UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අසිරිමත් නෙල්ලිකුලම පංචසතික ශ්‍රාවක චාරිකාරාමය

අසිරිමත් නෙල්ලිකුලම පංචසතික ශ්‍රාවක චාරිකාරාමය


අලුත්ගම බෝගමුවේ සද්ධාරංසි නා හිමි

අප ගෞතම බුදුරජාණන් වහන්සේ පන්සියයක් මහ රහතන් වහන්සේ සමගින් සදහම් චාරිකාවේ නිරතවන අයුරු. මූර්තිමත් කොට,අක්කර දහයක් පමණවූ විශාල භුමිභාගයක තනවන ලද දෙස් විදෙස් සුපතල දර්ශනීය විහාරස්ථානයක් වන අනුරාධපුර නෙල්ලිකුලම සිරිසම්බුද්ධ පංචසතික ශ්‍රාවක චාරිකාරාමයේ ඉදිකිරීම් කටයුතු සියල්ල දැන් නිමාවට පත්ව ඇත.

මෙම පුදබිම මෙවර පොසොන් සමයේ අනුරාධපුරයට දසදෙසින් පැමිණෙන බැතිමතුන්ට සිත්සේ දැකබලා වැඳ පුදා ගැනීමට අවශ්‍ය සියලු පහසුකම් සපයා තිබේ. වන්දනාකරුවන් පැමිණෙන රථ නොමිලයේ ගාල්කිරීමට හැකි අයුරින් රථගාල්, ජල හා සෞඛ්‍ය පහසුකම් ආදී සියලු දෑ සපයා ඇතැයි මෙහි නිර්මාතෘ නෙල්ලි කුලමසිරි සම්බුද්ධ පංචසතික ශ්‍රාවක චාරිකාරාමාධිපති කල්‍යාණි ධර්ම මහා සංඝ සභාවේ උතුරුමැද පළාතේ ප්‍රධාන සංඝනායක, රජරට පාර්ශ්වයේ උපාධ්‍යාය, අලුත්ගම බෝගමුවේ සද්ධාරංසි නාහිමියෝ පැවසූහ.

පොසොන් පොහෝ දිනවල ප්‍රතිමා වහන්සේලා ඉදිකර ඇති පෙත්මග සම්පූර්ණයෙන්ම නෙළුම්මල් අතුරා සුවඳපැන් ඉසීම සිදුකෙරේ.

එම පුදබිම සඳහා අක්කර දහයක පමණ වූ භූමි භාගයක් වෙන් කර ගන්නා විට මුළු ප්‍රදේශයම වනයෙන් ගහණව පැවැතුණි. 2004 ජූලි මස 06 වන දින චාරිකාරාමයේදී ඉදි කිරීම් කටයුතු ආරම්භ කෙරිණි. කැළය එළිපෙහෙළී වී, බුදු සසුනට පූජා වී 2005 මාර්තු මස 28 වන දින චාරිකාරාමයේ අභිනවයෙන් ඉදි කෙරෙන විහාරය සඳහා මුල් ගල තැබිණි. එහි ඉදි කළ දෙමහල් සංඝාවාසය විවෘත කරනු ලැබුවේ 2004 නොවැම්බර් 06 වන දිනය.


සිරිසම්බුද්ධ පංචසතික ශ්‍රාවක චාරිකාරාමයේ ප්‍රතිමා නෙළීම් කටයුතු නිමාවී ඇති අයුරු.

සද්ධාරංසි නාහිමියන් විසින් ගොඩ නැඟූ චිත්තරූපයකට අනුව යමින් බුදුරජාණන් වහන්සේ ඇතුළු පන්සියයක් මහරහතන් වහන්සේලා ගම් නියම්ගම් වල වැඩම කරවමින් අනුරාධපුරයට වැඩම කරවන ආකාරය නිරූපණය කරවන ප්‍රතිමා වහන්සේ පන්සියයේම සියලු ඉදිකිරීම් කටයුතු දැන් නිමාවට පත්ව තිබේ. ඒ හැම ප්‍රතිමාවකම විශේෂත්වය වන්නේ ජීවමාන මිනිස් ප්‍රමාණයෙන් ඉදිවීමයි. ප්‍රතිමාවල මුහුණුූවලද චරිතාංග විවිධත්වය ඇතිවන පරිද්දෙන් වෙනස් කර තිබීම තවත් විශේෂත්වයකි. ඈතින් සිට බලන්නෙකුට පෙනී යන්නේ ජීවමාන බුදුපියාණන් වහන්සේ මහා රහතන් වහන්සේලා පන්සිය නමක් සමඟ මහ වනය මැදින් ගමන් අරඹා ඇති බවයි. මෙබඳු හැඟීම් ඇති කර ගත්තෝ සිය වාහන නවතා විස්මිත දෑසින් ප්‍රතිමා නරඹන අයුරු දැන් දැක ගැනීමට හැකි වී තිබේ.

