UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පූජාච පූජනියනං

මාරපන විජිත නා හිමි

දකුණු කළුතර සිරිනිවාසාරාමය, හැඩිගල්ල සිරි විපුලසිරි මහා විහාරය, මුංහේන ශ්‍රී සුවිසුද්ධාරාමය හා සපුගහවත්ත ශ්‍රී පූර්වාරාමය යන සිව් මහා විහාරාධිපතිව වැඩ විසූ, මල්වතු මහා විහාර පාර්ශවයේ කළුතර මහ දිසාවේ ප්‍රධාන සංඝ නායක සද්ධර්ම වාගීශ්වරාචාර්ය ශ්‍රී අත්ථදස්සී ශාස්ත්‍රවේදී පණ්ඩිත මාරපන විජිත නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපවත් වී මාර්තු මස 02 දිනට තෙමසක් සපිරිණි. උන්වහන්සේගේ ගුණ සමරු පින්කම මාර්තු මස 02 සහ 03 දෙදින දකුණු කළුතර සිරිනිවාසාරාමයේ දී පැවැත්විණි.

රත්නපුර, මාරපන ගඟ අද්දර වලව්වේ විසූ මනම්පේරී මුදියන්සේලාගේ මද්දුම බණ්ඩාර සහ වෙල්ලන්කට්ටු මුදියන්සේලාගේ මද්දුම මැණිකේ කුමාරිහාමි යන දම්පතීන්ට දාව 1939 පෙබරවාරි 20 දින උපත ලද පින්වත් කුමරුවෙකි. මනම්පේරි මුදියන්සේලාගේ ජයසේකර බණ්ඩාර නමින් මව්පිය සෙවනෙහි ඇති දැඩි වන මේ කුමරුවා තුදුස් වන විය දක්වා මාරපන මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටියදී, 1952 හැඩිගල්ලේ සිරි විපුලසිරි නා හිමියන්ගේ සහ ආචාර්ය ඉඳුරුවේ පඤ්ඤාතිස්ස නා හිමියන්ගේ ආචාර්යත්වයෙන් මාරපන ශාස්ත්‍රෝදය පිරිවෙන් භූමියේ දී පැවිදි බිමට පත්විය.

අගලවත්ත කැකුණදොල පුරාණ රජමහා විහාරස්ථ පතිරාජ පිරිවෙනට ඇතුළත්ව මූලික ධර්ම ශාස්ත්‍රීය අධ්‍යාපනය ලද මාරපන විජිත හිමියෝ 1956 දී පෑලියගොඩ විද්‍යාලංකාර මහා පිරිවෙනින් ධර්ම විනය, පෙර අපර දෙදිග භාෂා ශාස්ත්‍රය, ශබ්ද ශාස්ත්‍රය සහ පුරා විද්‍යාව වැනි විෂයයන් හැදෑරූහ. මහනුවර මල්වතු මහා විහාරස්ථ රාජකීය උපෝසථාගාරයේ දී 1960 දී අධිසිල් ලැබූහ.

කැලණිය විශ්ව විද්‍යාලයට ඇතුළත් ව 1965 ගෞරව ශාස්ත්‍රවේදී උපාධියෙන් ද, පශ්චාද් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාවෙන්ද සමත්ව පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනෙහිම ආචාර්යවරයෙකු වශයෙන් සේවයට එක්වූහ.

මාරපන විජිත හිමියන් සපයන ධර්ම ශාස්ත්‍රීය ලිපි ලේඛන පමණක් නොව උන්වහන්සේගේ මඟ පෙන්වීමෙන් එවකට විද්‍යාලංකාර පිරිවෙනෙහි වැඩ සිටි පඬි හිමිවරුන්ගේ ධර්ම ශාස්ත්‍රීය ලිපිද, එකල බුදුසරණ පත්‍රයෙහි පළවූහ. මාරපන විජිත හිමියෝ එකල මහාබෝධී සමාගමට ද සම්බන්ධව සාක් කලාපීය රටවල ධර්මදූත සේවයෙහිද නිරත වෙමින්, මාහැඟි මෙහෙයක් සිදුකළ අතර අන්‍යාගමික පූජක උතුමන් හා මනා ඇසුරක් පවත්වාගෙන යමින් සාමයික සහජීවනය ගොඩ නැගීමට ද උත්සුක වූහ.

