UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දිවි ගමනේ සාර්ථකත්වය

දිවි ගමනේ සාර්ථකත්වය

කරණීය මෙත්ත සූත්‍රයේ අන්තර්ගත ගාථා ධර්මයන් ඔබගේ ජීවිතයට වඩාත් ප්‍රයෝජනවත්වන ලෙස සාකච්ඡා කිරීම මෙම ලිපියේ අරමුණ ය.

‘සන්තින්ද්‍රියෝ ච නිපකෝ ච
අප්පගබ්භො කුලේසු අනනුගිද්ධො’

මෙම ගාථා ධර්මයෙහි සරල අර්ථය එක් එක් පදයට අනුව විමසීම පළමුව සිදු කළ යුතු ය. ‘සන්තින්ද්‍රියෝච, එනම් දැමුණු ඉන්ද්‍රියයන් ඇති බව යි. හෙවත් ඉන්ද්‍රිය දමනය යි. ශාන්ත, සන්සුන්, සංයමයට පත් වූ ඉඳුරන් ඇත්තෙකු වීම තථාගත දහමට අනුව ලෞකික, ලෝකෝත්තර ප්‍රතිඵල ලබාගැනීමට මහත් උපකාරයකි. මෙහි ඉන්ද්‍රිය ලෙස හඳුන්වනු ලැබුවේ චක්ඛු, සෝත, ඝාණ, ජිව්හා, කාය, මන එනම්, ඇස, කන, නාසය, දිව, ශරීරය සහ මනසයි.

මෙම ඉන්ද්‍රිය ධර්ම හය පට්ච්ච සමුප්පාද විවරණයේ දී ‘සළායතන’ ලෙස ද හඳුන්වනු ලබයි. ‘නාම රූප පච්චයා සළායතන යනුවෙන් නාම රූප හේතු කොටගෙන මෙම ආයතනයන් සයෙහි පහළවීම, උප්පාදය සිදුවන බව ‘ද්වාදසාංග‘ පටිච්ච සමුප්පාදයේ දී විවරණය කරන අයුරු දැකගත හැකි යි. මෙම ඉන්ද්‍රිය හය සංවර කර ගැනීම යනු රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ සහ අරමුණු (ධර්ම) කිසිවක් මේ ඉන්ද්‍රිය ඇසුරින් ලබා නොගැනීම ලෙස වටහා නොගත යුතුයි. ඇසෙන් රූප නොබැලීම ඇසේ සංවරකම ලෙස අවබෝධ කරගතහොත් සිදුවන වැරැද්ද වන්නේ උප්පත්තියෙන් ම අන්ධවූවන්, ඇස සංවර කරගත් පිරිසක් බවට පත්වූ අය ලෙස සලකන්නට පෙළඹීම යි. බුදු දහමට අනුව ජාතියෙන් අන්ධ වූ අය, ජාතියෙන් බිහිරි වූ අය කර්ම විපාකයට මුහුණ දෙනවා මිස ඒ නිසාවෙන් ඔවුන් තුළ සංවරයක් කිසිසේත් ම ඇති නොවන බවයි. ඒ අනුව ඇස ආදී ඉන්ද්‍රියයන් හයට රූපාදී අරමුණු සෑම නිමේශයකම මුණ ගැසීම වැළැක්විය නොහැකි ය. නමුත් ඇස ඇතුළු ඉන්ද්‍රියයන්ට රූපාදී අරමුණු මුණ ගැසෙන සෑම මොහොතක ම සිහි නුවණ හෙවත් සති සම්පජ්ඤජඤ්ඤයෙන් කටයුතු කිරීම තුළින් නූපන් අකුසල් ඉපදීමට ඇති අවකාශයත්, උපන් අකුසල් වර්ධනය වීමට ඇති අවස්ථාවත් නැති කර ගන්නට අවස්ථාව උදාවේ.

