UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ආයුවඩ්ඪන කුමාරයා දිගාසිරි ලැබූ සැටි

ආයුවඩ්ඪන කුමාරයා දිගාසිරි ලැබූ සැටි

"බ්‍රාහ්මණවරුනි, මම හතළිස් අට අවුරුද්දක් උග්‍ර වූ තපස් රැක තිබේ. දැන් මට මේ බ්‍රාහ්මණ පරම්පරාව පවතින්නට පරම්පරාව රැකෙන්නට දරුවෙකු බමුණු සමාජයට දායාද කිරීමේ ආශාවක් ඇත. එනිසා කවුරුන් හෝ මට ගවයන් සියයක්, මසුරන් සියයක්, මානාවිකාවක් දේ නම් මම මෙතෙක් කලක් පුරාවට කළ තපසේ අනුහස් ඔහුට අනුමෝදන් කරමි”.

අපට මේ ජීවිතයේ ලැබී තිබෙන සෑම යහපත් දෙයකට ම මුල් වී තිබෙන්නේ පිනයි. පින රැස් කරන පුද්ගලයා අනතුරුවලින් අතමිදේ. කරදරවලින් බේරෙන අතර යහපත උදා කර ගනු ඇත. පින නිසා මේ ජීවිතය සැලසෙන යහපත නම් පුදුමාකාර ය.

බුදුරදුන් දවස, දඹදිව දීඝලංඝික කියා එක්තරා නගරයක් විය. එහි වාසය කළ බ්‍රාහ්මණවරු දෙදෙනෙක් තාපස පැවිද්දෙන් පැවිදි වුණි. හතළිස් අට අවුරද්දක් තපස් රැක්කේ ය. ඔවුන් අතරින් එක් අයෙකු මෙසේ සිතුවේ ය. මේ බ්‍රාහ්මණ වංශය ලෝකයේ උතුම් වංශයක්. ශ්‍රේෂ්ඨ පරපුරක්. මම මේ ආකාරයෙන් තපස් රැකගෙන සිටියොත් මේ වංශය රැකෙන්නට මගෙන් උදව්වක් නො ලැබේ. ඒ නිසා මම දරුවෙකු මේ පරම්පරාවට ලබාදිය යුතු යැයි සිතා ඔහු බ්‍රාහ්මණ සමාජය මැදට ගොස් මෙසේ කියා සිටියේ ය.

”එම්බා බ්‍රාහ්මණවරුනි, මම හතළිස් අට අවුරුද්දක් උග්‍ර වූ තපස් රැක තිබේ. දැන් මට මේ බ්‍රාහ්මණ පරම්පරාව පවතින්නට පරම්පරාව රැකෙන්නට දරුවෙකු බමුණු සමාජයට දායාද කිරීමේ ආශාවක් ඇත. එනිසා කවුරුන් හෝ මට ගවයන් සියයක්, මසුරන් සියයක්, මානාවිකාවක් දේ නම් මම මෙතෙක් කලක් පුරාවට කළ තපසේ අනුහස් ඔහුට අනුමෝදන් කරමි”.

එයට බමුණු පිරිස් කැමැති වුණි. ඔහු සිතූ දේ ඔහුට ලැබුණි. ටික දිනකින් මේ පවුලට දරු සිඟිත්තෙක් එකතු විය. මේ බමුණා සමඟ තපස් කළ අනෙක් බමුණා දිනක් මොහු වාසය කරන ප්‍රදේශයට පැමිණි අතර එය විවාහ වූ බමුණාට ආරංචි විය.

”සොඳුරිය, මගේ යහළු බ්‍රාහ්මණතුමා අපගේ ගමට පැමිණ ඇත. අපි දරු සිඟිත්තාත් රැගෙන එතුමා බලන්න යමු” කතිකා කොට බමුණු දෙපළ තම පුතුත් රැගෙන තාපසතුමා බැහැ දකින්නට ගියහ. එසේ ගොස් දරුවා බැමිණිය අතට දී බමුණා වන්දනා කළේ ය. පසුව බැමිිණිය බමුණා අතට දරුවා දී වැන්දා ය. දෙදෙනා ම බොහෝ කලක් ජීවත් වේවා! කියා තාපසතුමා සෙත් පැතුවේ ය.

ඉන්පසු දෙදෙනා ම පොඩි දරුවාලවා තාපසතුමා වන්දනා කරවී ය. එහෙත් තාපසතුමා දරුවාට සෙත් නො පතා නිශ්ශබ්දව සිටියේ ය. ඒ ගැන බුමාණා විමසී ය.

”තාපසතුමනි, අප දෙදෙනා ම ඔබතුමාට වන්දනා කළ විට බොහෝ කල් ජීවත් වේවා කියා සෙත් පැතුවේ ය. නමුත් මේ දරු සිඟිත්තා ලවා ඔබතුමා වන්දනා කරනවිට ඔබතුමා මේ දරුවාට සෙත් නො පැතුවේ මන්ද?

