UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සැමට සාධාරණ ශීල ප්‍රතිපදාව

සැමට සාධාරණ ශීල ප්‍රතිපදාව

බුදුසමයෙහි මූලික ඉගැන්වීමකි ශීලය. බෞද්ධයාගේ මුඛ්‍ය පරමාර්ථය සසර දුක නැති කොට නිවන් දැකීම ය. එහි මූලික පදනම ශීලයයි. ත්‍රිශික්ෂාවන් අතර ශීලය මූලිකව දක්වා ඇත්තේ එම නිසයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පළමු පියවර ලෙස ශීලය දක්වා ඇත්තේ විමුක්ති මාර්ගයේ පළමු පියවර ලෙසයි. මේ නිසාම විවිධ සූත්‍ර ධර්මවල ශීලය ආර්ය ධනයක් ලෙස ‘සීල ධනං’, යන්නෙන් පෙන්වා දෙයි. එසේම ව්‍යග්ඝපජ්ජ, පත්තකම්ම ආදී සූත්‍රවල සීල සම්පදා යන්නෙන් ද මේ ශීලයේ වැදගත්කම උගන්වා ඇත. චූල සීල, මධ්‍යම සීල, මහාසීල වශයෙන් ද සීලය ප්‍රභේද කොට ඇති අතර තවත් ප්‍රභේද රැසක් සීලයෙහි දක්වා ඇත. ඒ හැම සීල ප්‍රභේදයකටම වඩා මෙහිදී ඔබේ අවධානය යොමු කරනු ලබන්නේ චූල සීල ගණයට අයත් ගිහියාගේ නිත්‍ය ශීලය වන පංචශීලය ප්‍රතිපත්තිය පිළිබඳවයි.

කය වචන දෙක හික්මවා ගැනීම, සංවර කර ගැනීම, පාලනය කර ගැනීම ශීලයයි. මේ තුළින් හැදිච්චකම, තැන්පත්කම, ගම්‍යමාන වෙයි. මේ බාහිර ඉන්ද්‍රිය සංවරය, සංසිඳීම අභ්‍යන්තර සංසිඳීමකට පදනම සපයයි. ඒ තුළින් සමාධිය ගොඩ නැගෙයි. මේ පංචශීල ප්‍රතිපදාව සියලු දෙනාටම සර්වසාධාරණ වන අතර එය ආගම්, ජාති, කුල, මල භේද නොමැත. සමස්ත මානව වර්ගයාටම ගැළපෙන සාධාරණ ප්‍රතිපදාවකි. ශීලය අන්ත ගාමි නොවන අතර අන්ත රහිත සුචරිත මාතාවකි. ශාස්වතවාදය පදනම් කර ගත්, කාමසුඛල්ලිකානුයෝගය, හා උච්ඡේද වාදය පදනම් කර ගත් අත්තඛිලමතානුයෝගය යන සමකාලීන භාරතීය අන්තවාදයට මේ ශීලය ඇතුළත් වී නැත. අන්තවාද, දෘෂ්ඨික වාද බැහැර කරමින් බුදු සමයෙහි මේ ශීල ප්‍රතිපදාවට ප්‍රමුඛ තැන හිමි වෙයි.

බුදු දහමෙහි ඉගැන්වෙන මෙම පංචශීල ප්‍රතිපත්තිය අද ගනු දෙනුවක් බවට පමණක් සීමා වී ඇත. එහෙත් එය වාචික සමාදානයක් නොව ප්‍රායෝගික චරණයක් විය යුතුයි. මින් ගම්‍ය වන්නේ ලෝක සම්මත වැරැදි පහකින් වැළකීමයි. පංචශීලය චාරිත්‍ර ශීලයට අයත් වෙයි. චාරිත්‍ර යනු වැළකීමයි. විරමණයයි. පංච ශීලයට අයත් කරුණු පහ,

පාණාතිපාති වේරමණී, (සතුන් මැරීමෙන් වැළකීම)

අදින්නාදානා වේරමණි (නුදුන්දේ ගැනීමෙන් වැළකීම)

කාමේසුමිච්ඡාචාරා වේරමණී (කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකීම)

