UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ඇස්සැද්දුම ශ්‍රී ශාසනාලංකාර මහා විහාරයේ කුලියාපිටිය දුරුතු මහා පෙරහර

ඇස්සැද්දුම ශ්‍රී ශාසනාලංකාර මහා විහාරයේ කුලියාපිටිය දුරුතු මහා පෙරහර

දුරුතු මහා පෙරහර 26 වනදා


පෙරහර නිර්මාතෘ
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ
අනුනායක ධුරන්දරව වැඩ විසූ මහාචාර්ය
කබලෑවේ පියභාරතී අනු නා හිමි

මීට සියවසකට පමණ පෙරාතුව මහෝපාධ්‍යාය කට්ටමුරිච්චානේ සිරි සුභාරතී මාහිමිපාණන් වහන්සේ මෙම විහාරස්ථානය ආරම්භ කිරීමෙහිලා පුරෝගාමී වූහ. අනතුරුව විවිධ සමිති සමාගම් පිහිටුවා ගනිමින් උන්වහන්සේ ගෙන ගිය දුරදර්ශි ක්‍රියාමාර්ගය නිසා විහාරස්ථානයේ දියුණුවත් ප්‍රදේශයේ ආගමික ප්‍රබෝධයත් බෞද්ධ පුනර්ජීවයත් ඇති විය.

1969 දී උන්වහන්සේ අපවත් වීමෙන් පසු විහාරාධිපතීත්වයට පත් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක මහාචාර්ය කබලෑවේ පියභාරතී මාහිමිපාණන් වහන්සේ එම ශාසනික සේවාවන් තවදුරටත් වර්ධනය කරමින්, විධිමත් කරමින් ඉදිරියට ගෙන යාමට සමත් විය. මෙහිදී අනුනාහිමියන් 1993 දී සංඝමිත්තා පෙරහර නමින් මුල්ම පෙරහර ආරම්භ කිරීමට පුරෝගාමී විය. ඉන්පසුව වර්ෂවලදී පවත්වාගෙන යාමේ පහසුව සඳහා දුරුතු මාසයේ “කුලියාපිටිය දුරුතු මහා පෙරහර” නමින් පෙරහර සංවිධානය කිරීමට කටයුතු යෙදිණ.

අනු නා හිමියන්ගේ අපවත්වීමෙන් අනතුරුව 1999 වත්මන් විහාරාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ පරියත්ති ලේඛකාධිකාරි ශාස්ත්‍රපති පල්ලේකාගම රතනභාරතී හිමිපාණන් වහන්සේට විහාරාධිපති ධූරයත් සමඟ වාර්ෂික දුරුතු මහා පෙරහර සංවිධානය කිරීම ඇතුළු වගකීම් රැසක් භාරවිය. එම අභියෝගයට සාර්ථකව මුහුණ දෙමින් විහාරස්ථානය හා ප්‍රදේශයේ අභිවෘද්ධියට හේතු වන ශාසනික, ආගමික හා සමාජයීය කටයුතු රැසක නියමුවා බවට උන්වහන්සේ පත් වූහ. ඇස්සැද්දුම විහාරය කේන්ද්‍ර කොටගෙන දියත් කෙරුණ විවිධ සංවිධාන හා ක්‍රියාදාමයන්ගේ වැදගත් කාර්යයක් වූ දුරුතු මහා පෙරහර පැවැත්වෙන දුරුතු පුන් පොහොය මුල් කරගත් සතිය පුරා ධර්ම දේශනා, ශීල සමාදාන, ප්‍රජා සත්කාරක සේවාවන් ඇතුළත් ප්‍රදේශයට, රටට දැයට සෙත්පතා කෙරෙන දුරුතු පූජෝත්සවය වැඩසටහන් මාලාවක් දියත් කර දුරුතු පුන් පොහෝ දින බෞද්ධ ජනතාවට ඇති ඓතිහාසික වැදගත්කම මෙන්ම අප දුරුතු මහා පෙරහර නිර්මාතෘ අනුනායක හිමිපාණන් වහන්සේගේත්, වත්මන් විහාරාධිපති රතනභාරතී නාහිමිපාණන් වහන්සේගේත් උපන් දිනයන්ද දුරුතු මාසයට යෙදී තිබීම නිසා ඒ සඳහා ද උපහාරයක් ලෙස දුරුතු පූජෝත්සවය සංවිධානය වීම දායක දායිකාවන්ගේ උද්‍යෝගයට හේතු වී ඇත.

