UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුරදුන් වැඩි කැලණි පුදබිම


බුදුරදුන් වැඩි කැලණි පුදබිම

වෙසක් පුන් පොහෝදාත් කැලණිය පුදබිමත් අතර ඇත්තේ අවියෝජනීය සම්බන්ධයකි. සිදුහත් බෝසතාණන් වහන්සේගේ උප්පත්තියත්, සම්බුද්ධත්වයත් බුදුරජාණන් වහන්සේගේ මහාපරිනිර්වාණයත් සිහිකරන වෙසක් පුන් පොහෝ දවස කැලණි පුදබිම සමඟ සම්බන්ධවන්නේ උන්වහන්සේගේ කැලණි පුදබිමට වැඩම කිරීම වෙසක් පුන් පොහෝ දිනකම සිදු වූ නිසාය.

බුදුරජාණන්වහන්සේ තුන් වරක් ශ්‍රී ලංකාවට වැඩම කළ බව මහාවංශයේ සඳහන් වේ. එහි සඳහන් වන අන්දමට සම්බුද්ධත්වයෙන් මාස නවයකට පසුව ලංකාවට වැඩි උන්වහන්සේ මහියංගණයේ මහානාග උද්‍යානයේදී යක්ෂයින් දමනය කර ඇත. එම ස්ථානයේ සිටි අය අතර කැලණියේ මණිඅක්ඛික නාග රජුද සිටි බව සඳහන් කරන මහාවංශය, හෙතෙම බුදුරජුන්ගෙන් බණ අසා සරණ සීලයේ පිහිටි බවද සිහිකරයි. භාග්‍යවතුන්වහන්සේගේ දෙවන ලංකාගමනය සම්බුද්ධත්වයෙන් පස්වැනි වර්ෂයේදී සිදුවිය. චූලෝදර නාරජු සහ මහෝදර නාරජු අතර මිණිපළඟක් අරභයා එනම් සිහසුන පිළිබඳ හටගත් අරගලය සමථයට පත් කිරීම සඳහා උන්වහන්සේ දෙවන වරට නාගදීපයට වැඩම කරන ලදී.

මහෝදර නාරජුගේ සහෝදරිය වු තිරච්ඡිකා උතුරේ නාගදීපයේ කන්වඩමන් පව්වේ වාසය කළ නාරජුට සරණපාවා දෙන ලදී. ඇගේ පියා විසින් එහි දී මණිපල්ලංකය ඇයට දෙන ලදී. ඇයගේ ඇවෑමෙන් ඇගේ පුත් චූලෝදරට එය අයිති විය. නමුත් චූලෝදරගේ මාමා වු මහෝදර ඊට විරුද්ධ වු බැවින් දෙපක්ෂය අතර මහා සටනකට සූදානමක් ඇති විය. ශාස්තෘන්වහන්සේ ගැටුම වැළැක්වීමට එම ස්ථානයට වැඩිය සේක. එහිදී ද කැලණියේ මණිඅක්ඛික නාරජුට බුදුරජාණන්වහන්සේ හමුවිය. එහි දී සිය රාජධානිය වන කැලණියට වැඩම වන ලෙස බුදුරජාණන්වහන්සේට ආරාධනා කළේය. ආරාධනාව පිළිගත්තත් එය ඉක්මනින් සිදු නොවූ නිසා මණිඅක්ඛික නාරජු ඉන්දියාවේ ජේතවනාරාමයට ගොස් බුදුරජාණන්වහන්සේ මුණ ගැසී තම ආරාධනය නැවත සිහිපත් කරන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙසට බුද්ධත්වයෙන් අටවැනි වර්ෂයේදි වෙසක්පුන් පොහෝ දිනක පන්සීයයක් රහතන්වහන්සේ් පිරිවරා කැලණියට වැඩම කළහ. (මහාවංශය 1 පරිච්ඡේදය 65-68 ගාථා) මේ ගමන අනෙකුත් ගමන් අවස්ථා දෙකට වඩා වැදගත් වන්නේ උන්වහන්සේ පළමු වතාවට මේ ලංකා භූමිය ස්පර්ශ කිරීමයි. අනෙක් අවස්ථා දෙකේදීම උන්වහන්සේ ආකාශයේ වැඩසිටිමින් ප්‍රාතිහාර්ය පෑම් සහ අවවාද අනුශාසනා දීම සිදුකර ඇත. එහෙත් කැලණියට වැඩමවීමේ වැදගත්කම සනිටුහන් වන්නේ එහි දී උන්වහන්සේ කායිකව ලංකා භූමි ස්පර්ශය සිදුකිරීමයි. මෙම ගමනේදී කැලණි නදියෙන් ජලස්නානය ද කර ඇත. පූජාවලිය සඳහන් කරන අන්දමට ජලස්නානය කරන අවස්ථාවේදී උන්වහන්සේ කැලණි ගඟ අසබඩ ශ්‍රී පාද ලාංඡනයක් පිහිට වූ බවයි.” එම නාරජුහුගේ ආරාධනාවෙන් කැලණි ගඟටද ඕ හට පාද ලාංඡනයක් දී “(පූජාවලිය 33 වැනි පරිච්ඡේදය) ඉන් අනතුරුව වර්තමාන සෑය පිහිටි තැන වැඩ හිඳ මහරහතුන් සමඟ දන් වළඳා මණිඅක්ඛික නාරජුන් ඇතුළු පිරිසට දම් දෙසූහ. මේ සිද්ධිය ශිලා ලේ්ඛනවල මෙන්ම සාහිත්‍ය ග්‍රන්ථවල සඳහන් කර ඇත.

