UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුළුගහමුල්ල ශ්‍රී සම්බුද්ධාලෝක විහාරය

බුළුගහමුල්ල ශ්‍රී සම්බුද්ධාලෝක විහාරය


සම්බුදු මැදුර

බුළුගහමුල්ල ශ්‍රී සම්බුද්ධාලෝක විහාරය කටුනායක වේයන්ගොඩ ප්‍රධාන පාරට මුහුණලා දර්ශනීය වෙල් යායකට ආසන්න ව පිහිටා තිබීම නිසා ධර්මය හැදෑරීම පිණිස මනා වටපිටාවක් විහාරස්ථානය සතුව පවතී. මෙම විහාරස්ථානය මීට වසර පහළොවකට පමණ පෙර ආරම්භ වුව ද විහාරස්ථානයක් ලෙස අත්‍යවශ්‍ය අංග පවා තවමත් ඉදි කළ යුතු මට්ටමේ පවතී.

වර්තමානයෙහි මෙම විහාරස්ථානයෙහි විහාරාධිපති ධූරය දරනු ලබන්නේ අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය මිනුවන්ගොඩ ඥානාවංශ හිමියන් විසිනි. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ නියෝජ්‍ය ලේඛකාධිකාරී මිනුවන්ගොඩ පත්තඩුවන භික්ෂු අධ්‍යාපන ආයතනය අධිපති නැදගමුවේ විජයමෛත්‍රී නා හිමිපාණන් වහන්සේගේ අධීක්ෂණය යටතේ උන්වහන්සේ මෙම විහාරස්ථානයේ සංවර්ධන කටයුතු සිදු කිරීම ආරම්භ කොට ඇත. භෞතික පහසුකම් අතින් අවම තත්ත්වයක තිබුණ ද, මෙම විහාරස්ථානය මඟින් සිදුවන සේවාව ඉතා ප්‍රශස්ථ ය. දැනට මෙම විහාරස්ථානය තුළ වර්තමාන විහාරාධිපති හිමියන් විසින් ථෙරවාද බුද්ධ ධර්මය දේශීය සහ විදේශීය වශයෙන් ව්‍යාප්ත කිරීම සඳහා සුවිශේෂී වැඩපිළිවෙලක් ආරම්භ කොට ඇත.


මිනුවන්ගොඩ ඥානාවංශ හිමි

මෙම විහාරස්ථානය දෙස් විදෙස් දහම් පිපාසය ඇති අය සඳහා දහම් මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම උන්වහන්සේගේ අභිප්‍රාය යි.

දේශීය සහ විදේශීය සාමණේර භික්ෂූන් වහන්සේලාට ඉංගී‍්‍රසි මාධ්‍යයෙන් දහම් අධ්‍යාපනය ලබා දීම, විදේශීයව පැමිණෙන බුද්ධ ධර්මය පිළිබඳව උනන්දුවක් ඇති අය සඳහා කෙටි කාලීනව නේවාසිකව ධර්මය හැදෑරීමට අවස්ථාව ලබා දීම, ප්‍රදේශයේ ජනතාව සඳහා නිරන්තර ධර්ම සාකච්ඡා පවත්වන ස්ථානයක් ලෙස ක්‍රියාත්මක වීම, දහම් පුස්තකාලයක් පවත්වාගෙන යාම, තරුණ සමාජ දෙකක් සහ වැඩිහිටි ජ්‍යෙෂ්ඨ පුරවැසි සමාජයක් සාර්ථකව පවත්වාගෙන යාම, ප්‍රදේශවාසීන්ගේ ආගමික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා වන අංග සම්පූර්ණ විහාරස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම යනාදිය ඒ අතර වේ.

