UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පූජාච පූජනියනං

අලුත්ගම බෝගමුවේ සද්ධාරංසි නා හිමි

අනුරාධපුර සිරිසඟබෝ භාවනා මධ්‍යස්ථානාධිපති, ‘ශාසන කීර්ති ශ්‍රී සද්ධර්ම වාගීශ්වර ධර්මප්‍රභා ධීරානන්දාභිධාන කල්‍යාණී සාමගී‍්‍ර ධර්ම මහාසංඝ සභාවේ උතුරුමැද පළාතේ ප්‍රධාන සංඝනායක ‘කම්මට්ඨාන විශාරද’ අලුත්ගම බෝගමුවේ සද්ධාරංසි නාහිමියන්ගේ 66 වන ජන්මදිනය නිමිත්තෙනි.

උන්වහන්සේ මෙලොව එළිය දකින්නේ 1953 ජනවාරි 26 වැනිදා ය. බී.ඒ. ගුණතිලක සහ එම්.එම්. සෝමාවතී දම්පතීන්ගේ දරුවන් 13 දෙනෙක් අතර හැදී වැඩෙන මේ පුංචි දරුවා බමුණු ආරච්චිලාගේ අබේසිරි එඩ්මන් චන්ද්‍ර කුමාර නම් විය. කුමරුවා 1966 වෙසක් මස 30 වෙනි දින සසුන්ගත විය.

ආභිධම්මික වාගීශ්වර යාගොඩ ධර්මප්‍රභ නාහිමියන් ගුරුකොට ගනිමින් ශාසනයට ප්‍රවිශ්ට වූ අතර සිය පැවිදි බිම වූ අනුරාධපුර සිරිසඟබෝ භාවනා මධ්‍යස්ථානයෙන් බැහැරව, මාලිගාතැන්න විවේක සේනාසනයට වැඩම කොට මැතික්දිවෙල ශ්‍රී දේවානන්ද නාහිමියන්ගේ මාර්ගෝපදේශකත්ය යටතේ පස්මසක් කමටහන් ප්‍රගුණ කොට පසුව සිරිසඟබෝ භික්ෂු අභ්‍යාස මධ්‍යස්ථානයට ප්‍රවේශ වූහ.

මතුගම ශ්‍රී ධීරානන්ද නාහිමියන් යටතේ භික්ෂු වත පිළිබඳ අධ්‍යාපනය ලැබූ උන්වහන්සේ අලුත්ගම බෝගමුව බෝධිග්‍රාම භාවනා මධ්‍යස්ථානයේ දී නේවාසික භාවනා පාඨමාලාවක් හදාරා 1970 දී විද්‍යෝදය මහා පිරිවෙනට ඇතුළු වූහ. අනතුරුව 1972 දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වී 1982 දී ‘ශාස්ත්‍රවේදී’ උපාධිය ලබාගත්හ. පසුව විජයපුර භාවනා මධ්‍යස්ථානයේ (සිරිවිජය විදර්ශනා පිරිවෙන) ගුරු තනතුරට පත්වන නාහිමියෝ පිරිවෙන් පරීක්ෂක, භාවනා උපදේශක තනතුරින් පිදුම් ලබන්නේ ය. ඉන් අනතුරුව සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ තනතුරු ඇතුළු බොහෝ ඇගයීම්වලට හිමිකම් කියමින් ආ ප්‍රශංසනීය අර්ථ පූර්ණ ගමන් මඟ මෙලෙසින් හෙලි පෙහෙළි වී ඇත්තේ ය.

පිරිවෙන් ගුරු වෘත්තියෙන් සිය ශාසන මෙහෙවර ආරම්භකරන උන්වහන්සේ සුවහසක් හිමිවරු නැණ නුවණින් පෝෂණය කළ අතර සුවහසක් යොවුන් සිත් භාවනා සිසිලසින් සිසිල්කොට සුගති ගාමී ධර්ම කාමී යොවුන් පරපුරක් දැයට දායාද කළ නිසාම ‘කම්මට්ඨාන විශාරද’ ගෞරව නාමයෙන් පිදුම් ලැබූහ.

