UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

 

දුරුතු අව අටවක 2019.01.27

මත් උවදුරට බිලි නොවන්න

තථාගත බුදුපියාණන් වහන්සේ එක් අවස්ථාවක ලොව ජීවත්වන පුද්ගලයන් සිව් දෙනකු පිළිබඳව දේශනා කොට වදාළහ. ආලෝකයෙන් අඳුරට යන්නෝ, අඳුරෙන් අඳුරට යන්නෝ, අඳුරෙන් ආලෝකයට යන්නෝ සහ ආලෝකයෙන් ආලෝකයට යන්නෝ වශයෙනි.

සරලව පැහැදිලි කරගන්නේ නම් ආලෝකයෙන් අඳුරට යන්නෝ යහපත් ගුණ ධර්ම ඇතිව සිට නරකට, අයහපතට යොමු වන්නෝ ය. අඳුරෙන් අඳුරට යන්නෝ නම් පව්කම් කරමින් ඉන් නො මිදී තව තවත් පවෙහිම ගැලෙන්නෝ ය. අඳුරෙන් ආලෝකයට යන්නෝ නම් අයහපත් පැවතුම්වලින් මිදී යහපතට, ධර්මයට නැඹුරු වන්නෝ ය. ආලෝකයෙන් ආලෝකයට යන්නෝ පව්කම්, අකුසල් බැහැරලා යහපතෙහිම යෙදී, කුසලයෙහි ම යෙදී තව තවත් ඒ තුළම ඉදිරියට යන්නෝ ය. දහම් මාවතට යොමු වන්නෝ ය.

ජීවිතයට ඉලක්කයක්, අරමුණක්, සුබවාදී හැඟීමක් ඇති, පින් පව් හඳුනන, ධර්මය අධර්මය හඳුනන, පවට ලජ්ජා බිය ඇති නුවණැත්තෝ අඳුර පි‍්‍රය නොකරති. එහෙයින් පස් පව් දස අකුසලයෙන් මිදී පින් කුසල් කරමින් යහපත් දිවි පෙවෙතක් ගෙනයති. එහෙත් එය සැමට පොදු නැත. ජීවිතයට පැහැදිලි අරමුණක් නැත, පින පව ගැන හැඟීමක් හෝ නැති තමන්ට ද අහිත, අනුන්ට ද අහිත පැවතුම් ඇත්තෝ මේ සමාජයේ අපමණ වෙති. අඳුරෙන් අඳුරට යන එවැන්නෝ සිය පටු අරමුණු මුදුන් පමුණුවා ගැනීමට අනුන්ද ඊට පොළඹවා ගන්නට අපමණ උපායශීලි වෙති. වර්තමානයේ එවැන්නේ බොහෝ ය. ඒ අතරින් සමාජයේ කොඳුනාරටියවන් ළමා පරපුර අඳුරට ඇදගෙන යන්නට වෙහෙසෙන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෝ ප්‍රධාන ය. දිනෙන් දින පළවන මාධ්‍ය වාර්තාවන්ට අනුව නීතියේ රැහැනට හසුවන එවැනි පුද්ගලයන් වෙතින් සමාජයට සිදු වූ විනාශය, සිදු විය හැකිව තිබූ විනාශය ප්‍රමාණය කළ නොහැකි ය. පාසල් අසල, අමතර පන්ති අසල, මහ මග ආදී හැකි සෑම තන්හිම විවිධ වෙස්ගත් අඳුරු සෙවනැලි සැරිසරති. ඒ අහිංසක දරුවන් තමන්ගේ ව්‍යාපාරයේ කොටස් කරුවන් කරගන්නටය.