දැනට මෙම විහාරස්ථානයෙහි මියන්මාරය, නේපාලය සහ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සාමණේර භික්ෂූන් වහන්සේලා හත් නමක් පමණ ඉංගී‍්‍රසි මාධ්‍යයෙන් අධ්‍යාපනය හදාරති. අවට විහාරස්ථානවලින් මෙන් ම ඉන්දියාව, ටිබෙටය වැනි රටවලින් ද කුඩා සාමණේර භික්ෂූන් වහන්සේලා මෙම ස්ථානයට අධ්‍යාපනය සඳහා පැමිණීමට ඉල්ලුම් කර ඇත.

විහාරස්ථානය සතුව කුඩා දහම් පුස්තකාලයක් පවතින අතර, ධර්ම ග්‍රන්ථ හැදෑරීම සඳහා අවස්ථාව ලබා දී ඇත. විහාරස්ථානය මුල් කොටගත් සුමග යෞවන සමාජය සහ නැගෙනහිරු යෞවන සමාජය විහාරස්ථ භික්ෂූන් වහන්සේලාගේ අනුශාසනා මත ඉතා සාර්ථකව ක්‍රියාත්මක වේ. ඊට අමතරව සිත්පහන නමින් ජ්‍යෙෂ්ඨ පුරවැසි සංවිධානයක් ද වේ.

ඉංගී‍්‍රසි මාධ්‍යයෙන් ධර්මය විග්‍රහ කළ හැකි සහ ධර්මය දේශනා කළ හැකි ස්වාමීන් වහන්සේලා කිහිප නමක් මෙහි වැඩ වාසය කරති. උන්වහන්සේලාගේ මූලිකත්වයෙන් හා ප්‍රදේශයේ ස්වේච්ඡා ගුරුවරු කිහිප දෙනෙකුගේ සහභාගීත්වයෙන් මෙම අධ්‍යාපන ආයතනයේ ඉගෙනුම් ඉගැනීම් කටයුතු සිදු කරගෙන යනු ලබයි. ඉදිරියේ දී මෙම ක්‍රියාවලිය මීට වඩා පුළුල් කිරීම විහාරාධිපති ස්වාමීන් වහන්සේගේ සහ ප්‍රදේශයේ විහාරස්ථ දායක පින්වතුන්ගේ අභිප්‍රාය යි.

මෙවැනි පුළුල් ක්ෂේත්‍රයක විහිදුණු ක්‍රියාකාරකම් රාශියක් විහාරස්ථානය තුළ සිදු වුව ද මෙම වැඩසටහන් පවත්වාගෙන යාමට ඇති ප්‍රබලතම බාධාව වන්නේ විහාරස්ථානය සතුව ඇති සීමිත ඉඩ ප්‍රමාණය සහ භෞතික සම්පත්වල ඌනතාවය යි. දැනට විහාරස්ථානය සතුවූ ඉතා කුඩා ඉඩ ප්‍රමාණයේ ආවාස ගෘහයක් සහ කුඩා ධර්මශාලා මන්දිරයක් පවතින අතර, නව ආවාස ගෘහයක් ඉදිකිරීම සඳහා වැඩ ආරම්භ කොට ඇත.

කෙසේ වෙතත් නුදුරු අනාගතයේ දී මෙම මිනුවන්ගොඩ බුළුගහමුල්ල ශ්‍රී සම්බුද්ධාලෝක විහාරය මෙරට පමණක් නොව ජාත්‍යන්තර වශයෙන් ද කීර්තිධර විදග්ධ යතිවරයන් වහන්සේලා බිහි වන ආයතනයක් බවට පත් කිරීම විහාරාධිපති හිමියන්ගේ බලාපොරොත්තු වේ.

 

  බක් පුර අටවක පෝය


 බක් පුර අටවක පෝය මාර්තු 24 වනදා සෙනසුරාදා පූර්ව භාග 10.07 ට ලබයි. 25 වනදා ඉරිදා පූර්ව භාග 03.04 දක්වා පෝය පවතී.

සිල් සමාදන්වීම මාර්තු 24 වනදා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 24

Full Moonපසෙලාස්වක

මාර්තු 31

Second Quarterඅව අටවක

අප්‍රේල් 08

Full Moonඅමාවක

අප්‍රේල් 15


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]