ඔව් මිත්‍රය, මේ දරුවා සම්බන්ධයෙන් කිසියම් ප්‍රශ්නයක් තිබේ. මේ දරුවාගේ ආයුෂ අඩු ලෙසයි මට වැටහෙන්නේ?

”අනේ ස්වාමිනි, මේ දරුවාගේ ආයුෂ අඩු ද? ඔහු වසර කීයද අපත් සමඟ ජීවත් වෙන්නේ?”

”මිත්‍රය අවුරුදු ගණනක් කියන්න අපහසු යි. මට තේරෙන විට නම් දින හතකට වඩා මේ දරුවාට ආයුෂ නැත.”

”සිඟිත්තාගේ මවුපියන් හඬා වැටුණි. අනේ තාපසතුමනි, එසේ වන්නට හේතුව කුමක් ද? අපේ මේ දරුවා බේරා ගන්නට පිළිවෙතක් ඇත්තේ ම නැද්ද?”

”මිත්‍රයා, මෙයට හේතුව මට සොයන්න අපහසු යි. මෙයින් බේරෙන්න පිළිවෙලක් ගැන මට කීමටද නො තේරේ. නමුත් මම අසා තිබෙනවා ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේට වන්දනා කරගෙන බණ ඇසූ සක් දෙවිඳු මිනිස් ලොව බොහෝ ආයු ලබාගෙන යළි සක්දෙව් තනතුªරට ම පත්වූ බව. එනිසා ශ්‍රමණ ගෞතමයන් වහන්සේ නම් මේ කාරණය විසඳා දෙනු ඇත. ඒ නිසා මිත්‍රය, මේ අවස්ථාවේ බමුණු මාන්නය අතහැර මේ දරුවාත් රැගෙන උන්වහන්සේ වෙත යනු”

ඔහුගේ වචනය පිළිගත් මේ දෙදෙනා දරුවාත් රැගෙන බුදුරජාණන් වහන්සේ වෙත ගොස් භාග්‍යවතුන් වහන්සේට කිසිවක් නො පවසා මුලින් බමුණා වන්දනා කළේ ය. ඉන්පසු බමුණා දරුවා අතට ගෙන බැමිණිය වන්දනා කළා ය. දෙදෙනාට ම බුදුරජාණන් වහන්සේ බොහෝ කල් ජීවත් වේවා! යි සෙත් පැතූහ. අවසානයේ දෙදෙනාට දරු සිඟිත්තාලවා බුදුරජාණන් වහන්සේට වන්දනා කරවීය. ඒ වේලෙහි භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්ද වුණි.

බමුණු ජෝඩුව මහා කනගාටුවෙන් මූණට මූණ බලා ගත්හ. “අනේ ස්වාමිනි, අපට සෙත් පැතූ අයුරින් අපේ මේ සිඟිති දරුවාට සෙත් පතන සේක්වා”.

”පින්වත, මේ දරුවාට ආයුෂ ඇත්තේ තව සත් දිනයි. සසරේ වෛර බැඳගත් අවරුද්ධක නම් ඇති යක්ෂයෙක් තව දිනක් ඇතුළත මේ දරුවා බිලි ගැනීමට නියමිත ය. දරුවාගේ ජීවිතයට ඇති අනතුර මෙය යි”.

බමුණු දෙපළ විලාප දෙමින් හඬන්නට විය. “අනේ ස්වාමිනි, අප බොහෝ බලාපොරොත්තු තබා ගෙන මේ දරු සිඟිත්තා හදා වඩා ගත්තේ. අනේ ඒ යක්ෂ උපද්‍රවයෙන් අපේ දරුවා බේරා දෙන සේක්වා!”

”එසේනම් පින්වත්ත, ඔබ නිවසේ මණ්ඩපයක් තනවා එහි ආසන පිළිවෙළ කර මාගේ ශ්‍රාවක පුත්‍රයින් ඔබේ නිවසට වඩමවා මා විසින් ලෝකයාට හිතසුව පිණිස දේශනා කළ සූත්‍ර දේශනා සතියක් පුරා සජ්ඣායනා කරවන්න. ඒ තුළින් රැස්වෙන පිනෙන් මේ සිඟිත්තාට ආරක්ෂාව සැලසෙනවා ඒකාන්ත ය.

බ්‍රාහ්මණ දෙපළ තම නිවසේ මණ්ඩපයක් තනවා මහා සංඝරත්නය වඩමවා සත් දිනක් පුරා ඒ නිවසේ උතුම් සූත්‍ර දේශනා පිරිත් වශයෙන් සජ්ඣායනා කරවූහ. දින ගෙවී යද්දී අවසාන දිනයේ දී බුදුරජාණන් වහන්සේ වැඩම කළ සේක. අනන්ත බුද්ධානුභාවය නිසාවෙන් සියලු සක්වළ දෙවියොත් එහි පැමිණියෝ ය.