1975 දී රජයේ ගුරු සේවයට ඇතුළත් වූ නාහිමියෝ කැලණිය ධර්මාලෝක මහා විද්‍යාලය ප්‍රමුඛ විද්‍යාල කීපයකම විසි වසරකට ආසන්න කාලයක් සේවය කරමින් විභාග පරීක්ෂකවරයෙකු වශයෙන් ද අධ්‍යාපන ක්ෂේත්‍රයට මහඟු සේවයක් සැලසූහ. තම ආචාර්යවරයාණන් වහන්සේගේ අපවත්වීමෙන් පසු දකුණු කළුතර සිරිනිවාසාරාමයෙහි වැඩ වෙසෙමින් දායක කාරකාදීන්ගේ මනදොළ සපුරමින් ශාසනික සේවය පිණිස ශික්ෂාකාමී පැවිදි ශිෂ්‍ය පරපුරක් ද පෝෂණය කළ නාහිමියෝ තපෝවෘද්ධ ගුණවෘද්ධ සංඝපීතෘවරයාණ කෙනෙකුන් ලෙස ලෝ සසුන් වැඩ සලසමින් සමාජ සත්කාර්යයෙහි නිරතව සිටියහ.

උන්වහන්සේගේ ගුවන්විදුලි ධර්ම දේශනා ඇසුරෙන් සැකසුන දම්පවන 1 – 2 – 3 ග්‍රන්ථ ත්‍රිත්වය මුද්‍රණාද්වාරයෙන් පිටවී ඉතා කෙටි කාලයකින්ම අවසන් වූයේ පාඨක විචාරක ඇගැයුමට පාත්‍ර වෙමිනි. එසේම විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයීය විද්වත් පර්ෂදයෙන් පිදුන ‘පභස්සර’ අභිනන්දන සංග්‍රහය උන්වහන්සේ විසින් රට දැය සමයට සිදුකළ මෙහෙවර වෙනුවෙන් පිරිනැමූහ. අපවත්වී වදාළ මාරපන විජිත නා හිමිපාණන් වහන්සේට උතුම් වූ නිවන් සුවය සාක්ෂාත් වේවා.

****

ගාලු මාතර හම්බන්තර තෙපළාතේ ප්‍රධාන සංඝ නායක ධුරයට පත් ප්‍රවීණාචාර්ය පණ්ඩිත

බද්දේගම කුසල නා හිමි

මාතර පොල්හේන පුරාණ මහා විහාරය හා දීයගහ ශ්‍රී බෝධිරුක්ඛාරාම පුරාණ විහාරය යන උභය විහාරයන්හි විහාරාධිපති ප්‍රවීණාචාර්ය පණ්ඩිත බද්දේගම කුසල ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත මහනුවර මල්වතු මහා විහාරය මගින් ශාසන කීර්ති ශ්‍රී ත්‍රිපිටකවේදී යන ගෞරව නාමය සහිතව ගාලු මාතර හම්බන්තර තෙපළාතේ ප්‍රධාන සංඝ නායක ධුරය පිරිනැමීම ගිහි පැවිදි සැමගේ ම ප්‍රසාදය ඇතිකරන කරුණකි.

පූජා ච පූජනීයානං. පිදිය යුත්තන් පිදීම උතුම් මංගල කරුණක් බව බුදුපියාණන් වහන්සේ දේශනා කළහ. ජාතික, ආගමික, අධ්‍යාපනික, සාමාජික ආදී වශයෙන් අත්‍යුදාර සේවාවක් සිදු කරන බද්දේගම කුසල ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත ප්‍රධාන සංඝ නායක ධුරයක් පිරිනැමීම සම්බුද්ධ ශාසනෝන්නතිය විෂයෙහි සිදු කළ වැදගත් පියවරක් සේ සැලකිය හැකි ය.

දක්ෂිණ ලංකාවේ අගනුවර වූ ගාලු පුරවරයේ බද්දේගම නම් සුප්‍රකට ග්‍රාමවරයෙහි 1952 අගෝස්තු 25 වන දින උපත ලැබූ පින්වත් කුමරුවා 1966 දෙසැම්බර් 22 වන දින මාතර පොල්හේන පුරාණ විහාරයේ දී ‘බද්දේගම කුසල’ නමින් පැවිදි බිමට පත්ව විසිවයස් සම්පූර්ණ වූ කල්හි පොල්හේන පුරාණ විහාරාධිපතිව වැඩ විසූ ගණේගම අත්ථදස්සි මහා ස්වාමින්ද්‍රයන් වහන්සේගේත්, ගාල්ල, මිරිස්වත්ත ශ්‍රී සුධර්මාරාමාධිපති පණ්ඩිත ඇත්තිලිගොඩ සුගතපාල නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේත්, ගල්කිස්ස බෞද්ධායතනාධිපති කොළඹ නව කෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝ නායක, කොළඹ ආනන්ද විද්‍යාලයේ විශ්‍රාමික සහකාර විදුහල්පති, ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ උප සභාපති සද්ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටකාචාර්ය දිවියාගහ යසස්සි නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේත් ආචාර්යත්වයෙන් උපසම්පදා සීලයට පත්විය.

