UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

තෙවළා බුදු වදන් අතරින් 21 : අකුසල විතර්ක දුරුකරන උපක්‍රම

තෙවළා බුදු වදන් අතරින් 21 :

අකුසල විතර්ක දුරුකරන උපක්‍රම

බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වෙසෙන සමයෙහි එක් දිනක් භික්ෂූන් වහන්සේ අමතා, සමාධි භාවනාවෙහි (අධිචිත්ත) නිරත භික්ෂුව විසින් ලෝභ, දෝස, මෝහ මූලික කරගත් අකුසල විතර්ක තුන බැහැර කරනු ලැබීමෙහිලා අනුගමනය කළ යුතු උපක්‍රම පහක් ඇතුළත් විතක්ක සණ්ඨාන සූත්‍රය දේශනා කොට වදාළහ. චිත්ත සමාධියට බාධක වන අකූසල විතර්ක වන ලෝභ, දෝස, මෝහ යන මනෝභාවයන් පාලනය කිරීමෙහිලා මෙම උපක්‍රම පහ පිළිබඳ අවබෝධය බෙහෙවින් වැදගත් වේ.

ලෝභ, දෝස, මෝහ මූලික කරගත් අකුසල සහගත චිත්තවේග බැහැරකොට, ඒ වෙනුවට අලෝභ, අදෝස, අමෝහ යන කුසල සහගත මනෝභාවයන් වර්ධනය කරගැනීම පිණිස බුදුරජාණන් වහන්සේ විවිධ උපක්‍රම දේශනා කළහ. එම උපක්‍රම අතර ප්‍රතිකාරාත්මක හා නිවාරණාත්මක යනුවෙන් ප්‍රධාන අංග දෙකක් දක්නට ලැබේ. ඒ අනුව පළමු ක්‍රමය යටතේ සිතෙහි හටගත් අයහපත් අකුසල සහගත විතර්ක කළමණාකරණය කරගනු ලැබේ. දෙවන ක්‍රමයේ දී අකුසල සහගත චිත්තවේග ඇතිවීමට පෙර ඒවා මැනවින් හඳුනාගෙන බැහැර කරනු ලැබේ.

විතක්ක සණ්ඨාන සූත්‍රයෙහි පළමු ක්‍රමය යටතේ අනුගමනය කළ හැකි ක්‍රමවේද පහක් ඇතුළත් වේ. විතක්ක සණ්ඨාන සූත්‍රය එම ක්‍රම පහ ඉදිරිපත් කරන්නේ කිසියම් අනුපූර්ව ක්‍රමයකට අනුව ය. එසේ ම එක් එක් ක්‍රමවේදය පැහැදිලි කිරීම පණිස උපමා භාවිතකොට ඇති හෙයින්, එය ශ්‍රාවකයාට ඉතා පහසුවෙන් වටහා ගැනීමට හැකියාව තිබේ. මෙතැන් සිට ඉදිරියට එම උපක්‍රම පහ පිළිවෙලින් සාකච්ඡා කරමු.

1. අරමුණ වෙනස් කිරීම (අඤ්ඤ නිමිත්ත)

දක්ෂ වඩුවෙකු ලී පුවරුවක ඇති මහ ලී ඇණයක් සියුම් ලී ඇණයකින් ගසා ඉවත්කර ගන්නාක් මෙන් යම් අරමුණක් මෙනෙහි කරන විට අපගේ සිතෙහි ලෝභ, දෝස, මෝහ මූලික කරගත් අකුසල සහගත සිතුවිල්ලක් හෝ විතර්කයක් ඇතිවන්නේ නම්, එය අමතකකොට එයට හාත්පසින්ම වෙනස් වූ යහපත් සිතිවිල්ලක් හෝ අරමුණක් මෙනෙහි කළ යුතු වේ. සිතාමතා ම අරමුණ වෙනස් කිරීමෙන් මනස අපිරිසුදු කෙරෙන, පාපය සදහා යොමුවෙන අකුසල සහගත විතර්ක පාලනය කරගත හැකිය යන්න පළමු ක්‍රමයෙන් පැහැදිලි වේ.

