UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පූජාච පූජනියනං

 

බ්‍රාහ්මණවත්තේ සීවලී තිස්ස අනුනා හිමි

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මූලවංශික පාර්ශ්වයේ අනුනායක ධුරන්ධර අමරපුර උත්තරීතර මහා සංඝ සභාවේ මහ ලේඛකාධිකාරි, දෙමටගොඩ ශ්‍රී නාග විහාරාධිපති, ආචාර්ය බ්‍රාහ්මණවත්තේ සීවලී තිස්ස අනුනායක ස්වාමින්ද්‍රයාණන් වහන්සේගේ වර්ෂ පූර්ණ ගුණානුස්මරණ පින්කම 21,22 දෙදින පැවැත්වේ.

ගාලු දිස්ත්‍රික්කයේ බ්‍රාහ්මණවත්ත ගම් පියසේ ඉදිරිමුනි බේබි සිඤ්ඤෙ ද සිල්වා හා ලද්දු එමිනෝනා දම්පතීන්ට දාව උපන් පවුලේ බාල දරුවා වු ඇක්මන්ද සිල්වා කුමරුවන් 1936 මාර්තු 03 වන දින උපත ලැබීය. බලපිටිය රේවත මහ විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය ආරම්භ කළ ඇක්මන් කුමරුවා 1951 මැයි මස 21 වන දින නාගදීප රාජමහ විහාරාධිපති පණ්ඩිත බ්‍රාහ්මණවත්තේ ධම්ම කිත්ති තිස්ස නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ හා පිටිගල ඉඳිපලේගොඩ ධර්මාධාර විහාරාධිපති පණ්ඩිත පාරුතොට ධම්මාරාම තිස්ස නායක ස්වාමින්ද්‍රයන් වහන්සේලාගේ ආචාර්යත්වයෙන් බ්‍රාහ්මණවත්තේ සීවලී නමින් නාගදීප නයිනතිව් දූපතේ ප්‍රථම පැවිද්දට උරුමකම් හිමිකරගත් කුල පුත්‍රයා විය.

පැවිදිව නාගදීප විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ගුරු දේවයන් වහන්සේ ඇසුරු කරමින් හෙරණ සිඛද උගත්හ. ද්‍රවිඩ භාෂාව හදාරණු ලැබූහ. ද්විතීය අධ්‍යාපනය සඳහා මීගහතැන්න විද්‍යාරාම පිරිවෙනට ඇතුලත් වූහ.

පිරිපුන් විසි වයස් හෙබි උගත මනා බණ දහම් පුරුදු පුහුණු කොට වර්ෂ 1959 ජූලි මස 22 වන දා එවකට අමරපුර මහ නිකායේ මහානායක ධූරීන, උදම්මිට සිරි ධම්මරක්ඛිත මාහිමිපාණන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් බලපිටි මෝදර උදකුඛේප සීමා මාලකයේදී උපසම්පදා වූහ.

1962 දී විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය හිමිකරගත් පළමු ශිෂ්‍ය කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස සීවලී හිමියන් අධ්‍යාපනයේ පරිණත බව ආරම්භ කරන ලදී.

1963 දී කුරුණෑගල නක්කාවත්ත විද්‍යාලයේ ධර්මාචාර්යවරයෙකු ලෙසින්ද, පසුව කොටහේන මහ විද්‍යාලය,වෙදමුල්ල මහ විද්‍යාලයන්හි නියෝජ්‍ය විදුහල්පති ලෙසද,කැලණිය මහ විද්‍යාලයේ සහ ශ්‍රී ධර්මාලෝක මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති ධුරයත් දරමින් අනගිභවනීය අධ්‍යාපනික සේවාවක් සිදු කළහ.

දෙමටගොඩ ශ්‍රී නාග විහාරය, නල්ලතන්නිය ශ්‍රී නාගදීප ශාඛා විහාරය, කිලිනොච්චිය ලුම්බිණි මහාවිහාරය, බලපිටිය බෞද්ධ මධ්‍යස්ථානය, බලපිටිය මාදුව වික්‍රමසිංහාරාමය ආදි විහාරස්ථානයන්හි ආගමික සංවර්ධන කටයුතු මැනවින් ඉටු කළ අතර, උන්වහන්සේ ඉන්දියාවේ මධුරෙයි විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධියද හිමිකර ගැනීමට සමත් වූහ.

