UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

උපසේන මහරහතන් වහන්සේ

උපසේන මහරහතන් වහන්සේ

උපසේන මහරහතන් වහන්සේ සෑම අතින්ම පැහැදීම් ගෙනදෙන භික්ෂූන් අතර අගතැන්පත් වූ සේක.තමන් වහන්සේ පමණක් නොව තමාගේ පිරිස ද එබඳු පැහැදීම් ගෙන දෙන ගති පැවතුම් ඇතිව වාසය කළහ.

කල්ප ලක්ෂයකට පූර්වයෙහි මෙලොව පහළ වූ පදුමුත්තර නම් බුදුරජාණන් වහන්සේ සියලු සතුන් සසරින් එතෙර කරවනු පිණිස ධර්ම දේශනා කරන සමයෙහි මෙම උපසේන මහරහතන් වහන්සේ හංසවතී නුවර කුල ගෙයක ඉපිද තරුණ වියට පැමිණියේ ය.බුදුරජාණන් වහන්සේගෙන් බණ අසනු පිණිස වෙහෙරට ගිය විට පදුමුත්තර බුදුරජාණන් වහන්සේ එක් භික්ෂුවකට සෑම අතින්ම පැහැදීමි ගෙනදෙන භික්ෂුන් අතුරෙහි අග්‍රස්ථානය දෙනු දැක මම ද අනාගතයේ දී මෙබඳු පදවියක් ලබන්නෙමියි අධිෂ්ඨාන කොට සත් දිනක් බුදුන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝ රත්නයට මහ දන් පවත්වා, සිල් රැක, බවුන් වඩා පදුමුත්තර බුදුරජාණන් වහන්සේට ස්වකීය අධිෂ්ඨානය සැළකර සිටියේ ය.බුදුරජාණන් වහන්සේ අනාගතය දෙස බලා ඔහුගේ ප්‍රාර්ථනාව සඵල වන බව දැන කුල පුත්‍රය, තොපගේ අභිප්‍රාය මෙයින් කල්ප ලක්ෂයකට මත්තෙහි බුදුවන ගෞතම නම් බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි සිද්ධ වන්නේ යැයි නියත විවරණ දුන් සේක.

හෙතෙම ජීවිතාන්තය දක්වා කුසල් රැස් කොට එයින් චුතව දෙව් මිනිස් භවයන්හි සැරිසරා ගෞතම බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ කල්හි නාලක නම් බමුණුගම සාරි නම් බැමිණියගේ පුත්ව උපන්නේ ය.එම පුත්‍රයාට උපසේන යයි නම් තැබුවේ ය.

උපසේන මානවක තෙමේ වැඩිවියට පැමිණ බණ අසා අපමණ පැහැදුණු සිතින් සම්බුදු සසුනෙහි පැවිදි විය. උපසේන තෙරුන් වහන්සේ උපසම්පදා වීමෙන් අනතුරුව වසක් ගතවූ කල්හි තවත් කුල දරුවෙකු මහණ කොට උපසම්පදා කළහ.එකල උපසේන තෙරුන් වහන්සේට වස් දෙකක් පමණ විය. උන්වහන්සේ තමන් මහණ කර උපසම්පදා කරන ලද තරුණ ශිෂ්‍ය තෙරුන් වහන්සේ ද කැටුව දිනක් බුදුරජාණන් වහන්සේ හමුවීමට සැවැත් නුවර ජේතවනාරාමයට ගොස් බුදුරජාණන් වහන්සේට වැඳ එකත්පසව සිටියේ ය.එවිට බුදුරජාණන් වහන්සේ තෙරුන් වහන්සේ අමතා ඔබට කොපමණ වස් ඇත්දැයි විචාරා දෙවසකැයි කී කල්හි තොපගේ ශිෂ්‍යයා කොතෙක් වස් ඇත්දැයි විචාරා උපසේන තෙරණුවෝ පිළිතුරු දෙමින් එකයි යැයි කී කල්හි බුදුරජාණන් වහන්සේ තෙරණුවෝ අමතා හිස් පුරුෂය ඔබ ඉක්මනින් මහන්තත්වයට පැමිණේ යැයි වදාරා නොයෙක් ආකාරයෙක් අවවාද දුන් හෙයින් උපසේන තෙරණුවෝ කවදා හෝ මා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රි මුඛයෙන් ප්‍රශංසා ලබන්නෙමියි අධිෂ්ඨාන කොට එදිනම විවේක ස්ථානයකට ගොස් විදර්ශනා වඩා සව් කෙලසුන් නැසූ රහතන් වහන්සේ නමක් බවට පත් වූ සේක.

උපසේන මහරහතන් වහන්සේ ධර්ම කථික භික්ෂුවක් මෙන් සෑම තැනම ප්‍රසිද්ධ වීම නිසා බොහෝ කුල පුත්‍රයෝ උන්වහන්සේ ළග පැවිදි වෙති.තෙරුන් වහන්සේ විචාරණ සේක් මම ආරණ්‍යක යමි.තොපද එසේ වන්නට කැමතිනම් පමණක් පැවිදිවවු යනුවෙන් වදාරන සේක්. ඔවුහු ද අපි එසේ වන්නට කැමැත්තෙමුයි පිළිතුරු දෙති. මේ අන්දමින් කෙලෙස් ධුතාංග ම කිරීමට කැමති අය පමණක් පැවදි කරවූහ. උපසේන මහරහතන් වහන්සේ දසවස් වූ කල්හි විනය ප්‍රගුණ කොට සියලු ශිෂ්‍ය භික්ෂූන් සමඟ ජේතවනාරාමයට වැඩි සේක. එකල බුදුරජාණන් වහන්සේ එක් ශිෂ්‍ය භික්ෂුවක් අමතා 'මහණ පාංශුකූලිකාංගය සිත් ගන්නේ' දැයි විචාළ සේක. බුදුරජාණන් වහන්ස මා හට පාංශුකූලිකාංගය ප්‍රිය නැත.එහෙත් මාගේ ආචාර්ය වහන්සේ කෙරෙහි ගෞරවයෙන් සමාදන් වෙමියි උන්වහන්සේ පිළිතුරු දුන් සේක. සාධු සාධු උපසේනය ඔබ හොඳීන් ශිෂ්‍යයින් ප්‍රගුණ කොට ඇතැයි බුදුරජාණන් වහන්සේ නොයෙක් ආකාරයෙන් තෙරුන් වහන්සේගේ ගුණ ප්‍රකාශ කළ සේක.අනතුරුව බුදුරජාණන් වහන්සේ උපසේන තෙරුන් වහන්සේ අමතා “එතදග්ගං භික්ඛවේ මම සාවකානං භික්ඛූනං සමන්තපාසාදිකානං යදිදං උපසේනෝ වන්ගන්තං පුත්තො” යනුවෙන් වදාරා අග්‍රස්ථානය පිරිනැමූ සේක.

 

නවම් අමාවක පෝය


නවම් අමාවක පෝය මාර්තු 05 වන දා අඟහරුවාදා අපර භාග 07.07 ට ලබයි. 6 වන දා බදාදා අපර භාග 09.33 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 06 වනදා බදාදා ය.

 

 මීළඟ පෝය මාර්තු 14 වන දා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මාර්තු 06

First Quarterපුර අටවක

මාර්තු 14

Full Moonපසෙලාස්වක

මාර්තු 20

Second Quarterඅව අටවක

මාර්තු 28


2019 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]