UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වෙන වට්ටාරම ශ්‍රී අරහන්ත මලියදේව රජ මහා විහාරය

රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වෙන වට්ටාරම ශ්‍රී අරහන්ත මලියදේව රජ මහා විහාරය

ඓතිහාසික බොදු උරුමයකට හිමිකම් කියන වට්ටාරම ශ්‍රී අරහන්ත මලියදේව රජමහා විහාරස්ථානයේදී මැයි මස 07 සිට 13 දක්වා රාජ්‍ය වෙසක් උත්සවය අතිඋත්කර්ෂවත්ව පැවැත්වේ.


වට්ටාරම ශ්‍රී අරහන්ත මලියදේව රජමහා විහාරස්ථානය

තෛ‍්‍රනිකායික මහා නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේලාගේ පූර්ණ ආශිර්වාදය ඇතිව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන සම්භාවනීය දෙස් විදෙස් අමුත්තන් රාශියකගේ සහභාගිත්වයෙන් මෙවර රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වේ.

වට්ටාරම රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කොට පැවැත්වෙන රාජ්‍ය වෙසක් උත්සවය නිමිත්තෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ රුපියල් මිලියන දහසකට වඩා වැඩි මුදලක් වැය කොට ගම්බද අතුරුපාර ප්‍රාදේශීය සභා මාර්ග ඇතුළු මංමාවත්, පානීය ජල සම්පාදන ව්‍යාපෘති විදුලිබල සැපැයුම් වැඩිදියුණූ කිරීමේ යෝජනා ක්‍රම ක්‍රියාවට නංවා තිබේ.

ගම , නගරය යා කරන කඩිනම් ප්‍රවාහන සේවාවක් පිරිසුදු පානීය ජල සැපයුමක්, විදුලිය ලබාදීමක් යනාදියෙන් නොනැවැති සියලු විහාරාංගවලින් සපිරුණු පන්සලක්, අංග සම්පූර්ණ පහසුකම්වලින් පිරි දහම් පාසැලක්, පිරිවෙනක් ගොඩනැඟීමේ වැඩපිළිවෙලද ක්‍රියාත්මකය.

කෑගලු දිසාවේ බෞද්ධාගමික වෙහෙර විහාරස්ථානවල පවතින සම්පත් දියුණු කැරෙන අතර, දිස්ත්‍රික්වාසීන් අධ්‍යාත්මික ගුණ වගාව, සාරධර්මවලින් යුතු පිරිසක් බවට පත්කරලීමේ දාන, ශීල,භාවනා වැඩසටහන් රාශියක්ද පැවැත්වීම ග්‍රාමීය මට්ටමින් ආරම්භ වී තිබේ.


වෑවල සමිත හිමි

වට්ටාරාම ශ්‍රී අරහන්ත රජමහා විහාරස්ථානයේ භාරකාර වෑවල සමිත හිමියෝ,

මේ පින්බිමේ දෙතිස්ඵල බෝධින්වහන්සේ නමක් වැඩහිඳිනවා. මෙරට බොදු ඉතිහාසයේ වැඩවිසූ අවසාන මහරහතන් වහන්සේ වූ ශ්‍රී අරහන්ත මලියදේව මහා රහතන් වහන්සේ වැඩි කාලයක් මෙහි වැඩවාසය කොට තිබෙනවා.

සිරි සඟ බෝ මහ රජතුමාගේ සොහොයුරු ගෝඨාභය රජතුමා මේ විහාරස්ථානය ගොඩනඟා මහරහතන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය දොළොස් දහසක් සඟ රුවන මේ පින්බිම සඟ සතු කොට පූජා කොට තිබෙන්නේ.

මාතලේ අළුවිහාරයේ පැවැත්වූ ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීමේ කටයුත්තට පූර්වගාමීව මේ පින්බිමේ ඒ උතුම් පුණ්‍ය කටයුත්ත සිදුකොට තිබෙන බව ශාසන ඉතිහාසයේ සඳහන් වෙනවා. මේ අන්දමේ ඓතිහාසික ආගමික, සමාජයික, ජාතික වැදගත්කමකින් යුත් පින්බිමක මෙවර රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වීමට ලැබීම අපට ආඩම්බර විය හැකි කරුණක් බව කිව යුතුයි.

කෑගල්ල දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි දුනුකේවත්තේ සිරි සීල විමල නාහිමියෝ, “මෙවර රාජ්‍ය වෙසක් උත්සවය කෑගල්ල දිස්ත්‍රික්කයේ වට්ටාරම පින්බිමේ පවත්වනවා. ඊට සමගාමීව පහසුකම්වලින් අඩු විහාරස්ථාන 100 ක්, දහම් පාසල් 100 ක්, පිරිවෙන් අංග සම්පූර්ණ බෞද්ධාගමික මධ්‍යස්ථාන බවට වැඩිදියුණුූ කිරීමේ දැවැන්ත වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. රජය මේ වැඩපිළිවෙලට විශාල මුදලක් වැය කරනවා. රාජ්‍ය වෙසක් උත්සවය සමගාමීව බුදුසසුනට එක්වන සාමනේර හිමිවරුන්ට දන් පිරිනැමීමේ වැඩසටහනක් ක්‍රියාත්මකයි.