ප්‍රදේශයේ බෞද්ධ, අබෞද්ධ සියලු ජනතාව කිසිදු භේදයකින් තොරව ලබාදෙන ලද සහයෝගය හා ප්‍රදේශයේ ව්‍යාපාරික හා මූල්‍යායතන , රාජ්‍යායතන ලබාදෙන උසස් සහයෝගය නිසා මෙම පෙරහරට කෙටි කාල වකවානුවක් තුළ මහ පෙරහරක් ලෙස වර්ධනය වීමට හැකි විය. මෙම පෙරහර ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ විහාරස්ථානයක පැවැත්වෙන එකම ප්‍රධාන පෙරහර ද වේ.

මෙම මස 26 වනදා රාත්‍රී වීථී සංචාරය කෙරෙන කුලියාපිටිය දුරුතු මහා පෙරහර සංස්කෘතික වශයෙන් වර්ණවත් කරන්නට ප්‍රථමයෙන් කසකරුවන් ගමන් ගන්නා අතර, දෙවනුව දිවයිනේ ප්‍රමුඛ ගිනිබෝල කණ්ඩායමක දර්ශනීයත්වය දැක බලා ගැනීමට හැකි වනු ඇත. මීළඟට ප්‍රවීණ ශිල්පීන්ගෙන් සමන්විත හේවිසි කණ්ඩායම් දක්ෂතා ද පහතරට , සබරගමු හා උඩරට ප්‍රවීණ ශිල්පීන්ගෙන් සමන්විත හේවිසි කණ්ඩායම්හි දක්ෂතා ද පහතරට, සබරගමු හා උඩරට ප්‍රවීණ ශිල්පීන් ඇතුළත් කණ්ඩායම් හා සංස්කෘතික අංග 32 ක පමණ දක්ෂතා දැක බලා ගැනීමට හැකි වනු ඇත. මේසා විශාල කර්තව්‍යයක් මැනවින් සාර්ථක ලෙස හා මනා කළමනාකාරිත්වයකින් සංවිධානය කර ගැනීම සඳහා විහාරාධිපති හා පෙරහර ප්‍රධාන අනුශාසක රතනභාරතී නාහිමිපාණන් වහන්සේ ගන්නා පරිශ්‍රමය හා කැපවීම අගය කරන අතරම,ඒ සඳහා දායකත්වය ලබාදෙන විහාරවාසී අධ්‍යාපනවේදී මානන්කට්ටුවේ සෝරත හිමියන් ඇතුළු විහාරවාසී සියලු හිමිවරුන්ට දිවා රැය නොබලා වෙහෙසී පෙරහර සංවිධානයෙහිලා කටයුතු කරන පෙරහර සංවිධායක කමිටුවටත් විහාරස්ථ දායක සභාව, අනුලා කුලඟන සමිතිය, ශ්‍රී දීපාලංකාර දහම් පාසල, භාරතී ප්‍රජා සංවර්ධන පදනම, තරුණ බෞද්ධ සංගමය ඇතුළු විහාරස්ථ සියලු සංවිධාන වලටත්, පෙරහරට දායක වූ සෑම දෙනාටත් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමු.


සත්කෝරළයේ බෞද්ධ කලා මහා මංගල්‍යය

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායට මහත් වූ ගෞරවයක් ,කීර්තියක් අත්කර දෙමින් ආගමික ,ජාතික ,අධ්‍යාපනික මෙහෙවරෙහි නියැලෙන තරුණ යතිවරයන් වහන්සේලා අතර ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ පරියත්ති ලේඛකාධිකාරී, ශාස්ත්‍රපති, පල්ලේකාගම රතනභාරතී ස්ථවිර පාදයන් වහන්සේ පුරාතන සිංහල පෙරහර සංස්කෘතික උරුමයට ජීවය ලබා දෙන වයඹ සත්කෝරලයේ බෞද්ධ කලා මහා මංගල්‍යය වූ කුලියාපිටිය දුරුතු මහා පෙරහරේ වත්මන් පුරෝගාමියාණේ වෙති. තම ගුරු දේවයන් වහන්සේ වූ අපවත් වී වදාළ මහාචාර්ය කබලෑවේ පියභාරතී අනු නායක මහා ස්ථවිර පාදයන් වහන්සේ විසින් ‘සංඝමිත්තා පෙරහර’ නමින් ආරම්භ කළ පුංචි දුරුතු පෙරහර අද මහා පෙරහරක් ලෙස දායාද කිරීමට පල්ලේකාගම රතනභාරතී ස්ථවිරයන් වහන්සේ සමත් වී සිටිති.

