UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සම්බුදු ගුණමහිම: සම්මා දිට්ඨිය

වප් පුර පසළොස්වක පෝදා සිට සතර පෝයට ම කොටස් වශයෙන් පළවන නව අරහාදී සම්බුදු ගුණ මුල් කරගත් දම් දෙසුම ලිපි මාලාව අංක – 27

සම්මා දිට්ඨිය

නිර්වාණය ලබන්නට යා යුතු මාර්ගය ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි. එයත් සම්පූර්ණයෙන් ම විස්තර කර ගන්නට ඕනේ සම්මා සම්බුද්ධ ගුණය යටතේ. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි මෙහි ද මුලින්ම තෝරා ගන්නට ඕනේ. “සම්මා” කියන වචනය. එහි තේරුම් 03 ක් තියෙනවා. යාතාවත. නිය්‍යාණික හාකුසල යනුවෙන්. යාතාවත කියලා කියන්නේ සත්‍ය බව, නිවැරදි බව, නිය්‍යානික කියන්නේ නිවනට පමුණුවන බව. කුසල කියන්නේ කුසල් බව, එහෙනම් වෙනස් නොවන බැවින්, නිවනට පමුණුවන බැවින්, කුසල් බවින් අපි කියනවා සම්මා කියලා. යහපත් දැක්ම,එනම් සම්මා දිට්ඨිය කියලා කියන්නේ වෙනස් නොවන දෙයක්. ප්‍රතිපදාවක්. යම්කිසි කෙනෙක් සම්මා දිට්ඨි සහගතනම් ඒකාන්තයෙන් ම නිවනට පමුණුවනවා. සම්මා දිට්ඨියෙන් යුක්ත වුනා නම් ඒ සිත ඒකාන්තයෙන් ම කුසල් බවට පත්වෙනවා. තව ද සම්මා දිට්ඨිය කුසල් සිත්වලට අනුව බෙදනවා. ලෝකීය සම්මා දිට්ඨි, ලෝකෝත්තර සම්මා දිට්ඨි යනුවෙන්. ලෝකීය සම්මා දිට්ඨි කිව්වේ ලෞකික සම්මා දිට්ඨියයි. ලෞකික කියලා කියන්නේ කාමාවචර, රූපාවචර, අරූපාවචර ආදි මේ ලෞකික භූමියේ කුසල් සිත් සමඟ හටගන්නා වු සම්මා දිට්ඨියයි .

ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියා කියන්නේ ලෝකෝත්තර මාර්ග ඵල අවස්ථාවේ ඇතිවන සම්මා දිට්ඨිය යි. ලෞකික සම්මා දිට්ඨිය යටතේ තෝරනවා කම්මස්සකතා සම්මා දිට්ඨි, දස වත්ථුක සම්මා දිට්ඨි, ඣාන සම්මා දිට්ඨි, විපස්සාන සම්මා දිට්ඨි කියා. සම්මා දිට්ඨි කිහිපයක්. එතකොට කම්මස්සකතා සම්මා දිට්ඨි කියා කියන්නේ කර්මය සහ කර්මය ඵලය විහ්වා කිරීමේ සම්මා දිට්ඨිය, දැන් බලන්න, ප්‍රාණඝාත අකුසල් කරන ඇත්තෝ ඒකාන්තයෙන් උපදින්නේ සතර අපායේ, සොරකමින් ජීවත් වෙන ඇත්තෝ උපදින්නේ අපායේ. ඒ වාගේම කාමය වරදවා හැසිරෙන පුද්ගලයන්, බොරු කේලාම්බස් කියමින් ජීවත්වෙන ඇත්තෝ උපදින්නේ අපායේ. සුරවාට සූදුවට ඇබ්බැහි වෙලා ඉන්න ඇත්තෝ උපදින්නේ අපායේ. ඒ වාගේ ම බුදුරජාණන් වහන්සේ සතු, සංඝයා සතු. ධර්මය සතු දේවල් ගන්න අය උපදින්නේ අවීචි මහා නරකාදියේ , අම්මා මරමින්, තාත්තා මරමින්, බුදුන්ගේ ලේ සොලවමින්, සංඝ භේදය ඇතිකරවමින් ජීවත් වෙන අය උපදින්නේ අවීචි මහා නරකයේ, එළුවන්, කුකුළන්, ඌරන්, මරමින් ජීවත්වෙන අය උපදින්නේ සංජීව නරකයේ, ඔය විදිහට ඒ ඒ කර්මයට ගැළපෙන නරක බුදුරජාණන් වහන්සේ දේශනා කළා.