 

රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමැති කබීර් හසීම් මහතා :–

රාජ්‍ය වෙසක් උත්සව අපේ දිස්ත්‍රික්කයේ පැවැත්වීමට අවස්ථාව ලබා දෙන්න'යි මමත් අපේ රංජිත් සියඹලාපිටිය ඇමැතිතුමාත් 2016 දී ඇමැති මණ්ඩලයේදී ඉල්ලීම් කළා. එදා අපේ දිස්ත්‍රික්කයේ යටිතල පහසුකම් ප්‍රමාණවත් නැති නිසා ඒ යෝජනාවට ඉඩ ලැබුණේ නැහැ.

අපි මේ අවුරුද්දේ ඒ ඉල්ලීම නැවත ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කළා. අතිගරු ජනාධිපතිතුමා, අගමැතිතුමා ප්‍රධාන ඇමැති මණ්ඩලයම ඊට එකඟතාවය පළ කළා. ඒ නිසයි අපට මේ උතුම් මහෝත්සවය පවත්වන්නට අවස්ථාව උදා වුණේ.

බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල සිහිකරන වෙසක් පුර පසළොස්වක පෝය දිනය නිමිති කොට කෑගල්ලේ පවත්වන මේ උත්සවයෙන් පසු කෑගල්ලේ ජනතාවට යම් සංවර්ධනයක්, දායාදයක් ඉතිරි වෙන්න ඕනෑ.

ඒ අරමුණ ඇතිව අප කෑගල්ල දිස්ත්‍රික්කයේ තිබෙන විහාරස්ථාන 669, රජමහා විහාර 40, දහම් පාසල් 584, පිරිවෙන් 42 ඓතිහාසික උරුමකම් ඇති පූජනීය ස්ථාන 261 ක සැමරුම් සිහිවටන වැඩිදියුණු කිරීමට වැඩපිළිවෙළක් සැලසුම් කළා. මේ සඳහා රජය, බුද්ධශාසන අමාත්‍යංශය අපට ආධාර කළා. ඊට අමතරව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශය යටතේ ඇති ආයතනවල ආධාරය, උදව්ව මත මේ විහාරස්ථානවල අඩුපාඩු සම්පූර්ණ කිරීමට ක්‍රියා කරන්නේ.

කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල, කෑගල්ල, ගලිගමුව ප්‍රධාන වෙසක් කලාප සෑම නගරයක්, ගමක් මුල් කොට පැවැත්වීමට පියවර ගන්නවා. ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වතාවට ජාත්‍යන්තර වෙසක් සැමරුම් උත්සවය මෙවර පැවැත්වෙන්නේ අපේ රටේයි. ඒ නිසා අපේ රටට එන විදේශීය බෞද්ධ අබෞද්ධ ජනතාවට සතුට, පී‍්‍රතිය ගෙන දෙන අලංකාර වෙසක් උත්සවයක් පැවැත්වීමට අවශ්‍ය සියලු පියවර ගන්නවා.

බුදුදහමේ ඉගැන්වීම්වල මූලිකම දේ සාමය ,සමඟිය වඩා වර්ධනය කිරීම, සියලු දෙනාටම සමානාත්මතාවයෙන් සැලකීම,ගෞරවය, ආදරය, දයාව දැක්වීමයි.මේ උතුම් ගුණාංග අද සමාජයට වැඩි වැඩියෙන් අවශ්‍ය වී ඇති කාලයක්. අපි ඒවා ප්‍රගුණ කිරීමට ජනතාව පෙළඹවීම කරන්න සූදානම්.

මේ ස සඳහා අපි විශාල වැඩකොටසක් සංවිධානය කළා. මුළු කෑගල්ලම වෙසක් සැරසිලිවලින් අලංකාර කරනවා. වෙසක් තොරන්, බැතිගී,පහන්කූඩු, ප්‍රදර්ශනය කරනවා. බෞද්ධ පුනරුදයක් ඇති කරන අතර වෙහෙර විහාරස්ථානවල අඩුපාඩු සකස් කරගන්නත් ක්‍රියා කරනවා. තායිලන්තය මේ වැඩපිළිවෙළට උදව් කරනවා. ඒවාගේම දානපතීන්ගේ ආධාරත් අපි ලබා ගන්නවා යැයි කීය.

පුනර්ජනනීය බලශක්ති හා විදුලිබල ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා :–

කබීර් හසීම් ඇමැතිතුමා අන්‍යාගමිකයෙක් වුවත්, මෙවර රාජ්‍ය වෙසක් උත්සවය කෑගල්ලේ පැවැත්වීමට අවස්ථාව ලබා ගැනීමට විශාල උනන්දුවකින් වැඩ කළා. ඒවාගේම ඉන් පසු අපේ දිස්ත්‍රික්කයේ වෙහෙර විහාරස්ථානවල අඩුපාඩුකම් සම්පූර්ණ කිරීමට වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කිරීමට මුල් වී සිටිනවා යැයි කීය.

 

වෙසක් පුර පසළොස්වක

 

වෙසක් පුර පසළොස්වක පෝය මැයි මස 10 වනදා බදාදා පූර්ව භාග 01.07 ට ලබයි. 11 වනදා බ්‍රහස්පතින්දා, පූර්ව භාග 03.12 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි 10 වනදා බදාදාය.
 

මීළඟ පෝය මැයි 18 වනදා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 10

Second Quarterඅව අටවක

මැයි 18

Full Moonඅමාවක

මැයි 25

First Quarterපුර අටවක

ජූනි 01


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]