උන්වහන්සේ ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ගේ පූජනීයත්වයට පාත්‍ර වූ මහා පුණ්‍ය භූමි ත්‍රිත්වයක් නිර්මාණය කර ඇත්තේ ය. සෑම පුන් පෝ දිනකම දහස් ගණනක් වූ ශීල සමාධිත උවසු උවැසියන්ට දහම් රස විඳිමින් කමටහන් ප්‍රගුණ කිරීම සඳහා ශීල භාවනා මධ්‍යස්ථානයක් ප්‍රතිස්ඨාපනය කර ඇත්තේ ය. මේ අනූපමේය ශාසන මෙහෙවරයන් කරද්දීම 64 වන වියට පත්වන නාහිමියෝ ‘ශාසන කීර්ති ශ්‍රී සද්ධර්ම වාගීශ්වර ධර්මප්‍රභා ධීරානන්දාභිධාන කල්‍යාණී සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ උතුරු මැද පළාතේ ප්‍රධාන සංඝනායක, කම්මට්ඨාන විශාරද ආදී ගෞරව නාම හා තනතුරුවලින් පිදුම් ලැබූහ.

බුදුසසුනෙහි සිව්වනක් පිරිස අනුරාධපුර අසූමහා ශ්‍රාවක සම්බුද්ධ විහාරයෙහි නිර්මාණය කළහ. උපාසක උපාසිකා, භික්ෂු භික්ෂුණීයන්ගේ ප්‍රතිමා ද අසූමහා ශ්‍රාවක විහාරය තුළ නිර්මාණය කිරීම විශේෂත්වයකි. විහාරස්ථානය වටා අටවිසි බෝධීන් වහන්සේලා ද රෝපණය කිරීමට උන්වහන්සේ උනන්දු වූහ.

සද්ධාරංසි නාහිමියන් විසින් අනුරාධපුර – තන්තිරිමලේ මාර්ගයේ නෙල්ලිකුලම නම් වූ වනගත ගම්පියසේ සිරිසම්බුද්ධ ශ්‍රාවක චාරිකාරාම පුදබිම ඉදි කරවූහ.

නෙල්ලිකුලම සම්බුද්ධ චාරිකාරාමය මහා බුදු බැතියකින් වන්දනා මාන කිරීමට දැන් විවෘතව පවතී. මෙම පුණ්‍ය භූමිය මහා සංඝරත්නය රජයේ මැති ඇමතිවරුන් හා ශ්‍රද්ධාකාමී බෞද්ධ ජනතාවගේ සහභාගීත්වයෙන් පසුගිය දා උත්සවාකාරයෙන් විවෘත කෙරිණි.

සද්ධාරංසි නාහිමියන් අනුරාධපුර නෙල්ලිකුලමට නුදුරු කොක්කිච්චිය නමැති වනගත පෙදෙස තුළ සිරි සම්බුද්ධ ප්‍රාතිහාර්ය විහාරය ඉදිකරවීය. බුදුසිරිතේ ප්‍රාතිහාර්ය එම අවස්ථා රැසක් වන වදුල තුළ නිර්මාණය කර තිබෙනු දක්නට ලැබෙන අතර නිර්මාණ අතුරින් ප්‍රධාන තැනක් ගන්නේ දහසක් බුදුන් බුදු වූ වග සනිටුහන් කරන සම්බුද්ධ විහාර මන්දිරයයි. එහි කටයුතු ද දැන් නිමවෙමින් පවතී.

අනුරාධපුරය, තන්තිරිමලය පාරේ, අභාවයට යමින් පැවැති සිරිබෝධිරුක්ඛාරාම විහාරස්ථානය වැඩිදියුණු කර එය බෞද්ධ ජනතාවගේ වන්දනීයත්වයට පත් කිරීම සඳහා සද්ධාරංසි නාහිමියන් විශාල කැපවීමක් කළහ. මෙම ගම්මානයේ වැසියන් උග්‍ර ජල හිඟයෙන් පෙළෙන අතරම වසරකට එක කන්නයක් පමණ ගොවිතැන් කිරීමෙන් ජීවිකාව ගෙනයති. වියළි ආහාර මලු බෙදා හරිමින් ද, ගර්භනී මාතාවන්ට අවශ්‍ය උපකරණ හා ඇඳුම් පැළඳුම් ලබාදීමෙන් ද ඔවුන් සුඛිත කිරීමට කටයුතු කළහ.

කුලදරුවන් සියයක් සසුන්ගත කර බුදුසසුන පවත්වාගෙන යාම සඳහා උන්වහන්සේ කටයුතු කර ඇත.

අනුරාධපුර ඇලයාපත්තුව රෝහලේ ඇඳන් 25 ක් සහිත රෝහල් වාට්ටුවක් සාදවා භික්ෂූන් වහන්සේ උදෙසා වෙනම කොටසක් වෙන්කර දුන් සද්ධාරංසි නාහිමියෝ වෛද්‍යවරුන් සඳහා ද කාමරයක් සාදවා දුන්හ.