2. ආදීනව මෙනෙහි කිරීම (ආදීනව නිමිත්ත)

පළමු ක්‍රමය අනුගමනය කිරීමෙන් අකුසල සහගත විතර්ක පාලනය කරගත නොහැකි වූයේ නම් එහිදී දෙවන ක්‍රමය යටතේ එම විතර්ක ක්‍රියාත්මක වුවහොත් ඉදිරියේ දී තමාට විඳීමට සිදුවන විවිධ දුක්ඛදායක තත්ත්වයන් මෙනෙහි කළයුතු වේ. මේ යටතේ තවදුරටත් අයහපත් විතර්ක ක්‍රියාත්මක කිරීමෙන් තමාටත් සමාජයටත් සිදුවිය හැකි හානිය හා අයහපත විමසා බැලිය හැකි වේ. අලංකාර ලෙස සැරසී සිටීමට කැමැති තරුණියක් හෝ තරුණයෙක් තම ගෙලෙහි දවටන ලද සර්ප කුණක්, සුනඛ කුණක් හෝ මිනිස් කුණක් ඇතැයි ක්ෂණිකව වටහා ගැනීමෙන් ලජ්ජාවට පත්ව පිළිකුලෙන් එය බැහැර කරන්නාක් මෙන් අකුසල සහගත විතර්ක හේතුවෙන් ඇතිවන ආදීනව හා දුක්ඛදායක තත්ත්වයන් දෙස පිලිකුලෙන් යුක්තව බලා එම විතර්ක බැහැර කළ යුතු වේ.

3. මෙනෙහි නොකර සිටීම (අසති - අමනසිකාර නිමිත්ත)

අකුසල සහගත විතර්කවල ආදීනව මෙනෙහි කරන විටත් තවදුරටත් ඒවා සිත තුළ පහළ වේ නම්, ඒ පිළිබඳ තම අවධානය යොමු නොකළ යුතු වේ. නැතහොත් ඒ පිළිබද දිගින් දිගට මෙනෙහි කිරීමෙන් හෝ කල්පනා කිරීමෙන් වැළකිය යුතු වේ. නැතහොත් අමතක කර දැමිය යුතු වේ. අකුසල සහගත විතර්ක නැවත නැවත මෙනෙහි නොකිරීමෙන් ඒවා තවදුරටත් මනස තුළ ක්‍රියාත්මක වීම ක්‍රමයෙන් දුර්වල වනු ඇත. අකුසල සහගත චිතර්ක පවත්වාගෙන යාමට මනසින් කිසිදු උපකාරයක් හෝ පෙළඹවීමක් නොලැබෙන විට ඒවා ක්‍රමයෙන් පහව යනු ඇත. තමන් අකැමැති රූපයක් දැකීමට සිදුවූ විටෙක ඒ දෙස නොබලා තම දෑස් පියා ගන්නාක් මෙන් අකුසල සහගත විතර්කවලට අවධානය යොමු කිරීමෙන් වැළකිය යුතු වේ.

4. මුල් හේතුව විශ්ලේෂණය කිරීම (විතක්ක මූලභේද නිමිත්ත)

සිහි නොකර අමතක කොට සිටින විටද තවදුරටත් එම අකුසල සහගත විතර්ක මනසෙහි ක්‍රියාත්මක වනු පෙනේ නම් එම අකුසල විතර්ක ඇතිවීමට බලපෑ හේතු සාධක කවරේදැයි ආපස්සට විමසා බැලිය යුතු වේ. මෙම අභ්‍යාසය මගින් අකුසල සහගත විතර්කවල පදනම ඒවායෙහි ආරම්භක හේතු මැනවින් වටහාගත හැකි වේ. වේගයෙන් ගමන් කරන පුද්ගලයෙක් තමන් එසේ වේගයෙන් ගමන් කරන්නේ කවර කරුණක් නිසා දැයි තමන්ගෙන් ම විමසා, විශේෂ හේතුවක් නොදැක ක්‍රමයෙන් හෙමින් යාමටත්, නැවතීමටත්, නැවතී හිඳ ගැනීමටත් කල්පනා කරන්නා සේ අකුසල සහගත විතර්ක ඇති වීමෙහිලා බලපෑ විවිධ හේතුසාධක මැනවින් පරීක්ෂා කිරීම අවශ්‍ය වේ. එසේ අකුසල සහගත විතර්ක විශ්ලේෂණාත්මකව අවබෝධකරගත් විටෙක ඒවායේ ප්‍රබලත්වය මෙන්ම බලපෑමත් ක්‍රමයෙන් දුර්වල වනු ඇත..