කෙනෙක් සතිමත් බවකින්, දැනුවත් බවකින් කටයුතු කිරීම සම්මා වායාමයක් වන අතර එයම නූපන් අකුසලය ඉපදීමටත්, උපන් කුසලය වර්ධනය කරගැනීමටත් උපකාරී වීම මෙහි දී ලැබෙන වටිනා ම ප්‍රතිඵලය ලෙස සඳහන් කළ හැකි ය. මෙලෙස සිහි නුවණින් ඉන්ද්‍රිය සංවර කරගත් තැනැත්තා ඇසත්, රූපයත්, හි තත් එකතු වී ස්පර්ශය සිදුවන සෑම මොහොතකම එම ස්පර්ශය ඔස්සේ දැනෙන වින්දනය කැමැති දේ ළං කර ගැනීමෙන්, අකැමැති අරමුණු බැහැර කිරීමෙන් තෘෂ්ණාව ඇතිවීමට ඇති අවකාශය වළක්වාගැනීමට සමත් වේ. එලෙස නූපන් තෘෂ්ණාවන් ඉපදීම, තිබෙන තෘෂ්ණාවන් වර්ධනය වීම ඉන්ද්‍රිය සංවරයතුළින් වළක්වා ගැනීමට ලැබෙන නිසා එකී තණ්හාවන්ට උපාදානය වීමක් සිදුවීම වැළකේ. උපාදානය නැවතීම හෝ නැති කිරීම හේතුවෙන් ම කර්ම භව ඉපදීම නැති වී යන බැවින් ජාති, ජරා, ව්‍යාධි, මරණ ආදී කිසිම ධර්මතාවයකට මනුෂ්‍යයාට මුහුණ පාන්නට සිදු වීම ඇහිරී යයි.

මේ අනුව සලකා බලන විට ඉන්ද්‍රිය සංවරය නම්, එක්තරා ආකාරයකට සලායතන ඇසුරු කරගෙන උපදින ස්පර්ශ නිරෝධයක් ලෙසත්, ඒ නිසා ම වේදනා නිරෝධය, තණ්හා නිරෝධය, උපාදානය නිරෝධය, භව නිරෝධය සහ, ජාති නිරෝධය සිදුවීම නිසා සත්ත්වයා සියලු දුක්ඛ දෝමනස්සයන්ගේ නිරෝධයකට පදනම සැකස්මක් ලෙස ද විග්‍රහ කළ හැකි ය. සාමාන්‍ය ලෞකික ජීවිතයක් ගත කරන, ලෝකෝත්තර අභිලාශයන් නැති කෙනෙකුට වුවද ඇසට දකින සෑම රූපයකම වහලෙක් වීමෙන්, කනට ඇසෙන සෑම ශබ්දයකම වහලෙක් වීමෙන් වළකින්නේ නම් බොහෝ ප්‍රතිලාභ මේ ජීවිතයේ ද ලබාගත හැකි බව මෙහි දී අවධාරණය කළ යුතු ය. නිදසුනක් ලෙස ඉගෙන ගන්නා දරුවෙකු අනවශ්‍ය තරම් රූපවාහිනියට හෝ ගුවන් විදුලියට, දුරකථනයට ඇබ්බැහි වුවහොත් එම ළමයා එම ඇලීම ආරම්භ කරන්නේ ඉන්ද්‍රියයන් උපකාර කරගෙනයි. එය ඇබ්බැහියක් ලෙස ම පවත්වාගෙන යන්නේ ද ඉන්ද්‍රියයන් ඇසුරු කරගෙන ම යි. ඒ නිසාවෙන් එම ඇබ්බැහිය තුළ ඔහුගේ දවස නිමා වෙනවා ඇතැම්විට ඔහු දන්නේ ද නැත. අතරතුර පාඩම් මඟ හැරීම, මතක ශක්තිය ගිලිහී යාම, නූපන් රාගය ද්වේශය ආදී මානසික මට්ටම් වර්ධනය වීමට පටන් ගැනීම වැනි බොහෝ ව්‍යසන ඔහුගේ ජීවිතය තුළ සිදු වෙන්නට පටන් ගනී. ඒත් යම් කෙනකු කෙතරම් රූපවාහිනී වැඩසටහන් විකාශනය වන පරිසරයක වුවද වහලෙක් වී ඒවා දෙස බලා සිටීම අතහැර දැමුවහොත් රූපවලට තිබෙන, ශබ්දවලට තිබෙන, මානසික වහල් භාවය අත්හැරීම ලෙස එය සඳහන් කළ හැකි ය. මානසික වහල් බවින් නිදහස් ළමයාගේ සිත සාමකාමී, සංහිඳියාවෙන් පිරුණ එකක්ම ය. ඒ නිසාම, ඒ දරුවාට අධ්‍යාපනිකව සාර්ථක වන්නට, ප්‍රඥාව උපදවා ගන්නට අවශ්‍ය පදනම සැකසේ. මේ නිසා ඉන්ද්‍රිය සංවරය ලෞකික සාර්ථකත්වයට ද උපකාරක ධර්මයක් ලෙස එම උදාහරණය තුළින් අවබෝධ කරගැනීම දුෂ්කර කාරණයක් නොවේ.

