UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

 

නවම් පුර අටවක 2018.01.24

උතුම් සෙනෙහස

පුතුන්ට වඩා දූවරුන්ගේ හදවත් ළතෙත් බව වැඩිදෙනකුගේ අදහස ය. මතය එසේ වුව දැඩි සිත් ඇති දූවරු, වතුපිටි දේපළ උරුමකර ගන්නට ගිය තැන අම්මාද අමතක වන දූවරු ද ඉන්නා බව නොසලකා හරින්නට නොහැකි වන්නේ එවැනි සිදුවීම් ගැන අපේ සමාජයෙන් ම ඇසෙන්නට, දකින්නට ලැබෙන නිසා ය.

අයහපත්, අවැඩ දේ ඉස්මතු නො කළ යුතු වුව මෙවැනි පුවත් ගැන නැවත කියන්නට සිදු වන්නේ ඒ ගැන නොසලකාහැරීම සමාජයට වැරැදි ආදර්ශයක් ගෙනෙන්නට ඉඩ ඇති නිසා ය. ඉඳහිට හෝ එවැනි පිළිකුල් සහගත දේ නොවිය යුතු නිසා ය. වෙසෙසින් දූවරු නොව පුතුන් ද මෙලොවට බිහි කර හැදූ මවට පියාට නොසලකනවා නම් ඒ මිනිස්කමට නිගා දෙන්නේ ය.

මළ මුත්‍ර මත ම රඳවා, පණුවන් විසිරුණු කාමරයක වසරකට ආසන්න කාලයක් සිර වී දුක්විඳි අසරණ මවක් පිළිබඳ පුවත මීට දින කිහිපයකට පෙර වාර්තා වුණේ දේපළ ලෝභයෙන් මුළා වූ දියණියක විසින් දුන් දඬුවමක තරම නිසා ය. සැමියා සමඟ එක් වී තමන්ගේ ම අම්මාගේ ජීවිතය නැති කර ආනන්තරීය පාපකර්මයක් කරන්නට තරම් පසුබට නොවූ වා යැයි කියන දියණියක් ගැන ද අසන්නට ලැබුණි. මේ විපරීත වූ මිනිස්කම් මිස අන් කවරක් නම් වන්නේ ද?

දිවමන් බුදුහිමි දවස කොසොල් මහ රජු දිනෙක සිහින පෙළක් දුටුවේ ය. ඉන් තෙවැනි සිහිනයේ දී රජතුමා දුටුවේ උපත ලද දවසේ ම ළදරු වසු දරුවන්ගෙන් කිරි බොන බිහි කළ මව් දෙනුන් ය. විපිළිසර වූ රජු බුදුහිමියන්ගෙන් එහි කවර අදහසක් වේ දැයි විමසුවේ ය. එහි ප්‍රතිඵලය එකලට නොව අනාගතයට වන බව පැහැදිලි කළ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ අනාගත කාලයෙහි දරුවෝ මව්පියන් ගැන සැලකිල්ලක්, ගරු කිරීමක් නොදක්වන බව ය. මවුපියන් බිය ගන්වාගෙන ඔවුන් තමන් වෙත නතු කොටගෙන ක්‍රියා කරන බව ය. කිසිත් කරකියා ගත නොහැකි ව අසරණ වන මව්පියන් ද ලජ්ජාවෙන් හා බියෙන් ඔවුන් නො ඉක්මවන බව ය. දරුවන්ගේ ම අණසකට නතු වන බව ය. දරුවන් විසින් මවුපියන් යටත් කරගෙන ජීවත්වන ආකාරය මේ සිහිනයෙන් පැහැදිලි වන්නේ ය යනුවෙන් ය.

