය ශාසනයේ පරිහානියට හේතුවිය හැකි බව අවබෝධ කොටගත් අපගේ මහා යතිවරයාණන් වහන්සේලා ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට පත් කිරීමේ දැඩි අවශ්‍යතාව අවධාරණය කළහ. උන්වහන්සේලා සමස්ත බොදු ජනතාවගේ ම පූජෝපහාරයට ලක්වෙති. එම උත්සාහය මල්ඵල ගන්වමින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා රාජ්‍ය නායකත්වය ලෙස අනුග්‍රහය ලබා දෙමින් ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට පත් කිරීම ද ජාතික, ආගමික, මහා කර්තව්‍යයක් සේ සලකා සමස්ත ජාතියේම ඇගයීමට ලක්විය යුතු ම ය.

ඒ, උතුම් ත්‍රිපිටකය එක් ජාතියකට, එක් ආගමකට පමණක් සීමා නොවන නිසා ය. වර්තමානය වන විට ලොව පුරා සම්බුද්ධ දේශිතය පිළිබඳ විශේෂ අවධානයක් යොමු ව ඇති බව පැහැදිලිය. විවිධ පිරිස් ඒ පිළිබඳව අධ්‍යයනය කරති. පර්යේෂණවල නිරතවෙති. වෙසෙසින් ලෝකය පුරා විවිධ ජාතීන් අතර ගැටුම් ය. වර්ගවාදි යුද්ධ ය. කල කෝලාහල ය. පොදුවේ ජීවන ගැටලු හමුවේ අපමණ පිරිසක් දැවෙමින් තැවෙමින් සිටී. ඒ සන්දර්භය තුළ සැනසීමේ මඟ සොයන්නට වැඩි පිරිසක් අවතීර්ණ වනු පෙනේ. උතුම් සම්බුද්ධ දේශිතය මේ සියලු ගැටලුවලට අමා ඔසුවකි. ඒ උතුම් දර්ශනය සමස්ත ලෝකයාට හඳුන්වා දෙන්නට ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට පත් කිරීමෙන් නොනැවතී ලෝක උරුමයක් බවට පත් කිරීමට ගන්නා සුපසන් උත්සාහය අති ප්‍රශංසනීය ය.

සම්බුද්ධ දේශිතය විකෘති කිරීමෙහිලා බුදු හිමියන් ධරමාන අවධියේ ද ඇතැම් පිරිස් උත්සාහ කළහ. එහෙත් නුවණැති බොදු ජනයා එම උත්සාහයන්ට ගොදුරු වූයේ නැත. නුවණින් විමසා බලා ධර්මය අධර්මය වටහා ගන්නට ඔවුහු උත්සුක වූ හ. බුදු හිමියන්ගේ වෙස්ගෙන තමන් ඉදිරියට ආ මාරයාටත් නොරැවටුණු සුරම්බට්ඨ වැනි ප්‍රඥාවන්ත සිටුවරුන්ගේ කතා නිදසුන් ය. ඒවා සොයා කියවා පුද්ගල චරිත ස්වභාවයන් පිළිබඳ ඉගෙනීම වැදගත් ය. බෞද්ධයා යනු බුද්ධිමත් පුද්ගලයා යන අර්ථයයි. කෙනෙක් පවසන දෙයක්, පැහැදිලි කරන දෙයක්, කරන කියන දෙයක් විමර්ශනයෙන් තොරව, නුවණින් විමසා නොබලා පිළිගන්නට ඔහු කිසිවිටෙක සූදානම් නැත. තථාගතයන් වහන්සේ දේශනා කළේ ද යමෙක් කී පමණින් යමක් පිළි නොගන්නා ලෙස ය. ධර්ම විනයට අනුව ගලපා නුවණින් විමසා බලා පිළිගන්නා ලෙසට ය. කලින් කල මහා මේඝයන් සේ හමා එන විවිධ මත ජනපි‍්‍රය වන්නේ ඒවා හිස් මුදුනින් පිළිගෙන මේ නම් සත්‍යයැයි දරන්නට අනුවණ පිරිසක් සැදී පැහැදී සිටින හෙයිනි. ධර්මය යැයි සිතා මෙසේ අධර්මය පිළිගැනීම පාපයකි. සංසාර ගමන දිගු කරන්නකි. අපා දුකට වැටෙන්නට හේතුවකි. එවැනි රැවටිලි කාරයින්ට දිය හැකි හොඳම පිළිතුර නුවණින් විමසා බලා ධර්මය අධර්මය තෝරා ගැනීම ම ය. ඒ සඳහා මඟ පෙන්වන අපගේ මහා යතිවරයාණන් වහන්සේලා වෙති. ධර්ම ග්‍රන්ථ බොහෝ වෙති. කළ යුතු නිවැරැදි මග තෝරා ගැනීම ය. උතුම් ත්‍රිපිටක ධර්මය ලෝක උරුමයක් බවට පත්කිරීමේ උත්සාහය සාර්ථක වූවා වන්නේ එවිට ය.

මැදින් පුර පසළොස්වක පෝය

මැදින් පුර පසළොස්වක පෝය මාර්තු 20 වන දා බදාදා පූර්ව භාග 10.44 ට ලබයි. 21 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 07.12 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම මාර්තු 20 වන දා බදාදා ය.

 මීළඟ පෝය මාර්තු 28 වනදා බ්‍රහස්පතින්දාය.

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 20

Second Quarterඅව අටවක

මාර්තු 28

Full Moonඅමාවක

අපේ‍්‍රල් 04

First Quarterපුර අටවක

අපේ‍්‍රල් 12


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]