UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුද්ධංගල වන සෙනසුන

 බුද්ධංගල වන සෙනසුන

එදා මේ ගල්තලාව කසාවතින් බැබළෙද්දී සැදැහැවතුන්ගේ සාධු නාදයෙන් ගුවන් ගැබ සිසාරා ගියේ ඓතිහාසික උරුමයන්ගෙන් ගහන නමින් බුද්ධංගල තපෝවනයෙහි මහිමය ලොවට හඬ ගා කියන්නාක් මෙන්ය. ඒ මෙයින් ශත වර්ෂ 20 කට පෙර අහිංසක සතා සිවුපාවුන්ට අභය භූමියක්ව, තුරු ලතාවන්ගෙන් ගහන වූ සිත්කලු බිම් පෙදෙසක්ව, නිර්වාණගාමී මඟට පිළිපන් සුසිල්වත් මහණුන්ගේ මන දොළ පිනවන බිමක් වශයෙනි. එය එසේ විය නොහැකි යැයි මෙම පුදබිම් දුටු කිසිවකු නොසිතනු ඇත. විතරාගීන්ගේ සිත් අලවන බිම් පියස කෙලෙස් හරිත වූවන්ගේ හද නොබැඳගන්නා බව බුද්ධ වචනයෙන්ද ප්‍රකාශිතය.

රත්තරන් පාටට රූරා වැටුණු නෑඹුල් අරුණලු ඈතින් ඈතට විහිදුනු වන අරණ අතරින් නැගී සිටි තුමුල ගිරි හිස් නහවමින් සිටි පර්වත පන්තියක් සේ දිස්වන මේ ගිරිකුලු තද බෑවුම් සහිත කපොලුවලින් වෙන්ව තිබේ. එසේ හෙයින් වැසි කාලයේ ගල් මතින් ඇදහැලෙන දිය ධාරාවන් රිදී දිය ඇලි සේ කඩා හැලීම වූ කලී දුන්හිඳ සිහියට නැගෙනු ඇත. මෙම වන අරණෙහි ඒ සතා සිවුපාවුන්ගෙන් කිසිවකුට හිරිහැරයක් නොවීම ඉමහත් අසිරියකි බුදුගුණ බලයකි. වැසි සමයේ මෙන් වියළි සමයේද සුවදායක සිසිලසකින් යුත් මෙහි ඕනෑම විඩාපත් වුවෙකුට ගතට සිතට ලබා දෙන සැනසිල්ල බුදුගුණයෙන් මුසුවී තිබීම ඉමහත් අසිරියකි. එහි එක් ගිරි හිසෙක සුදෝ සුදු පැහැයෙන් බබලන බුද්ධ ප්‍රමුඛ අගසව් දා නිදහිත චේතියකි. ඊට මදක් ඔබ්බෙන් ගල් පව්ව මත හුදකලාව වැඩහිඳින ශ්‍රී මහා බෝ රදුන් දිස් වේ. මනා කොට සැකසුණු බැම්මකින් යුත් මළුවක් ඊට රැකවරණය සපයයි. යෝධ ගල් කුළු අතරින් උතුරට විහිදී යන මිටි ගල්තලා රැස මත පෞරාණික ඉදිකිරීම් රැසක නටබුන් ගොන්න අසිරිමත් අතීතයක සොඳුරු යටගියාව කියා පාන්නක් මෙන් නිහඬව සිටී.

එහි වූ උස්ම ගිරි ශිඛරයට තරණය කර වූවෙකුට නෙත් මානයේ මැවෙමින් තිබෙන්නේ නෙත් සිත් පිනවාලන අපූරු දර්ශනයකි. මීට වර්ෂ 50 කට පෙර මායා රංජන නම්වූ සහෘද ලේඛකයා දුටු දිගාමඩුලු අසිරියෙන් අංශු මාත්‍රයක්වත් ඉතිරිව ඇත්තේ නම් මෙම වන අරණෙහි බව එහි ගිය විට සිතනු නිසැකය. පසුබිමින් හරිත තුරුපත් අතරින් මුළු ගල්ඔය මිටියාවත එකට කැටි වී ඇත.

මේ එයින් උතුරු දෙසට වන්නට ගල්ඔය ව්‍යාපාරයෙන් ජනාවාස වූ ජනපද ඉන් ඔබ්බෙහි රාස්සහෙළ කඳුවැටිය දක්වා විහිදී යයි. හෙළයේ අසිරිමත් හැදියාවට මුල පිරූ අනුබුදු මිහිඳු මාහිමිපාණන් වහන්සේගේ ධාතු නිදන් කොට ඉදිකළ අතීත ගිරිකුම්බිල වෙහෙර සහිත රජගල ද, පියංගල, සමංගල වැනි වන අරණයන් වේ. දකුණු දෙසින් දීඝවාපී සෑ රදුන් වහන්සේ වැඩ වසති.