ඒ වාගේම දානාදී කුසල කරන ඇත්තෝ මනුස්ස ලෝකයේ දිව්‍ය ලෝකයේ උපදිනවා. ධ්‍යාන භාවනා කරන අය බ්‍රහ්ම ලෝකයේ උපදිනවා. මේ කර්මය ගැන විශ්වාස කිරීමේ සම්මා දිට්ඨියට අපි කියන්නේ ‘කම්මස්සකතා සම්මා දිට්ඨි’ කියලයි. දස වස්තුක සම්මා දිට්ඨිය කියා කියන්නේ මොකක් ද? මීට කලින් මම මිච්ඡාදිට්ඨි කරුණු 10 ක් දේශනා කළා මතක ද? ඒ කියන්නේ ‘නත්ථි දින්නං’ ආදි වශයෙන් කියන්නෙ. එහි ප්‍රතිවිරුද්ධ අර්ථය තමයි දස වත්තුක සම්මා දිට්ඨී කියන්නෙ. දුන් දේ විපාක තියෙනවා. වැඳුම් පිදුම් පූජාසත්කාර පැවැත්වීමේ විපාක තියෙනවා. එහෙනම් මහා පරිමාණයේ කරන පුජාවන්ගේ විපාක තියෙනවා. හොඳක් කළොත් හොඳ විපාකත් නරකක් කළොත් නරක විපාකත් තියෙනවා. මෙලොවක් තියනවා. පරලොවක් තියෙනවා. මවට උපස්ථාන කිරීමේ විපාක තියනවා. පියාට උපස්ථාන කිරීමේ විපාක තියනවා, මේ ලෝකයේ ඕපපාතික සත්වයෝ ඉන්නවා. සිල්වත් ගුණවත් ඇත්තෝ ඉන්නවා කියා හිතනවා නම් එතන තියෙන්නේ දස වත්ථුක සම්මා දිට්ඨිය. ඊළඟට භාවනා කිරීමේ දී සමථ භාවනා කර්මස්ථානයන් වඩලා ඒ භාවනාවේදි ධ්‍යාන, සමාධි, සමාපත්ති, අභිඥා උපදවා ගන්න කොට හිතේ ඇතිවන සමාධියත් සමාධි සිතත් එක්ක ඇතිවන ප්‍රඥාව තමයි අපි කියන්නේ ධ්‍යාන සම්මා දිට්ඨි කියා. ධ්‍යාන විපස්සනා සම්මා දිට්ඨි කියා කියන්නේ විදර්ශනා භාවනාව වේ. විදර්ශනා භාවනා කියා කියන්නේ අපේ මේ ශරීරය සකස් වෙලා තියෙන්නේ රත්‍රං, රිදී, මුතු, මැණික් ආදි දේවල් වලින් ද? නෑ කෙස්, ලොම් නිය, දත් ආදි කොටස් වලින්. මේ කොටස් කැඩී බිඳි බිඳී පළුදු වී විනාශය කරා ගමන් කරනවා. මේ හැම දෙයක් ම අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් භාවනා කරන කොට ඇතිවෙනවා විදර්ශනා ඤාණ . විදර්ශනා භාවනාවේ දි ඇතිවෙන සම්මා දිට්ඨිය, විදර්ශනා සම්මා දිට්ඨිය යි.

ලෝකෝත්තර වශයෙන් චතුසච්චසම්මාදිට්ඨි, චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ වීමේ දී ඇතිවන සම්මා දිට්ඨිය . ඒ කියන්නේ දුක්ඛ සත්‍ය ගැන වැටහීම ඇතිවෙන විට දුකට හේතුව, සමුදය තේරුම් ගන්නා විට, නිර්වාණය ගැන වැටහෙන විට, නිර්වාණයට යා යුතු මාර්ගය සීල සමාධි , ප්‍රඥා යන මාර්ගය තේරුම් ගන්නා විට හිතේ ඇතිවෙනවා. සම්මා දිට්ඨිය, චතුසච්ච සම්මා දිට්ඨි යයි.