පුංචි පෙරහරක් ලෙසින් ආරම්භ වු ඇස්සැද්දුම සංඝමිත්තා පෙරහර අද වන විට මහා පෙරහරක් ලෙසින් වීදි සංචාරය කරන කුලියාපිටිය දුරුතු පෙරහර මහා පෙරහරක සියලු අංගෝපාංගවලින් සමන්විත වේ. අලි ඇතුන්, ප්‍රවීණ හේවිසි කණ්ඩායම්, උඩරට – පහතරට, සබරගමු විවිධ නෘත්‍යාංගවලින් සමන්විතව කුලියාපිටිය දුරුතු මහා පෙරහර මෙරට ප්‍රසිද්ධ මහා පෙරහරවලට නොදෙවෙනි ලෙස පැවැත්වීමට රාජ්‍ය අනුග්‍රහය, ප්‍රදේශයේ ව්‍යාපාරික ප්‍රජාවේ අනුග්‍රහය,ජාති ආගම් භේදයෙන් තොරව ලැබෙන පොදුජන සහාය විශේෂයෙන් ඉවහල් වේ. ඉතාමත් සාර්ථකව මෙම මහා පෙරහර පැවැත්වීමට සමත්වූයේ එය සංවිධානය කළ පෙරහර කමිටුව හා විහාරස්ථ සියලු සමිති සමාගම් ඒකාබද්ධ කර ගනිමින් ක්‍රියා කරන විහාරාධිපති පල්ලේකාගම රතනභාරතී ස්ථවිර පාදයන් වහන්සේගේ පුරෝගාමී නායකත්වය බව සියල්ලෝම දනිති.

ප්‍රදේශයටම මහත් ආශිර්වාදයක් වු කුලියාපිටිය දුරුතු මහා පෙරහර අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යාමට අප රතනභාරති ස්ථවිරයන් වහන්සේ ඇතුළු සංවිධායක මණ්ඩලයට රත්නත්‍රයේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවායි ආශිර්වාද කරමි.


අරමුණු රැසක් මුදුන්පත්වීමක්

කුලියාපිටිය ඇස්සැද්දුම ශාසනාලංකාර මහා විහාරාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ පරියත්ති සංවද්ධන සභාවේ ලේඛකාධිකාරී පල්ලේකාගම රතනභාරති ස්ථවිරපාදයන්ගේ හා විහාරස්ථ දායක කාරකාදීන්ගේ සංවිධානයෙන් වාර්ෂිකව පැවැත්වෙන පෙරහර ද විශේෂයෙන් කැපී පෙනෙන්නකි. මෙම පෙරහර ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ වන්දනා ගමන් ආඥා පනත යටතේ රජයේ ලියාපදිංචි පෙරහරකි. මෙය මුලින් ම ආරම්භ කරන ලද්දේ ඇස්සැද්දුම ශාසනාලංකාර මහා විහාරාධිපති ව වැඩ සිටි අපවත් වී වදාළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක ධුරන්ධර මහාචාර්ය කබලෑවේ පියභාරතී ස්වාමීන්ද්‍රයන්ගේ අනුශාසනා පරිදි එවකට සිටි විහාරස්ථ දායක පින්වතුන් විසිනි. ආගමික ප්‍රබෝධය, සම්බුද්ධ ශාසනයේ චිර පැවැත්ම හා ආගමික සහජීවනය සඳහා කටයුතු කිරීම, ඉපැරණි කලා හා සංස්කෘතික උරුමයන් ආරක්ෂා කිරීම, ඒවා වැඩිදියුණු කොට අනාගත පරපුරට රැක දීමට ක්‍රියා කිරීම, ජනතාවට බෞද්ධ සංස්කෘතික පෙරහරක් දැක ගැනීමට අවස්ථාව සැලසීම, ප්‍රදේශයේ කලාශිල්පීන්ගේ දක්ෂතා එළිදැක්වීමට අවස්ථා සලසා දීමි, ආදී උදාර අරමුණු රාශියක් වාර්ෂික පෙරහර සංවිධානය කිරීමෙන් සංවිධායකයෝ බලාපොරොත්තු වෙති. එම උදාර අරමුණු දැනටමත් මුදුන්පත් වෙමින් පවතී. කුලියාපිටියේ ඇස්සැද්දුම පන්සලින් ආරම්භ වූ කුඩා පෙරහර මේ වන විට සත් කෝරළයේ ම බෞද්ධ ජනතාවගේ ප්‍රෞඪත්වය කියාපාන ජාතික උත්සවයක් බවට පත්ව තිබේ.