මුසාවාදා වේරමණී (බොරුකීමෙන් වැළකීම)

සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී (රහමෙර පානයෙන් වැළකීම)

මේ පංචශීලයට පදනම වූ වැරැදි චර්යාවන් පහ පංච භය වේර සූත්‍රයෙහි දී හඳුන්වා ඇත්තේ ‘පංච භය වේර චේතනා’ නමිනි. මෙලොව පරලොව භය සහ වෛරය මේ පහෙන් ඇති කරවන නිසා මෙලෙස හඳුන්වා ඇත. එයම විවිධ දුක්ඛ දෝමනස්සයන්ට ද හේතු වෙයි. මේ පංච ශීලය උල්ලංඝනයට ප්‍රධාන කරුණු දෙකක් දීඝ නිකායේ අග්ගඤ්ඤ සූත්‍රයේ දී සඳහන් කොට ඇත. එම කරුණු දෙක වන්නේ මිනිසාගේ නෛසර්ගිකව පවත්නා ස්වභාවය සහ නැති බැරිකමයි. මේ දෙක නිසා මිනිසා පස්පව් සිදු කරමින් සසර දුකට පත් වෙයි. මිනිස් සන්තානය තුළ ස්වභාවයෙන් ම ක්‍රෝධය, වෛරය, ද්වේෂය, හට ගනියි. එය යටපත් කරමින් මිනිස් සිතේ මෛත්‍රී කරුණ ගුණ ද, ප්‍රගුණ කළහොත් එය පංචශීලය රැකීමට මගකි. මේ ප්‍රතිපත්තියෙහි වැළකීමත්, සමාදානයත් අන්තර්ගත වෙයි.

මේ හැරුණ විට පංචශීලයෙහි එක් එක් ශික්ෂාපදයෙන් ගම්‍යවන පරමාර්ථ පුද්ගලයා සමාජමය වශයෙන් ප්‍රභේද කොට දැක්විය හැක. මෙහි පළමු ශික්ෂා පදයෙන් අවිහිංසාව ද, දෙවන ශික්ෂාපදයෙන් අල්පේච්ඡතාවය ද, තුන්වන ශික්ෂා පදයෙන් පවුල් ජිවිතයේ සැපත ද, සිව් වන ශික්ෂා පදයෙන් අවංක භාවය ද, පස්වන ශික්ෂා පදයෙන් සිහි කල්පනාව ද අර්ථවත් වෙයි. මෙය පුද්ගල මානයයි.

එසේම පංච ශීලයෙහි මූලික මිනිස් අයිතිවාසිකම් ද අන්තර්ගත වී ඇත. මෙහි පළමු ශික්ෂා පදයෙන් ජීවත්වීමේ අයිතිය ද, දෙවන ශික්ෂා පදයෙන් දේපළවලට ඇති අයිතිය ද, තුන්වන ශික්ෂා පදයෙන් සුදුසු තමන් කැමැති සහකරුවෙක් සහකාරියක් තෝරා ගැනීමට ඇති අයිතිය, සිව්වන ශික්ෂාපදයෙන් යුක්තිය සාධාරණත්වය ඉටුකර ගැනීමේ අයිතිය, පස්වන ශික්ෂාවෙන් උපරිම වශයෙන් සමාජයට සේවය කිරීමේ අයිතිය, තහවුරු වෙයි. මෙය පංචශීල ප්‍රතිත්තියෙහි සමාජමය අංශයෙන් ඇති වටිනාකමයි. මේ අනුව බලන විට පංචශීලය සියල්ලන්ටම පොදු සරල පටු සීමාවන් ඉක්මවන ගැඹුරු සදාචාරමය ප්‍රතිපත්ති මාලාවක් බව මනාව පැහැදිලි වෙයි.

