UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති ධුරය පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍රය ලබන ශාස්ත්‍රපති ගන්තුනේ අස්සජි මහා නා හිමි

ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති ධුරය පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍රය ලබන ශාස්ත්‍රපති

ගන්තුනේ අස්සජි මහා නා හිමි

ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වීමේ මහෝත්සවය 27 වන දා

ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපතිධුරය පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍රය ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ චූලගණ්ඨි පාර්ශ්වයේ මහානායක ශාස්ත්‍රපති ගන්තුනේ අස්සජි මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට පිළිගැන්වීමේ මහෝත්සවය මෙම මස 27 වනදා පස්වරු 2 ට කොළඹ 07 බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී ( බී ශාලාව) ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස මහා නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සුරතින් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සහභාගිත්වයෙන් සිදු කෙරේ.


අධ්‍යාපනික හා ධර්ම ශාස්ත්‍රීය සේවාව ඉමහත් ය

ගන්තුන උල්ගල පුරාණ විහාරාධිපති, චූලගණ්ඨි පාර්ශ්වයේ මහානායක ශාස්ත්‍රපති පණ්ඩිත අතිපූජ්‍ය ගන්තුනේ අස්සජි මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ට ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති පදවිය ලැබීම ගිහි පැවිදි අප කාගෙත් බලවත් සතුට ට හේතුව කි. අභිනව සභාපති පදවිය පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍රය ප්‍රදානය කිරීමේ මහෝත්සවය වෙනුවෙන් සුභාශිංසන පණිවුඩයක් නිකුත් කරනු ලබන්නේ ආශිර්වාද පූර්වංගම ව ය.

ඓතිහාසික සතර කෝරළයේ ගන්තුන ග්‍රාමයේ දී 1942 දී උපත ලබා, 1956 දී උතුම් ප්‍රවෘජ්‍යා භූමියට ත්, 1967 දී සුපරිශුද්ධ උපසම්පත්තියට ත් පත් ව ඇති උන්වහන්සේ දශක හයක ට අධික කාලයක් වටිනා භික්ෂු ජීවිතයක් ගත කළ මහා යතිවරයාණන් වහන්සේ නමකි. විචිත්‍ර ධර්ම කථිකයන් වහන්සේ නමක් ලෙස රටේ මහත් වූ කීර්තියක් ලබා ඇති අභිනව සභාපති මා හිමියෝ, රජයේ පාසල් ගුරුවරයෙකු, ගුරු විද්‍යාල කථිකාචාර්යවරයෙකු හා විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකු ලෙස සිදු කළ අධ්‍යාපනික හා ධර්ම ශාස්ත්‍රීය සේවාව ඉමහත් ය.

විශේෂයෙන් ම අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ උත්තරීතර මහා නා හිමිපාණන් වහන්සේගේ යුගයේ සිට ම ශී‍්‍ර ලංකා අමරපුර මහා සංඝ සභාවට පත් වූ උන්වහන්සේ පිළිවෙළින් සහකාර ලේඛකාධිකාරි, නියෝජ්‍ය ලේඛකාධිකාරි තනතුරු දීර්ඝ කාලයක් දරමින් අද වන විට සභාපති පදවිය ට ද පත් වී සිටිති. මේ කාලය තුළ උන්වහන්සේ මහා සංඝ සභාවේ නව ව්‍යවස්ථා සම්පාදනය කරමින්, උත්තරීතර මහානායක පදවිය ස්ථාපිත කිරීම,නිකායික නිල ලාංඡනය හා කොඩිය සකස් කිරීම ආදි අනුස්මරණීය සේවාවන් රැසක් සිදු කළ හ. මහා සංඝ සභාවේ මහා ලේඛකාධිකාරි හා සභාපති පදවි දරන කාලයේ දී මා හට අතිශය හිතෛෂීවන්ත භාවයකින් කටයුතු කරමින් සෑම කාර්යයක දී ම සහයෝගය ලබා දුන් බව කෘතවේදී ව මේ මොහොතේ සඳහන් කරමි.

අභිනව පදවිය තුළින් නිකායාභිවෘද්ධිය පිණිසත්. පොදුවේ ශාසනාභිවෘද්ධිය පිණිසත් වැඩ සලසාලන්නට නිදුක් නිරෝගී සුවය හා චිරජීවනය ලැබේවායි ආශිංසනය කරම්හ.