5. දැඩි ලෙස පාලනය කිරීම (අභිණිග්ගණ්හණ නිමිත්ත)

අකුසල සහගත විතර්ක කෙරෙහි බලපෑ හේතු සාධක විශ්ලේෂණය කිරීමේදීත්, තවදුරටත් ඒවා මනස තුළ ක්‍රියාත්මක වේ නම් එවිට දතින් දත ගටා, දිවෙන් තල්ල පෙලා, දැඩි උත්සාහයකින් එම අකුසල විතර්ක පාලනය කළ යුතුවේ. මුල් පියවර හතකම අසාර්ථක වුවහොත් පමණක් දැඩි වීර්ය යොදමින් අකුසල සහගත විතර්ක පාලනය කිරීමේ අවසන් පියවර අනුගමනය කිරීම කළ යුතු ය. එය වනාහි බලවත් පුරුෂයෙක් දුර්වල පුරුෂයෙකු හිසින් හෝ කඳින් ගෙන පෙළන්නාක් මෙන් දැඩි වීර්ය මත පිහිටා ක්‍රියාවට නැංවිය යුතු ය, යන්න පස්වන ක්‍රමයෙන් ගම්‍ය වේ.

ඉහතින් දැක්වූ ක්‍රමෝපායයන් පහෙන් ම සිදුකරන්නේ අකුසල සහගත විතර්ක ඇති වූ විට එය පාලනය කරගැනීමට අවශ්‍ය පියවර පැහැදිලි කිරීම යි. ඒ යටතේ අරමුණ වෙනස් කිරීම, ආදීනව මෙනෙහි කිරීම, අරමුණ අමතක කිරීම, අරමුණ විශ්ලේෂණය කිරිම, අරමුණ දැඩිලෙස පාලනය කිරීම යන ක්‍රම පහ අනුගමනය කිරීමට විතක්ක සණ්ඨාන සූත්‍රයෙන් ඉගැන් වේ. ඒ හෙයින් එම පිළිවෙත ප්‍රතිකාරාත්මක ක්‍රමයක් ලෙස හැඳීන්වීම යුක්ති යුක්ත ය. සන්තානගත ව පවතින විවිධ අකුසල සහගත විතර්කවල ස්වභාවය හා ප්‍රමාණය අනුව ඉහත සඳහන් එක් එක් උපක්‍රම භාවිත කිරීමට හැකියාව තිබේ. ඇතැම් විටෙක මෙහි එන එක් ක්‍රමයක් හෝ නැතහොත් සියල්ල ම අනුගමනය කළ හැකි ය. කවර අකුසල සහගත විතර්කයක් පහළ වුවද එය කයින්, වචනයෙන් ප්‍රකට වන්නට නොදී වළක්වා ගැනීම පුද්ගලයාගේත්, සමාජයේත් යහපත පිණිස හේතුවේ. අකුසල විතර්ක වලින් සිත නිදහස් කරගත් විට චිත්ත සමාධිය (අධිචිත්ත) ස්ථාවර එකක් බවට පත්වේ.

 

නවම් පුර අටවක පෝය


නවම් පුර අටවක පෝය පෙබරවාරි 12 වන දා අඟහරුවාදා අපර භාග 03.54 ට ලබයි. 13 වන දා බදාදා අපර භාග 03.46 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 12 වන දා අඟහරුවාදා ය.

 

මීළඟ පෝය පෙබරවාරි 19 වන දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 12

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 19

Second Quarterඅව අටවක

මාර්තු 06

Full Moonඅමාවක

මාර්තු 06


2019 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]