UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ලෝකයෙහි හිත පිණිස අධ්‍යාත්මික සංවර්ධනය

ලෝකයෙහි හිත පිණිස අධ්‍යාත්මික සංවර්ධනය

" මිනිසා සතු කායික මානසික ශක්තිය කොපමණ අවදි කළ හැකි ද? කොතෙක් අර්ථ සම්පන්නව පරිහරණය කළ හැකි ද? යන්න තීරණය වනුයේ ඔහු සතු දැක්ම, ආකල්ප සහ කැපවීම අනුව ය. ජීවිතය සහ ලෝකය පිළිබඳව මිනිසා සතු දැක්ම අනුව ජීවන ප්‍රවේශයන් සතරක් හඳුනාගත හැකි ය.මානවීය ප්‍රවේශය, මානසික ප්‍රවේශය, මානුෂීය ප්‍රවේශය, අධ්‍යාත්මික ප්‍රවේශය යනුවෙනි."

මෙහි ඇත්තේ ආත්ම මූලික දැක්මකි. සුඛ පරම ආකල්පයකි. සත්වයෙකු වශයෙන් තමන් සතු හැකියාවන් මෙහි දී ප්‍රයෝජනයට ගනී. තම ජීවිතය ආරක්ෂා කර ගැනීම, අවශ්‍යතා සපුරා ගැනීම, බාධක අවම කර ගෙන සුවසේ දිවි පැවැත්වීම, ඉන්ද්‍රිය පිනවීම, අඹුදරුවන් පෝෂණය කිරීම, තමන් සහ තම වර්ගයාගේ අයිතීන් දිනා ගැනීම වැනි කරුණු ජීවිතයේ පරමාර්ථ ලෙස දැකීමට පෙළඹෙයි. ඒ සඳහා සම්මුති ඇතිකර ගැනීම, නීති පනවා ගැනීම ආදි වශයෙන් මානව සංස්කෘතියක් ගොඩ නැගෙයි. සිතීමේ සහ තීරණ ගැනීමේ හැකියාවක් තමන්ට ඇති බව පිළිගන්නා නමුත් ඒ සියල්ල ඉහත හඳුනාගත් පරමාර්ථ වටා කේන්ද්‍ර ගතවෙයි.

මානසික ප්‍රවේශය

මෙහිදී ද ආත්ම මූලික දැක්මක් ඇති නමුත් මානසික ශක්තිය පිළිබඳව විශ්වාස කරයි. තමන් බලවත් වනුයේ මානසික ශක්තියේ පමණට බව පිළිගනියි. එබැවින් මනස පිළිබඳව විමසීමට, අධ්‍යයනය කිරීමට පෙළඹෙයි. මානසික දුබලතා යටපත් කිරීමට හා හැකියාවන් වර්ධනය කර ගැනීමට උනන්දු වෙයි. ජීවිතයේ සැබෑ පරමාර්ථය විය යුත්තේ මානසික ශක්තිය අවදි කිරීම ලෙස දකින ඔහු ඉහත දැක්වූ ජීවන අවශ්‍යතා ඉන් මෙපිට අරමුණු ලෙස හඳුනා ගනී.