සද්ධාරංසි නාහිමියන්ගේ මෙම විහාර කර්මාන්තයේ ඊළඟ පියවර වූයේ පුදබිම තුළම මහගල් පර්වතයකින් බැස වඩින්නා වූ භික්ෂුන් වහන්සේලාගේ ප්‍රතිමා නිර්මාණය කිරීමය. මෙය බුදුරජාණන් වහන්සේ සමනොළ කන්දේ සිරිපා සටහන තැබූ අවස්ථාව සිහිපත් කරවන්නකි. එම මහ කර්තව්‍යයද දැන් නිමාවට පත් කර තිබේ. එහි පිටතින් පෙනෙන්නේ මහ කළු ගල් පර්වතයක් සේ වුවද ඇතුළත විවිධ කතා වස්තු පිළිබිඹු කෙරෙන ලෙන් විහාරද ඉදිකර ඇත. එහි බුදු සිරිතේ එන කථාද මූර්තිමත් කර තිබේ.

මෙහි ධර්මායතනය ආරම්භ කරනු ලැබුවේ 2006 සැප්තැම්බර් මස 12 වැනි දින දීය. වන්දනාවේ එන සැදැහැවතුන්ගේ ප්‍රයෝජනය සඳහා ඉදිකළ ළිං ජලයෙන් පිරී පවතී.

පිරිවෙන් ශාලාව, ධර්ම ශාලාව, දාන ශාලාව, ශිෂ්‍ය නිවාස මෙන්ම දානය පිරිනැමීම සඳහා පැමිණෙන සැදැහැවතුන්ට නේවාසික පහසුකම් සැලසෙන පරිදි දෙමහල් ශාලාවක්ද මෙහි ඉදි කිරීමට නායක හාමුදුරුවන් වහන්සේ කළ කැප කිරීම, අප්‍රතිහත ධෛර්ය හා චිත්ත බලය මහත් වූ ප්‍රතිඵල ලබා දෙන්නට සමත් වී තිබේ. මේ සියලු ඉදිකිරීම් අංග සම්පූර්ණ ලෙස නිමකර පිරිවෙන ආරම්භ කිරීමටද ගත වූයේ මාසයක් වැනි කෙටි කාලයකි. 2006 අගෝස්තු මාසයේ ආරම්භ කළ ව්‍යාපෘතියේ වැඩ 2006 සැප්තැම්බර් මාසයේදී නිම කර එම මාසයේම 12 වැනි දින පිරිවෙනේ කටයුතු ආරම්භ කරනු ලැබීය.


මහා සංඝ ගත දක්ෂිණාව සඳහා මහා සඟරුවන වැඩම කළ අයුරු.


පුදබිමේ ඉදිකිරීම් කටයුතු නිමකිරීම නිමිති කොටගෙන 500 ක් මහා සංඝරත්නය උදෙසා සපිරිකර සංඝගත දක්ෂිණාවක් පිරිනැමීම පසුගියදා සිදුවිය. මෙහිදී සද්ධා රංසි නා හිමියන් සියලුම සංඝයා වහන්සේලාට මූල්‍යමය ආධාර ප්‍රදානය කළ අයුරු.

එම සියලු ඉදි කිරීම් කර ඇත්තේ අක්කර 10 ක් පමණ වූ මේ පුදබිම තුළය. දැන් මෙම පුදබිම ඉතා අලංකාර ලෙස ඈතට දිස්වේ. අනුරාධපුරයට පැමිණෙන දෙස් විදෙස් සැදැහැවතුන් හා සංචාරකයන් මෙම පුදබිමට පා තබා යාමට අමතක කරන්නේ නැත. පසළොස්වක පොහොය දිනවල අතුරු සිදුරු නැතිව බැතිමතුන්ගේ පිරී පවතී. පුදබිමේ සියලු කටයුතු නිම කිරීම නිමිති කොටගෙන පසුගියදා පන්සියයක් මහා සංඝරත්නය වැඩම කොට අසදෘශ මහා සාංඝීක දානයක් පිරිනමන ලදී.

'මෙතරම් විශාල විහාර කර්මාන්තයක් ඉතා කෙටි කලකින් නිම කිරීමට ලැබීම මහත් භාග්‍යයක් කොට මා සලකමි. මේ සඳහා විහාරස්ථ දායක සභාව හා දිවයිනේ දස දෙස වාසය කරන දායකකාරකාදීන් දක්වන ලද සහාය මා ඉතා අගයට කොට සලකමි. මෙම පුදබිම ඉදි කිරීමට රාජ්‍ය අනුග්‍රහයක් නොමැතිව දායකකාරකාදීන්ගේ මැදිහත් වීම තුළින්ම අවසන් කර ගැනීමට ලැබීමද වාසනාවක් කොට මම සලකමි” . යැයි අලුත්ගම බෝගමුවේ සද්ධාරංසි නාහිමියෝ පැවසූහ.

 

 

 

 

 

  
  පොසොන් මස පුර පසළොස්වක පෝය

පොසොන් මස පුර පසළොස්වක පෝය ජුනි මස 01 වැනිදා සඳුදා අපරභාග 10.04 ට ලබයි. 02 වැනිදා අඟහරුවාදා අපරභාග 9.49 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි මස 02 වැනිදා අඟහරුවාදාය.

මීළඟ පෝය
ජුනි මස 09 වැනිදා අඟහරුවාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජුනි 02

Second Quarterඅව අටවක

ජූනි 09

Full Moonඅමාවක

ජූනි 16

First Quarterපුර අටවක

ජූනි 24


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]