උතුම් අරමුණු රැසක් මුල් කරගෙන ඇරඹූවකි

බෞද්ධ සංස්කෘතිය තුළ පෙරහර සංස්කෘතියට හිමිවන්නේ සුවිශේෂ ස්ථානයකි. පෙරහර පැවැත්වීම මෙරට ජාතික හා ආගමික කටයුතුවල කැපී පෙනෙන ලක්ෂණයකි. බුදුරජාණන් වහන්සේ අරමුණු කරගෙන පෙරහර පවත්වන අතර මහරහතන් වහන්සේලා, ධාතුන් වහන්සේලා ආදි පූජනීය වස්තූන් පෙරහර සඳහා අරමුණු වන අතර, ආගමික නායකයින්ට පූජෝපහාර දැක්වීම සඳහාත් බෞද්ධයෝ පෙරහර පවත්වති. ඔවුන් එය පින්කමක් මෙන්ම සංස්කෘතිකාස්වාදයක් ලෙස ද සලකනු ලබයි.

කුලියාපිටිය දුරුතු පෙරහර ආරම්භ වූයේ ද ත්‍රිවිධ රත්නය අරමුණු කරගෙන මෙන්ම, පාරම්පරික සංස්කෘතික කලා අංගයන් ආරක්ෂා කොට මතු පරපුරට දායාද කිරීමත්, සත්කෝරළ ජනතාවට ධාර්මික විනෝදාස්වාදය සඳහාය. එකී උතුම් පරමාර්ථයන් පෙරදැරි කරගෙන මීට දශක දෙකකට පෙර ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක මහාචාර්ය කබලෑවේ පියභාරතී මාහිමිපාණන් වහන්සේ ඉතා කුඩාවට ආරම්භ කළ මෙම පෙරහර වර්තමානය වන විට දිවයිනේ පිළිගත් පෙරහරක් බවට පත්ව තිබීම අතිශය සතුටට කරුණකි. ඒ සඳහා දායක වු පැවිදි ගිහි සැමට අපගේ පුණ්‍යානුමෝදනා පූර්වක ස්තුතිය මෙයින් පළ කර සිටිමු. වයඹ සත්කෝරළයේ මහා සංස්කෘතික මංගල්‍යය සාර්ථක කර ගැනීමට අවවාද අනුශාසනා ලබා දුන් අතිපූජ්‍ය මහානායක මා හිමිපාණන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝරත්නයටත් ,කථානායක තුමාට ද, දියවඩන නිළමේ තුමාට ද, ආධාර උපකාර කළ මැති ඇමතිතුමන්ලාටද, රාජ්‍ය හා පෞද්ගලික ආයතනවලට ද, ප්‍රදේශවාසී දානපතීන්ට ද නන් අයුරින් සහයෝගය ලබා දුන් සැමටත් පුණ්‍යානුමෝදනා පූර්වක ස්තුතිය පළකර සිටින අතර ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන්, සියලු යහපත් කටයුතු සාර්ථක වේවායි ඉත සිතින් පතමි. 2018 ජනවාරි 26 දින පවත්වනු ලබන 23 වෙනි පෙරහර සාර්ථක කර ගැනීම සඳහා පෙර වසර වලදී ලබා දුන් සහයෝගයට වඩා උසස් සහයෝගයක් ලබා දෙන මෙන් ශාසන දයාවෙන් ඉල්ලා සිටිමි.


සාර්ථක කලා මංගල්‍යයක්

කුලියාපිටිය ඇස්සැද්දුම ශ්‍රී ශාසනාලංකාර මහා විහාරස්ථ දුරුතු මහ පෙරහර නිමිත්තෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරනුයේ බලවත් සතුටිනි.

බෞද්ධ සමාජයේ වැදගත් සංස්කෘතිකාංගයක් වූ පෙරහර ඉතිහාසයේ ඈත අතීතයට දිවෙන්නකි. බුදුන් වහන්සේගේ ශාරීරික, පාරිභෝගික, උද්දේසික ධාතූන් වහන්සේලා වෙනුවෙන් පමණක් නොව රහතන් වහන්සේ හා රහත් මෙහෙණින් වහන්සේලා වෙනුවෙන් ද පෙරහර පැවැත්වීම වාර්ෂිකව සිදුවන්නකි. එය අප රට කලාවෙහි උද්දීප්තියක් එමගින් සංස්කෘතික ප්‍රබෝධයත් ඇතිවීමට හේතු වූ බැව් නොරහසකි.