මානුෂීය ප්‍රවේශය

මෙහි දී තමා කේන්ද්‍රකොටගත් දැක්ම පරයා සමානාත්මතා දැක්මක් වෙත ප්‍රවේශ වෙයි. තමන් පමණක් නොව අන්‍යයන් ද ආරක්ෂා කරගැනීමට, සුවපත් කිරීමට කැප වෙයි. මෙතෙක් මානසික ශක්තිය පිළිබඳව උනන්දු වූ ඔහු මානසික ගුණ දියුණු කිරීමෙහිලා නැඹුරුවෙයි. මෙහිදී අනුන් පරයා තමන් නැගීසිටීමේ ප්‍රයත්නය අවම වෙයි. දුබලයන් ගොදුරු කොට ගෙන නැගී සිටීම වෙනුවට තමනුත් රැකී, අන්‍යයන් ද රැකීම තම ධර්මයක් ලෙස දකියි. මූලික මනුෂ්‍ය ධර්ම අවදි වනුයේ මෙම ප්‍රවේශයේ දී ය. එනම්,තමන්ගේ සුරක්ෂාව හෝ සුඛ විහරණය සඳහා අනුන් නොනැසීම, අනුන්ගේ ආරක්ෂාව සහ සුඛවිහරණය සඳහා හැකි පමණින් කැපවීම, අනුන් සතු දේ හෝ පොදු දේ අයථා ලෙස අත්කර නොගැනීම හා අන් සතු සම්පත් සහ පොදු සම්පත් ආරක්ෂා කිරීමට කැප වීම, ධ්ධ්ධ්. අන්‍යයන්ට අනර්ථයක් වන ලෙස හෝ අසම්මත ලෙස අඹු සැමි සබඳතා නොපැවැත්වීම, අන්‍යයන්ගේ ධාර්මික සබඳතාවලට ගරු කිරීම හා ඒවා සුරක්ෂිත කිරීමට කැප වීම, අන්‍යයන්ට අනර්ථයක් වන ලෙස නොරැවටීම හා අවශ්‍ය තැනක දී අර්ථසම්පන්න ලෙස සත්‍ය හෙළි කිරීමට උත්සුක වීම, උපතින් තමන් ලද කායික මානසික තීව්‍රතාව උපක්‍රමශීලීව විකෘති කර නො ගැනීම හා අන්‍යයන්ගේ ද කායික මානසික ප්‍රකෘතිය ආරක්ෂා කරගැනීමට සහාය වීම වශයෙනි.

මෙම මූලික මනුෂ්‍ය ධර්ම ඔහුගේ සන්තානයේ අනුක්‍රමයෙන් අවදි වනුයේ ආගම නිසා හෝ නීතිය නිසා හෝ නොව ඉන් තමන්ට මෙන් ම අන්‍යයන්ට ද සිදුවන අර්ථය වටහා ගැනීමට ප්‍රමාණවත් දැක්මක්, චින්තනයක් සහ ඊට අදාළ ගුණයක් ඔහු සතුව වැඩෙමින් පවතින බැවිනි.

අධ්‍යාත්මික ප්‍රවේශය මෙහිදී හේතුඵල දහම හෙවත් පටිච්ච සමුප්පාදය නමැති විශ්ව ධර්මය කේන්ද්‍ර කොට ගත්, ධර්ම මූලික දැක්මක් වෙත අවතීර්ණ වෙයි. හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත් සංස්කාර ධර්මයන්හි සත්ව, පුද්ගල, ආත්ම වශයෙන් ගත හැකි සාරයක් නොවන බැවින් තමන් සහ අනුන් යනු සම්මුතියක් පමණක් බව වටහාගනී. තමන්ට මෙන්ම අන්‍යයන්ට ද චිත්ත නියාම, කම්ම නියාම වශයෙන් අනන්‍යතාවක් ඇතත් එය ද හේතුඵල දහමක් බැවින් සංස්කරණය කළ හැකි ය. මෙම අවබෝධය නිසා පුද්ගල බද්ධ ඇලීම් ගැටීම් අවම වේ.

තමන් සහ ලෝකය ලෙස මෙතෙක් හඳුනාගෙන සිටි සමස්ත සොබාදහම ම චිත්ත නියාම, කම්ම නියාම, බීජ නියාම, උතු නියාම, ධම්ම නියාම යන පංච නියාමයක් හෙවත් අන්‍යෝන්‍ය හේතුඵල පැවැත්මක් බව මෙහිදී වටහා ගනී. හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත් සියල්ල අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ස්වභාව ලක්ෂණ උරුම කොට පවතින බැවින් සංසාර ප්‍රවෘත්තිය සරු දෙයක් ලෙස නොදකී. එම නිසරු පැවැත්ම නිමා කිරීම ජීවිතයේ ප්‍රධාන පරමාර්ථය බවට පත් වේ. එසේ සංසාර ප්‍රවෘත්තිය නැවැත්විය හැක්කේ ලෝකය (නියාම ධර්ම) විකෘති කිරීමෙන් නොව ප්‍රකෘතිමත් ව පැවැත්වීමෙන් සහ අවබෝධ කිරීමෙන් පමණක් බව වටහා ගනී.