බටහිරින් ඉඟිනියාගල වඩිනාකල හා ගෝවින්ද පබ්බතය පෙනේ. අතීතයේ පොළොන්නරුවේ සිටි ආක්‍රමණික කාලිංඝ මාඝට රුහුණු රාජ්‍යයට ඇතුල් වීමට නොදෙන ආරක්ෂක බලකොටුව වූයේ එයයි.

මෙසේ අනිමිසලෝචන පූජාවෙන් දිගාමඩුලු අසිරියෙහි යුග කීපයක් දැකුමට යායුතු එකම ස්ථානය නමින් බුද්ධංගල ආරණ්‍ය සේනාසනයයි. ලංකා සිතියමේ පෙරදිග රට අම්පාර නම් දිසාවෙහි (දිගාමඩුලු දිස්ත්‍රික්කයේ) වැව්ගම්පත්තුව උතුරු ප්‍රාදේශීය ආදායම් කෙට්ඨාසයෙහි අම්පාර වසමේ අක්කර දහස් ගණනක් පුරා වනරජ දහනකින් ගිරිශිඛරයන් සහිත යෝගාවචරයින්ගේ ක්ෂේම භූමියක් වූවකි. එහි ළඟා විය හැක්කේ අම්පාර පොදු සුසාන භූමිය මැදින් දිවෙන කෙටි කාපට් පාරකිනි.

මෙවන් පුණ්‍යභූමියක් කරා දිවෙන කාගේ වුවද ගත සිත බුද්ධාලම්භන පී‍්‍රතියෙන් නැහැවෙනු නිසැකය. ඒ එහි ඇති පෞරාණිකත්වය හා පූජනීයත්වය නිසාවෙනි.

ගල්ඔය ව්‍යාපාරය යටතේ ඓතිහාසික දිගාමඩුල්ල අම්පාර දිස්ත්‍රික්කය වශයෙන් එළි පෙහෙළිවත්ම වනවැදී සැගවී සිටි බුද්ධංගල වන සෙනසුන එකෙළි කළ බුදුගුණ රැස් පැතිර දන හදට සමීපකරන පහන් ටැඹක් බවට පත්කරනු ලැබුවේ කළුතර ධම්මානන්ද මාහිමිපාණන් වහන්සේ හා බටයායේ අරියවංශ හිමිපාණන් වහන්සේ ය.

වර්තමාන සේනාධිපතින් වහන්සේද බොදුනුවන්ගේ බැතිබර හදවත් ප්‍රබෝධ කර ධර්ම මාර්ගයට අනුගත කරවීම පිණිස ධාතු ගර්භය අසළ දර්ශනීය ධාතු මණ්ඩපයක් කරවා ඒ මතට ධාතු ගර්භයෙන් ධාතු කරඬුව වැඩමවා ප්‍රදර්ශනය කරවීම දිගාමඩුල්ලට පමණක් නොව මුළු දෙරණටම බුදු ගුණ රැස් දහරින් නැහැවීමට හේතුවනු නියතය. මෙවරද ජූනි මස 1, 2, 3, 4 යන සිව්දින තුළ සුපුරුදු පරිදි වූ දැකීමට දුෂ්කර වූ බුද්ධ ප්‍රමුඛ අග්‍රශ්‍රාවක ධාතුන් වහන්සේලා ප්‍රදර්ශනය කිරීමට ද එයට සමගාමීව ශීල භාවනා, ධර්ම දේශනා, දන්සැල්, පරිත්‍රාණ ධර්ම දේශනා ද පැවැත්වෙයි. මේ තුළින් ජනාධිපතිතුමා ප්‍රධාන රජයට, ත්‍රිවිධ හමුදාවට, පොලීසියට, සිවිල් බලකායට, රට වැසියන්ට සැනසිල්ල, සෞභාග්‍ය පැතීමත් ලෝ සසුන් සුරකින දෙවියන්ට මියගිය දායක කාරකාදීන්ට පුණ්‍යානුමෝදනා කිරීම කරනු ලැබේ.

 

 

  
  පොසොන් මස පුර පසළොස්වක පෝය

පොසොන් මස පුර පසළොස්වක පෝය ජුනි මස 01 වැනිදා සඳුදා අපරභාග 10.04 ට ලබයි. 02 වැනිදා අඟහරුවාදා අපරභාග 9.49 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි මස 02 වැනිදා අඟහරුවාදාය.

මීළඟ පෝය
ජුනි මස 09 වැනිදා අඟහරුවාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජුනි 02

Second Quarterඅව අටවක

ජූනි 09

Full Moonඅමාවක

ජූනි 16

First Quarterපුර අටවක

ජූනි 24


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]