කුලියාපිටිය ඇස්සැද්දුම ශ්‍රී ශාසනාලංකාර මහා විහාරස්ථානය 22 වැනි වරටත් පවත්වනු ලැබූ පෙරහර මංගල්‍යය කලක පටන් සාර්ථක ලෙස පවත්වමින් අගනා ජාතික හා ශාසනික මෙහෙවරක කැප වී සිටින ශාස්ත්‍රපති පල්ලේකාගම රතනභාරතී නාහිමියන් වහන්සේ ඇතුළු සංඝරත්නයට ද සංවිධායක මණ්ඩලයට ද මාගේ සුබ පැතුම් පිරිනමන අතර මෙවර ද සාර්ථක ලෙසින් මෙම කලා මංගල්‍යය පැවැත්වීමට සුබ ප්‍රාර්ථනය කරමි.


ශාසන චිරස්ථිතියට දායකත්වයක්

කුලියාපිටිය ඇස්සැද්දුම ශ්‍රී ශාසනාලංකාර මහා විහාරය විසින් 23 වැනි වරටත් පවත්වනු ලබන වාර්ෂික දුරුතු පෙරහර මංගල්‍යය සඳහා අධ්‍යාපන ඇමතිවරයා ලෙස සුබපැතුම් එක්කරන්නේ හද පිරි සතුටිනි.

කුලියාපිටිය දුරුතු පෙරහර ආරම්භක අවධියේ සිට ම ඊට සම්බන්ධ වෙමින් කටයුතු කළ අයෙක් ලෙස මෙම පෙරහර මංගල්‍යය හරහා මතුවන ජාතික හා ආගමික සංහිඳියාව, ජනතාවගේ සංවිධාන ශක්තිය, සාමූහික කැපවීම, මෙන් ම සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් ලබාදෙන දායකත්වය මම මැනවින් හඳුනමි. සිංහල, බෞද්ධ සංස්කෘතික අනන්‍යතාවන් මූර්තිමත් කෙරෙන උඩරට, පහතරට, සබරගමු නැටුම් හා සංස්කෘතික අංග රැසකින් සමන්විත කුලියාපිටිය දුරුතු පෙරහර කුලියාපිටිය ජනතාවට පමණක් නොව සත්කෝරළයට ම ආශිර්වාදයකි.

අපේ සංස්කෘතික වටිනාකම් අනාගත පරපුරට පවරා දීමේ ජාතික අරමුණ පෙරදැරිව කාලය, ශ්‍රමය නොමසුරුව ඒ වෙනුවෙන් කැපකරමින් මෙම පෙරහර පවත්වන්නට මූලිකත්වය ගෙන කටයුතු කරන ඇස්සැද්දුම ශ්‍රී ශාසනාලංකාර මහා විහාරාධිපති ශාස්ත්‍රපති පල්ලේකාගම රතනභාරතී හිමිපාණන් වහන්සේ ඇතුළු දුරුතු පෙරහර සංවිධාන කමිටුවට කෘතවේදී ස්තුතිය පළ කරන්නට ද මෙය අවස්ථාවක් කරගනිමි. පෙරහර සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා! යි සුබ පතමි


උත්කර්ෂවත් සංස්කෘතික මංගල්‍යයක්

කුලියාපිටිය ඇස්සැද්දුම ශ්‍රී ශාසනාලංකාර මහා විහාරයේ මූලිකත්වයෙන් වාර්ෂිකව පවත්වාගෙන එනු ලබන දුරුතු මහා පෙරහර කුලියාපිටිය නගරය වර්ණවත්කර සැදැහැති බොදු දනන්ගේ සැදැහැ වඩවනු වස් ප්‍රදේශයේ පවත්වන අභිමානවත් උත්කර්ෂවත් සංස්කෘතික මංගල්‍යය ලෙස සැලකිය හැකිය.