රජ මහ කැලණියේ විභීෂණ දේවාලයේ තිබී හමුවු ටැම් ලිපියක” කැලණි රද් මහවෙහෙරැ උදකස්දා නින්දු මඟුල් දාගැබ්බහි” යන සඳහනත්, කිත්සිරිමෙවන් කැලණියේ තිබී හමුවී ටැම් ලිපියක”, “කැලණි වෙහෙරැ උදකස්දා කොට” යන ප්‍රකාශයෙන් සඳහන් වන “උදකස්දා” යන වචනය බුදුරජාණන්වහන්සේ ජලස්නානය පිණිස පොරවන ලද ජල සාටක ධාතුව බව සෙනරත් පරණවිතාන ශූරිහු පවසති. (ලංකා ශිලා ලිපි සංග්‍රහය  IV වෙළුම I කොටසගපිටු 1-7 ) එම ජල සාටකය තැන්පත් කර ඉදිවූ දෙවන ස්තූපයක් කැලණියේ තිබු අතර කනිෂ්ඨතිස්ස රජු එම ස්තූපයට කළ පූජාවක් ගැන එම සෙල්ලිපියේ සඳහන් වේ. කෝට්ටේ යුගයේ රචිත සැළලිහිණි සන්දේශයේද බුදුරජුන්ගේ ජලසාටකය තැන්පත් කළ ස්තූපයක් ගැන සඳහන් කර ඇත. “තැන කළ සිවුරුදා ගබ වදු නොපා පිටි” මීට අමතරව එම භූමියේම බුදුරජාණන්වහන්සේ වැඩ සිටි රත්න වු මණ්ඩපයෙහි වු මණිපල්ලංකය තැන්පත් කර පළමු ස්තූපය ඉදිකර ඇත.

