[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බෝසත් දරුවන්ට : කිසිවෙකුට හිංසා කරන්න එපා

කිසිවෙකුට හිංසා කරන්න එපා

පින්වත් දුවේ පුතේ අද අපි කතා කරන්නේ අප මහා බෝසතාණන් වහන්සේ “නිමි” මහරජතුමා වී ඉපදී ඉන්නා කාලයේ මාතලී දිව්‍ය පුත්‍රයාගේ වෛජයන්ති රථයේ තබාගෙන දිව්‍ය ලෝකය බලා පිටත් වූ කතා පුවතයි. ඒ යන ගමනේ දී අපායේ දුක් විඳින සත්ත්වයන් මාතලී දිව්‍ය පුත්‍රයා විසින් “නිමි” මහ රජතුමාට මෙසේ පෙන්වා දෙනු ලැබුවා.

වේතරණී නරකය

මුලින්ම පෙන්වූයේ වේතරණී ඔසුපත් නිරයේ දුක් විඳින සත්වයන් පිළිබඳව යි. කැකෑරෙමින් පැසෙන, රත් වූ ගිනි දැල් සේ එතරවිය නොහැකි ව, යා ගත නොහැකි ලෝදියේ පැසෙන අපාගත සතුන් දැක බිය වූ ‘නිමි” රජතුමා, කුමන අකාරයේ පව් කළ නිසා වේතරණී ඔසුපත් නරකයේ ඉපදුණේ දැයි මාතලී දිව්‍ය පුත්‍රයාගෙන් විමසුවා.

මාතලී දිව්‍ය පුත්‍රයා ‘නිමි” රජතුමාට මේ ආකාරයෙන් පැවසුවා.

“යේ කේවීමේ මච්ඡිරිනෝ කදරියා
පරි භාසකා සමණබ්‍රාහ්මණානං
හිංසෙන්ති රෝසෙන්ති සුපාප
ධම්මා
තේ ලුද්දකම්මා පසවෙත්වා පාපං
නයිමං ජනං කාකෝළා අදෙන් තී’ති

මේ ලෝකයෙහි යම් කෙනෙක් කාට හෝ බණිනවා නම්, නරක වචනයෙන් දොස් කියනවා නම්, අත්පාවලින් පහර දෙනවා නම්, තව කෙනෙකුගේ සිත රිදෙන ආකාරයෙන් ආක්‍රෝෂ පරිභව කරනවා නම්, බලවත් පුද්ගලයන් දුර්වල මිනිසුන්ට සාහසික ලෙස හිංසාවන් සිදු කරනවා නම්, ඒ කාන්තයෙන් ම වේතරණී කියන අපායට පැමිණෙනවා.

දුටුවා නේ ද දුවේ, පුතේ අත පය විසි කරමින් කාට හෝ පහරදුන්නොත්, ඇඟිලි දිගු කර ඇද කළොත් අපාගත වන ආකාරය.

පින්වත් දරුවනේ, ඔබත් අම්මාට, තාත්තාට ගහනවා නම්, ගුරුවරුන්ට ඇද කරනවා නම්, වේතරණී නරකයට යෑමට සූදානම් වෙන්නට ඕනෑ . මම දන්නවා බුදුසරණ කියවන අපේ දූ දරුවෝ නම් අපායට යන්න කැමැති නැහැ කියලා.

අනතුරුව දුවේ, පුතේ මාතලී දිව්‍ය පුත්‍රයා “නිමි”රජතුමා රැගෙන තවත් අපායකට රථය පදවාගෙන ගියා. ඒ අපායේ දුක්විඳින සත්වයන් පිළිබඳවත් රජතුමාට පෙන්වා දුන්නා.

ඒ අපායේ ගව් තුනක් පමණ උස ශරීර ඇති අපා ගත නිරි සතුන්, මහා ඇතුන් පමණ විශාල රතුපාට, සුනඛයන් විසින් එළවාගෙන යනවා. රත් වූ යම පොළොවේ පෙරළාගෙන ඇට කටු පමණක් ඉතිරි වෙන සේ කෙණ්ඩාවල තිබෙන මාංශ ඉරා ඉරා සපා කනවා. .

එපමණක් නොවෙයි මහා කරත්ත පමණ ශරීර ඇති, ලෝහ තුඩු වැනි හොට තිබෙන ගිජු ලිහිණියෝ මේ ලෝහ තුඩුවැනි හොටයෙන් අපායේ සිටින සත්ත්වයන්ගේ ඇට කටු බිඳ බිඳ, ඇට මිදුළු කා දමනවා.

එපමණක් නොවෙයි . ලෝහවලින් සෑදුණු හොට ඇති, අතිශයින් භයානක කපුටු රෑන් දුටු දුටු තැන එළව එළවා පහර දෙනවා. මේ ආකාර වූ දුක් විඳින නිරි සත්වයන් දුටු නිමි රජතුමා මාතලී දිව්‍ය පුත්‍රයාගෙන් අසනවා මොන ආකාරයේ පව් කළ අය ද මේ අපායේ ඉපදෙන්නේ කියා.

යේ දුබ්බලේ බලවන්තෝ
ජීවලෝකේ
හිංසෙන්ති රෝසෙන්ති ජීවලෝකේ
තේ ලුද්ද කම්මා පසවෙත්වා පාපං
තේ වේ ජයා වේතරණිං පතන්ති”

දුවේ , පුතේ මාතලී දිව්‍ය පුත්‍රයා මේ ආකාරයෙන් පවසනවා, අන්‍යයන්ට කිසිවක් නොදෙන, ඒ වගේ ම යම් කිසිවක් කිසිවෙකුට දීම ද වළක්වන මසුරු ස්වභාවය ඇති අය පමණක් නොවෙයි මහණ බමුණන්ට නින්දා කරන, හිංසා කරන, ආක්‍රොෂ පරිභව කරන අය මේ පව් නිසා මේ නිරයේ උපදිනවා. මේ නිරි සත්වයන් ගේ මස් කවුඩෝ අනුභව කරනවා .

තවත් දුක්විඳින අපායන් තියෙනවා. අපි ඒ ගැන ඊළඟ බුදුසරණ කලාපයෙන් කතා කරමු.

මැදින් පුර පසළොස්වක පෝය

මැදින් පුර පසළොස්වක පෝය මාර්තු 20 වන දා බදාදා පූර්ව භාග 10.44 ට ලබයි. 21 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 07.12 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම මාර්තු 20 වන දා බදාදා ය.

 මීළඟ පෝය මාර්තු 28 වනදා බ්‍රහස්පතින්දාය.

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 20

Second Quarterඅව අටවක

මාර්තු 28

Full Moonඅමාවක

අපේ‍්‍රල් 04

First Quarterපුර අටවක

අපේ‍්‍රල් 12

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]