ආචාර්යන් වහන්සේලාගේ මග පෙන්වීමෙන් බද්දේගම කුසල හිමියෝ ධර්ම ශාස්ත්‍රෝද්ග්‍රහණය සඳහා මාතර පුෂ්පාරාම පිරිවෙණටත්, අනතුරුව හුණුපිටිය ශ්‍රී ඥානේශ්වර පිරිවෙණටත්, පසුව නුගේගොඩ ගංගොඩවිල ශ්‍රී සුභද්‍රාරාම පිරිවෙණටත් ඇතුළුව සිංහල, පාලි, සංස්කෘත, ත්‍රිපිටක ධර්මය, ඉංග්‍රීසි ආදී විෂයයන් මැනවින් හැදෑරූහ. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් ජපන් භාෂාව හදාරා තවදුරටත් එය ප්‍රගුණ කරගැනීම සඳහා ජපානයේ ටෝකියෝ නුවර ගොතන්දා රිස්ෂු විශ්ව විද්‍යාලයට ඇතුළුව වසර කිහිපයක් එහි අධ්‍යාපනය ලැබූහ. සය වසරක් පමණ ථෙරවාදී භික්ෂු නමක් වශයෙන් ජපානයේ වැඩ සිටිමින් එරට ධර්ම ප්‍රචාරක කටයුතුවල නිරත වීම විශේෂත්වයකි.

බද්දේගම, කීඹිඇල ශ්‍රී සරණංකර පිරිවෙණේත්, අක්මීමන විද්‍යා ප්‍රදීප පිරිවෙණේත්, අනතුරුව මාතර ශ්‍රී පුෂ්පාරාම පිරිවෙණේත් පිළිවෙලින් පරිවේණාධිපති ධුරයන්ට පත්ව විශ්‍රාම ලැබීම දක්වා විශාල සේවාවක් සිදුකළහ.

දිවියාගහ යසස්සි නායක මහා ස්වාමින්ද්‍රයන් වහන්සේගේ ආශිර්වාදයෙන් දීයගහ ශ්‍රී බෝධිරුක්ඛාරාමයේ අධිපතිත්වයට පත් ව එම අරමෙහි පුස්තකාලයක් සහිත තෙමහල් ධර්ම මන්දිරයක් ඉදිකිරීම, චෛත්‍යය, බෝධිප්‍රාකාරය ඇතුළු විහාරාංග නවීකරණය කිරීමත් කැපී පෙනෙන සේවාවන් ය. විශේෂයෙන් එම විහාරස්ථානයේ ශ්‍රී විපුලතිස්ස ධර්ම විද්‍යාලය සක්‍රිය කොට ප්‍රදේශයේ දූ දරුවන්ගේ නැණ පහන් දැල්වීමට මං සැලසූහ.

මාතර පොල්හේන පුරාණ විහාරාධිපතිත්වය ඉසිලූ විශ්‍රාමලත් විදුහල්පති පණ්ඩිත ඇහැලපේ යතිරතන තම පැවිදි සහෝදරයාණන් වහන්සේගේ හදිසි අපවත්වීමෙන් පුරප්පාඩු වූ එම විහාරයේ විහාරාධිපති ධුරය බද්දේගම කුසල හිමිපාණන් වෙත පිරිනැමීම තවත් භාරදූර අභියෝගයක් විය. සියලු විහාරාංග ප්‍රතිසංස්කරණය කරමින් දැකුම්කළු විහාරස්ථානයක් බවට පත් කොට ශ්‍රී සුමංගල දහම් පාසල ද වැඩිදියුණු කළහ. තමා සිදුකරන විවිධ සේවාවන් තව දුරටත් උසස් සේ පවත්වාගෙන යාමට ශක්තියක් ඇති මාතර රාහුල විද්‍යාලයේ ආචාර්ය ශාස්ත්‍රපති ඕමාරේ විමල හිමි ප්‍රධාන පැවිදි සිසුන් කිහිප නමක් ම බිහිකර තිබීම අගය කළ යුතු දූරදර්ශී ක්‍රියාවකි.

දීර්ඝ කාලයක සිට මාතර නැගෙනහිර ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරී ධුරයට පත් වී ප්‍රදේශයේ දූ දරුවන්ගේ දහම් අධ්‍යාපනය නගා සිටුවීම සඳහා දරන ප්‍රයත්නය ප්‍රශස්ත ය. එසේම සියම් මහා නිකායේ මල්වතු මහා විහාරපාර්ශ්වීය මාතර දිස්ත්‍රික් සංඝ සභාවේ ලේඛකාධිකාරී ධුරය ද හොබවමින් ශාසනාභිවෘද්ධිය විෂයෙහි සිදුකරන සේවාව මහත් සේ කැපී පෙනේ.