අද රැකියාවන් හි නියැළෙන, ගෘහ ජීවිත ගත කරන බොහෝ දෙනෙකු රූප නිසා, ශබ්ද නිසා, රස නිසා, ස්පර්ශ නිසා හටගත් සිතිවිලිවලට වහල්වීමෙන් දරුණු ප්‍රතිඵල ආතතිය, විශාදය, ක්ලමතය වැනි මානසික රෝගී තත්ත්වයන් ද වර්ධනය කරගෙන සිටීම දැකගත හැකි ය. ඒ නිසාවෙන් ම බොහෝ දෙනෙකුගේ ජීවිත අර්බුදකාරී බවකින්, අසහනකාරී බවකින් පිරී පවතී. ගිහියන් වන ඔබට මම මෙසේ යෝජනා කරමි. පරිපූර්ණ ඉන්ද්‍රිය සංවරයක දී ඔබ සතු දේ කෙරෙහි සේ ම, නීත්‍යානුකූලව, ධර්මානුකූලව ඔබ ලබාගත් දේ කෙරෙහි ඔබගේ ඇලීම, ගැටීම දුරුවේ. එහෙත් ඔබ යටත් පිරිසෙයින් අනුන්ට අයිති රූප, ශබ්ද, සමඟ හෝ ඇතිකරගනු ලබන ඇලීම්, ගැටීම් වළක්වා ගන්නට, පාලනය කර ගන්නට ඔබට හැකි වුවහොත් නියත වශයෙන්ම ඔබට දස අකුසලයෙන් වැළකී සිටීමේ හැකියාව උදාවනු නො අනුමාන ය.

‘නිපකෝච’ නිපක ගුණය යනු නුවණින් යුතු බවයි. ස්ථානෝචිත ප්‍රඥාව යි. පරිපූර්ණ දැනුම්වත්බවකින් යුතුව කටයුතු කිරීම යි. නිපක ගුණය වර්ධනය කර ගැනීම සඳහා, අප කරන ක්‍රියා සිහි නුවණින් කිරීමත්, ඒ සෑම ක්‍රියාවක් පිළිබඳව ම යෝනිසෝ මනසිකාරය හෙවත් සිහි නුවණින් මෙනෙහි කිරීමේ ක්‍රියාවත් සිදු කිරීම තුළ වැඩිදියුණු කරගත හැකි වේ. අඛණ්ඩව සිහි නුවණින් ඉන්න කෙනා, සෑම මොහොතකම දැනුවත් බවකින් ඉන්න කෙනා, සතිය දියුණුකරගෙන ඉන්න කෙනා එක් එක් මොහොත තුළ එන අභියෝග ජය ගන්නට අවශ්‍ය උපායශීලී බව තමාතුළ ඇති කර ගනී. එකී නුවණ අපතුළ පවතින්නේ නම්, සැබැවින් ම ඉන්ද්‍රියයන් ඇසුරින් කුමන අරමුණක් ඉදිරිපත් වුවද අපගේ විනාශයට එම අරමුණු හේතුවක්, ප්‍රත්‍යයක් වීමේ හැකියාව වැළැක්වීමේ හැකියාව අපට උදාවේ. ‘මුහුණුපොත’, වයිබර්, වැනි ඉතා දියුණු සන්නිවේදන මාධ්‍ය පරිහරණය කරන මෙම යුගයෙහි නිපක ගුණය, තැනට සුදුසු නුවණ භාවිතා නොකිරීම නිසාවෙන් ම අප විශාල පිරිසක් තමන්ගේ චරිතය කෙලෙසීමට අවශ්‍ය දත්ත සමාජගත කර තිබේ. තැනට සුදුසු නුවණකින් යුතුව එකී මෙවලම් පරිහරණය කළේ නම්, බොහෝ කාන්තාවන්ට හා දරුවන්ට අද අත්වී තිබෙන නින්දා සහගත ජීවිතය අත් නොවනු ඒකාන්ත ය.