අත්දැකීම් නොමැති ළමයා වරදට,අයහපතට පොළඹවා ගැනීමට ඇති හැකියාව, ඉඩකඩ සුලභය. ඔහු රැවටිලි කරුවන් කවුරුද, සැබෑ මිනිසුන් කවුරුද, පාප මිතුරන් කවුරුද හඳුනන්නේ නැත. ඒ ජීවන අත්දැකීම් මද නිසා ය. ඒ නිසා ම මත්ද්‍රව්‍ය අලෙවි කරන්නන් ළමා මනසට ඒ විස පොවන්නට උත්සාහ කරති. ළමා ලෝකය එළිය කරන්නට නම්, ඒ ආලෝකයෙන් අනාගතය දීප්තිමත් කරන්නට නම් ළමයා පියවර තැබිය යුතු ආලෝකයෙන් ආලෝකයටය . ආලෝකය තුළ සිටිනවා යැයි කීවේ ළමා ලෝකය පිරිසුදු නිසා ය. පවෙහි ගැලී, අකුසලයෙහි ගිලී අඳුරු වූ ලෝකයක් ළමයින්ට නැත. ළමයා ආලෝකයෙන් ආලෝකයට ගෙන යාමේ කාර්ය භාරයේ නියමුවන් ගුරු දෙගුරුන් ය.

පළමුව ආදර්ශයෙන් ද, දෙවනුව අවවාද උපදේශයන්ගෙන් ද දරුවාට අත්දැකීම් , දැනුම, අවබෝධය ලබාදිය යුතු ය. වෙසෙසින් ළමා පරපුර මත්ද්‍රව්‍ය උවදුරෙන් ගලවා ගන්නට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මත්ද්‍රව්‍ය විරෝධී වැඩ පිළිවෙලකට රාජ්‍ය නායකත්වය ලෙස දැඩි අවධානය යොමු කොට තිබීම ප්‍රශංසා කටයුතු ය. එය වර්තමානයටද, අනාගතයට ද යහපත් ආයෝජනයකි. ඒ වෙනුවෙන් මත්ද්‍රව්‍ය නිවාරණ සතියක් ද ප්‍රකාශයට පත් කොට තිබුණි. මේ වැඩ පිළිවෙළ රාජ්‍ය නායකත්වයට, අදාළ නිලධාරීන්ට පමණක් සක්‍රීයව ක්‍රියාත්මක කළ නොහැකි ය. සමස්ත ගුරු, මව්පිය , වැඩිහිටි පරපුරටම ළමා පරපුර මත් උවදුරෙන් ගලවා ගැනීමේ ඕනෑකමක් උත්සාහයක් තිබිය යුතුම ය. වැඩිහිටියන් ලෙස එය තමන්ගේ වගකීමක් ලෙස සිතිය යුතුම ය. යම් හෙයකින් ළමයා මතට ඇබ්බැහි වූයේ නම් ඉන් ගලවා ගැනීම බොහෝ අසීරු විය හැකි ය. අශ්වයා පැන යන්නට පෙර ඉස්තාලය වසා දැමිය යුතු සේ අප කළ යුතු ළමා පරපුර මතට ගොදුරු වීමට පෙර ඉන් වළක්වා ගැනීම ය. බුදුරජාණන් වහන්සේ ගිහි බෞද්ධයාට අනුදැන වදාළ පංච ශීලය තුළ ද සුරාවෙන් වැළකීමේ ශික්ෂා පදය හඳුන්වා දී තිබෙන්නේ එයින් නො වැළකුණේ නම් මදයට,පමාවට පත්වන ජීවිතය ප්‍රමාදයකින් තොරවම විනාශ මුඛයට ගෙනයන නිසා ය. සරලව කියනවා නම් අඳුරෙන් අඳුරට ගෙන යන නිසා ය. බෞද්ධයින් ලෙස අප ජීවිතය හැඩ ගස්වා ගත යුතු මෙලොවටද, පරලොවට ද අර්ථ සම්පන්න ලෙස ය. ජීවිතයට ආලෝකයක් උදාවන්නේ එවිට ය.

 

දුරුතු අව අටවක පෝය


දුරුතු අව අටවක පෝය ජනවාරි 27 වනදා ඉරිදා අපර භාග 03.02 ට ලබයි. 28 වනදා සඳුදා අපරභාග 02.29 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 27 වනදා ඉරිදාය.

 

මීළඟ පෝය පෙබරවාරි 04 වනදා සඳුදා


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජනවාරි 27

Full Moonඅමාවක

පෙබරවාරි 04

First Quarterපුර අටවක

පෙබරවාරි 12

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 19


2019 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]