මග්ග සම්මා දිට්ඨි කියා කියන්නේ සෝවාන්මාර්ග ඤාණයේ දී ඇතිවෙන සම්මා දිට්ඨිය යි. එකි ප්‍රඥාව මග්ග සම්මා දිට්ඨි, සකෘදාගාමි මාර්ග ඥානයේ දී, අනාගාමී මාර්ගයක් ඥානයේ දී අරිහත් මාර්ග ඥානයේ දී ඇතිවෙන සම්මා දිට්ඨියට කියන්නේ මග්ගසම්මා දිට්ඨියයි. සෝවාන් ඵල සකෘදාගාමි ඵල, අනාගාමි ඵල අරිහත් ඵල යන ඵල ඥානයන්හි ඇතිවන සම්මා දිට්ඨියට කියන්නේ ඵල සම්මා දිට්ඨියයි. මෙලෙස සම්මා දිට්ඨි බෙදා විස්තර කරන්න පුළුවනි. තවත් සම්මා දිට්ඨී සූත්‍රයේ දී සැරියුත් මහ රහතන් වහන්සේ පැහැදිලි කර තිබෙනවා මේ සම්මා දිට්ඨිය. වටහා ගන්නා හැටි. කරුණු කිහිපයක් මතක් කරන්නම්.

සම්මා දිට්ඨී සුත්‍රයේ දී සැරියුත් මහා රහතන් වහන්සේ දේශනා කරනවා සම්මා දිට්ඨිය ගැන කරුණු රාශියක්.

අකුසලඤ්ච පජානාති අකුසල මූලඤ්ච පජානාති
කුසලඤ්ච පජානාති කුසල මූලංච පජානාති”

යම්කිසි කෙනෙක් අකුසලය දන්නවා නම් අකුසලයට හේතුව කාරණාව දන්නවා නම්, මූලය දන්නවා නම්, කුසලය දන්නවා නම් කුසලයට මූලය, හේතුව දන්නවා නම් කියනවා සම්මා දිට්ඨියෙන් යුක්ත වු කෙනෙක් කියා. අකුසලය කියා කියන්නේ කුසල් නොවන දෙය යි. ප්‍රාණඝාත ආදි කාය දුශ්චරිත , මුසාවාදා ආදි වාචි දුශ්චරිත,අවිජ්ජා ව්‍යාපාද ආදි මනෝ දුශ්චරිත යන මේ දසවිධ දුශ්චරිත ධර්මයන්ට කියන්නේ අකුසල් කියා. මෙ දසවිධ දුශ්චරිත ධර්මයන් හටගන්නේ ලෝභය ,ද්වේශය. මෝහය මුල්වෙලා. යම්කෙනෙකුට තමන්ගේ හිතේ අකුසල සිතක් පහළ වුණා. මේ අකුසල් සිතට හේතු මේකයි, මූලය මේකයි කියා වටහා ගන්නවා නම් සම්මා දිට්ඨිය තමන් ළඟ තියෙනවා. ඒ වාගේ ම කුසලය කියන්නේ මොකක් ද? ප්‍රාණඝාත ආදි අකුසල් සිත් වලින් බැහැර වෙලා කාය සුචරිත, මුසාවාද ආදියෙන් බැහැර වෙලා වචී සුචරිත ඒ වාගේ අභිජ්ඣා ආදියෙන් බැහැර වෙලා මනෝ සුචරිත කියන ත්‍රිවිධ සුචරිතයෙන් හැසිරෙනවා නම් කියන්නේ කුසල කියලා. ඒ කුසල් සිත් පහළ වෙන්නෙ, කුසල කාරණාවන් වැඩනේනේ අලෝභය, අදෝශය, අමෝහය යන කුසල මුලයන් මුල් කරගෙන, ඒ නිසා කියනවා එතන කුසල මූල කියා. යම්කිසි කෙනෙක් අකුසලය අකුසල මූලය,කුසලය කුසල මූලය මනාව වටහාගත්තා නම්, අවධියෙන් තියාගත්තා නම් තේරුම් ගත්තා නම්, ඒ තැනැත්තා තුළ සම්මා දිට්ඨිය පවතිනවා.

 

  වෙසක් අව අටවක පෝය


 වෙසක් අව අටවක පෝය මැයි මස 07 වන දා සඳුදා අපර භාග 06.27 ට ලබයි. 8 වන දා අඟහරුවාදා අපර භාග 08.41 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි මස 08 වන දා අඟහරුවාදා ය.

 

මී ළඟ පෝය මැයි 15 වනදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 08

Full Moonඅමාවක

මැයි 15

First Quarterපුර අටවක

මැයි 22

Full Moonපසෙලාස්වක

මැයි 29


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]