‘අප්පගබ්භො’ යනු අසාහසික බවයි. ප්‍රගර්භ නැති බවයි. ආචාර ගෝචර සම්පන්න බවයි. ශිෂ්ට බවයි. අට්ඨකතාවලට අනුව යම් භික්ෂුවක් වැඩිහිටි භික්ෂුවකගේ අනු දැනුමකින් තොරව තමාම ඉදිරියට පැන තමාම ඉදිරිපත් වී අනුශාසනා කරන්නේ ද, පළමුවෙන් තමන් ප්‍රත්‍ය පිළිගන්නේ ද ඒ ප්‍රගල්භ බවකි. සාහසික බවකි. ආචාර ගෝචර සම්පන්න බවින් ඈත් වීමකි. අශිෂ්ට බවකි. මෙවැනි ගති පැවතුම්වලින් තොරව ගුරු ගෞරවයෙන්, මව්පිය ගෞරවයෙන් වැඩිහිටි ගෞරවයෙන්, නීතියට ගෞරවයෙන්, රීතියට ගෞරවයෙන්, සම්ප්‍රදායට ගෞරවයෙන් යම් කෙනෙකු නුවණින් යුතුව කටයුතු කරන්නේ නම්, එය අප්පගබ්භො ගුණය ලෙස හැඳින්විය හැකි ය.

ගෘහස්ථ ගැටුම්, ආයතනික ගැටුම් බොහොමයකට හේතුව මෙම ශිෂ්ටත්වයට අනුගත වෙන්නට අකැමැති අය එම ආයතන තුළ සිටීම ය. නිවැරැදි දෙයට, යහපත් දෙයට, නීතියට යටත් වීමට, එකඟ වීමට අපතුළ ශික්ෂණයක් නොතිබීම ලෝකෝත්තර පරිහානියට මෙන් ම, ලෞකික පරිහානියට ද ප්‍රධාන හේතු කාරක ධර්මයක් ලෙස සඳහන් කළ යුතු ය. අවසන් කාරණය වන ‘කුලෙසු අනනුගිද්ධො’ යන්නෙහිදී පැවිද්දන් නම් තම අරමුණු සාක්ෂාත් කරගැනීමට යන ගමනේ දී ගිහි කුලයන්ට නොඇලිය යුතුම ය. ඔවුන්ගේ කටයුතුවල සහ ඇසුරෙහි වහලුන් නොවිය යුතු ය. එවැනි පැවිද්දා පිරිහෙනුඒකාන්ත ය. සෘජුවම පැවිදි සමාජයට සිදුකළ උපදේශයන් වුවද ගිහියන් වන ඔබට ද සීමාව ඉක්මවා පුද්ගලයන් සමඟ නිතර ඇසුරට යාම ඔබට අභූත චෝදනා එල්ල වීමට, සැකයට භාජනය වීමට, විවිධ අපවාද උපවාදවලට ගොදුරු වීමට හේතු කාරක වනු ඇත. එබැවින් අර්ථ විරහිත සම්බන්ධකම්වලින් ඈත් වීමෙන් තමන්ටත්, අනුන්ටත් අකුසලයක් වන සම්බන්ධකම්වලින් ඈත් වීමෙන් තමන් ද, අනුන්ද පිරිහෙන සම්බන්ධකම්වලින් අයින් වීමෙන් අපගේ ලෞකික, ලෝකෝත්තර සාර්ථකත්වය ළඟා වෙයි. මෙම කරුණු සතර පැවිදි කෙනෙකු පුහුණු වන්නේ නම් මේ ලෝක වශයෙන් ම ශීල, සමාධි, ප්‍රඥා දියුණු කරගැනීමට මහෝපකාරී වනු ඇත. ගිහියන්ට ගිහි ජීවිතයේ සතුට, සාමය, දියුණුව, කාර්යක්ෂමතාව, ඵලදායිත්වය වර්ධනය කරගත හැකි මෙන් ම ගෘහ ජීවිතය තුළ ද ශීල, සමාධි, ප්‍රඥාවෙන් ප්‍රගුණ කර ගැනීමට මහත් උපකාරයක් වනු නොඅනුමාන ය.

 

නිකිණි පුර පසළොස්වක පෝය


නිකිණි පුර පසළොස්වක පෝය අගෝස්තු 25 වන දා සෙනසුරාදා අපර භාග 03.16 ට ලබයි.
26 වන දා ඉරිදා අපරභාග 05.25 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අගෝස්තු 25 වන දා සෙනසුරාදා ය.


මීළඟ පෝය සැප්තැම්බර් 03 වන දා සඳුදා


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 25

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 03

Full Moonඅමාවක

සැප්තැම්බර් 09

First Quarterපුර අටවක

සැප්තැම්බර් 16


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]