ගුණ නැණ දෙකෙහි ම පරිපූර්ණත්වයට පත්වීම ඉතා විශිෂ්ටය

ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ අභිනව සභාපති ධුරයට පත් වු අතිපූජ්‍ය ගන්තුනේ අස්සජි මහානායක මාහිමිපාණන් වහන්සේ වත්මන් සඟ පරපුරේ දීප්තිමත් ගුරු තාරකාවකි. කෑගලු දිස්ත්‍රික්කයේ ඈත සුන්දර පරිසරයක ජන්ම ලාභය ලැබූ උන්වහන්සේ කුඩා කල සිට ම උගතමනා බණදහම් සපුරා මහා වියතෙක් බවට පත් වූවා පමණක් නොව ගුණ නැණ දෙකෙහි ම පරිපුර්ණත්වය ට පත්වීම ඉතා විශිෂ්ට ය. විනායානුකූල බව,ඍජුපටිපන්න ගුණයෙන් හා වාග් චාතුර්යයෙන් යුතු වීම උන්වහන්සේ සතු ගුණාංගවලින් කැපී පෙනෙන ලක්ෂණ කිහිපයකි. කිව යුතු දේ තර්කානුකූලවත්, නිවැරැදිවත් පවසන්නේ කර්ණ රසායනය මෙන්ම බුද්ධිය ද අවදි කරමිනි.

ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවට සම්බන්ධ වූ මුල් කාලයේ සිට ම ඉතා ක්‍රියාකාරී වූවා පමණක් නො එහි විවිධ නිලතලවලට ද, කමිටු සාමාජිකත්වයන් ද දරමින් කරන ලද සේවය මහා සංඝයාගේ නිති පැසසුම ට ලක් විය.විශේෂයෙන් සංඝ සභාවේ ව්‍යවස්ථා සම්පාදනය ද කතිකාවත් සංශෝධනය ද කරමින් සංඝ සභාව නිසි මග යැවීමට නිතර උත්සුක වු අප මහා නාහිමියෝ පසුගිය වර්ෂයේ දෙසැම්බර් 26 දින නියෝජිත සංඝ සභිකයන් වහන්සේලාගේ ඒකමතික සම්මතයෙන් සභාපති පදවියට පත්වූහ.

අභිනව පදවිය තුළින් නිකායාභිවෘද්ධිය පිණිස ත් පොදුවේ ශාසනාභිවෘද්ධිය පිණිසත් වැඩ සලසාලන්න ට නිදුක් නිරෝගී සුවය හා චිරජීවනය ලැබේවා.


ධර්ම ශාස්ත්‍රීය ඥානය අනාගතයට දායාද කළා

කෑගලු දිස්ත්‍රික්කයේ ඓතිහාසික සතර කෝරළයේ ගන්තුන පල්ලේගම නම් ග්‍රාමවරයෙහි වරත්තැන්නේ ගෙදර විසූ ශ්‍රද්ධා සම්පන්න දෙමාපිය යුවලකගේ පුත්‍ර රත්නයක් ලෙස 1942 නොවැම්බර් 11 වන දින උපත ලැබූ මෙම පින්වත් දරුවා ඥාති හිත මිත්‍රාදීන්ගේ ආදරය කරුණාව හා සෙනෙහස මැද දිනෙන් දින වැඩුණි. පාසල් අධ්‍යාපනය සඳහා නිසි වයස් පිරුණු කල්හි ගමේ පාසලට ඇතුළත් ව ගුරු දෙගුරු සිත් දිනා ගනිමින් මනා ශික්ෂණයකින් යුතුව අධ්‍යාපනය ලැබී ය. පන්සල හා භික්ෂූන් වහන්සේලාගේ ඇසුර නිරන්තරයෙන් පි‍්‍රය කළ එම දරුවා වයස දහහතර පිරෙත් ම පැවිදි වීමට පෙරැත්ත පල කලේ සසර ගෙන ආ පාරමි දම් පිරීමේ ආධ්‍යාසය නිසා ය.තම දරුවාගේ මෙම පුරාකෘත පුණ්‍ය මහිමය හඳුනාගත් දෙමාපියෝ කෑගල්ල අලපලාවල ශ්‍රී ඤාණතිලක පරිවේණාධ්‍යක්ෂක අලපලාවල මහින්දඤාණ තිස්ස අනු නා හිමියන්ට හා මඩවල ආනන්ද ඤාණ තිස්ස නාහිමියන්ට පැවිදි කිරීම සඳහා භාර කළ හ.