ක්‍රි.පූ. තුන සහ දෙක සියවස්වල කැලණියේ ස්වාධීන රාජ්‍යයක් පැවතුනි. බෝධිවංශය, දඹදෙණි අස්න ආදි ග්‍රන්ථවල කල්‍යාණි දේශ යන නමින් එය හඳුන්වා ඇත. මේ කාලයේ ප්‍රාදේශීය පාලකයකු ලෙසට උත්තිය කුමරා කටයුතු කළ අතර ඔහු මණිඅක්ඛික නාරජු විසින් ගොඩනැඟු කැලණි චෛත්‍යය නැවත පිළිසකර කර ඇත. විහාර මන්දිරයක් සහ සංඝාවාසයක්ද ඉදිකර ඇත. උත්තිය කුමරුගේ ඥාති පුත්‍රයෙකුවු යඨාලතිස්ස පසුව පස් මහල් ප්‍රාසාදයක් විහාරයට එක්කළ බව සඳහන් වේ. ඉන්පසු මෙහි පාලනය සිදුකර ඇත්තේ උත්තිය කුමරුගේ මුනුබුරෙකු වු කැලණිතිස්ස රජතුමාය. එතුමාගේ දියණිය විහාර මහාදේවිය රුහුණේ කාවන්තිස්ස රජුගේ මහේෂිකාව බවට පත්වීමෙන් අනතුරුව කැලණි පුරවරය රෝහණයට යටත්විය. දුටුගැමුණු රාජ්‍ය සමයේදී කැලණි විහාරයේ පන්සීයක් පමණ භික්ෂූන් වහන්සේ විසූ බව මහාවංශයේ 32 පරිච්ඡේසයේ සඳහන් වේ. මෙයින් ප්‍රකට වන කරුණ නම් මේ කාලයේදි කැලණි විහාරය ප්‍රධාන භික්ෂු මධ්‍යස්ථානයක් ලෙසට පැවති බවයි. ඉන්පසුව කනිෂ්ඨතිස්ස රජතුමා කැලණි විහාරයේ උපෝෂථාගාරයක් ඉදිකළ බව මහාවංශයේ 36 වන පරිච්ඡේදයක් සඳහන් කර ඇත . එසේම වෝහාරිකතිස්ස රජතුමා ඡත්‍රකර්ම කරවු බව එහිම සඳහන් කර ඇත.

මින් පසුව කැලණිය ගැන වංශකතාවේ සඳහන් වන්නේ අවුරුදු නවසීයකට පසුවය.අභ්‍යන්තරික සිවිල් යුද්ධයකදී වික්‍රමබාහු කුමාරයා විසින් මානාභරණ කුමාරයා ඇතුළු පිරිස කැලණියට පලවා හරින ලද බව 61 වන පරිච්ඡේදයේ සඳහන් කර ඇත. එසේම මහා පරාක්‍රමබාහු සමයේ කැලණියේ යුද හමුදාව පුහුණු කරන කඳවුරක් තිබූ බව සඳහන් කරන අතර මහා පරාක්‍රමබාහු නමැති පින්වත් කුමරා ලබා ගැනීම සඳහා දෙමාපියන් කැලණි විහාරයට පැමිණ පිහිට පැතූ බව සඳහන් වේ. කීර්ති නිශ්ශංකමල්ල රජු කැලණි විහාරය වැඳපුදා ගැනීමට නොයෙක් වර පැමිණි බවත් එහි නව කර්මාන්ත සඳහා වස්තු පරිත්‍යාග කළ බවත් ගල්පොත ලිපියේ සහ ප්රිති දානක මණ්ඩප ලිපියේ සඳහන් කර ඇත. ක්‍රි.