එදා බුදු හිමි දේශිත මේ සිහිනය පිළිබඳ කාලය නම් මේ යැයි හැඟෙන්නේ ඉහත කී සිදුවීම් ඇසෙන දකින විට දී ය. මිනිස් දරුවෙකු ලෙස උපත ලබන කවරෙකු වුව ද අසරණ ය. අනෙකෙකුගේ හව්හරණක් නො මැතිව ජීවිතය ගොඩනඟනු නොහැකි ය. අම්මා, තාත්තා, උපන් මොහොතේ ම දරුවා අතහැරියේ නම් ඔහුට කවර කලක් යනු ඇති ද? ආදරයෙන් පෝෂණය කර, දෑත, දෙපය සවි ගන්වා ඔවුන් සමාජගත කරන්නේ බොහෝවිට හොඳ අධ්‍යාපනයකට ජීවන මාර්ගයකට මඟ පාදා දෙමිනි. ඉන් බැහැර නොසලකා හැරීම් වේ නම් ඒ ඉතා සුළු ප්‍රමාණයක් ය. දරුවන්ගේ ජීවිතයට වටිනාකම් දෙන බොහෝ මවුපියවරුන්ගේ ජීවන කතාව කටුක ය. දරුවන්ගේ ජීවිතයට ආලෝකය දෙන්නට කෙනෙක් ජීවනෝපාය සරි කරන්නේ ගිනි කාෂ්ඨක අව්වේ මහා පොළොව සමඟ ගැටෙමිනි.තවත් කෙනෙක් මහ පාරේ, ගල් කොරියේ දහදිය හෙළති. කාර්යාලයක වුව රාජකාරිය පහසු නැත. බොහෝ විට ඇසට නින්දක්, විවේකයක් තබා කුසට අහරක් ද නොලැබෙන අවස්ථා ඕනෑ තරම් ය. ඇල්වතුර කෝප්පයකින් සෑහී දරුවන්ගේ කුස පුරවා ඔවුන් සැනසෙනු දැක තුටු වන තරම් සෙනෙහසකින් මව්පිය හදවත් පොහොසත් ය. දරුවන් වෙනුවෙන් කැප කරන්නට බැරි දෙයක් ඔවුන්ගේ ජීවිතයේ නැත. ඉන් බැහැර නොතකා හැරීම් වනවා නම් ඒ අල්ප වශයෙන් ය. අතපය සවි වූ දා ඒ අම්මා, තාත්තා අමතක කර දේපළ තණ්හාවෙන් මුසපත් ව නොකටයුතු දේ කරනවා නම් ඒ මිනිස්කමින් හෝ දරුකමින් ඵලක් නොවන්නේ ය. හදවත පුරා බුර බුරා නැගෙන දරු සෙනෙහස ඉල්ලා තැවෙන, ඔවුන් රුව දකිනු රිසියෙන් මහ මඟ ම නෙත් රඳන අසරණ අම්මලා, තාත්තලා කොපමණ නම් වැඩිහිටි නිවාසයන් හි මඟ බලා සිටිනවා ද? ඔවුන් නොසලකා හරිමින් දරුවෙකුට සැනසෙන්නට හැකි නම් ඔහුගෙන් මේ සමාජයට කවර නම් යහපතක් ද?

දිනක් පුංචි දරුවෙක් පොල් කටුවක් පිරිසුදු කරමින් සිටියේ ය. එය කුමකටදැයි විමසූ අම්මාට දරුවා කීවේ අම්මයි තාත්තයි වයසට ගිය දවසක වතුර බොන්නට දෙන්න යැයි කියා ය. ඒ දරුවා මව්පියන්ගෙන් ලැබූ ආදර්ශය ය. මේ අනතුරු හැඟවීම මවුපියන් නො සලකන කොයි කාටත් ය. කළ කම් පළ දෙන්නේ ම ය. එය ද සිහි තබා ගනිමින් තමන් කරන කියන දේ ගැන දෙතුන් වතාවක් සිතන්නට, අම්මා, තාත්තා වෙත සංවේදී වන්නට මවුපියන් නොසලකන්නේ සුළු පිරිසක් වුව ඔවුන් ද සිහි තබා ගත යුතු ය. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ දරුවන් විසින් මවුපියන්ට ගරු කළ යුතු බව ය. සැලකිය යුතු බව ය. දරුවන්ගේ පසඟ පිහිටුවා වැඳුම් පිදුම් ලැබීමට ඔවුන් සුදුස්සන් වන බව ය. ඒ ගැන සිතන්නට, ක්‍රියාත්මක වන්නට සැම සිතට ගනී නම් අපි ජීවත්වන සමාජයේ මවුපියන්ගේ දෑසින් දරුවන් නිසා කඳුළු නොවැටෙනු ඇත.

 

 නවම් පුර අටවක පෝය


 නවම් පුර අටවක පෝය ජනවාරි 24 වන දා බදාදා අපර භාග 04.13 ට ලබයි. 25 බ්‍රහස්පතින්දා අපර භාග 03.10 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 24 වන දා බදාදා ය.

 

මීළඟ පෝය ජනවාරි 31 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 24

Full Moonපසෙලාස්වක

ජනවාරි 31

Second Quarterඅව අටවක

පෙබරවාරි 07

Full Moonඅමාවක

පෙබරවාරි 15


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]