ද්‍රවිඩ භාෂාවෙන් ධර්මදේශනා, සම්මන්ත්‍රණවල නියැලුණු සීවලී නාහිමියන් 2002 වර්ෂයේ සිට ශ්‍රී ලංකා අමරපුර උත්තරීතර මහා සංඝ සභාවේ වසර 15 ක් නියෝජ්‍ය ලේඛකාධිකාරි සහ මහ ලේඛකාධිකාරි ධුරයන්ට පත්වීමෙන් පසුව සිදුකළ ශාසනික සමාජිය සේවාවන් ඉතා උත්කෘෂ්ටය. 2006 ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මූලවංශික පාර්ශ්වයේ අනුනායක ධුරයටද පත් වූ උන්වහන්සේ ශිෂ්‍ය වහන්සේ නමක් ශාසනයට දායාද කරනු වස් සීවලී මාහිමි පාණන්ගේ ශිෂ්‍ය දෙමටගොඩ වේළුවන විද්‍යාලයේ ධර්මාචාර්ය ශාස්ත්‍රපති බ්‍රාහ්මණවත්තේ සිරිධම්ම හිමියන් තම ආචාර්යන් වහන්සේගේ මග පිළිපඳිමින් කටයුතු කරනු දැක්මද ඉතා ප්‍රශංසනීය වේ.

ශ්‍රී සම්බුද්ධ ශාසනයටත්, අධ්‍යාපන හා සමාජිය ක්ෂේත්‍රයන්ටත්, ස්වකීය නිකාය වු අමරපුර මහ නිකායට මෙන්ම අන්‍ය නිකායන්ටද සදා අමරණීය සේවාවක් සිදු කල බ්‍රාහ්මණවත්තේ සීවලී අනුනාහිමිපාණෝ 2017 වර්ෂයේ බක් මස 18 වන දින අපවත් වූහ.

ඒ නිමිත්තෙන් බ්‍රාහ්මණවත්තේ සීවලී තිස්ස අනුනායක මාහිමිපාණන් වහන්සේ වර්ෂ පූර්ණ ගුණානුස්මරණ පින්කම මෙම මස 18,21,22 දිනයන්හි දෙමටගොඩ ශ්‍රී නාග විහාරයේදී පැවැත්වේ. උන්වහන්සේට නිවන් සුව ප්‍රාර්ථනා කරමු!


බෝපිටියේ ධම්මිස්සර නා හිමි

කළුතර දිස්ත්‍රික්කයේ බෝපිටිය ග්‍රාමයේ කරවිට විදානෙලාගේ දොන් සුදේරිස් අප්පුහාමි සහ කහවිට විදානෙලාගේ දොන් රොස්ලින් නෝනා යන දම්පතීන්ට දාව 1947 සැප්තැම්බර් මස 07 දින මෙලොව එළිය දුටු කරවිට විදානෙලාගේ දොන් ජිනදාස නම් වූ කුමරුවා පවුලේ 14 දෙනෙක් වූ සහෝදර කැළ අතර 13 වෙනියා ය. බෝපිටිය ගමේ පාසලෙන් මූලික අධ්‍යාපනය ලබා ඉන් පසුව වාද්දූව මොල්ලිගොඩ ධම්මරක්ඛිත නා හිමිපාණන් සෙවනේ පැවිදිව උපසම්පදාව ලබා මතුගම, අභයරාජ පිරිවෙන, පින්වත්ත සද්ධර්මාකර විශ්වවිද්‍යලීය පිරිවෙන, දියතලාව සුධර්මෝදය පිරිවෙන ආදි පිරිවෙන් වලින් ධර්ම විනය හා භාෂා ශාස්ත්‍ර දැනුම ලැබූහ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ලබා නිට්ටඹුව ගුරු විදුහලෙන් පුහුණු උපාධි ගුරුවරයෙකු ලෙස ගුරු සේවය සඳහා අවතීර්ණව බණ්ඩාරවෙල නමුණුකුළ මහ විදුහල, බණ්ඩාරවෙල දෝවේ මහ විදුහල, බණ්ඩාරවෙල ධර්මපාල මහ විදුහල යන පාසල්වල දීප්තිමත් ගුරුවරයෙකු ලෙස සේවය කළ හ.