ගන්තුන උල්ගල පුරාණ විහාරයේ නේවාසික වන මෙම දරුවා වණ පොත් කළ යුතු සියලු පොත් වණ පොත් කොට, පිරිය යුතු වත් පුරා 1956 නොවැම්බර් 12 වන දින යථෝක්ත නා හිමිවරු දෙනමගේ ආචාර්යත්වයෙන් ගන්තුනේ අස්සජි යන නමින් උතුම් පැවිද්ද ලැබීය. මූලික බණ දහම් සිය ගුරු දේවයන් වහන්සේලා ඇසුරෙන් ලබා ගත් අස්සජි සාමණේරයන් වහන්සේ නොබෝ කලකින් ම කීමෙහි බිණීමෙහි හා ලිවීමෙහි බොහෝ දස්කම් දැක්වූ හ. අතිශය සතුට ට පත් ගුරු දේවයන් වහන්සේලා මුලික අධ්‍යාපනය සඳහා පේරාදෙණිය සාරානන්ද මහ පිරිවෙණට ඇතුළත් කළ අතර, පසුව ද්විතීය අධ්‍යාපනය සඳහා හැරමිටිගල ශාස්ත්‍රාලංකාර පිරිවෙනට ඇතුළත් කළහ. එම පරිවේණාස්ථාන දෙකෙහි ම මැනවින් අධ්‍යාපනය ලැබු අස්සජි හිමියෝ 1963 දී විද්‍යෝදය විශ්ව විද්‍යාලයට (ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය) ඇතුළත් වූහ. එහිදී සිව් වසරක විශේෂ ශාස්ත්‍රවේදි උපාධිය සඳහා අධ්‍යයන කටයුතු කළ අස්සජි හිමියෝ 1967 වර්ෂයේ උපාධිය දිනා ගත්තේ දොන් කරෝලිස් හේවාවිතාරණ ශිෂ්‍යත්වය ද දිනා ගනිමිනි. සිය ජීවන ගමන්මගේ හා පැවිදි දිවියේ නිසි වයස් සම්පූර්ණ ව සිටි හෙයින් අතිපූජ්‍ය වැලිතර ඤාණවිමල මහ නා හිමිපාණන් වන්සේගේ උපාධ්‍යායත්වයෙන් හා අලපලාවල මහින්දඤාණ තිස්ස, මඩවල ආනන්ද ඤාණ තිස්ස නා හිමිවරුන්ගේ ආචාර්යත්වයෙන් 1967 ජනවාරි 17 දින උල්ගල පුරාණ විහාරස්ථ බද්ධ සීමා මාලකයේදී උපසම්පත්තියට පත් වූහ.

තමන් වහන්සේ ලත් ධර්ම ශාස්ත්‍රිය ඥාන සම්භාරය අනාගත පරම්පරාවට ප්‍රදානය කිරීමේ චේතනාවෙන් ම සිය ග්‍රාමයේ පිහිටි කඳුරට මහා විද්‍යාලයේ ධර්මාචාර්යයන් වහන්සේ නමක් ලෙස පත්වීම් ලැබ මහඟු සේවයක් කළ හ. එසේ ම සිය දැනුම යාවත් කාලීන කර ගනිමින් 1972 වර්ෂයේ විද්‍යෝදය විශ්ව විද්‍යාලයෙන් ම ශාස්ත්‍රපති උපාධිය ද ලබා ගත් අස්සජි හිමියෝ මීරිගම ගුරු විද්‍යාලයේ කථිකාචාර්ය පදවියක් ලැබ එහි දී ලක්දිව පුරා විසිරී සිටි බුද්ධ ධර්මය විෂයය භාර ගුරු භවතුන් පුහුණු කිරීමේ මාහැඟි වගකීම සිදු කළ හ. එසේ ම විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ කථිකාචාර්ය පදවියක් ලැබ, එහි වසර දහ තුනක් සේවය කොට ඉන් සමුගැනීමට සිදු වූයේ ආචාර්යඋපස්ථානය සඳහා කාලය වෙන් කිරීම ට සිදු වු හෙයිනි.

දීර්ඝ කාලයක සිට ගුවන්විදුලි සහ රූපවාහිනි මාධ්‍ය මගින් ධර්ම දේශනා හා ධර්ම සාකච්ඡා පවත්වනු ලබන අස්සජි හිමියෝ නිර්මල බුද්ධ දේශනාව පෙළ හා අටුවා ග්‍රන්ථ අනුසාරයෙන් ම නිවැරදිව හා නිරවුල් ව දේශනා කරන ලක්දිව අග්‍රගණ්‍ය ධර්ම දේශකයන් වහන්සේ නමක් ලෙස හඳුන්වා දීමට කැමැත්තෙමි. එසේ ම රජයේ පාසල් හා දහම් පාසල් විෂයමාලා සංවර්ධනය කරමින් පාඨ්‍ය ග්‍රන්ථ සංස්කරණය කිරීමේ මහා භාරදූර කාර්යයේ නියැළෙමින් සිදු කරන්නා වු ශාස්ත්‍රීය සේවය ප්‍රශංසාර්භ ය. ධර්මය හා ශාස්ත්‍රිය විෂය ධාරාවන් නිරවුල් ව හා පර්යේෂණාත්මක ව ඉදිරිපත් කරමින් මුන් වහන්සේ ලියාපල කොට ඇති ශාස්ත්‍රීය ලිපි සිය ගණනකි. ග්‍රන්ථ වශයෙන් මුද්‍රණද්වාරයෙන් එළි දක්වා ඇති ලොකු කුඩා ග්‍රන්ථ රාශියකි. ඒ අතරෙන් කුඹුකේ ධර්ම දේශනා, බෞද්ධ චින්තනයෙන් බිඳක්, අසිරිමත් මිනිසත් බව, ජාතක සිතිවිලිමාලා ආදි ග්‍රන්ථ ප්‍රධාන වෙයි.