ව. 1213 දී කාලිංග මාඝ කැලණි විහාරය විනාශ කළ අතර ඔහු පරදවා රජවන තුන්වන විජයබාහු රජතුමා කැලණි චෛත්‍යය නැවත සාදා ස්වර්ණමය වු කොතක්ද වාහල්කඩක්ද පිළිම ගෙවල් සහ පුවරු වළවලු ආදිය ප්‍රතිසංස්කරණය කළ බව මහාවංශයේ 81 වන පරිච්ඡේදයේ සඳහන් වේ. පූජවාලියට අනුව දෙවන පරාක්‍රමබාහු රජතුමා කැලණි විහාරයේ තිබූ පස්මහල් මහා පාය, තිවංක පිළිමගෙය, සලපතල මළුව පිළිසකර කර නිතිපතා පූජා පැවැත්වීමට කටයුතු සංවිධානය කළ බව සඳහන් වන අතර මහාවංශයේ 85 වන පරිච්ඡේදයේ මේ පිළිසකර කටයුතු. ගැන සඳහන් කර ඇත. මේ කාලයේදී විල්ගම්මුල සංඝරාජ මාහිමියන් විසින් පිහිටු වන ලද සෙල්ලිපියක කිත්සිරිමෙවන් කැලණි විහාරය ගැන සඳහන් කරයි. දසවෙනි අළඟක්කෝනාර ඇමතිවරයා විසින් එම විහාරයේ කළ ප්‍රතිසංස්කරණ කටයුතු ගැන එහි සඳහන් වේ. මින් අදහස් වන්නේ රජ මහ කැලණිය සහ කිත්සිරිමෙවන් කැලණිය යන උභය විහාරයම රාජ්‍යාමතා්‍යාදීන්ගේ සැලකිල්ලට සහ වන්දනාවට පාත්‍ර වු සිද්ධස්ථාන දෙකක් ලෙසට පැවති බවයි. මෙහි කියන කිත්සිරිමෙවන් රජු නම් මහාපරාක්‍රමබාහු රජුගේ පියා වූ මානාභරණ රජුගේ සොහොයුරු වන සතර කෝරළයේ පේරාදෙණි නුවර රජ කළ කිත්සිරිමෙවන් කුමරා බව සමහරක් ඉතිහාසඥයින් දක්වන අතර තවත් සමහරක් මේ විහාරය සිරිමේඝවර්ෂ රජු විසින් (ක්‍රි.ව. 301-328) කරවන ලද බවත් පසුව දොළොස්වන සියවසේදී මුලින් සඳහන් කළ කිත්සිමෙවන් කුමරු විසින් පිළිසකර කරන්නට ඇති බව තවත් මතයක් ලෙසට දක්වා ඇත. කෙසේ නමුත් මේ කාලය වන විට කැලණි විහාරයේ ගතාරා නම් මහා පිරිවෙන් පැවති බවත් අනාගත වංශය, බෝධිවංශය යන ප්‍රකට ග්‍රන්ථ කීපයක් රචනා කළ ශ්‍රී පරාක්‍රමබාහු විල්ගම්මුල සංඝරාජ මහා ස්වාමීන් වහන්සේ මෙහි පරිවේණාධිපති ලෙසට කටයුතු කළ බව සඳහන් වේ.

