UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දාස්වත්තේ සුමනසීල මා හිමි

දාස්වත්තේ සුමනසීල මා හිමි

සුවඳ ඇති, නැති පුෂ්පයෝ සසර ගමනේදී සැමට හමුවේ. එහෙත් සොබාදහමේ ගැහැට විඳිමින් සැම සනසන්නට සමත්වන්නේ වර්ණයෙන් ගන්ධයෙන් යුත් ස්වල්පයක් පුෂ්පයෝම වෙති. “චරථ භික්ඛවෙ, චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය ලොකානු කම්පාය අත්තාය හිතාය සුඛාය දෙවමනුස්සානං” මහණෙනි බොහෝ මිනිසුනට, දෙවියනට සැප පිණිස, ලොවට අනුකම්පා පිණිස චාරිකාවෙහි යෙදෙව්.(මහාවග්ග) මෙම බුදු ඔවදනට අනුව ධර්මයෙන්, අර්ථයෙන්, ලෝකයා සැනසූ කම්මට්ඨානාචාර්ය දාස්වත්තේ සුමනසීල මාහිමිපාණෝ දැහැමි ගති අගය කළ ලෝකයාගෙන් සමුගෙන අදට දින සියයකි. සියලු සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය ස්වභාවය අපට සිහිගන්වති.

එදා 1956 වසරේ නොවැම්බරයේ හද්දා පිටිසර මාවනැල්ල අරඹගෙදර, දාස්වත්තේ ඒ.ආර්. පුංචිමාතා සහ එම්.ආර්.උක්කුබණ්ඩා යන පින්වත් මව්පියන්ට දාව ගාමිණි බණ්ඩාර නමින් මෙලොව එළිය දුටුවේ තවත් පින්වත් කුල කුමරුවෙකි. මයුරපාද මධ්‍ය මහා විදුහලෙන් උසස් පෙළ හදාරා ධර්ම ගවේෂනයක යෙදුනු හෙතෙම, කෑගල්ල මැල්ලගල, අපවත්වී වදාළ මිනුවන්ගමුවේ නාගිතාභිධාන මාහිමිපාණන්ගේ සහ කෙහෙල්පන්නල සුමන හිමියන්ගේ ගුරු ඇසුර ලබමින් 1982/9/4 දින උතුම් ප්‍රවෘජ්ජා භූමියට සැපත්වූහ.

පැවිදි දිවියේ හරවත් බවින් ඔකඳ වූ උන්වහන්සේ කොස්ගොඩ මෝදර උදකුක්ඛේප සීමාමාලකේයදීද උපසම්පදාව 1984/6/18 දින ලැබගන්නට සමත්වූහ. අනතුරුව මාතර රුහුණ යෝගාශ්‍රමය, ගල්දුවේ ගුණවර්ධන යෝගාශ්‍රමය ඔස්සේ ගුණවඩා හොරණ ප්‍රදේශයේ දික්හේන, පොල්ගස්ඕවිට, විපස්සනා, භාවනායතනයට වැඩම කරන්නටත් සැමට භාවනා පුහුණුව ලබා දීමටත් ආරාධනා ලැබූහ. දෛනික අලුයම 3.30 සිට රත්‍රි 10.30 දක්වා තම පැවිදි දිවිය උක්ත කරුණ සදහාම වැය කළ උන්වහන්සේ දික්හේන පොල්ගස්ඕවිට භාවනායතනයේ ප්‍රධාන භාවනා (උපදේශක) කම්මට්ඨානාචාර්යයන් වහන්සේ ලෙස කටයුතු කළෝය. ඈත ගම්දනව් ඔස්සේ දිවයින පුරා සංචාරය කරමින් මහඟු වූ සාසනික සේවාවක් සිදු කළෝය. ඉන්දියාව, තායිලන්තය, මියන්මාරය ආදි බෞද්ධ රටවල ආරණ්‍යයන් හිදී අධ්‍යාත්මික අත්දැකීම් ලැබගත්හ.ශී‍්‍ර ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක මහ කම්මට්ඨානචාර්ය ත්‍රිපිටකාචාර්ය, නා උයන ආරණ්‍ය සේනාසනය ඇතුළු ශ්‍රී කල්‍යාණ යෝගාශ්‍රම සංස්ථාවේ සභාපති අරිය ධම්මාභිධාන නායක ස්වාමින් වහන්සේගේ උපදෙස් ලබමින් උන්වහන්සේ තපෝ ගුණැති පැවිදි දිවියක් ගත කළෝය.