මෙකී සියලු කාර්යයන් හි නිරත වෙමින් ජාතික මට්ටමේ ආයතන රාශියක ම උපදේශක සභාවන් හි සාමාජිකත්වය දරමින් ක්‍රියා කළ දැනටත් ක්‍රියා කරන අස්සජි හිමියෝ පහත සඳහන් ආයතනයන්හි සුවිශේෂිකාර්ය භාරයක් ඉටු කළහ. දැනටත් ඉටු කරනු ලබති.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ බෞද්ධ උපදේශක මණ්ඩලය, නිට්ටඹුව ශාරිපුත්‍ර අධ්‍යාපන පීඨයේ උපදේශක මණ්ඩලය, දඹදෙණිය ගුරු විද්‍යාලයේ උපදේශක මණ්ඩලය, මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ සම්පත් පුද්ගල සංචිතය, අධ්‍යාපන අමාත්‍යාංශයේ බෞද්ධ උපදේශක සභාව, අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාල විමර්ශන කමිටුව, පිරිවෙන් පණත සංශෝධනය කිරීමේ කමිටුව, පිරිවෙන් අධ්‍යාපන මණ්ඩලය ඒ අතර වේ.

ධර්ම ශාස්ත්‍රිය සේවාවන්ට අමතර ව අස්සජි හිමියෝ තමන් පැවිදි වූ සඟ පරපුර හෙවත් අමරපුර මහා නිකායේ චූලගණ්ඨි පාර්ශ්වයේ අභිවෘද්ධිය වෙනුවෙන් ද සුවිශාල කාර්යභාරයක් ඉටු කළ හ. ඒ නිසා ම එම සංඝ සභාව වෙතින් සහකාර ලේඛකාධිකාරී මහා ලේඛකාධිකාරි, සංඝ සභාවේ සභාපති හා මහෝපාධ්‍යාය යන උතුම් ශාසනික පදවි මුන්වහන්සේ ට පුද කළ හ. අරමංගොඩ පඤ්ඤාතිලක මහා නා හිමිපාණන් වහන්සේගේ අපවත්වීමෙන් පසුව නිකායේ උතුම්ම පදවිය වන මහා නායක පදවියට ද 2013 වර්ෂයේ දී අස්සජි නාහිමියෝ පත් වූහ.

අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ උත්තරීතර මහ නා හිමිපාණන් වහන්සේගේ යුගයේ සිට ම ශී‍්‍ර ලංකා අමරපුර මහා සංඝ සභාවට පත් වු අස්සජි නා හිමියෝ පිළිවෙළින් සහකාර ලේඛකාධිකාරි, නියෝජ්‍ය ලේඛකාධිකාරි තනතුරු දීර්ඝ කාලයක් දරමින් 2017 දෙසැම්බර් 26 දින සභාපති පදවියට ද පත්වූ හ. මේ කාලය තුළ උන්වහන්සේ මහා සංඝ සභාවේ නව ව්‍යවස්ථා සම්පාදනය කරමින්,උත්තරීතර මහානායක පදවිය ස්ථාපිත කිරීම නිකායික නිල ලාංඡනය හා කොඩිය සකස් කිරීම ආදි අනුස්මරණීය සේවාවන් රැසක් සිදුු කළ හ.

මේ ආදි වශයෙන් ධර්ම ශාස්ත්‍රිය හා ලෝක ශාසන සේවාවන් සිදු කරමින් ම තමන් වහන්සේගේ නිජබිම වූ ගන්තුන උල්ගල පුරාණ විහාරස්ථානයේ වැඩ සිටිමින් ගමේ දායක කාරකාදීන්ගේ ආගමික පුද පුජා ද නොපිරිහෙළා සිදු කිරීමට ද අස්සජි මහ නා හිමියෝ සමත්ව සිටිති. තමන් වහන්සේගේ ශාසනික සේවාවන් අඛණ්ඩව පවත්වා ගැනීමට සමත් ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේ කිහිප නමක් ද ශාසනයට දායාද කොට ඇති අතර, ඒ අතරින් රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති ගන්තුනේ සුවණ්ණ හිමියෝ ප්‍රධාන වෙති.