ඇස්සැද්දුම විහාරය මඟින් සිදු කරන අපරිමිත ආගමික, සංස්කෘතික සමාජයීය පුනර්ජීවනය හුදෙක් කුලියාපිටිය නගරයට පමණක් සීමා නොවීය. සත්කෝරළය පුරා විහිදී බෞද්ධ ලෝකය පුරා විහිදී චිරප්‍රසිද්ධියක් උසුලනු ලබයි. ආරම්භයේ පටන් මේ දක්වා ම මෙම විහාරස්ථානයේ බිහිවූ මහා සංඝරත්නය ප්‍රතිපත්තිගරුක සිල්වත්, ගුණවත් ශිෂ්‍ය භික්ෂු පරපුර ද අතිමහත්ය. මෙම විහාරස්ථානයෙන් බිහිවූ භික්ෂු පරපුරේ විහාරාධිපති ධූරයට පත් වත්මන් විහාරාධිපති ශාස්ත්‍රපති පල්ලේකාගම රතනභාරතී නා හිමියන්ද, අවශ්‍ය අධ්‍යාපනය හා ධර්මඥානය මැනවින් ලබාගනිමින් විහාරස්ථානයටත් , කුලියාපිටිය ප්‍රදේශයටත්, බෞද්ධ ලෝකයටත් අනභිභවනීය උත්තරීතර සම්මානනීය ශාසනික සේවාවන් සිදුකරන අතර, “වාර්ෂික දුරුතු පෙරහර” සඳහා සැදැහැවතුන් විසින් ලබාදෙන බරපැන විනිවිදභාවයෙන් පරිහරණය කරමින් සිදුකරන කැපවීම තුළ ඇස්සැද්දුම ශ්‍රී ශාසනාලංකාර විහාරය බොදු ජනතාවගේ හදවත් තුළ සදා නොමැකෙන සසුනඹර දිදුළන සිළුමිණක් සේ සසර ගනඳුර දුරලීමට පහන් ටැඹක් වේවායි ප්‍රාර්ථනා කරමි.


ආගමික ප්‍රබෝධයට පිටිවහලක්

වසර 22 ක සිට නොකඩවා පවත්වාගෙන එනු ලබන මෙම දුරුතු මහා පෙරහර ප්‍රදේශයේ ආගමික ප්‍රබෝධයට ඉතාමත් පිටුවහලක් බව අපි දනිමු.

මහාචාර්ය කබලෑවේ පියභාරතී අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අපවත්වීමෙන් පසු වර්තමාන විහාරාධිපති ධූරය හොබවන පල්ලේකාගම රතනභාරතී හිමියෝ අනු නා හිමියන්ගේ ශාසනික මෙහෙවරෙහි මංපෙත් තව තවත් පුළුල් කරමින් සිය ශාසනික කාර්ය බාරය අවිජ්චින්නව පවත්වාගෙන යාම ගැන සමස්ත බෞද්ධ ජනතාවගේ ම කෘතවේදීත්වය සහ ගරුත්වය විහාරාධිපති ස්වාමීන් වහන්සේ ට හිමි විය යුතු ය.

ප්‍රදේශවාසීන් ඇතුළු රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන ,දානපතියන් සහ අවට ආගමික සිද්ධස්ථානවල ද සහභාගීත්වය ලබාගෙන පෙරහර කටයුතු සංවිධානය කිරීමෙන් අප නා හිමියන් ගමයි, පන්සලයි එකට යා විය යුතුය යන බෞද්ධ සංකල්පය ප්‍රායෝගික කරවීම රටේ සෑම බෞද්ධ විහාරස්ථානයකට ම මහඟු ආදර්ශයක් යැයි මම විශ්වාස කරමි.

විසිතුන් වන වරටද 2018 පැවැත්වෙන මේ අසිරිමත් පෙරහර වඩාත් උත්කර්ෂවත් අයුරින් පවත්වා ගැනීම සඳහා ගරුතර නා හිමියන් ඇතුළු සියලුම දායකකාරකාදීන්ට දළඳා සමිදුන්ගේ ආශිර්වාදය ලැබේවා යි මම ඉත සිතින් ප්‍රාර්ථනා කරමි.

 

 නවම් පුර අටවක පෝය


 නවම් පුර අටවක පෝය ජනවාරි 24 වන දා බදාදා අපර භාග 04.13 ට ලබයි. 25 බ්‍රහස්පතින්දා අපර භාග 03.10 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 24 වන දා බදාදා ය.

 

මීළඟ පෝය ජනවාරි 31 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 24

Full Moonපසෙලාස්වක

ජනවාරි 31

Second Quarterඅව අටවක

පෙබරවාරි 07

Full Moonඅමාවක

පෙබරවාරි 15


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]