බොහෝ ගිහි පැවිදි උතුමන් උන්වහන්සේ දෙසු ගැඹුරු ධර්ම ශ්‍රවණය කළේ අපිරිමිත දයාවෙනි. උන්වහන්සේගේ නිර්ව්‍යාජත්වය අගය කළවුන් බොහෝය. එනිසා උන්වහන්සේට මල්සේම, ගල්ද එල්ල වූයේ පෙර සසර කර ඇති පින්පව් අනුව බව මනා ලෙස වටහාගෙන තිබිණ. ගැහැට විඳිමින් ඒවා පාලනය කරගැනීමට පමණක්ම අවම උපක්‍රම යොදා උන්වහන්සේ ඒ දෙස බලාසිටීම පමණක් පුරුද්දක් කර ගත්හ. එය වැඩු සතර බ්‍රහ්ම විහරණයන්ගේ ඵලය මිස අන්යමක් නොවේ. එහෙත් තෘෂ්ණාවෙන් අමන්දානන්දයට පත්ව සිටි ලොකු කුඩා සමහරෙකුට මේ තත්වය සමච්චලයක් වූවා නිසැකය.

මෙසේ තිබියදී උන්වහන්සේ ශෛලමය පර්වතයක්සේ නොසැලෙමින් රට පුරා බොහෝ පින්කම්වල නියැලෙමින්, භාවනා වැඩසටහන් පවත්වමින් සැබෑ භික්ෂුවකගේ කාර්යභාරය මනා ලෙස,ආදර්ශමත්ව ඉටුකරමින් සිටියහ.

තම සමස්ත ජීවිතය සම්බුද්ධ ශාසනය වෙනුවෙන්ම කැප කළෝය.ජීවිතයේ අමිහිරිම වේදනාව විඳින්නට සිදුවූ එදින උදෑසන කරුණෑගල නාථගනය ආරණ්‍ය සේනාසනයෙන් උන්වහන්සේ බැහැරට වැඩම කළේද තවත් සඟ පිරිස සමඟ සොබාදහම මවා පෑ විවිධ බාධා ඔස්සේමය. ඒ අන්‍යයන් උදෙසා පුණ්‍ය කර්මයකට සහභාගි වන්නටය. මරුවා තුට්ටුවකටවත් මායිම් නොකරණ උන්වහන්සේ ගමන් කළ රිය බරපතළ අනතුරකින් තම අහිංසක ජීවිතය එදිනම වන සතැයි කිසිදා නොසිතන්නට ඇත. උන්වහන්සේ දින කිහිපයක්ම සිහිසුන්ව දැඩි සත්කාර ලබමින් නුවර මහ රෝහලේ ගත කළේය. අඳුරු වලාවන් අහස් ගැබ වසාගෙන, දැහැමි ගිහි පැවිදි උතුම් පිරිසකගේ සිත් සතන් දුක්ඛ දෝමනස්සයන්ගෙන් වෙලි යද්දී, මාරයා තම සුපුරුදු කාර්යය ඉටුකරන්නට සමත්වූහ.

නැවත කිසි දිනක අප හමු නොවන ලෙස 2015 මැදින් මස අවසන් සඳු දිනේ අලුයම, සීලවන්ත, තපෝගුණැති ඒ මාහිමිපාණෝ රඳවා ගෙන සිටි හුස්ම රැල්ල වා තලයටම එකතු කළහ. දැහැමි ගුණයෙන් පෝෂිතව අන් සැපත පිණිසම තම දිවිය කැප කළ දාස්වත්තේ සුමනශීල ස්වාමින්වහන්සේට නොමවේවා මෙවන් අකල් මරණයක් සසර වසනා තුරු නිවන් දකිනා තුරා බුදු ඔවදනට අනුව අප පුණ්‍ය භුමියේ 2015/05/31 දින සිදුකරණ ලබන කල්‍යාණමිත්‍ර ඥාති ධර්මයක් වන සාංඝික මහා දානමය පුණ්‍ය කර්මයෙන් ජනිත වන පින් ඔබ වහන්සේට අනුමෝදන් කරමු අනුමෝදන් වේවා!

ශාසන ප්‍රවෘජාවට ප්‍රවිෂ්ට වන්නට අපට අතහිත දුන් උන්වහන්සේ වෙනුවෙන් කළ හැකි යමක් කරන්නට අපට සහය දුන් නුවර මහ රෝහලේ ප්‍රධාන ශල්‍ය වෛද්‍ය තුමාට, ප්‍රධාන හෙද නිලධාරි මහතා ඇතුළු ගිලාන උපස්ථානයේ යෙදුනු හෙදකාර්ය මණ්ඩලයටද,ගම්පොළ පින්වත් සමන් මහතාටද පතමු සඟ මොක් සුව සසර ළග දිනකදි කළ කුසල් බලයෙන් නොවී කිසි පමාවක්.

 

  
  පොසොන් මස පුර පසළොස්වක පෝය

පොසොන් මස පුර පසළොස්වක පෝය ජුනි මස 01 වැනිදා සඳුදා අපරභාග 10.04 ට ලබයි. 02 වැනිදා අඟහරුවාදා අපරභාග 9.49 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි මස 02 වැනිදා අඟහරුවාදාය.

මීළඟ පෝය
ජුනි මස 09 වැනිදා අඟහරුවාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජුනි 02

Second Quarterඅව අටවක

ජූනි 09

Full Moonඅමාවක

ජූනි 16

First Quarterපුර අටවක

ජූනි 24


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]