1984 වාද්දූව පිරිමි මහ විදුහලට මාරුවීමක් ලබා වැඩම කරන බෝපිටියේ හාමුදුරුවෝ 2004 දී විදුහල්පතිවරයාණන් ලෙස වැඩ බාර ගත්හ. ප්‍රදේශය පුරා මහත් සේ ගෞරවාදරයට හා ප්‍රසිද්ධියට පත් බෝපිටියේ නා හිමියෝ 1985 දී මෙම විදුහල අනගාරික ධර්මපාල මහ විදුහල නමින් නම් කොට ඉතා උසස් තත්ත්වයට ගෙන එන ලදී. 1984 මාර්තු 26 වෙනි දින වාද්දූව ශ්‍රී සමුද්‍රාරාමයේ විහාරාධිපති තනතුරට පත්වීමෙන් අනතුරුව 2005 පෙබරවාරි 09 වෙනි දින වාද්දූව මොල්ලිගොඩ දෙගම්බද විහාරාධිපති තනතුරට පත් වූහ. ඓතිහාසික වටිනාකමක් ඇති ස්‍යාමෝපාලි මහානිකායේ මල්වතු පාර්ශ්වයේ වාද්දූව සඟ පරපුරේ කීර්තිමත් විහාරස්ථාන දෙකක් භාර ගැනීමෙන් පසු ඇරඹි ශාසනික, ජාතික, සංස්කෘතික, අධ්‍යාපනික සේවාව මේ වන විට දෙස් විදෙස් හි පවා පැතිරී ගොස් ඇත. 1984 දී සමුද්‍රාරාමය විහාරය සියලු විහාරාංගයන්ගෙන් සම්පූර්ණ කළේ ය. ධර්ම විජය ව්‍යාපාරයේ සභාපතිවරයාණන් වන බෝපිටියේ නා හිමියෝ සිරිමඟ මිහිඳු පිරිවෙන ආරම්භ කොට ධර්ම ශාස්ත්‍රීය අධ්‍යාපනය සඳහා සිදු කළ සේවය අතිමහත් ය.

බුද්ධ ශාසනයට ජාතියට රටට සිදු කළ සුවිශේෂි සේවය සැලකිල්ලට ගත් ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහානායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු කාරක සංඝ සභාව ගෞරව බහුමානයක් කොට බෝපිටියේ ධම්මිස්සර හාමුදුරුවන් වහන්සේ වෙත ශාසන කීර්ති ශ්‍රී සද්ධර්මවාගීශ්වරාචාර්ය රයිගම් සල්පිටි දෙකෝරළයේ සංඝ නායක පදවියෙන් සම්මානයට පාත්‍ර කළහ. උන්වහන්සේ ව්‍යක්තය, විශාරදය, බුද්ධිමත්ය, විචාරශීලීය. උන්වහන්සේ විශිෂ්ට ගණයේ කථිකයෙක් පමණක් නොව දක්ෂ දේශකයෙකි. 1965 ඩඩ්ලි සේනානායක මැතිඳුන් ඇසුරු කළ උන්වහන්සේ 1974, 75, 76 වසර වලදී ජේ. ආර්. ජයවර්ධන මැතිඳුන් ඇසුරු කරමින් දේශපාලනික වශයෙන් මේ රට මුහුණ දුන් යම් යම් අර්බුදකාරී අවස්ථාවලදී ඉදිරිපත්ව සුවිශාල සේවයක් සිදු කළහ. සමස්ත ලංකා එක්සත් භික්ෂු පෙරමුණ පිහිටුවා එහි මුල්ම ප්‍රධාන සංවිධායක ලේකම් ලෙස සිදු කළ සේවයද අති විශාලය. 2015 ජනාධිපතිවරණයේ දී මුළු රටම ආවරණ වන පරිද්දෙන් සිදුකළ මෙහෙවර අති විශාල ය. සිය ජීවිතය පරදුවට තබා තමන් වහන්සේ ශිෂ්‍ය පිරිස සමඟ යහපාලන නව ආණ්ඩුවක් පිහිටුවීම සඳහා පෙරමඟ ගත් ආකාරය රටට රහසක් නොවේ.

සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපතිවරයාණන් ලෙසත්, එක්සත් භික්ෂු පෙරමුණේ ලේකම් ලෙසත්, පානදුර ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපතිවරයාණන් ලෙසත්, ධර්ම විජය ව්‍යාපාරයේ සභාපති ලෙසත්, කවි සම්මේලනයේ සභාපති ලෙසත්, මායාරට ඓතිහාසික වාද්දූව මිහිඳු පෙරහර කමිටුවේ සභාපති ලෙසත් පෙනී සිටිමින් සිදු කළ සේවය අතිමහත් ය. මහ පෙරහරවල් 36 ක්ද වෙසක් තොරණ 29 ක්ද ඉදිකර ප්‍රදර්ශනය කොට ඇත.

