UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ඇති තතු හරියට දැන ගනිමු

ඇති තතු හරියට දැන ගනිමු

තමන්ගේ දියුණුව, සුභ සිද්ධියම අපේක්ෂා කළද, තමන් ගැන පමණක් හිතන පුද්ගලයකුගේ එම ආත්මාර්ථකාමීත්වය ම ඔහුගේ පෞරුෂත්වයත්, අධ්‍යාත්මික දියුණුවත් නසාලයි. ඒ පුද්ගලයා ජීවත් වන්නේ ඔහු සඳහා ම පමණි.

අන්‍යයන්ට ආදරය ගෞරවය කිරීමක් ගැන ඔහුට හැඟීමක් නැත. බොහෝ විට සුළු දේට පවා ඉක්මන්වන ඔහුගේ මුළු ජීවිතය ම දුකින් පිරී පවත්නේ ය. අන්‍යයන් තමන්ගේ එදිරිවාදිකාරයින් සේ සැක කරන ඔහු හෝ ඇය ඔවුන්ගේ දියුණුව, සාර්ථකත්වය කෙරෙහි ඊර්ෂ්‍යා කරයි. අනුන් සතු දේට ලොබ බඳියි. අනුන්ගේ සැපත සතුට විඳ දරා සිටිය හැකි නොවෙයි. අවසානයේ මුළුමනින් ම සිත දූෂ්‍ය කර ගන්නා අතර මුළු සමාජයට ම අන්තරායදායක අයෙකු බවට පත් වෙයි.

දුප්පත් වූව ද, පොහොසත් වූව ද ආත්මාර්ථකාමියා මෙහෙයවන්නේ තෘෂ්ණාවෙනි. ලද දෙයින්, ඇති දෙයින් ඔහු හෝ ඇය කිසි දිනක තුටු නොවේ. ‘සියලුම දෙනාගේ අවශ්‍යතාවන් පිරිමසා ගැනීම සඳහා ලෝකය ප්‍රමාණවත් ය. එහෙත් එක් අයෙකුගේ තණ්හාව සංසිඳුවීමට නම් මුළු ලෝකයම වූවත් ප්‍රමාණවත් නොවේ’ යැයි මහත්මා ගාන්ධිතුමා පවසා ඇත.

ආත්මාර්ථකාමී පුද්ගලයා ධනවතෙක් නම් ඔහු තමන්ගේ නිවස ගැන, තමන් සතු දේපළ ගැන තැවීම ආරම්භ කරයි. නිරන්තරයෙන් තව තවත් මුදල් සෙවීම ගැනම සිතන ඔහු ඉතාම සුදුසු කටයුත්තක් සඳහා වූවත් ඔහු සතු වස්තුවෙන් බිංදු මාත්‍රයක් අන්‍යයන් වෙනුවෙන් පරිත්‍යාග කරන්නේ නැත. ‘මාගේ වස්තුව සොරකම් කරයි ද? අන්‍යයන් මට වංචා කරයි ද? මා පැහැරගෙන යයි ද? යන සිතිවිලි ඔහු නිරතුරුව ම දවයි. ව්‍යාපාර ගැන තැවෙන අතර ම සේවකයින් ගැන ද සැකයෙන් පසුවේ. අනෙක් අතට ආත්මාර්ථකාමී හැඟීම් ඇති දුප්පතෙක් නම් නැතිකම නිසා ම ඔහුට දුක් විඳින්නට වේ. නිරතුරුව ම සිතන්නේ තමන් වෙනුවෙන් වස්තුව දේපළ රැස්කර ගන්නේ කෙසේ ද කියා ය. යහපත් වූ මාර්ගයකින් වස්තුව දේපළ රැස්කර ගැනීමට අසමත් වූ කල නරකින් එනම් සමාජ විරෝධී මාර්ගයෙන් හෝ වස්තුව දේපොළ සොයන්නට පෙළඹේ.

ආත්මාර්ථකාමීත්වය ඇතිවන්නේ වැරැදි හැඟීම් සහ ජීවිතයේ ඇති තතු අවබෝධ කොට ගැනීමට නොහැකිවීම නිසා ය. තෘෂ්ණාවේ, අන්ධ දෘෂ්ටියේ පිහිටා පවතින ආත්මාර්ථකාමීත්වය, විනාශකාරී ආවේගයකි. හැඟීමකි. ඉන් නො වැළකුණේ නම් ඇතිවන දුක ප්‍රමාණවත් කළ නොහැකි ය.

පුද්ගලයා පාලනය කෙරෙන්නේ සිතිවිලි මගිනි. පුද්ගලයෙකු කාලයක සිට සිතේ පවතින ද්වේෂය හෝ කේන්තිය ඔහු හෝ ඇය විනාශයට පත් කරයි. දැඩි නුරුස්නා ගතිය ලෙඩ රෝග ඇති කරයි. එය ශරීර සෞඛ්‍යයට හානි පමුණුවන විෂ බීජයක් බඳුය. ද්වේෂය දිගින් දිගට ම සිතෙහි පැවතීමට ඉඩ හැරීම තමන් විසින් තමන්ට ම කරගන්නා හානියකි. බොහෝ විට එහි මුල ආත්මාර්ථකාමී බවම ය. මේ නිසා තමන් ගැන පමණක් නොව අනුන් ගැන ද සිතන්නට, අනුන්ගේ යහපත වෙනුවෙන් කටයුතු කරන්නට ද සිත සකසා ගත යුතු ය. එවිට තමන්ගේ සුභ සිද්ධිය ඉබේ ම සැකසෙනු ඇත.

 

  වෙසක් පුර අටවක පෝය


 වෙසක් පුර අටවක පෝය අප්‍රේල් 22 වන දා ඉරිදා අපර භාග 04.20 ට ලබයි. 23 වන දා සඳුදා අපරභාග 02.19 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම අප්‍රේල් 22 වන දා ඉරිදා ය.
 

මීළඟ පෝය අප්‍රේල් 29 වන දා ඉරිදා ය


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අප්‍රේල් 22

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 29

Second Quarterඅව අටවක

මැයි 08

Full Moonඅමාවක

මැයි 15


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]