ආර්ථික අපහසුතා ඇති පවුල් 28 ක් සඳහා අපේ කුසල හාමුදුරුවන් මේ වන විට නිවාස ඉදිකර දී ඇති අතර තවත් පවුල් තුනක් සඳහා නිවාස ඉදිකරමින් පවතී. එපමණක් නොව ඉඩම් නොමැති පවුල් සඳහා ඉඩම් ලබා දීමට කටයුතු කිරීම, ආර්ථික අපහසුතා ඇති පාසල් දරුවන් සඳහා අතිපූජ්‍ය දිවියාගහ යසස්සි නායක ස්වාමින්ද්‍ර ශිෂ්‍යත්ව අරමුදල මගින් ශිෂ්‍යත්ව ලබා දීම, ගොවීන් සඳහා බීජ ගොවිපලක් ආරම්භ කොට පවත්වාගෙන යාම, පුරන් කුඹුරු අස්වැද්දීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීම උන්වහන්සේගේ සුවිශේෂි සේවාවන්ගෙන් කිහිපයකි.

ජපානය, සිංගප්පුරුව, තායිලන්තය, මැලේසියාව, ඉන්දියාව, ආදී රටවල් ගණනාවකට ම ධර්ම ප්‍රචාරක කටයුතු සඳහා වැඩම කිරීමට උන්වහන්සේ වාසනාවන්ත වී ඇත. පැවිදි ගිහි සෑම දෙනා සමගම සිනාමුසු මුහුණින් ප්‍රියශීලීව කටයුතු කරන කුසල හාමුදුරුවෝ ඉතා නිහතමානී හා අල්පේච්ඡ ගුණයෙන් යුක්ත ය. සිල්වත් බවින් ද පැවිදි ආකල්පයන්ගෙන් ද අනූනව ශාසනානුලෝමික ප්‍රතිපත්තින්හි යෙදෙමින් ගිහි පැවිදි සෑම දෙනාටම වෙහෙස නොබලා පිහිට වීම උන්වහන්සේගේ ප්‍රතිපත්තිය යි.

බද්දේගම කුසල ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ උසස් සේවාව අගය කළ මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ අති පූජනීය මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ සානුනායක කාරක මහා සංඝ සභාව ශාසන කීර්ති ශ්‍රී ත්‍රිපිටකවේදී යන ගෞරව සම්මුතිය සහිතව ගාලු මාතර හම්බන්තර තෙපළාතේ ප්‍රධාන සංඝ නායක පදවිය පිරිනැමීම මේ මස 08 සිකුරාදා පස්වරු 03.00 ට මල්වතු මහා විහාරස්ථ ඓතිහාසික සීමා මාලකයේ දී සිදු කිරීමට නියමිත ය. එසේම කුසල නාහිමිපාණන් පිළිගැනීම සඳහා උත්සව සභාවක් මේ මස 10 ඉරිදා පස්වරු 03.00 ට මාතර පොල්හේන පුරාණ විහාරස්ථානයේ දී සිදු කෙරෙන අතර ආශිර්වාද පළ කිරීමේ ආගමික වැඩසටහනක් මේ මස 16 ඉරිදා පස්වරු 06.00 ට මාතර දීයගහ ශ්‍රී බෝධිරුක්ඛාරාම පුරාණ විහාරස්ථානයේ දී සිදුකිරීමට කටයුතු යොදා ඇත.

අභිනව නායක ධුරයෙන් පිදුම් ලැබූ ප්‍රවීණාචාර්ය පණ්ඩිත බද්දේගම කුසල ස්වාමින්ද්‍රයන් වහන්සේට තවත් බොහෝ කාලයක් සසුන්කෙත වැඩ වඩන්නට තෙරුවන් සරණින් දිගාසිරි ලැබේවා යි පතමු.

 

නවම් අමාවක පෝය


නවම් අමාවක පෝය මාර්තු 05 වන දා අඟහරුවාදා අපර භාග 07.07 ට ලබයි. 6 වන දා බදාදා අපර භාග 09.33 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 06 වනදා බදාදා ය.

 

 මීළඟ පෝය මාර්තු 14 වන දා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මාර්තු 06

First Quarterපුර අටවක

මාර්තු 14

Full Moonපසෙලාස්වක

මාර්තු 20

Second Quarterඅව අටවක

මාර්තු 28


2019 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]