ජාතික, ආගමික, සමාජයීය, සංස්කෘතික හා අධ්‍යාපනික ක්ෂේත්‍රයන්හි ක්‍රියාකාරීව කටයුතු කරන වර්තමාන භික්ෂූන් වහන්සේලා අතර අති විශිෂ්ටයෙක් ලෙස වාද්දූව මොල්ලිගොඩ දෙගම්බද මහා විහාරය, වාද්දූව සමුද්‍රාරාමය යන උභය විහාරාධිපති සිරිමහ මිහිඳු පිරිවෙනේ කෘත්‍යාධිකාරී වාද්දූව ධර්මපාල මහ විදුහලේ හිටපු විදුහල්පති, පානදුර ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති ශාසන කීර්ති ශ්‍රී සද්ධර්ම වාගීශ්වරාචාර්ය රයිගම් සල්පිටි කෝරලද්වයේ සංඝ නායක ශාස්ත්‍රවේදී බෝපිටියේ ධම්මිස්සර නාහිමිපාණන් වහන්සේගේ 71 වෙනි ජන්ම දිනය සැප්තැම්බර් මස 07 දිනට යෙදී තිබූ බැවින් හිමිපාණන් වහන්සේට දිගාසිරි වේවා!


තෝරපිටියේ ආනන්ද නාහිමි

කොස්සින්න යටවත්ත පුරාණ රජමහා විහාරය සහ පහළ ඉඹුල්ගොඩ විජයවර්ධන ශ්‍රී මහා විහාරය යන උභය විහාරාධිපති, ගම්පහ දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී, සියනෑ කෝරළයේ ප්‍රධාන සංඝ නායක, සද්ධර්මවාගීශ්වරාචාර්ය ප්‍රවචන කීර්ති ශ්‍රී ගෞරව ශාස්ත්‍රවේදී තෝරපිටියේ ආනන්දාභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ 62 වැනි ජන්ම දිනය අප්‍රේල් මස 18 වැනි දිනට යෙදී තිබිණි.

රට, දැය, සමයට මහඟු මෙහෙයක් ඉටු කරමින් සම්බුදු සසුන බබළවන නාහිමියෝ, අමුණුගොඩ කුමාරදාස කනිෂ්ඨ විද්‍යාලය, රදාවාන මහගම සේකර මහා විද්‍යාලය, කොස්සින්න ශ්‍රී සීලානන්ද මහා විද්‍යාලය සහ යක්කල ශ්‍රී චන්ද්‍රජෝති මහා විද්‍යාලය, යන විද්‍යාලයන් ගණනාවකම විදුහල්පති තනතුර හොබවමින් තිස් වසරකට අධික කාලයක් අධ්‍යාපන ක්ෂේත්‍රයට සිදුකළ කීර්තිමත් මෙහෙවර අපමණ ය.

1983 දී කැලණිය විශ්වවිද්‍යාලයෙන් සිංහල විෂයය පිළිබඳ ගෞරව ශාස්ත්‍රවේදී ප්‍රථම පන්ති සාමාර්ථයක් හිමි කරගත් තෝරපිටියේ ආනන්ද නාහිමියෝ, පසුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාව ද හිමිකර ගත්හ.

තෝරපිටියේ නාහිමියෝ 1985 දී පුත්තලම් දිස්ත්‍රික්කයෙන් ගුරු සේවයට බැඳී, එම පාසල් වල බොහෝ අඩුපාඩු සම්පූර්ණ කිරීමට ගත් වෙහෙස අද ද එම පළාත්වල ජනතාවගේ ප්‍රශංසාවට භාජනය වී ඇත.

බස්නාහිර පළාතේ බොදු දරුවන්ගේ දහම් අධ්‍යාපනය උසස් මට්ටමකට ගෙන ඒමේ සුවිශාල කාර්යභාරයක නියමුවාණන් ලෙස ක්‍රියා කරනු ලබන උන්වහන්සේ කොස්සින්න ශ්‍රී සීලානන්ද දහම් පාසලේ සහ පහළ ඉඹුල්ගොඩ ශ්‍රී විජය දහම් පාසලේ ප්‍රධානාචාර්ය නාහිමිපාණන් වහන්සේ ලෙස ද කටයුතු කරති.

ප්‍රදීපිකා ප්‍රියදර්ශනි,
ගම්පහ

 

  වෙසක් පුර අටවක පෝය


 වෙසක් පුර අටවක පෝය අප්‍රේල් 22 වන දා ඉරිදා අපර භාග 04.20 ට ලබයි. 23 වන දා සඳුදා අපරභාග 02.19 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම අප්‍රේල් 22 වන දා ඉරිදා ය.
 

මීළඟ පෝය අප්‍රේල් 29 වන දා ඉරිදා ය


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අප්‍රේල් 22

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 29

Second Quarterඅව අටවක

මැයි 08

Full Moonඅමාවක

මැයි 15


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]