නිවාස අහිමි අන්ත දිළිඳු පවුල් දෙකක් සඳහා අනුරාධපුර දේවානම්පියතිස්සපුර ගම්මානයේ අංග සම්පූර්ණ නිවාස දෙකක් සාදවා එම පවුල්වලට පරිත්‍යාග කළහ. රණවිරු පවුල්වලට මෙන්ම ආර්ථික අපහසුතා ඇති දරුවන් වෙනුවෙන් ද පොත්පත් ආදිය පරිත්‍යාග කරමින් සමාජ සේවාවේ නිරතවන උන්වහන්සේ පසුගිය කාලයේ ගංවතුරින් අනාථ වූ දහස් ගණනක් පිරිසට ආහාර පාන හා අත්‍යවශ්‍ය භාණ්ඩවලින් ද උදව් උපකාර කළ අතර යුද සමයේ ආබාධිත රණවිරුවන් උදෙසා කෘතිම පාද ආදී අවශ්‍ය දෑ ලබා දුන්හ. මාස්පතා අසරණ රෝගීන් වෙනුවෙන් ඇලයාපත්තුව ග්‍රාමීය රෝහලට රුපියල් දස දහසක අත්‍යවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය ලබාදීම දැනට වසර දහයක් තිස්සේ සිදුකරනු ලබයි. ඇලයාපත්තුව මහ විදුහලට විශාල අඩුපාඩුවක්ව පැවැති බුද්ධ මන්දිරයක් ලක්ෂ දහයක වියදමින් ඉදිකර දීම නාහිමියන්ගේ තවත් සමාජ සත්කාරයකි.

ආගමික හා සාමාජීය මෙහෙවරයන්හි නිරත අලුත්ගම බෝගමුවේ සද්ධාරංසි නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමු.


උග්ගොඩ ධම්මින්ද හිමි

පිළියන්දල මාකන්දන සංකල්ප විහාරාධිපති උග්ගොඩ ධම්මින්ද හිමිපාණන් වහන්සේ විසින් මාකන්දන සංකල්ප විහාරස්ථානය ඉදිකරවන ලදී.

සිය අසිරිමත් බෞද්ධාගමික ශාසනික හා සමාජ සත්කාරයන් නිසා විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයන් ඔස්සේ කීර්තිනාමයක් අත්කර ගෙන සිටින වත්මන් භික්ෂු පරපුරේ උද්‍යෝගීමත් දක්ෂ භික්ෂූන් වහන්සේ නමක් වන මාකන්දන වැලිතොටුව වත්ත සංකල්ප විහාරස්ථානයේ ආදි කර්තෘ මෙන්ම එහි විහාරාධිපති උග්ගොඩ ධම්මින්ද ස්වාමීන් වහන්සේ මෙලෙස මහා ස්ථවිර පදවියකට පත්වීම උන්වහන්සේට තම තිස්නව වසරක දිගු ශාසනික දිවි පෙවෙතේ සදානුස්මරණීය සිහිවටනයක් වනු ඇත.

මාතර දිශාවේ සිරිබර උග්ගොඩ නම් ග්‍රාමයේ දී ඩේවිට් කේ. මානගේ මහතා සහ සෝමාවතී හේවාමාතරගේ දම්පතීන්ගේ නව දෙනෙකුගෙන් සමන්විත පවුලක හත්වන දරුවා වු සිරිල් රත්න නම් පින්බර කුමරා 1980 දී උග්ගොඩ ධම්මින්ද නමින් පැවිදිවී දී 1985 වසරේ ජුනි 24 වන දින ස්‍යාමෝපාලී වංශික මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ ඓතිහාසික මල්වතු විහාරස්ථානයේ මංගල උපෝසථාගාරයේ දී උපසම්පදාව ලැබූහ.

ගිහිකල උග්ගොඩ මහා විද්‍යාලයෙන්ද අනතුරුව මාතර මහා මන්තින්ද පිරිවෙනින් හා කොළඹ හුණුපිටිය ගංගාරාම ශ්‍රී ඥානේශ්වර පිරිවෙනින් ද අධ්‍යාපනය ලැබීය.

බෝධිපූජා, බුද්ධ පුජා, ධර්ම දේශනාවලට අමතරව තමන් වහන්සේගේ නායකත්වයෙන් දියත් වූ ආගමික හා ශාසනික සද් ක්‍රියාවන් කාගේත් සිත් පහන් කරවූහ.