එතැන් පටන් ඔහුගේ දැක්ම, චින්තනය සහ ආකල්ප හැඩ ගැසෙනුයේ තමන් මුල් කොටගෙන හෝ අන්‍යයන් මුල්කොටගෙන නොව පටිච්චසමුප්පන්න වූ සොබාදහම් රීතිය මුල් කොටගෙන ය. මෙසේ හේතුඵල නමැති සොබාදහම් රීතිය පිළිබඳව සංවේදී වන තරමට “සොබාදම් පිළිවෙතට” අවතීර්ණ වෙයි. එවිට ඔහු හොඳ නරක, යහපත අයහපත, අර්ථය අනර්ථය තීරණය කරනුයේ සමාජ සම්මුතිය, ආගමික සම්මුතිය හෝ රටේ නීතිය මත පමණක් නොව හේතු ඵල නමැති විශ්ව ධර්මය පදනම් කොටගෙන ය.

තමන් මුල්කොටගෙන සුචරිතයෙහි හැසිරෙන තැනැත්තා තමන්ට හානි පැමිණෙන විට එම සුචරිතයෙන් ගිලිහෙයි. තම රට ජාතිය හෝ ආගම මුල්කොටගෙන සුචරිතයෙහි යෙදෙන තැනැත්තා, රටට ජාතියට හෝ ආගමට හානි පැමිණෙන විට සුචරිතයෙන් ගිලිහෙයි. ධර්මය මුල්කොටගෙන සුචරිතයෙහි හැසිරෙන තැනැත්තාට ඉන් ගිලිහීමට හේතුවන කොන්දේසි කිසිවක් නැත. කවර පදනමකින් හෝ තම සිතිවිලි, වචන, ක්‍රියා විකෘති වේ නම් එයින් අධර්මය මතුවන වන බව ඔහු වටහාගනී. පුද්ගලයන් නිසා හෝ රට ජාතිය ආගම නිසා හෝ අධර්මය මතුවීමේ අනර්ථය දකින හෙතෙම සැමවිටම ධර්මය රකින්නට කැප වේ. දහම රකින ඔහු දහමින් ආරක්ෂා වෙයි.

මෙසේ අධ්‍යාත්මික ප්‍රවේශයේ දී ඔහු සමස්ත විශ්ව ධර්මය සමඟ මුසු වෙයි. එහි පවතින්නේ ධර්මය සහ අධර්මය අතර භේදය පමණි. පුද්ගලයන්, ජාතීන් හෝ ආගම්වලට ආවේනික වූ අනන්‍යතාවක් පැවතිය ද ඒවා ධර්මානුධර්ම ප්‍රතිපදාවට බාධාවක් නොවෙයි.

මෙබඳු අධ්‍යාත්මික ප්‍රවේශයක් තුළින් අවදි වන අධ්‍යාත්මික ගුණය සහ නුවණ සමස්ත ලෝක සම්මුති පරයා ලෝකයේ යථාර්ථය අවබෝධ කිරීමට උපකාර වේ. සක්කායදිට්ඨිය නමැති පුද්ගල සම්මුතියේ පටන් ලෝක ප්‍රඥප්තීන් මත ගොඩනැගී ඇති සියලු කෙලෙස් ධර්ම ප්‍රහාණය කළ හැකි වනුයේ එබඳු අධ්‍යාත්මික ඥානයකින් පමණි. කොන්දේසි විරහිතව එබඳු සන්තානයක උපදින අධ්‍යාත්මික ශක්තිය බාධාවකින් තොරව සමස්ත ලෝකයේ හිතසුව පිණිස විසුරුවා හැරිය හැකි ය.

 

නවම් අමාවක පෝය


නවම් අමාවක පෝය මාර්තු 05 වන දා අඟහරුවාදා අපර භාග 07.07 ට ලබයි. 6 වන දා බදාදා අපර භාග 09.33 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 06 වනදා බදාදා ය.

 

 මීළඟ පෝය මාර්තු 14 වන දා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මාර්තු 06

First Quarterපුර අටවක

මාර්තු 14

Full Moonපසෙලාස්වක

මාර්තු 20

Second Quarterඅව අටවක

මාර්තු 28


2019 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]