කෝට්ටේ යුගය වන විට කැලණි විහාරය සහිත කැලණි පුරවරය ඉතා දියුණු සිත්ගන්නා උසස් තත්වයකට පත්ව තිබු බව සාහිත්‍ය සන්දේශ පෙන්වාදෙති. මහාවිහාර පරම්පරාවේ ථෙරවාදී භික්ෂූන් වහන්සේලාගේ මූලස්ථානය වශයෙන් පුද පූජා ලබන ලද්දේ කැලණි විහාරස්ථානයයි. ලෝකය පුරාම කැලණි විහාරයේ වටිනාකම පැතිරීගොස් තිබුණි. හයවන බුවනෙකබාහු රාජ්‍ය සමයේ (1470) බුරුමයේ හංසවතී නුවර ධම්මසෝදි රජු එම රටේ නැතිවී ගිය උපසම්පදාව නැවත ස්ථාපිත කිරීමේ අදහසින් චිතුදුත සහ රාමුදුත යන ඇමතිවරුන් දෙදෙනා සමඟ බුරුම සාමණේර පිරිසක් ක්‍රි.ව. 1475 දී කැලණියට එවන ලදී. දෙවන වීදාගම මහා ස්වාමින් වහන්සේ ප්‍රධාන සංඝයාවහන්සේ විසින් කැලණි වෙහෙර අබියස කැලණි ගඟ බැඳි සීමාවකදී බුරුම භික්ෂූන් හතළිස් හතර නමක් උපසම්පදාවේ පිහිටු බව සඳහන් වේ. කල්‍යාණි ශිලා ලේඛනයට අනුව නව වන පරාක්‍රමබාහු රජු කැලණි විහාරයේ විහාරාංග පිළිසකර කර වත්තල මාබොල, ගල්වලුතොට ,ගොන්ගිතොට ආදි ප්‍රදේශ විහාර නඩත්තුව සඳහා පූජා කර ඇත. පෘතුගීසි සමය කැලණි විහාරයට දුර්භාගය උදා කළ සමයක් ලෙසට හඳුන්වාදිය හැකිය. 1557 ධර්මපාල කුමරු දොන් ජුවන් ධර්මපාල ලෙසට අන්‍ය භක්තිකයකු වීමෙන් අනතුරුව 1555 දී විහාර භූමිය ප්‍රැන්සිස්කන් පූජක සභාවට පවරා දෙන ලද අතර 1557 දි දියෝගෝද මෙලෝ කැලණි විහාරය බිඳ හෙළා ගිනිබත් කර විහාරය සතු භූමිය වෙනත් ආගමිකයින්ට පවරා භූමිය තුළ බුදුදහම ඇදහීම ද තහනම් කරන ලදී.  (The Ceylon Antiquary and Register,vol.1 part1.1.1 January 1916) ලන්දේසි යුගයේ මුල්භාගයේදී මේ තත්වය එලෙසම පැවතිනි. 1692 දී ලන්දේසීන් කැලණි විහාරයේ ආගමික කටයුතු කිරීම නැවත තහනම් කරන ලදී. නමුත් ගණන් නොගෙන දිගින් දිගට භික්ෂූන් වහන්සේද කැලණි විහාරයට පැමිණ,ආගමික කටයුතු සිදුකර ඇත. මේ ප්‍රශ්නයට සිංහල රජු කීර්ති විහාරයට පැමිණ,ආගමික කටයුතු සිදුකර ඇත. සිංහල රජු කීර්ති ශ්‍රී රාජසිංහ රජු සතුටු කිරීමට ලන්දේසි ආණ්ඩුකාරයා කැලණි චෛත්‍යය ප්‍රතිසංස්කරණය කිරීමට අවසර දෙන ලදී. ඉන්පසුව දෙහිගස්පේ අත්ථදස්සි තෙරුන්වහන්සේගේ මූලිකත්වයෙන් විහාර කර්මාන්ත සහ කැලණි සඟ පරපුර ආරම්භ විය. ශිෂ්‍ය පරම්පරාවේ ආරම්භකයා පූජ්‍ය මාපිටිගම බුද්ධරක්ඛිත නාහිමියන්ය. ඉන් අනතුරුව පූජ්‍ය මාපිටිගම ධම්මරක්ඛිත, මාපිටිගම සංඝරක්ඛිත නාහිමිවරු පත්වු අතර එම නාම සහිතව විහාර පැවිදි ශිෂ්‍ය පරපුර අද දක්වා පවත්වාගෙන එනු ලබයි. මේ කාලයේදී විහාර මන්දිරය, විභීෂණ දේවාලය ධර්මශාලාව, පොහොයගෙය, මකර තොරණ සහ පන්සල් ගෙය ඉදිවු බව සඳහන් වේ. 1927 ජනවාරි 23 වන දින හෙලෙනා විජයවර්ධන මැතිනිය විසින් සිය ධන පරිත්‍යාගයෙන් නව විහාර මන්දිරයේ ඉදිකිරීම් ආරම්භ කරන ලද අතර 1946 දෙසැම්බර් 28 වන දින එය නිමාකොට විවෘත කරන ලදී. සොලියස් මෙන්දිස් නමැති ප්‍රතිභා පූර්ණ චිත්‍ර ශිල්පියා විසින් මෙහි චිත්‍ර කර්මාන්ත සිදුකර ඇත. අද වන විට තුන් වාහල්කඩ, සංඝාවාස ද, දානශාලා, අතිරේකශාලා, ශෛලමය පියගැටපෙළ සහ ධාතු මන්දිර ඉදිවෙමින් පවතින අතර විහාරයට නව අලෝකයක් ඉන් ලැබී ඇත. බුදුරජාණන්වහන්සේගේ තුන් වන ලංකාගමනයෙන් පාරිශුද්ධ වූ කැලණි පුදබිම කවදත් මිනිස් මනස උපශාන්තියට පත් කරවන අතර අකුසල බලවේග තුනී කර කුසල ශක්තිය වර්ධනය කරන පුදබිමක් ලෙසට ජන හදවත් තුළ කාලාන්තරයක් පැවති බව කැලණි හෑල්ල සනාථ කරයි.


 

  වෙසක් පුර පසළොස්වක පෝය

  වෙසක් පුර පසළොස්වක පෝය මැයි 21 වන දා සෙනසුරාදා පූර්ව භාග 12.42 ට ලබයි. 22 වන දා ඉරිදා පූර්වභාග 02.44 දක්වා පෝය පැවැත්වේ. සිල් සමාදන්වීම මැයි මස 21 වනදා සෙනසුරාදාය. 

මීළඟ පෝය මැයි 29 වනදා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 21

Second Quarterඅව අටවක

මැයි 29

Full Moonඅමාවක

ජුනි 04

First Quarterපුර අටවක

ජුනි 12


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]