ලක්ෂ වාරයක් රතන සූත්‍රය ද ලක්ෂ වාරයක් සීවලී මහා පිරිත ද සජ්ඣායනා කොට වාර්ෂිකව වනමල් ලක්ෂයක් පුදා දින 100 ක් මුළුල්ලේ අටවිසි ගිලන් පස බුද්ධ පූජා සහිත පින්කම් මාලාවකුත් ඊට සමගාමීව ධර්ම දේශනා මාලාවක්ද ලේ දන්දීමේ පින්කමක් ද යන ආදිය උන් වහන්සේගේ මූලිකත්වයෙන් වාර්ෂිකව සිදුකරන ප්‍රධාන පින්කම් අතර වේ.

එවකට සංචාරක රාජ්‍ය අමාත්‍යවර වත්මන් කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතාගේ පූර්ණ අනුග්‍රාහක දායකත්වයෙන් උග්ගොඩ ධම්මින්ද ස්වාමීන් වහන්සේ ගේ සුරතින් ප්‍රාරම්භිත මාකන්දන සංකල්ප විහාරස්ථානයට 30 වසරක් පිරුණා පමණි.

වසර 33 ක් ඉක්මවන උපසම්පදා දිවියකට උරුමකම් කියන සංකල්පල විහාරාධිපති උග්ගොඩ ධම්මින්ද හිමියන් කැස්බෑව ශාසනාරක්ෂක බල මණ්ඩලයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි හා දහම් පාසල් අනු මණ්ඩලයේ ලේකම් මෙන්ම සභික ධුරය ද ප්‍රාදේශීය විහාරාධිපති සංගමයේ සංවිධායක ධුරය ද හොබවති.

සංකල්ප ග්‍රාම සංවර්ධන සමිතිය , සංකල්ප දහම් පාසල, සංකල්ප දායක සභාව, සංකල්ප කුළඟන සමිතිය, සංකල්ප යෞවන සමාජය, සංකල්ප ක්‍රීඩා සමාජය, සංකල්ප නව යෞවන එකමුතුව ද යන සියලු සමිති සමාගම් හරහා ඒ සියල්ලේම නායකත්වය දරමින් සිය දිවිපෙවෙත සමාජ සේවාවට කැප කොට ඇත්තාහ.

කාන්තාවන් සිය දෙනෙකුට මහන මැෂින් ද තරුණයන් විශාල සංඛ්‍යාවකට රැකී රක්ෂා ද ත්‍රිරෝද රථ යතුරු පැදි හා පා පැදි මෙන්ම බොහෝ පිරිසකට නිවාස හා ස්වයං රැකියා ණය සහනාධාර සපයා දීමෙහිලා පුරෝගාමී විය.

උන්වහන්සේට ශාස්ත්‍රාලෝකය හා මාර්ගෝපදේශකත්වය සැපයු දෙනිපිටියේ ජිනරතන හිමිපාණන්, කහටපිටියේ සුමතිපාල හිමියන් පොල්වත්තේ මේධාරාම මා හිමියන්, කැකුණේවෙල උපරතන නා හිමියන් යන වන්දනීය පූජනීය සංඝ පීතෘන් වහන්සේලා උන්වහන්සේ නිරන්තරයෙන් අනුස්මරණය කරති. එසේම අමාත්‍ය ගාමිණී ලොකුගේ මැතිතුමාත්, ජාතික සේවක සංගමයේ ප්‍රධාන ලේකම් සිරිනාල් ද මැල් මහතා වැනි දායකකාරකාදීහු ද ඉත සිතින් සිහිපත් කරති.

50 දෙවන වන වියේ පසුවන සංකල්ප විහාරාධිපති උග්ගොඩ ධම්මින්ද ස්වාමින් වහන්සේට ජාතික හා ශාසනික සේවාවන්හි වැඩි වැඩියෙන් නිරත වෙමින් චිරාත් කාලයක් වැඩ වාසය කිරීමට භාග්‍ය උදාවේවා.

 

 නවම් පුර අටවක පෝය


 නවම් පුර අටවක පෝය ජනවාරි 24 වන දා බදාදා අපර භාග 04.13 ට ලබයි. 25 බ්‍රහස්පතින්දා අපර භාග 03.10 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 24 වන දා බදාදා ය.

 

මීළඟ පෝය ජනවාරි 31 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 24

Full Moonපසෙලාස්වක

ජනවාරි 31

Second Quarterඅව අටවක

පෙබරවාරි 07

Full Moonඅමාවක

පෙබරවාරි 15


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]