මේ අතරේ අවරුද්ධක යක්ෂයා තම බිල්ල ගැනීමේ අදහසින් පැමිණෙන විට දොළොස් යොදුනක් දුරදී ම බුද්ධානුභාවය නිසා ඒ නිවසට ළං වීමට නො හැකි විය. මහානුභාව සම්පන්න භාග්‍යවතුන් වහන්සේ දකින විට ඔහුට බිය හට ගත්තේ ය. දින හතක් ඇතුළත දරුවා බිලි ගැනීමට යක්ෂයාට අවසර තිබුණි.

”මම කෙසේද අර නර පැටියාව බිලි ගන්නේ? ලෝකනාථ වූ මහේශාක්‍ය මහානුභාවසම්පන්න වූ ශාස්තෘන් වහන්සේ ළඟයි නර පැටියා සිටින්නේ. බිලි ගන්නවා තබා මට ළං වීමටවත් පිළිවෙළක් නැත. මට ළංවෙන්න බැරි ආකාරයට මොවුන් පින් රැස් කර ඇත. අද පමණයි දරුවා බිලි ගැනීමට ඇති එක ම දවස. ඒ නිසා මේ බිල්ල මම අත හරිනවා. යැයි සිතු යක්ෂයා යන්න ගියේ ය. අටවෙනි දිනයේ උදෑසන බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයට ඒ නිවසේ දන් පැන් පූජා කළේ ය. අනතුරව දරු සිඟිත්තාලවා බුදුරජාණන් වහන්සේ වන්දනා කරවී ය.

පින්වත් දරුව, ඔබට දිගාසිරි ලැබේවා! අවුරුදු එකසිය විස්සක් ඔබ දිගාසිරි විඳිනු ඇත.”

ඉන්පසු මේ දරුවා ආයුවඩ්ඪන කුමාරයා නමින් ප්‍රසිද්ධ විය. ඔවුන් සියලු දෙනා ඉතා ශ්‍රද්ධාවෙන් තෙරුවන් සරණ ගියේ ය. ධර්මාවබෝධ කළහ. මේ සිදුවීම ගැන භික්ෂූන් වහන්සේ අතරේ කතාබහක් ඇතිවුණි. ඒ මොහොතේ බුදුරජාණන් වහන්සේ මධුර ස්වරයෙන් මෙම ගාථා රත්නය වදාළ සේක.

අභිවාදන සීලිස්ස
නිච්චං වද්ධාපචායිනෝ
චත්තාරෝ ධම්මා වඩ්ඪන්ති
ආයු වණ්ණෝ සුඛං බලං

සිල්වත් උතුමන්ට වන්දනා කරනවා නම්, ගුණයෙන් නුවණින් යුතු වැඩි හිටියන්ට නිතර සලකනවා නම්, ඔහුතුළ ආයුෂ, වර්ණය, සැප, බලය යන ගුණ හතරම වැඩෙන්නේ ය.

එනිසා ලැබුණ මේ මිනිසත් බව කොයි මොහොතේ අත හැරීමට සිදුවේදැයි නොදනිමු. ඇතැම් අය මිල මුදලින් ආඩම්බර වෙති. උගත්කමෙන් ආඩම්බර වෙති. බලයෙන් සමාජ තත්ත්වයෙන් ආඩම්බර වෙති. සිල්වතුන් දුටුවත් නො සලකා හරිති. ගරුසරු නො කරති. එ නිසාම සිල්වත්, ගුණවත් උතුමන්ට වන්දනා කිරීමෙන් රැස්වෙන පින ඔවුන් අහිමි කර ගනිති. ඉන්ද්‍රිය සංවරය, කය, වචනය හික්මවා ගත්, අකුසලයේ නො යෙදුනු, ඊර්ෂ්‍යා නො කරන, කුහක දුෂ්ඨ ගති නො මැතිව උතුම් ගුණ දරාගෙන සිටින සිල්වත් ගුණවත් උතුමෝ වැඩ සිටිති. ඒ උතුම් ගුණයන් සිහිකොට සියලු උතුමන්ට වන්දනා කරනවානම්, ඒ තුළින් රැස්වෙන පින ද මහත්ඵල මහානිශංස වන්නේ ය.

 

  බක් පුර අටවක පෝය


 බක් පුර අටවක පෝය මාර්තු 24 වනදා සෙනසුරාදා පූර්ව භාග 10.07 ට ලබයි. 25 වනදා ඉරිදා පූර්ව භාග 03.04 දක්වා පෝය පවතී.

සිල් සමාදන්වීම මාර්තු 24 වනදා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 24

Full Moonපසෙලාස්වක

මාර්තු 31

Second Quarterඅව අටවක

අප්‍රේල් 08

Full Moonඅමාවක

අප්‍රේල් 15


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]