මේ හැරුණ විට පංච ශීලයෙහි තවත් වැදගත් දෙඅංශයක් අන්තර්ගතව ඇත. එම පංච ප්‍රතිපත්තියේ ම වේරමණී සහ සමාදියාමි වචන දෙකින් එය පැහැදිලි කෙරෙයි. එනම් විරති සික්ඛා සහ සමාදාන සික්ඛා යනුවෙන් ද පෙන්වා දිය හැක. වරදින් වැළකීම විරති සික්ඛා ගණයටත්, කුසලයෙහි යෙදීම සමාදාන සික්ඛා ගණයටත් අයත් වෙයි. මෙහි පළමු ශික්ෂා පදයෙන් සත්ත්ව ඝාතනයෙන් වැළකීම විරතිය යි. සතුන්ට මෛත්‍රී, කරුණා පැතිරවීම, අවි ආයුධ දඬු මුගුරු ඉවත් කර ගැනීම ක්‍රියාත්මක විය යුතුයි. එය සමාදානයයි. අන් සතු දේ නොගැනීම විරතියයි. චාරිත්‍රයයි. සමාජගත දේ සුරක්ෂිත කිරීම, අන්වස්තුව ආරක්ෂා කිරීම සමාදානයයි. මෙය චාරිත්‍ර (සිරිත්) ශීලයයි. තුන් වන ශික්ෂාපදයෙන් වැරැදි කාම සේවනයෙන් වැළකී, බ්‍රහ්මචර්යාව ආරක්ෂා කරගත යුතු බව කියවේ. මේ තුළින් මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා යන සතර බ්‍රහ්ම විහරණ ක්‍රියාත්මක වෙයි. මෙය සමාදානයයි. සිව්වන ශික්ෂා පදයෙන් බොරු කීම දුරලා බොරුවෙන් වැළකීම විරති ශික්ෂාවකි. ඒ වහාම සත්‍යවාදී බව, අවංකකම ගොඩ නැඟෙයි. එය සාමාදානය යි. චාරිත්‍ර ශීලය යි. මෙහි අවසාන ශික්ෂා පදය මදයට හා ප්‍රමාදයට හේතු වන සුරාවෙන් හා මත්ද්‍රව්‍යවලින් වැළකීම විරතියයි. ඉන් අප්‍රමාදය හෙවත් මනා සිහි කල්පනාව ගොඩ නැගෙයි. ඉන් සමාජසේවා රැසක් ක්‍රියාත්මක වෙයි. මෙය සමාදානයයි. චාරිත්‍ර ශීලයයි.

මෙලෙස පංචශීල ප්‍රතිපත්තිය පුද්ගල හා සමාජ යන දෙඅංශයේ ම ශුභ සිද්ධිය ගොඩනගයි. මෙය රෙගුලාසි හෝ නීති පද්ධතියක් නොවේ. මෙය රැකීම හෝ කැඩීම ඔවුනොවුන්ට අයත් ක්‍රියාදාමයකි. සියලු දෙනාට පූර්ණ නිදහස බුදු දහම තුළින් පෙන්වා දී ඇත. එක ජන කොටසකට පමණක් නොව සමස්ත ලෝවැසි සැමට සර්වසාධරණ වූ මේ ප්‍රතිපත්ති පහ කැඩීමෙන් අකුසලයත් එය රැකීමෙන් කුසලයත් ගොඩ නැගෙන බව උගන්වා ඇත. පංච ශීලය විලෝපනය කරන්නේ ද ලෝභ දෝස මෝහ වැඩියෙන් වර්ධනය වී අකුසල් වැඩෙයි. යමෙක් මේ පංචශීලය ප්‍රතිපදාව රකියි ද ඔහු ලෝභ දෝෂ මෝහාදිය අවප්‍රමාණ කරගෙන කුසල දහම් වර්ධනය කර ගනියි.

 

  වෙසක් පුර අටවක පෝය


 වෙසක් පුර අටවක පෝය අප්‍රේල් 22 වන දා ඉරිදා අපර භාග 04.20 ට ලබයි. 23 වන දා සඳුදා අපරභාග 02.19 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම අප්‍රේල් 22 වන දා ඉරිදා ය.
 

මීළඟ පෝය අප්‍රේල් 29 වන දා ඉරිදා ය


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අප්‍රේල් 22

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 29

Second Quarterඅව අටවක

මැයි 08

Full Moonඅමාවක

මැයි 15


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]