මහා නා හිමිපාණන් වහන්සේට නව පදවිය තුළින් නිකායාභිවෘද්ධිය පිණිසත්, පොදුවේ ලෝ සසුන් වැඩවඩන්නට ත් නිදුක් නිරෝගී සුවය ලැබේවා.


ශාසනමාමක සැම දෙනාගේ සතුටට හේතුවන්නකි

ගන්තුන, උල්ගල පුරාණ විහාරාධිපති චූලගණ්ඨි පාර්ශ්වයේ මහානායක ශාස්ත්‍රපති පණ්ඩිත අතිපූජ්‍ය ගන්තුනේ අස්සජි මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ වෙත ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති පදවිය පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍රය ප්‍රදානය කිරීමේ මහෝත්සවය වෙනුවෙන් ශුභාශිංසන පණිවුඩයක් නිකුත් කරනු ලබන්නේ ඉමහත් ගෞරවයෙනි.

දකුණු සිරිලක බලපිටියේ මහකරාවේ ඤාණවිමලතිස්ස මහාස්වාමින්ද්‍රයන් වහන්සේගේ ආදිකර්තෘත්වයෙන් ක්‍රි.ව. 1802 දී ආරම්භ වු අමරපුර භික්ෂුවංශය නිසා ලක්දිව පුරා බුදු සසුන සීඝ්‍රයෙන් ව්‍යාප්ත වුණි. අවුරුදු 215 ක් සම්පූර්ණ වන අමරපුර මහා නිකාය අද වන විට පාර්ශ්ව දෙවිස්සකින් හා භික්ෂූන් වහන්සේලා පහළොස් දහසකින් පමණ සමන්විත ය. එම අබිමානවත් සඟ පරපුරේ ද්විතීය නායකත්වය වන සභාපති පදවිය සඳහා අතිපූජ්‍ය ගන්තුනේ අස්සජි මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ පත්වීම ශාසනමාමක සැමදෙනාගේ සතුටට හේතු වන්නකි.

පෙළ හා අටුවා ග්‍රන්ථ ඇසුරෙන් සරල බසින් ඉතාමත් ආකර්ෂණීය අයුරින් ධර්ම දේශනා කරනු ලබන අභිනව සභාපති මහානායක ස්වාමීන් වහන්සේ සතර අගතියෙන් තොරව සියලු දෙනාට, එක හා සමානව සලකන සමානාත්මක ගුණාංගය ශෝභාසම්පන්න කරන උත්තම චරිතයකින් හෙබි මහා යතිවරයාණන් වහන්සේ නමක් ලෙස හඳුනා ගෙන සිටිමි. රජයේ පාසල් ගුරුවරයෙකු, ගුරු විද්‍යාල කථිකාචාර්යවරයෙකු හා විශ්වවිද්‍යාල ආචාර්වරයෙකු ලෙස අධ්‍යාපනික ධර්ම ශාස්ත්‍රිය සේවාවක් සිදු කළ උන්වහන්සේ ජාතික, ආගමික, සංස්කෘතික මෙන්ම සාමාජික වශයෙන් ද ඉටු කළ දැවැන්ත කාර්යභාරය අතිශය ප්‍රශස්ත ය.

අභිනව පදවිය තුළින් පිදුම් ලබන අප මහානායක මාහිමිපාණන් වහන්සේට සම්බුදු සසුනේ උන්නතිය පිණිසත් පොදුවේ මානව වර්ගයාගේ උන්නතිය පිණිසත් වැඩවඩාලන්නට නිදුක් නිරෝගී සුවය හා චිරජීවනය ලැබේවායි ප්‍රාර්ථනා කරමි.

 

  බක් පුර අටවක පෝය


 බක් පුර අටවක පෝය මාර්තු 24 වනදා සෙනසුරාදා පූර්ව භාග 10.07 ට ලබයි. 25 වනදා ඉරිදා පූර්ව භාග 03.04 දක්වා පෝය පවතී.

සිල් සමාදන්වීම මාර්තු 24 වනදා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 24

Full Moonපසෙලාස්වක

මාර්තු 31

Second Quarterඅව අටවක

අප්‍රේල් 08

Full Moonඅමාවක

අප්‍රේල් 15


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]