UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අනුබුදු මිහිඳු මා හිමි වැඩි මිහින්තලා පුදබිම

අනුබුදු මිහිඳු මා හිමි වැඩි මිහින්තලා පුදබිම

සිරිලක බෞද්ධ ශිෂ්ටාචාරයේ උල්පත මිහින්තලාවයි. බුදුරජාණන් වහන්සේ පිරිනිවී වසර දෙසිය තිස්හයක් එළඹුණු පොසොන් පුර පසළොස්වක පොහෝදා අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රමුඛ රාජකීය ධර්මදූත පිරිස ගෞතම බුදුරදුන්ගේ සදහම් පණිවුඩය රැගෙන දඹදිව සිට මිස්සක පව්වට එනම් මිහින්තලාවට වැඩමවීමෙන් පසුව සිරිලක්වාසීන්ට ජීවත්වීම උදෙසා නව ජීවන මාර්ගයක් මෙන් ම දර්ශනයක් ද හිමි වූයේ ය.

මෙම අසිරිමත් සිදුවීමෙන් ශ්‍රී ලංකාව ථේරවාද බුදුදහම මෙන් ම බෞද්ධ ශිෂ්ටාචාරයේ කේන්ද්‍රස්ථානයක් බවට පත්වීම, දඹදිව ධර්මාශෝක මහා අධිරාජයාණන්ගේ පුත් අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේට පූර්ණ ගෞරවය හිමිවෙයි.

මිහිඳු මහ රහතන් වහන්සේගේ ලංකා ගමන පිළිබඳ දීපවංශය, මහාවංශය සහ සමන්තපාසාදිකා නම් විනය අටුවාවේ ද කරුණු සඳහන් ව ඇත.

බුදුසසුන බැබළ වූ මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේ එදා පැළලුප් නුවර ධර්මාශෝක මහා අධිරාජයාණන්ගේ අනුග්‍රහයෙන් පැවැත් වූ තුන්වන ධර්ම සංගායනාව නිමවා මතු කාලය බලන සේක්. ජනපදයන් හි සසුන් පිහිටවන බැව් දැන වප් මාසයෙහි ඒ ඒ තෙරුන් ඒ ඒ ජනපදයන්ට යැවූ සේක.

ඒ සිදුවීම අනුව මිහිඳු මා හිමියන් සමඟ ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල නම් වූ සද්ධිවිහාරිකයන් වහන්සේ සහ සුමන සාමණේර, භණ්ඩුක නම් වූ අනාගාමී උපාසකතුමා ද වේදිස නම් නුවරින් පොසොන් පුන් පොහෝ දිනක අහසට නැගී මහා සෘද්ධි ඇතිව ක්ෂණයකින් ම ලක්දිව මිස්සක නම් පර්වතයෙහි අඹ වනයට වැඩම කළ සේක.

එදින ලක්දිව මහා නැකත් කෙළි දිනයකි. ලක්දිව රාජ්‍ය කරවූ දෙවන පෑතිස් රජු මුව දඩයම පිණිස මිස්සක පර්වතයටය ගියේ ය. රජුට මිහිඳු මහරහතන් වහන්සේ හමු වුයේ ඒ අවස්ථාවේදී ය.

‘මහ රජ අපි ධර්ම රාජයාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ වෙමු. ඔබට අනුකම්පා පිණිස ම දඹදිව සිට මෙහි පැමිණියෙමු’.

දෙදෙනා අතර වූ කෙටි පිළිසඳරකින් පසුව, මිහිඳු මා හිමි රජු පණ්ඩිත යැයි අවබෝධ පැමිණ ‘චුලහත්ථිපදොපම’ සූත්‍රය දේශනා කළ සේක. සූත්‍ර දේශනාවෙහි අවසන රජු හතළිස් දහසක් පිරිස සමඟ තිසරණ ශීලයෙහි පිහිටියහ.

දෙවන පෑතිස් රජුගේ ආරාධනාවෙන් පසු දා අනුරාධපුර අග නගරයට වැඩි ධර්මදූතයන් වහන්සේට රාජකීය පවුලේ සෙසු සාමාජික පිරිස ද මුණගැසුණි. රජගෙයි ම වාසය කරන අනුලා බිසම පන්සීයයක් ස්ත්‍රීන් කැටුව තෙරුන් වෙතින් ‘පේතවත්ථු’, ‘විමානවත්ථු’ හා ‘සච්ච සංයුක්තය’ අසා ප්‍රථම ඵලයට පැමිණියහ.

පසුදා තෙරණුවෝ නුවර වැසියන්ට ‘දේවදූත’ සූත්‍රය දේශනා කළ සේක. නුවර වැසි දහසක් දෙනා සෝවාන් ඵලයට පත්වූහ. නුවරවැසියන් නන්දන රජ උයන්හි තෙරුන් වහන්සේලාට අසුන් පැන වූ කළ එහි රැස්වූ සියලු දෙනාට ‘බාලපණ්ඩිත නම් සූත්‍රාන්ත ධර්ම දේශනාව දේශනා කළ සේක. සත් දිනක් ගෙවුන තැන අටදහස් පන්සියයක් දෙනා මාර්ගඵලාවබෝධය ලැබී ය.

 

  වෙසක් අව අටවක පෝය


 වෙසක් අව අටවක පෝය මැයි මස 07 වන දා සඳුදා අපර භාග 06.27 ට ලබයි. 8 වන දා අඟහරුවාදා අපර භාග 08.41 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි මස 08 වන දා අඟහරුවාදා ය.

 

මී ළඟ පෝය මැයි 15 වනදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 08

Full Moonඅමාවක

මැයි 15

First Quarterපුර අටවක

මැයි 22

Full Moonපසෙලාස්වක

මැයි 29


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]